මිහින්තලේ – Mihinthale

සිංහලයන්ගේ බෞද්ධ ශිෂ්ටාචාරයේ උපත

තම රටවැසියන්ගේ අභිමානය හුවා දැක්වීම සඳහා නොයෙකුත් ජාතින් විසින් ඔවුන්ගේ මුලාරම්භය ඇදහිය නොහැකි සිද්ධීන් ගෙන් පිරුණු දේව ආදී  කතා පුවත් වලට සම්බන්ද කොට ඇති බව ග්‍රීක, රෝම, ඉන්දියානු ආදී පුරාවෘත කියවීමේදී අපට පෙනී යයි. සිංහලයන්ගේ ආරම්භය ගැනද හයවන සියවසේදී පමණ ලියු වංශ කතාවලද සඳහන් කොට ඇත්තේ අද්භූත සිද්ධීන්ගෙන් සපිරි උත්පත්ති කතාවන්ය. විශ්වාස කළ නොහැකි සිද්ධි ගණනාවක් වංශ කථාවල ඇතුලත් වුවත් ක්‍රිස්තු පුර්ව  පස්වන සියවසේදී පමණ උතුරු ඉන්දියාවෙන් පැමිණි ආර්ය භාෂාවක් කතාකල ඉන්දු ආර්ය ජනතාවක් මේ දිවයිනේ පදිංචිවූ බව නම් සත්‍යයකි. ඔවුන් සිංහලයන් ලෙස හැඳීන් වූ අතර ඔවුන් වාසය කළ දිවයින  සිංහලද්වීප යනුවෙන් පැරණි සංස්කෘත පොත් වල  සඳහන් කොට ඇත.

ඉන්දියාවේ අශෝක රජතුමා මෞර්ය රාජ්‍යය පුළුල් කිරීමට යාමේදී මිනිසුන්ට සිදුවූ විපත් ගැන කලකිරී යුද කටයුතු අතහැර බුද්ධ ධර්මය කෙරෙහි යොමුව එය ප්‍රචාරය කිරීම මගින් දේශයන් දිනා ගැනීමට කටයුතු කරනු ලැබිණ. අශෝක රජු සිංහලයේ පාලකයා වූ තිස්ස සමග විශේෂ සබඳතාවයක් පවත්වා ඇත. ඔහු තිස්සට රාජාභිෂේකය සඳහා අවශ්‍ය සියලු උපකරණ ප්‍රදානය කොට තිස්ස සිංහලයේ රජු ලෙස රාජාභිෂේක කරවන්නට සහාය විය. සිංහලයේ රාජාභිෂේක ලත් පළමුවැන්නා බවට තිස්ස පත්විණ. දෙවියන්ට ප්‍රියවූ යන අරුතින් (දේවානම් පිය) දෙවන පෑ යන නාමයද ඔහුගේ නමේ මුලට යෙදී දේවානම් පියතිස්ස නැතහොත් දෙවන පෑ තිස් නමින් ඔහු හැඳින්විණ. (දේවානම් පිය යන නාමය අශෝක රජුගෙන් පසු වසර 200 ක් පමණ වනතුරු සිංහලයේ රජවරු භාවිත කොට ඇත)

බුදු දහම අනුගමනය කල අශෝක රජු තම හිතවත් සිංහලයේ තිස්ස රජුද බුදු දහමට නැඹුරු කරවීම සඳහා ඔහුගේ පුත් මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ඉට්ටිය, උත්තිය, සම්බල, බද්දසාල ආදී රහතන් වහන්සේලා  පිරිසක් ක්‍රිස්තු පුර්ව 247 පොසොන් මස පුර පසළොස්වක පෝය දින සිංහලයට එවන ලදී. මේ පිරිස තිස්ස රජුට හමුවුයේ මිහින්තලේදිය. තිස්ස රජුගේ බුද්ධිය පරික්ෂා කොට ඔහුට පළමුවන ධර්ම දේශනය වූ චුල්ලහත්තපදෝපම සුත්‍රය දේශනා කරන ලද්දේ මිහින්තලයේ සිටයි. මිහිඳු මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ මහරහතන් වහන්සේලා සිංහලයට පැමිණීමෙන් පසුව වාසය කලේ මිහින්තලයේය. එහෙයින්  සිංහලයන්ගේ බෞද්ධ ශිෂ්ටාචාරය ආරම්භ වූ ස්ථානය මිහින්තලයයි. මිහින්තලේ සෑ ගිරිය හා චේතිය පබ්බත විහාරය නමින්ද හඳුන්වා ඇත

mihinthale

අනුරාධපුර නගරයට කිලෝමීටර් 15 ක් පමණ නැගෙනහිරින් මිහින්තලය පිහිටා ඇත. මෙහි මිහින්තලා කන්ද, රාජගිරිලෙන කන්ද, ආනෙයිකුට්ටි කන්ද හා ඇත්වෙහෙර කන්ද යනුවෙන් අඩි 1000 ක් පමණ උස ශේෂ  කඳු ගැට හතරක් ඇත. මිහින්තලා කන්දේ දේවානම් පියතිස්ස රජතුමා විසින් විහාර ගෙයක් හා භික්ෂුන් වහන්සේලාට වැඩ වාසය කිරීම සඳහා ලෙන් කුටි 68 ක් කරවා ඇත. මිහින්තලය නැගීමට පියගැටපෙළක් තනවා ඇත. 

ශ්‍රී මහා බෝධියේ අංකුරයක්ද මෙහි රෝපණය කරවා ඇත.

_DSC7433

වර්තමාන බෝධිය

වෙදහල්, දන්හල්, ආරාම,  චෛත්‍ය ආදී  සුවිශේෂී වාස්තුවිද්‍යාත්මක ස්මාරක  රැසක නටබුන් මිහින්තලේ ඇත. මේ ප්‍රදේශයෙන් සොයාගන්නා ලද වටිනා පුරාවස්තු රාශියක් මිහින්තලේ පිහිටුවා ඇති කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.

පියගැට පෙළ

DSC07663

දෙපස වූ අරලිය ගස්වලින් සෙවන වී ඇති පියගැට පෙළ  මිහින්තලේ අනන්‍යතා ලක්ෂණයකි. අද්විතීය නිර්මාණයකි. මේ පියගැට පෙළ කොටස් කීපයකින් යුක්තය. ඒ කන්ද පාමුල සිට මැද මලුව තෙක්, එතැන් සිට කණ්ටක චේතිය දක්වා, මැද මලුවේ සිට අම්භස්තලය දක්වා, උඩ මළුවේ සිට මහා සෑය දක්වා ආදී වශයෙනි. මිහින්තලේ මුළු පියගැට පෙළ ගණන 1840 ක් පමණවේ. මේවා  අතර ස්වාභාවික ගලේ නෙලන ලද පියගැට පෙළ 150 ක් පමණද ඇත.

පුරාණ රෝහල

DSC07634

DSC07621

DSC07624

බෙහෙත් ඔරුව

DSC07631

උණුවතුර ස්නානය කළ ස්ථානය

කෞතුකාගාරය ඉදිරිපස කාමර ගණනාවකින් යුත්  පැරණි රෝහලක නටබුන් දැකිය හැකිය. බෙහෙත් ඔරුවක්, උණුවතුර ස්නානය කිරීම සඳහා පිළියෙළ කළ ස්ථානයක් අදද මෙහිදක්නට ලැබේ. මෙහි කැනීම් වලදී ශල්‍ය උපකරණ, පර්සියානු තඹ භාජන ආදිය හමුවී ඇත. 10 වන සියවසේ දෙවන සේන රජතුමාගේ කාලයේ ඉදිකරන ලද බවට සැලකෙන මෙය ලෝකයේ පැරණිතම සංවිධිත රෝහල් සංකීර්ණය බව පුරාවිද්‍යඥයන්ගේ අදහසයි.

කණ්ටක චේතිය

_DSC7448

DSC07742

වාහල්කඩ

මිහින්තලා කන්ද මඳ දුරක් නගින විට කුඩා කඳු ගැටයක් මත බෞද්ධ සිද්ධස්ථාන අතර ඉතා සැලකිය යුතු පුරාවිද්‍යා ස්මාරකයක් වන  කණ්ටක චේතිය හමුවේ. පාදමේ වට ප්‍රමාණය අඩි 425 ක් පමණ හා දැනට ශේෂව ඇති උස අඩි 40 ක් පමණ වන, ගඩොල් හා හුණුගල් වලින් නිමවා ඇති මේ චෛත්‍යය කුමන රජකෙනෙකුන් විසින් ඉදිකරන ලද්දේදැයි අවිනිශ්චිත වන අතර එය කි.පු. පළමුවන සියවසට පෙර සූරතිස්ස රජු විසින්  ඉදිකරන ලද්දක් බව අනුමාණ කෙරේ. ලජ්ජතිස්ස රජු මෙම සෑයට ගල් කඤ්චුකයක් තැනවූ බව මහාවංශයේ සඳහන්ව ඇත. මේ ස්ථූපය විශේශිතකොට සලකා ඇති අතර ඒ  සඳහා ගිරිහන්ඩ පුජාව නමින් විශේෂ පූජා පැවැත්වූ බව සඳහන්වේ. මේ දාගැබේ සිව් දිසාවට වූ වාහල්කඩ හතරෙන් දෙකක් හොඳින් ආරක්ෂා වී ඇත. මිහින්තලේ අනෙක් කුඩා ස්තුපවල වාහල්කඩක් ඉදිකොට තිබු බවක් නොපෙනේ.

DSC07800

වාහල්කඩේ කැටයම්
ගල් කණු

DSC07770

සිංහ මුර්තිය

DSC07794

මේ වාහල්කඩ වාමන, හංස, ඇත් ආදී  ඉතා කලාත්මක කැටයම් වලින් අලංකාරවී තිබේ. වාහල්කඩේ ගල් කණුවලද ලියකම්, සත්ව රූප, මිනිස් රූප  ආදිය කැටයම් කොට ඇත.මේ කැටයම් හුනුගල්වල නෙලා ඇති බැවින් මේ වන විට කැටයම් ගෙවී ගොස් ඇති බව පෙනේ.  සිව් දිසාවේ ගල් කණු මත ඇත්, සිංහ, අශ්ව හා ගොන් මුර්ති පිහිටුවා  ඇත.  ලංකාවේ බෞද්ධ වාස්තු විද්‍යා නිර්මාණ හදාරන්නන්ට මේ වාහල්කඩ ඉතා හොඳ නිදර්ශනයකි.

අට සැට ලෙන්

DSC07753

මිහින්තලේ ඇති පැරණිතම ස්මාරක වන්නේ කණ්ටක චේතිය වටා කඳු බැවුමේ ඇති  අට සැට ලෙන්ය. භික්ෂුන් වහන්සේලාගේ වාසය පිණිස දේවානම් පිය තිස්ස රජුගේ නියමයෙන් රජ පවුලේ සාමාජිකයන්ගේද අනුග්‍රහයෙන් මේවා කටාරම් කොටා  නිමකොට ඇත.

DSC07805

බ්‍රාහ්මීය අකුරින් ලියා ඇති වගන්ති

මේ ලෙන් වල බ්‍රාහ්මීය අකුරින් ලියා ඇති වගන්ති වලින් රජපවුලේ අයගේ, ප්‍රාන්ත ප්‍රභූන්ගේ තොරතුරු හා  සිංහල අක්ෂර මාලාවේ සහ භාෂාවේ ආරම්භක අවස්ථාව ගැන තොරතුරු අනාවරණය වේ

සිංහ පොකුණ

DSC07734

DSC07726DSC07727

සිංහ පොකුණේ  කැටයම්

DSC07738

ආරාම නටබුන්

කණ්ටක චේතිය දකුණු පස වන තැනිතලා භුමියේ ආරාම නටබුන් අතර සත්ව රූප, මිනිස් රූප ආදී මනරම් කැටයමින් යුත්  සිංහ පොකුණ නමින් හැඳින්වෙන සිංහ මුඛයකින් ජලය ගලා එන ලෙස පිළියෙළ කල වාස්තු විද්‍යාත්මක ස්මාරකයක් දක්නට ඇත. සිංහ රුපයක් ලෙස නිර්මාණය කර ඇති මේ නිර්මාණය ඉතා විශිෂ්ට කළා නිර්මාණයකි.

දාන ශාලාව

DSC07643DSC07645

බත් ඔරුව

DSC07647

කැඳ ඔරුව

DSC07650

ජලය සැපයූ නල

මිහින්තලාවේ මැද මළුවේ මිහින්තලා වාසි භික්ෂුන් වහන්සේලා දන් වැලඳු දාන ශාලාව හමුවේ. මෙය දිගින් අඩි 114 ක් හා පළලින් අඩි 77 ක් පමණ වන මැද මිදුලකින් යුත් පොලවට ගල් පුවරු ඇතිරූ ගොඩනැගිල්ලකි. වහල දරා සිටි ගල්කණු වල හා ජලය සැපයූ නල මාර්ගයේ අවශේෂ, කුඩා කැඳ ඔරුවක්, ලොකු බත් ඔරුවක්, ආදිය මෙහි දක්නට ලැබේ.

සන්නිපාත ශාලාව

DSC07661

මැද ආසනයක් සහිත එක පැත්තක් අඩි 63 ක් පමණ දිග සම චතුරශ්‍රාකාර සිව් දෙසටම දොරටු ඇති, භික්ෂුන් වහන්සේලා රැස්ව සාකච්චා කරන්නට ඇතැයි සැලකෙන සන්නිපාත ශාලාව දාන ශාලාව ආසන්නයේ ඇත.

ධාතු මන්දිරය

DSC07660

මිහින්තලේ ධාතු මන්දිරය ලෙස සැලකෙන චතුරශ්‍රාකාර ගොඩනැගිල්ලක නටබුන්ද මැද මළුවේ දක්නට ඇත.සතර කොන කුඩා ස්තුප හතරක්ද ඇත.

මිහිඳු රජුගේ පුවරු ලිපිය.

mihin new

මිහින්තලේ ධාතු මන්දිරයට ඇතුළුවන දොරටුව දෙපස හතරවන මිහිඳු රජු විසින් කොටස් දෙකකින් යුක්තව පිහිටුවන ලද පුවරු ලිපිය ඇත. මෙහි විහාර පාලනයට අදාළ තොරතුරු, බික්ෂුන් වහන්සේලා පිළිපැදිය යුතු සිරිත් විරිත්, උන් වහන්සේලාට රජයෙන් දැක්විය යුතු ගරු බුහුමන්,  ආරාමයේ සේවය කරන්නන්ට ගෙවිය යුතු වැටුප් ප්‍රමාන ආදී තොරතුරු ඇතුලත් වේ.

මිහින්තලේ ගිරි ලිපිය

DSC07665

මහා දාඨික මහා නාග රජ සමයේ (ක්‍රි.ව. 9 – 21) අපර බ්‍රාහ්මි අක්ෂරයෙන් පැරණි සිංහලයෙන් ලියා ඇති මෙහි මිහින්තලා විහාරයේ වාසය කරන භික්ෂුන් වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහා පුජාකරණ ලද වැව් ආදිය ගැන හා මිහිඳු හිමියන් උත්තිය හිමියන් ආදීන්ගේ ප්‍රතිමා නඩත්තුව සඳහා කරන ලද ප්‍රධාන ගැන සඳහන්වේ.   

ගිරිහන්ඩ සෑය

DSC07615

ගිරිහන්ඩ සෑය ධාතු ගර්භය

DSC07619

ධාතු ගර්භ සිතුවම්

දාන ශාලාවට මඳක් ඊසාන දෙසට වන්නට ගිරිහන්ඩ සෑය නමින් හඳුන්වන චෛත්‍යයක නටබුන් ඇත. වට ප්‍රමාණය අඩි 88 ක් පමණ වේ. කවුරුන් විසින් ඉදි කරන ලද්දේදැයි අවිශ්චිතය. 8 වන සියවසේ පමණ ඉදිකරන්නට ඇතැයි සැලකේ. මේ දාගැබ කැණීමේදී ධාතු ගර්භ තුනක් හමුවී ඇත. මේවායේ තිබී රන් මලක්, මහා මේරු ගලක්, හක් ගෙඩියක් සතර මහාද්වීප දැක්වෙන සංකේත ආදිය තිබී ඇත. මෙහි දිව්‍ය ලෝකයේ දෙවියන් වලාකුල් අතර ගැවසෙන අයුරු නිරුපනය කරන ඉතා විසිතුරු සිතුවම් වලින් සපිරි ධාතු ගර්භය කොටස මිහින්තලේ පුරා විද්‍යා කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.

වටදාගේ

DSC07698

DSC07669

අම්භස්තල දාගැබ නැතහොත් සේල චෛත්‍යය ලෙස හැඳින්වෙන වටදාගෙය මිහිඳු මාහිමියන්ට දේවානම්පියතිස්ස රජු මුලින්ම මුණගැසුන ස්ථානයේ හා බුදුරජානන් වහන්සේ තුන්වැනි වර මෙහි වැඩම කල අවස්ථාවේ පන්සියයක් මහා රහතන් වහන්සේලා සමග ටික වෙලාවක් සමවත් සුවයෙන් වැඩ සිටි ස්ථානයේ  ඉදිකර ඇති බවට බවට විශ්වාස කෙරේ. මහා දාඨික මහා නාග රජු විසින් පළමුවන සියවසේ මෙය කරවන ලදැයි සැලකේ.  දෙවන සියවසේදී කනිට්ඨතිස්ස රජතුමා වටදා ගෙය කරවූ බවටත් පසු කාලයන්හිදී තවත් රජවරුන් එය ප්‍රති සංස්කරණය කළ බවත් සඳහන්වේ.  මෙහි සිරිපතුලක් සහිත චන්ද්‍රකාන්ති පාෂාණය පිහිටුවා  තිබේ. _DSC7403

චන්ද්‍රකාන්ති පාෂාණය

DSC07719
නිම නොකළ කර්මාන්තයක්

ආරාධනා ගල

DSC07672

_DSC7440

මිහිඳු හිමියන් දේවානම් පියතිස්ස රජුට “තිස්ස” කියා ඇමතුවේ මෙහි සිට යයි කියති. මේ මුදුනට නැගී විට අවට ප්‍රදේශය මනාව දර්ශනයවේ.

මිහිඳු ගුහාව

DSC07707

වටදා ගෙයින් නැගෙනහිර බැවුම ඔස්සේ ටික දුරක් ගියවිට මිහිඳු හිමියන් විවේකිව සිටි බවට විශ්වාස කෙරෙන මිහිඳු ගුහාව හමුවේ. මේ ලෙන මිහින්තලේ සියලු ලෙන් අතර වඩාත්ම පුජනිය ලෙන ලෙස පිළිගැනේ.

මහා සෑය

DSC07676

මිහින්තලා පුදබිම් සංකීර්ණයේ ඇති විශාලතම දාගැබ මහාථූපය, මහාචේතිය නම් වලින්ද හඳුන්වනු ලබන විෂ්කම්භය අඩි 136ක් පමණ හා  උස අඩි 153 ක් පමණ වන මහදාඨික මහානාග රජතුමා විසින් කරවා ඇති  මේ මහා සෑයයි. පුජාවලියේ හා හතරවන මිහිඳු රජුගේ මිහින්තලා පුවරු ලිපියේ අම්බුළු දාගැබ ලෙස හඳුන්වා ඇති මේ දා ගැබේ බුදුරජානන් වහන්සේගේ ඌර්න රෝම ධාතුව නිධන් කොට ඇති බව කියවේ.

DSC07680

බුද්ධ ප්‍රතිමාව

මිහිඳු සෑය

_DSC7443

මිහිඳු සෑය

මිහිඳු මහරහතන් වහන්සේගේ භෂ්මාවශේෂ වලින් කොටසක් නිදන් කොට දේවානම්පියතිස්ස රජතුමාගේ බාල සොයුරු උත්තිය රජු විසින් ක්‍රිස්තු පුර්ව දෙවන සියවසේ ඉදිකරන ලද්දකි මිහිඳු සෑය.  

නාග පොකුණ

අම්බස්තලය දාගැබට  බටහිර දෙසින් නාග පොකුණ පිහිටා ඇත. ක්‍රි.ව. 575-608 කාලයේ රජකළ පළමුවන  අග්ගබෝධි රජු විසින් සිංහ පොකුණ, දාන ශාලාව ආදී ස්ථාන සඳහා සහ මිහින්තලා වාසි භික්ෂුන වහන්සේලාගේ  ජල වුවමනාව සැපිරීම සඳහා නාග සොන්ඩි  නම් විල සංවර්ධනය කොට ඇත. දැන් එය නාග පොකුණ හැඳින්වේ.

ඇත් වෙහෙර

මිහින්තලාවේ  උසම ස්ථානය ඇත් වෙහෙර කන්දයි. නාග පොකුණේ සිට පියගැට 600 ක් පමණ ඉහලට නැගිවිට ඇත් වෙහෙර හමුවේ. දා ගැබේ  විෂ්කම්භය මීටර් 27 ක් පමණ වේ.

ඉඳිකටු සෑය

DSC07861

මිහින්තලයේ වැඩ විසු භික්ෂුන් වහන්සේලාගේ චීවර මසා ගැනීමට භාවිතා කළ ඉඳිකටු තැන්පත්කොට මේ ස්තුපය ඉදිකළ බව ජනප්‍රවාදයේ එයි. ක්‍රි.ව. 8 -9  සියවස්වල ඉදිකරන්නට ඇති බවට සැලකෙන මේ ස්තුපය අඩි 20 ක් පමණ විශ්කම්භයෙන් යුක්තය. මේ ආසන්නයේ මහායාන නිර්මාණ ලක්ෂණ ඇති  පංචාවාස ගොඩනැගිල්ලක, ප්‍රතිමා ගෘහයක හා  ජන්තාඝරයක නටබුන් හා පොකුණක් දක්නට ඇත.

කටු සෑය

DSC07856

ජනප්‍රවාදයේ සඳහන් වන්නේ මිහින්තලා ආරාමය ඉදිකිරීමට භාවිතා කළ ආයුධ තැන්පත් කොට මේ  කටු සෑය ඉදිකළ බවයි. මේ ස්ථානයෙන් මහා යාන සුත්‍ර පාඨ ඇතුලත් තඹ තහඩු හමුවී ඇති බැවින් මෙයද 8 – 9 සියවස්වල ඉදි කරන ලද මහායාන සම්ප්‍රදායේ විහාර සංකීර්ණයක් බවට විශ්වාස කෙරේ.

කළු දිය පොකුණ

DSC07807DSC07813DSC07833DSC07809DSC07815

 

පොකුණේ ඇති ජලය කළුවන් පැහැයට පෙනෙන බැවින් කළුදිය පොකුණ නම් ලද පොකුණ ආසන්නයේ පිහිටි ගල් ලෙන්, ස්නානාගාර, දාගැබ්, පිරිවෙන් භාවනා ශාලා ආදියේ නටබුන් හා සෙල් ලිපිවල සටහන් අනුව මේ ස්ථානයේද ආරාම සංකීර්ණයක් තිබී ඇති බව පැහැදිලිවේ. ක්‍රි.ව. 898 –  914 කාලයේ රජ කළ හතරවන කාශ්‍යප රජතුමා විසින් ධම්මරුචි සංඝයා වහන්සේලා වෙනුවෙන් ඉදිකොට ඇති “හදසුන්හ” විහාරය  බව විශ්වාස කෙරේ. පරිසරයට හානියක් නොවන පරිදි ගොඩනැගිලි ඉදිකිරීමේ සම්ප්‍රදායික තාක්ෂණය නිරුපනය වන හොඳම ස්ථානය ලෙස කළුදිය පොකුණ හඳුන්වයි.

රාජ ගිරි ලෙන කන්ද

DSC07845

මේ කුඩා කඳු ගැටයේද ගල් ලෙන් කීපයක් හා පොකුණක් ඇත. මේ ලෙන් වාසස්ථානය කොට ගෙන සිටින්නට ඇත්තේ තවුස් දිවියක් ගතකල භික්ෂුන් වහන්සේලායි. මේ ලෙන් වලද බ්‍රාහ්මි අක්ෂර වලින් ලියා ඇති ලිපි හමුවී ඇත. ඊට අමතරව 9 වන සියවසට අයත් නගරි අක්ෂර වලින් ලියු ටැම් ලිපියක්ද හමුවී ඇත.

සිංහලයාගේ බෞද්ධ සංස්කෘතියේ නිජබිම වූ මිහින්තලේ තවම සම්පුර්ණයෙන් නිරීක්ෂණය කොට අවසන් කර නැත. 3 වන සියවසේ අග භාගය පමණ වනතුරු මේ විහාරය මහා විහාරයට අයත්ව තිබුනද, මහසෙන් රජු විසින් එය අභයගිරි විහාරයට පවරා දී ඇති බව පෙනේ. ෆාහියන් හිමියන් 5 වන සියවසේදී මිහින්තලේ 2000 ක් පමණ භික්ෂුන් වහන්සේලා වැඩ සිටි බව සඳහන්කර ඇත. වැඩිම ස්තුප ගණනක් තිබුණු ආරාමය වී ඇත්තේ මිහින්තලේය.12 වන සියවසේදී මහා පරාක්‍රමබාහු රජතුමා ස්තුප 64 ක් ප්‍රතිසංස්කරණය කළ බව කියති.

මේ භුමියේ සැඟවී ඇති සිංහලයාගේ සංස්කෘතික සලකුණු කවදා හෝ  හෙළි කරගනු ඇතැයි අපි විශ්වාස කරමු.

 

 

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.