පොළොන්නරුව ගල් විහාරය Galviharaya Polonnaruwa

පොළොන්නරු නටබුන් බැලීමට සහ වන්දනා කර ගැනීමට යන හැම දෙනාම නොවරදවා බලන හා ඉමහත් ගෞරවාදරයට හා ප්‍රශංසාවට ලක් කෙරෙන ප්‍රධානතම ස්මාරකයයි ගල් විහාරය.

පොළොන්නරුවේ මහා පරාක්‍රමබාහු රජතුමා විසින් 12 වන සියවසේදී කරවන ලද උත්තරාරාමය අද හැඳින්වෙන්නේ ගල් විහාරය යනුවෙනි. උත්තරාරාම සංකීර්ණය දිගින් යාර 56 ක් පමණවන සෑම අතකටම බෑවුම්වූ පර්වතයක් කපා පිළියෙළ කරන ලද පිළිම කිහිපයකින් යුත් ශ්‍රේෂ්ඨ නිර්මාණයකි.යටත්විජිත සමයේ මේ නිර්මාණයන් දුටු ලුතිනන් ෆගන්, සැමුවෙල් බේකර්, ජේ.ඩබ්ලිව්.බර්ච්, පළමුවරට මේ නටබුන් රුපගතකල ආර්. ඩබ්ලිව්. ස්ටුවර්ට්, ආදීන් ගල් විහාරය ගැන වර්ණනාත්මක සටහන් තබා ඇත. 1907 එවකට සිටි පුරාවිද්‍යා කොමසාරිස් තුමා මේ හා සමකලහැකි වෙනත් විහාරයක් ඉන්දීය මහාද්වීපය තුලද හමු නොවිය හැකිබව සටහන් කොට තිබේ.  

පළමුව මෙහි ඉදිකොට ඇත්තේ විජ්ජාධර ගුහා, නිස්සින්න පටිමා ගුහා හා නිපන්න පටිමා ලෙන යන ලෙන් තුනකි. පොළොන්නරු යුගයේදීම මිට හිටි පිළිමයක් සහිතව තවත් ලෙනක් ඉදිකොට ඇත. වර්ග දෙකක ලෙන් මෙහි දක්නට ලැබේ. තුන් පැත්තකින් ගඩොල් බිත්ති බැඳ ඇති ගුහා සහ ගල් පර්වතය හාරා පිළියෙළ කල ලෙනක් වශයෙනි. මෙය නිර්මාණය කිරීම සඳහා හාරා පිළියෙළ කල ලෙන සඳහා අඩි 17 ක් පමණද අනෙකුත් ප්‍රථිමා සඳහා  අඩි 15 ක් පමණද  ගලෙහි මුහුණත කපා ඇත.

විජ්ජාධර ගුහාව

Galwiharaya

Galwiharaya

මේ විහාර සංකීර්ණයට පිවිසෙනවිට පළමුව හමුවන්නේ විජ්ජාධර ගුහාවයි. මෙහි තේමාව වී ඇත්තේ විශ්ව ව්‍යාපී ධර්මකාය සංකේතවත් කෙරෙන බුද්ධ මණ්ඩලය බවත්, මෙම ස්ථානය තාන්ත්‍රික බුදු දහමේ මන්ත්‍ර ගායනය සඳහා යොදා ගන්නට ඇති බවත්  සමහරු පවසති.  මෙහි තෙමහල් ප්‍රාසාදයක බිම් මහලේ   වජ්‍ර මෝස්තර වලින් හා සිංහ රුප වලින්  අලංකෘත  ආසනයක පිපුණු  නෙලුම් මලක්  මත  මත සමාධි මුද්‍රාවෙන් හා වීරාසන ඉරියව්වෙන් වැඩ හිඳින හිඳි පිළිමයක් නෙලා ඇත. මුල් කාලයේදී වර්ණ ගන්වා තිබූ  බවට සැලකෙන මෙහි උස ආසනයේ සිට උෂ්නිය දක්වා අඩි 15 යි අඟල් දෙකක් පමණ වේ. බුදු පිළිමයේ ශිර්ෂයට පිටුපසින් රශ්මි මාලාව කැටයම් කොට ඇත. තරමක් වෘතාකාර මුහුණකින් හා පටු නළලතකින් යුක්තව දක්ෂිනාවෘත කෙස් කැරලි හා සිහින් උෂ්ණිෂයක් සහිතව සිරස නිර්මාණය කර ඇත. අඩවන්වූ දෙනෙත් වලින් යුක්තව නෙළා ඇති පිළිමය  බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාගුණය ආදී අභ්‍යන්තර ගුණාග ඉස්මතුකොට පෙන්වීමට සමත්ව තිබේ. වැඩහිඳින ආසනයේ පිට ඇන්දේ හරස් පොලු මකර මුඛ, සිංහ රූප හා නෙලුම් මල් වලින් අලංකාර කර ඇත. ප්‍රාසාදයේ දෙවන හා තෙවන මහල්වල දෙපැත්තේ කුඩා ධ්‍යානි බුදු පිළිම හතරකි. මේ පිළිම මහායාන බුදු දහමේ දැක්වෙන අමිතාභ, අමෝඝසිද්ධි, ආක්ශෝභය හා රත්නසම්භව යන බුදුවරුන්ගේ බවට අදහස් ප්‍රකාශවී ඇත. වහල කොත් කැරලි වලින් සමන්විතය.

හිඳී පිළිම ලෙන

Galwiharaya

DSC00600

මීළඟට හමු වන්නේ නිස්සන්න පටිමා ගෘහය හෙවත් හිඳී පිළිම ලෙනයි. මෙහි වජ්රාසනයක් මත ඡත්‍රයක්  යට  ධ්‍යාන මුද්‍රාවෙන් වැඩ හිඳින හිඳී අඩි 4 යි අඟල් 4ක් පමණ වන  බුදු පිළිමයක් පිහිටි ගලින්ම නෙලා තිබේ. පිළිමය දෙපස විජිනිපත් දරා සිටින දෙදෙනෙකි. පිළිමයේ ශීර්ෂය දෙපසින් බ්‍රහ්ම හා විෂ්ණු දෙවි වරුන්ගේ පිළිම නෙලා ඇත. ලෙනෙහි බිත්තිවල  බිතුසිතුවම් ඇඳ තිබී ඇත. බිතු සිතුවම් වල ශේෂයන් තවමත් දොරටුව දෙපස දක්නට ඇත. මෙහි ඇති අතෙහි ශන්කයක් දරා සිටින මහලු දෙව් රුවක සටහන ශක්‍රයාගේ රුව යයිද,  ඉන්ද්‍රසාල ගුහාවේදී ශක්‍රයා බුදුන් වහන්සේ මුණ ගැසීම මෙයින් නිරුපනය කෙරෙන බවටද විශ්වාස කෙරේ.

බිතු සිතුවම් වල ශේෂයන්

මේ ලෙන ඉදිරිපස වූ මණ්ඩපයක අත්තිවාරමක් ද දක්නට ඇත.

ශිලා ලිපිය

Galwiharaya

හිඳී පිළිම ලෙන පසු කල විට දක්නට ලැබෙන්නේ මහා පරාක්‍රමබාහු රජතුමාගේ රාජ්‍ය සමයේ කරවන ලද මධ්‍යකාලින සිංහල භාෂාවෙන් ලියවී ඇති ශිලා ලිපියයි. පළමුවන මහා පරාක්‍රමබාහු රජතුමාගේ ආරාධනයෙන් මහා කාශ්‍යප තෙරුන් වහන්සේ විසින් සකස් කරන ලද කතිකාවතක් හෙවත් විනය නීති මාලාවක් මෙහි අන්තර්ගතය.

හිටි පිළිමය

Galwiharaya

Galwiharaya

මීළඟට දක්නට ලැබෙන්නේ හිටි පිළිමයයි. අඩි 23ක් පමණ උසට  ආභංග ඉරියව්වෙන් (ශරීරය මඳක් නැමී) පපුව හරහා අත් බැඳ ගෙන සිටින ආකාරයට පද්මාසනයක් මත දකුණු උරය විවෘතව මේ පිළිමය නෙලා ඇත. මේ පිළිමය පොළොන්නරු යුගයේම පසු අවස්ථාවකදී නිමවන ලද්දක් බව පෙනේ. වංශ කතාවල සඳහන් වන්නේ පරාක්‍රමබාහු රජතුමා විසින් කරවන ලද්දේ හිඳී ඉරියව්වේ පිළිම දෙකක් හා සැතපෙන පිළිමයක් පමණක් බවයි. හිස්ව තිබුණු ඉඩ ප්‍රමාණය සම්පුර්ණ කරමින් තවත් එක් ප්‍රචලිත පිළිම වර්ගයක් වන හිටි පිළිමයක් පසු කලකදී නෙළුවා විය හැකිය. මෙය බුදුරජානන්වහන්සේගේ පිළිමයක්ද නැතහොත් ආනන්ද හිමියන්ගේ පිළිමයක්ද යන්න පිළිබඳවද  විවධ මත ප්‍රකාශවී ඇත. ආචාර්ය ඩී. ටී. දේවේන්ද්‍ර, එස්‌. එම්. බාරෝස්‌, ඒ. ඩී. ටී. ඊ. පෙරේරා  ආදී මත්වරුන්ගේ  මතය වී ඇත්තේ මෙහි ඇති අනෙක් පිළිමය බුදුරජාණන්වහන්සේගේ පරිනිර්වාණය නිරුපනය කරන අතර මේ පිළිමය  බුදුරජාණන්වහන්සේගේ පරිනිර්වාණය නිසා ශෝකවන ආනන්ද හිමියන්ගේ බවයි. මේ මතය නොපිළිගන්නා  සෙනරත් පරණවිතාන, ප්‍රේමතිලක, ගොඩකුඹුර, රතනසාර හිමි සහ විමලකීර්ති හිමි ප්‍රමුඛ විද්වතුන් ප්‍රකාශ කරනු ලබන්නේ මේ පිළිමය පිපුණු නෙළුමක් මත සිටින ආකාරයෙන් හා මහා පුරුෂ ලක්ෂණයක් වන දක්ෂිනාවර්ත බොකුටු වූ හිසකෙස් සහිතව නෙලා ඇත්තේ බුදුරජානන් වහන්සේගේ පිළිමයක් නිසා බවයි. මේ පිළිමයේ මුද්‍රාව පිළිබඳවද මත කිහිපයකි. පරදුක්ඛ දුක්ඛිත, අනිමිසලෝචන, ස්වස්තික, රතනඝර, අවධාන හා වජ්‍රහුංකාර ආදී මුද්‍රාවන් මෙයින් නිරුපනය කෙරෙන බවට විවධ මත ඇත. බුදුරජානන්වහන්සේ අනුන්ගේ දුකෙහිදී ශෝක වූ බවක් පිළිගත නොහැක. පිළිමයේ මුහුණේ මන්දස්මිතයක් මිස ශෝකී ස්වභාවයක් ඇති බවක්ද නොපෙනේ. මේ පිළිමයද වෙනම ගුහාවක තිබුණු බව සිතිය හැකි ගඩොල් පාදමක නෂ්ටාවශේෂද ඇත.  එහෙයින් මෙය බුදුරජානන්වහන්සේගේ මහා කරුණා ගුණය ප්‍රකාශවන අවධාන මුද්‍රාවෙන් නිර්මිත පිළිමයක් ලෙස සැලකීම සාධාරණය.   

    

ඔත් පිළිමය

GalwiharayaGalwiharaya

Galwiharaya

නිපන්න පටිමා ලෙන යනුවෙන් හැඳින්වෙන, වෙනම ඇතුළුවීමේ දොරක් හා ජනෙල දෙකක්ද සහිතවූ ලෙනෙහි මේ විහාර සංකීර්ණයේ ඇති අනෙක් බුදු පිළිමය අඩි 47ක් පමණ දිගට, සෝපාවක දකුණු ඇලයෙන් සැතපෙන ආකාරයට නෙලා ඇත. හිසට තබා ඇති කොට්ටය සිංහ මුහුණකින් යුක්තව තරමක් එබී තිබෙන ආකාරයෙන් හා දකුණු පාදය මත වන වම් පාදය තරමක් පසු පසට ගෙන තිබෙන ආකාරයෙන් නිර්මිතය. පාදවල නෙලුම් මල් පමණක්  කැටයම් කොට ඇත. උදර ප්‍රදේශයේ මඳක් ඉදිරියට නෙරූ අන්දමක් හා රැලි තුනක් දක්වා ඇත. දෙකන් කොපුල් තලයට පහත්ව ඇත. ඇස් බාගෙට පියවි ඇත. වමත අප්‍රාණිකව සිරුර මත ඇති බවක් පෙන්වා ඇත. හිස මඳක් පිටුපසට වී ඇත. සිවුර පොරවා  ඇති අතර කෙලවර බිම ගෑවී ඇති බවක් පෙනේ. මේ ලෂණ නිසා මෙය පරිනිර්වාණය දැක්වෙන පිළිමයක් බවට ආනන්ද කුමාරස්‌වාමි, ආචාර්ය සෙනරත් දිසානායක ආදී මහතුන් අදහස් කරති. මෙසේ පාද තබාගෙන සිටීම සාමාන්‍ය සැතපෙන ඉරියව්ව මිස පරිනිර්වාණය දැක්වෙන ඉරියව්වක් නොවන බවක් සමහරු පවසති. චන්ද්‍රා වික්‍රම ගමගේ සෙනරත් පරණවිතාණ, චාල්ස්‌ ගොඩකුඹුර, තිරාණගම රතනසාර හිමි ආදීන්ගේ  මතය වන්නේ මෙය බුදුරජානන්වහන්සේ  සිංහ සෙයියාවෙන් සැතපෙන ආකාරයදැක්වෙන  සැතපෙන පිළිමයක්‌ වන බවයි. මේ විහාර සංකිර්ණයේ ඇත්තේ බුදු පිළිම වලට වස්තු විෂය වී ඇති තුන් ඉරියව්ව විදහා දැක්වෙන පිළිම බව ඔවුන්ගේ අදහසයි.

මේ පිළිම වලට අමතරව සැතපෙන පිළිමයට පිටුපසින් ගල් කුළුණු කීපයක් දක්නට ඇත. මෙහිද කියම පිළිමයක් තැන්පත්  කර තිබෙන්නට ඇතයි විශ්වාස කෙරේ.

මේ විහාර සංකීර්ණයේ නෙලා ඇති පිළිමවල මුහුණු වලින් බුදු රජාණන් වහන්සේගේ අපරිමිත කරුණා ගුණය  ප්‍රකාශ කර ඇති ආකාරය, සමතුලිත තාවය ආරක්ෂා කරගනිමින් ඉතා තාත්වික අන්දමින් එකම ගල්කුලකින් පිළිම රැසක්  නිර්මාණය කර ඇති ආකාරය ගැන සිතා බලන විට මධ්‍ය කාලින හෙළ කළා ශිල්පීන්ගේ කළා කුසල තාවය, ශිල්පිය දක්ෂතාවය හා අධ්‍යාත්මික සංවරය කොපමණ දැයි අපට වටහා ගත හැකිය.

gal vihare

මෙහි තිබෙන ඔත් පිළිමයට සිවුරු පෙරවීම, අනෙක් පිළිම මත නොයෙක් දේ තැන්පත් කිරීම් ආදිය පසුගිය කාලයේදී දකින්නට ලැබුණි. මෙවන් දේ කිරීමෙන් ඔවුන් සිදුකරන්නේ මේ ආගමික ස්මාරකවල අගය අවතක්සේරු කිරීමකි.  එමෙන්ම එය කාලය හා ධනය වැයකරගෙන මේවා නැරඹීමට එන ශ්‍රී ලංකාවේ කලාව  හා ඉතිහාසය අධ්‍යයනය කරන දේශීය හා  විදේශීය විද්යාර්තීන්ට, වන්දනා කරුවන්ට හා සංචාරකයන්ට කරන බලවත් අසාධාරණයකි. කිසියම් බැතිමතෙකුට යමක් පුජා කිරීමට අවශ්‍ය නම් එය පිළිමය මත නොතබා සම්ප්‍රදායික ලෙස පිළිමය ඉදිරිපස ආසනය මත තබා පුජා කිරීම එයට කරන ගෞරවයක්  බව තේරුම් නොගැනීම කණගාටුවට කරුණකි.  1982 සිටම  යුනෙස්කෝ ආයතනය මගින් ලෝක උරුමයක් ලෙස නම්කොට ඇති මෙය අප විසින් සුරැකිය යුතු පුණ්‍ය භූමියක් මෙන්ම   කලාගාරයක්ද වේ.

එන්.එච්. සමරසිංහ 2017.10.29

 

Protected by Copyscape

 

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.