ජේතවනය – අනුරාධපුරය Jetavana Stupa & Monastery complex – Anuradhapura

Jetavana Dagaba
Jetavana Dagaba

මිහිඳු හිමියන් ලංකාවට පැමිණ ලක්වැසියනට දහම් දෙසන ලද්දේ නන්දන උයනේ සිටයි. එහි සිට දෙසු දහම සිරිලක පුරා වේගයෙන් පැතිරිණ. දහම පැතිරුනේ නන්දන උයනේ සිට බැවින් එය “ආලෝකය විහිදුවන උයන” යන අරුතෙන් එය “ජෝතිවනය” නමින් පතලව පසුව ජේතවනය නම් විය.

මහා විහාරයේ භික්ෂුන් වයිතුල්‍ය වාදය පිළිගැනීමට එකඟ නොවීම නිසා ඔවුනට දන් නොදිය යුතුය යි  මහසෙන් රජුගේ අණක් වුයෙන් මහා විහාර වාසි භික්ෂුන් වහන්සේලා රුහුණට හා කඳුකරයට පලා යන ලදී. එහෙයින් මහා විහාරය ජන ශුන්‍ය විය. ඉන් පසු මහා විහාර ගොඩනැගිලි සම්පුර්ණයෙන් ඉවත්කර ඒ ගොඩනැගිලි ද්‍රව්‍ය වලින් ජේතවනයේ නව ආරාමික සංකීර්ණයක් ඉදිකිරීමට සංඝමිත්ත නම් භික්ෂුවක් මහසෙන් රජු පොළඹවන ලදින් ක්‍රි.ව. 276 -303 පමණ කාලයේ රජවූ මහසෙන් රජතුමා විසින් ජේතවනය ඉදිකරන ලදී. රජුගේ මේ කටයුත්ත මහජන කැළඹීමකට හේතුවිය. පසුව මහා විහාරයද නැවත ඉදිකරන ලද අතර ජේතවනය දක්ෂිණ විහාරයේ වාසය කල භික්ෂුන්ට පුජා කරනලදී. ජේතවනයේ විසු මේ භික්ෂුන් ඇරඹු නිකාය සාගලික නිකාය වශයෙන් ප්‍රචලිත විණ.  පැරණි ලේඛනයන්හි මේ විහාරය හා නිකාය දෙනාවෙහෙර, දෙනානකය ආදී නම් වලින් හැඳින්වී ඇත.

ජේතවන ආරාම සංකීර්ණය හාල්පාන් ඇල හා මල්වතු ඔය අතර හෙක්ටයාර 80 ක පමණ භුමි භාගයක පැතිර පවතී. මෙහි ජේතවනයේ ප්‍රධානතම ඉදිකිරිම වන ජේතවන ස්තුපය හා ආරාම, ප්‍රතිමා ගෘහ, පිරිවෙන් ආදියේ නටබුන් දැකිය හැකිය.

මහසෙන් රජුගේ සිට මහා පැරකුම්බා රජු දක්වා බොහෝ රජවරුන් මෙහි සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකොට ඇත. 1215 දී පමණ අනුරාධපුරය මාඝ ට යටත්වීම නිසා ජේතවනයද පසුව වල් බිහි විය. 1890 දී පමණ ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස් වරයා වූ බෙල් මහතා මෙහි ගවේෂණ කටයුතු ආරම්භකර ඇත.

1981 පසුව මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ජේතවන සංරක්ෂණ කටයුතු ආරම්භකරන ලදී. මෙහි කැනීම් ආදියෙන් සොයාගත් ශෛලමය කැටයම් ආදිය, පිඟන් හා මැටි භාණ්ඩ, ලෝහ උපකරණ, රන් රිදී ආභරණ, කාසි වර්ග, මුතු, පබළු, ආදී බොහෝ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති භාණ්ඩ ජේතවන කෞතුකාගාරයේ තැන්පත් කොට ඇත. ජේතවන නටබුන් නැරඹීමට පෙර මේ කෞතුකාගාරය නැරඹීම වටී.

ස්මාරකවල පිහිටීම

Jetavana

1. ජේතවන ස්තුපය

2. පිළිම ගෙය 1

3. පන්චායතන පිරිවෙන්

4. ගල් ගරාදි වැට සහ බෝධිඝරය

5. කෞතුකාගාරය

6. පොකුණ

7. දියසෙන් පහය

8. ජන්තාඝරය

9. දාන ශාලාව

10. පිළිම ගෙය 2

ජේතවන ස්තුපය

Jetavana

එක පැත්තක් අඩි 576 ක් වූ චතුරශ්‍රාකාර  උස බිමක (අක්කර අටක පමණ භුමි ප්‍රදේශයක) අඩි 400 ක් පමණ උසකින් යුක්තව පුළුස්සන ලද ගඩොල් මිලියන 93 කටත් වැඩි ප්‍රමාණයක් යොදාගෙන ඇතැයි සැලකෙන ජේතවන ස්තුපය ලෝකයේ ගඩොලින් නිමකරන ලද විශාලතම ඉදිකිරීමයි. එමෙන්ම එය පෞරාණික ගොඩනැගිලි අතර තෙවන විශාලතම ස්මාරකයයි. ලෝකයේ නටබුන්ව පවතින උසම පුජනිය ගොඩනැගිල්ලයි. එහි ව්ෂ්කම්භය අඩි 367 කි. බුදුරජානන් වහන්සේගේ පටී ධාතුවෙන් කොටසක් මෙහි නිධන් කර ඇතැයි පැරකුම්බා සිරිතේ සඳහන්ව ඇතිබව කියති. පැරණි ශ්‍රී ලාංකිකයන්ගේ ඉංජිනේරු තාක්ෂණයේ විශිෂ්ටත්වය පිළිබිඹු කෙරෙන මෙහි අත්තිවාරම පොලව යට පිහිටි ගල් තට්ටුවේ සිටම නිර්මාණය කර ඇති බව කියති. අවුරුදු 1600 කටත් වැඩි කාලයක් තිස්සේ ආරක්ෂාවී ඇති විශාල බරක් දරාසිටිය හැකි ආකාරයට සැලසුම් කොට  ගඩොල් බැඳ තිබීම විශ්මය ජනකය.  කොත් කැරැල්ල දක්වා දැනට ශේෂ වී ඇති මේ ස්තුපයේ උස මීටර් 73 කි.  පැරණි කැටයම් සහිත වාහල්කඩ හතරකි. සල පතල මළුවේ ගල් පුවරු වල පරිත්‍යග ශිලින්ගේ නම් සඳහන්ව තිබෙනු පෙනේ.

_DSC9378

සල පතල මළුව

_DSC7611

ගල් පුවරු වල පරිත්‍යග ශිලින්ගේ නම්

Wahalkada

වාහල්කඩ

වාහල්කඩ කැටයම්

_DSC7626

පස්වන කාශ්‍යප රජුගේ පුවරු ලිපිය

ගල් ගරාදි වැට සහ බෝධිඝරය

ජේතවන කෞතුකාගාරයට පිටුපසින් අලංකාර ගල් ගරාදි වැටකින් ආවරනයවූ ගොඩනැගිල්ලක් දක්නට ඇත. මෙය පැරණි බෝධි ඝරයක් ලෙස සමහරු හඳුන්වති. දෙවන අග්බෝ රජතුමා මේ අසල ලිඳක් කැනවුබව සඳහන්ය. මෙහි කරනලද කැනීම් වලදී මල් ආසන, ජල මාර්ග බෝ කොටුව ආදිය හමුව ඇත. මේ ආසන්නයේම පැරණි රත්නමා පිරිවෙන තිබුණුබව අනුමාන කෙරේ. විල්ගම් මුලය හා සෙනෙවිරද් මුලය යන අධ්‍යාපන පාර්ශවයන් ජේතවනයට අයත් ඒවාය.

ගල් ගරාදි වැට

බෝධිඝරය
බෝධිඝරය

පොකුණු

විවිධ අවශ්‍යතාවයන් සඳහා ජලය එක්රැස්කර තබාගැනීම සඳහා ඉදිකරන ලද කලාත්මක නිර්මාණ කීපයක් ජේතවන පරිශ්‍රයේදී දැකගත හැකිය.

Well 2

පතුලට බැසීමට පඩි පෙළක් සහිත මේ ළිඳ වෘත්තාකාරව ගඩොලින් නිම කොට ඇත. මහා වංශයේ සඳහන් වන දෙවන අග්ගබෝධි රජතුමා මේ අසල ඇති බෝධිඝරය සඳහා ඉදිකළ ලිඳ මෙය විය හැක.

Pond (Pokkarani)
Pond (Pokkarani)

මෙහි සිදුකරන ලද කැනීම් වලදී සොයාගත් ලක්‍ෂ්මි දෙවඟනගේ හා ජලාශ්‍රිත සතුන්ගේ ලෝකඩ රුප සහිත ශෛලමය මන්ජුසාවක් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.

Lotus leaf shape Well
Lotus leaf shape Well

ආරාම සංකීර්ණයේ තවත් අලංකාර ලිඳක්

දියසෙන් පහය

Uposathagaraya (Chapter House) Diyasenpaya
Uposathagaraya (Chapter House) Diyasenpaya

ගල් ටැම් 176 කින් සැදුම්ලත් පොහොය ගෙයක් හෙවත් උපොෂතාගාරයක් දාගැබට ගිනිකොන දෙසින් දක්නට ඇත. දිගින් අඩි 100 හා පළලින් අඩි 50 යුක්ත  මෙය දියසෙන් පහය යනුවෙන්ද හඳුන්වා ඇති බව පෙනේ.

ජන්තාඝරය

Janthagaraya
Janthagaraya

Janthagaraya

ගිලන්වූ භික්ෂුන් වහන්සේලාගේ ශරීරයේ විවිධ ඖෂද වර්ග ගල්වා හුමාලයෙන් ස්නානය කරවීම සඳහා භාවිතා කළ ගෘහයක නටබුන් උපොෂතාගාරයට මඳක් ඔබ්බෙන් දැකිය හැක. චතුරශ්‍රාකාර ගොඩනැගිල්ලක් වන මෙහි බිමට ගල් පුවරු අතුරා ඇති අතර අපවිත්‍ර ජලය පිටකිරීමට කානු සකසා ඇත. ගඩොල් බිත්ති මත වහලක් හා උෂ්ණත්වය පාලනය කිරීම සඳහා කවුළු තිබෙන්නට ඇත.

දාන ශාලාව

Refectory
Refectory

ස්තුපයට නැගෙනහිරින් ජේතවන දාන  ශාලාව පිහිටා ඇත. පොලවට ගල් පුවරු අතුරා සකස් කොට ඇත. වහල දරා සිටින්නට ඇතැයි සැලකෙන ගල් කණු 84 ක් දක්නට ඇත. මෙහි ඇති ශෛලමය දැන් ඔරුවේ 3000 ක් පමණ වූ භික්ෂුන් වහන්සේලාට දන් සපයන්නට හැකිවන්නට ඇත.

පිළිම ගෙවල්

පටිමාඝරය -

ජේතවන පරිශ්‍රයේ පිළිම ගෙවල් දෙකක නටබුන් හමුවේ. ඉන් ස්තුපයට බටහිරින් ඇති පිළිම ගෙය මුල් තැන ගනී.

Image House & Dagaba under the Moon

එහි දැනට අඩි 27 ක් පමණ උස්වූ ශෛලමය උළුවස්සක නටබුන් දැකිය හැක.

Massive brick walls of Image House
Massive brick walls of Image House

එහි ප්‍රවේශ ශාලාව, ප්‍රදක්ෂිණා පථය හා ගර්භය දැකිය හැක.

Lotus pedastal of Buddha Image
Lotus pedastal of Buddha Image
ගර්භ පාත්‍රයක්
ගර්භ පාත්‍රයක්

ගර්භ ගෘහයේ බුදුරුවක් තිබී ඇත. දැනට පිළිමයෙහි පතුල සවිකර තිබු පද්මාසනයේ හා ගර්භ පාත්‍රයෙහි කොටස් ඉතිරිව ඇත. මේ කොටස් අනුව පිළිමය අඩි 37 ක් පමණ වන්නට ඇතැයි අනුමාන කෙරේ. පිළිමය හුණු ගලින් නෙලා තිබෙන්නට ඇති අතර එය ගින්නෙන් විනාශ වන්නට ඇත. ගෙඩිගේ සම්ප්‍රදායේ   ප්‍රතිමා ගෘහයේ පියස්ස අඩි 50 ක් පමණ උසකින් ගෝලාකාරව තිබෙන්නට ඇත. මෙය 9 වන සියවසේදී පමණ පළමුවන සේන රජතුමා ඉදිකළා යයි පැවසෙන මනිමේඛලා ප්‍රසාදය වන්නට ඉඩ තිබේ.

Image House
Image House

_DSC7589

ධර්ම ශාලාව

දහම් දෙසීමට හා ඇසීමට යොදාගන්නා ලද සිව් දෙසින්ම දොරටු සහිත ගොඩනැගිල්ලකි. ගොඩනැගිල්ල මැද කැටයම් සහිතව  උස අසුනක් ඉදිකර ඇත. ක්‍රි.ව.522 – 535 සිලාකාල රජ සමයේ වාර්ෂිකව ඇතුළු නුවර සිට ජේතවනාරාමයට ගෙනෙන ලද දහම් පුස්තකයක්  මෙවන් ශාලාවක තබා පුද පුජා කිරීමේ සිරිතක් තිබුණු බව සඳහන්වේ.  ජේතවන භික්ෂුන්වහන්සේලාගේ පුජාවන්ට භාජනය වූවාසේ සැලකෙන පංච විංසතිසාහශ්‍රිකා නම් දෙවන සියවසට පමණ අයත් හා හයවන සියවසේදී පමණ මහායානිකයන් විසින් ලංකාවට ගෙනෙන ලදැයි සැලකෙන ධර්ම ධාතු රන්පොතෙහි පත්‍රිකා කීපයක් කොළඹ ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරේ. 

Image House
ධර්ම ශාලාව

_DSC7578

Image House
ධර්ම ශාලාව

ජේතවනයේ පැරණිම පිළිමගෙය ලෙස සැලකෙන ප්‍රාකාර බැඳ පස් පුරවා පොලව මට්ටමට ඉහලින් ඉදිකරන ලද ගන්ධකුටි සම්ප්‍රදායේ ගොඩනැගිල්ලක් ස්තුපයට ගිනිකොන දෙසින් දැකිය හැක. මිට කුඩා පරිවාර පිළිම ගෙවල් දෙකක් තිබුණු බව නටබුන් වලින් පැහැදිලිවේ.

පන්චායතන පිරිවෙන්

ජේතවන පරිශ්‍රයේ පන්චයතන පිරිවෙන් යනුවෙන් හැඳින්වෙන නේවාසිකාගාර ගොඩනැගිලි 15 ක් පමණ දක්නට ලැබේ.

Residential Complex
Residential Complex
Residential Complex
Residential Complex

පන්චායතනයක මධ්‍යයේ ප්‍රධාන ගොඩනැගිල්ලකි. සිව් කොන ඊට මුහුණ ලා ඇති කුඩා ගොඩනැගිලි හතරකි. ඒ ගොඩනැගිලි පහ වටා දොරටුවක් සහිත ප්‍රාකාරයකි. මේවා භික්ෂුන් වහන්සේලාගේ නේවාසික හා අධ්‍යාපනික කටයුතු සඳහා භාවිතා කොට ඇත. මේවායේ ප්‍රධාන ගොඩනැගිලිවලට අමතරම වැසිකිලි, කැසිකිලි, ගිනිහල් ගෙවල් ආදියද තිබී ඇත

Well
Well

කැසිකිලි

Urinal stone
Urinal stone
Urinals
Urinals

ජේතවන ආරාම වල කැසිකිලි වලින් පරිසරයට හානියක් නොවන ආකාරයට මුත්‍රා බැහැර කරන ලද බව පෙනේ. කැසිකිලි ගලේ සිදුරට යටින් අඟුරු, හුණු, අළු, වැලි ආදිය පිරවූ පතුලේ සිදුරු සහිත මුට්ටි කීපයක් එකක් යටින් එකක් වශයෙන් තබා ඒවා හරහා මුත්‍රා ගමන්කොට පිරිසිදුවී පොලවට උරා ගන්නා ආකාරයට පිළියෙළ කොට තිබී ඇත. එසේ හමුව ඇති මුට්ටි කීපයක් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත

Advertisements

4 thoughts on “ජේතවනය – අනුරාධපුරය Jetavana Stupa & Monastery complex – Anuradhapura

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.