ගිරිහඬු සෑය – තිරියාය Girihandu Seya – Thiriyaya

 

ශ්‍රී ලංකාව ඈත අතීතයේ සිටම විදේශ වෙළඳුන්ට වැදගත් වෙළඳ පොළක් වී තිබිණ. ඔවුහු ශ්‍රී ලංකාවෙන් මුතු, මැණික්, කුළුබඩු ආදිය රැගෙන ගියා සේම නැව් පුරා විවධ භාණ්ඩ වෙළඳාම සඳහා රැගෙන ආහ. මෙසේ වෙළඳාමට පැමිණි වෙළඳුන් දෙදෙනෙකුගෙන්  වෙළඳ භාණ්ඩ වලට වඩා ඉමහත් වටිනාකමකින් යුත් දායාදයක් ශ්‍රී ලාංකිකයනට ලැබී ඇත. ඒ අද ශ්‍රී ලාංකිකයින්ගේ උරුමයක් බවට පත්ව ඇති, බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතූන් නිධන් කොට තැනූ ගිරිහඬු සෑයයි.

බුද්ධත්වයට පත්වීමෙන් පසු බුදුරජානන් වහන්සේට විලඳ, මීපැණි, අත්සුණු ආදියෙන් සමන්විත පළමු දානය පුජා කරන ලද්දේ ගැල් පුරා වෙළඳ බඩු රැගෙන ගිය තපස්සු හා භල්ලුක නම්වූ වෙළඳුන් දෙදෙනෙකු විසිනි. එම පුජාව පිළිගත් බුදුරජාණන් වහන්සේගේ පුණ්‍යාණුමෝදනාවෙන් සිත් පහදවාගත් මේ වෙළඳුන් බුදුන් දහම් සරණගොස් බෞද්ධෝපාසකයන්වී වැඳුම් පිදුම් කිරීම සඳහා බුදුරජාණන් වහන්සේගෙන් යමක් අයැද සිටින ලදී. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ තම හිස පිරිමැද කේශ ධාතුන් ස්වල්පයක් දුන් බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන්වේ. මේ කේශ ධාතූන් රන් කරඬුවක තැන්පත් කොට වෙළඳාමේ යද්දී වන්දනා මාන කිරීම සඳහා රැගෙන ගොස් ඇත. ඒ වෙළඳුන් වෙළඳාම සඳහා ගිය බුරුමය, ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය ලංකාව ආදී රටවලදී එම කේශ ධාතූන් දෙනම බැගින් තැන්පත්කොට දාගැබ් පිහිටවූ බව කියති. බුරුමයේ රැන්ගුන් සෑයේ නිධන් කොට ඇත්තේ කේශ ධාතූන් බව සැලකේ. එමෙන්ම හියුන්සාන් නම් චීන භික්ෂුන්වහන්සේගේ ගමන් විස්තරවල ඇෆ්ගනිස්ථානදී  කේශ ධාතූන් නිධන් කොට තැනූ චෛත්‍යයකට වන්දනාමාන කරනු දුටු බව ලියා තිබේ.

ලක්දිවට වෙළඳාම සඳහා පැමිණි තපස්සු හා භල්ලුක වෙළඳුන් එකල ප්‍රධාන තොටුපලක් වූ ත්‍රිකුණාමලය පෙදෙසේ යාන් ඔය මුහුදට එක්වෙන තිරියාය ගල් වරායට ගොඩබට බවත්, පසුව ඒ අසල පිහිටි ගිරිකණ්ඩ පර්වතය නමින් හැඳින්වූ කදු මුදුනට ගොස්  කේශ ධාතූන් තැන්පත් කොට තිබු මංජුසාව එහි ගල් පර්වතයක් මත තබා තම වෙළඳාම් ආදී කටයුතුවල යෙදුණු බවත්, ආපසු යනවිට ඒ  මංජුසාව රැගෙන යාමට උත්සාහ ගනිද්දී එය ආපසු ගත නොහැකි ලෙස එම ගලටම සවිව තිබු බවත්, ඒ නිසා එය නිධන් කොට ඒ ස්ථානයේ මහත් භක්තියෙන් දාගැබක්  තැනවූ බවත් පුරාවෘත වල සඳහන් වේ.

ක්‍රි.ව.733 රජවූ අග්‍රබෝධි සිලාමෙඝ රජ සමයේ ලියැවුනු සෙල් ලිපියක් මෙහි ඇත. සංස්කෘත භාෂාවෙන්  පල්ලව අක්ෂර වලින් ලියා ඇති පේලි 11 කින් සමන්විත අඩි 20 X 5 පමණවූ මේ සෙල් ලිපිය ගිරිහඬු සෑය වර්ණනා කොට  වන්දනා කෙරෙන ගීත 11 ක් බව නිගමනය කොට ඇත. මෙහි අවසානයේ සඳහන් වන්නේ ගිරිකණ්ඩි චෛත්‍යය ත්‍රපුස්සක හා වල්ලික යන වෙළෙඳ ශ්‍රේණීන් විසින් පිහිටුවන ලද බවකි.

ගිරිහඬු සෑය පිහිටා ඇත්තේ ත්‍රිකුණාමලයට කිලෝමීටර් 45 ක් පමණ උතුරෙන් පිහිටි තිරියාය ගමට මඳක් බටහිරින් වන මුහුදු මට්ටමෙන් අඩි 210 ක් පමණ උස් වූ දර්ශණීය කඳු ගැටයක් මතයි. නිතිපතා දැල්වුණු පහනක් තිබුණු නිසා මෙය නිතුපත්පාන නමින් හැඳින්වී ඇත. එහෙත් ගිරිහඬු සෑයේ නටබුන් සහ සෙල් ලිපි ආදිය ගවේෂණ කරන ලද 1929 පමණ කාලයේදී මේ ප්‍රදේශය හඳුන්වා ඇත්තේ නිතුපත්පාණ ලෙස නොව  තිරියාය ලෙසයි.

ගිරිහඬු සෑ මළුවට පිවිසෙන මාර්ගය පසෙක එකල නිතුපත්පාන වැවට යාන් ඔයෙන් ජලය ගෙනගිය ඇල   මාර්ගය තරණය කරන්නට තැනූ ගල් පාලමක නටබුන් දැකිය හැකිය.

_DSC7398

ගල් පාලම

_DSC7400_DSC7402_DSC7401

පොකුණු

ගිරිහඬු සෑ මළුවට පිවිසෙන්නට පොකුණු දෙකක් අතරින් ඇති මග ඔස්සේ ඇති පියගැටපෙළ තරණය කළ යුතුවෙයි. මේ කලාත්මක පියගැට පෙළද රජ සමයේ ඉදිවූ සෙනරත් පරණවිතාන ආදී විද්වතුන්ගේ නොමඳ පැසසුමට ලක්වූවකි. මේ පඩි පෙළ සඳහා නිර්මිත අත්වැල් ලීස්තර බේරා කැටයමින් යුත්, ලංකාවේ වෙනත්  කිසිදු ප්‍රදේශයකින් හමු නොවූ ආකාරයේ අපුරු නිමැවුමකි.

_DSC7403

පියගැටපෙළ

මේ පඩිපෙළ ඔස්සේ ගියවිට සෙල් ලිපියද බැලිය හැකිය. සෙල් ලිපියට අඩි 150 ක් පමණ දුරකින් ඇල්දිය උල්පතක්ද ඇත. නැවත පඩි ඔස්සේ උතුරු දෙසට මඳක් ගියවිට එය බටහිර දෙසට හැරි ඇත. මේ වංගුවෙන් උතුරේ ලංකාවේ හැඩය ගත් අඩි 100 X 30 පමණ වූ පොකුණ අලංකාර නිර්මාණයකි. පඩි පෙළ ඔස්සේ තවත් ඉහලට නගින විට වාහල් කඩේ හා මළුවේ ප්‍රාකාරයේ නටබුන් හමුවේ. මෙහි උතුරු දෙසින් වන පියගැටපෙළ පාමුල පොකුණු දෙකක් හා ගල් කණු කොරවක් ගල් ආදියෙන් සමන්විත  මැදුරක නටබුන් වේ.

_DSC7459_DSC7413

වාහල්කඩ දොරටුවෙන් ඇතුළු වූ පසු ගිරිහඬු සෑ වටදාගෙය හමුවේ. මෙහි වැලි මළුවේ පසෙක  ගඩොලින් නිමවූ චෛත්‍යයක් හා අඩි 6.5 X 4 පමණවන තනි කළුගලින් නිමවූ ජල බඳුනකි. නැගෙනහිර පියගැට පෙලට වම්  පසින් පිළිම ගෙයක නටබුන් දැකිය හැක. මේ ආසන්නයේ තවත් පිළිම ගෙවල් දෙකක නටබුන් පෙනේ. මේවායේ මුරගල් හා කොරවක් ගල් ආදිය  අපුරු නිර්මාණ වේ.

_DSC7414

_DSC7418

කළුගලින් නිමවූ ජල බඳුන

වටදා ගෙයට දකුණෙන් හා බටහිරින් ඔත් පිළිම ගෙයක හා හිටි පිළිම ගෙයක නටබුන් ඇත. තවත් විශාල ගොඩනැගිල්ලක හා දෙවොලකැයි අනුමාන කෙරෙන නටබුන්ද දැකිය හැකිය.

_DSC7433_DSC7437_DSC7435

නටබුන්

වටදාගේ

_DSC7434_DSC7439_DSC7438

මේ පුදබිමේ ඉතාමත් ආකර්ශනිය නිර්මාණය වන්නේ සිලාමේඝ රජ සමයේ ඉදිකෙරුණු  වටදාගෙයයි. වටදාගෙය මධ්‍යයේ කේශ ධාතූන් නිධන් කොට තැනූ ගිරිහඬු සෑයයි. කුඩා පරිමානයේ සෑයක්ව තිබු මේ සෑයද සිලාමේඝ රජ පුළුල් කොට බඳවා ඇත. දැන් මෙහි විෂ්කම්භය අඩි 32.5 ක් පමණවන අතර වටදාගෙයි මලුවේ  විෂ්කම්භය  අඩි 79 ක් පමණ වේ. මෙහි දාගැබේ සිට අඩි 3.25 ක් හා අඩි 16 පමණ දුරින් වනසේ  එක වටයක කුළුණු 16 ක් හා අනෙකේ කුළුණු 32 ක් වශයෙන් කුළුණු වට දෙකක් තිබී ඇත. කුළුණු හිස සමග තනි ගලින් නිමවූ  පිට වටයේ කුළුනක උස අඩි 14.5 ක් පමණ වේ. මිට අමතරව ලී කණු පෙලක්ද  උපයෝගී කරගෙන වහල නිමකර තිබෙන්නට ඇතැයි අනුමාන කෙරේ. වටදාගෙයට ඇතුළුවීම සඳහා සිව්දෙසින්ම් වාහල් කඩ හතරකි. ඒ ඉදිරියේ  සමාධි පිළිම තැන්පත් කර තිබු ගල් ආසන හතරකි. එක සමාධි ප්‍රතිමාවක් ශේෂව ඇත.

_DSC7421_DSC7420

වාහල් කඩවල ශෛලමය උළුවහු දෙකක් බැගින් ඇත. සලපතල මලුව වැලි මළුවට වඩා අඩි 4 යි අඟල් 4 ක් පමණ උසින් පිහිටි බැවින් ඊට පිය නැගීමට අලංකාර කැටයමින් යුත්  මුරගල් හා කොරවක් ගල් සහිත පියගැටපෙළ හතරකි.

_DSC7419

ඒ කැටයම් ආදිය හා ඉදිරිපස සඳකඩ පහන් අනුරාධපුරයේ ථුපාරාම ආදියේ කැටයම් ආදියට වඩා පැරණි බව පෙනේ. වටදාගේ ඇතුලතින් බිත්ති අඩි 6 ක් පමණ උසය.පිටතින් අඩි 10.5 ක් පමණවේ. පනා බැම්ම අඩි 2 යි අඟල් 4 ක පමණ ගනකමින් යුක්තය.

_DSC7411

නිතුපත්පාන වැවේ වන අලියෙක්

_DSC7404

ලෙන්

මිහිඳු මාහිමියන්ගේ ලංකා ගමනෙන් පසු මේ පුදබිමේද ලෙන්වල කටාරම් කොටා මහ සඟරුවනට පුජා කොට ඇත. ක්‍රි.ව. පස්වන සියවස පමණ වනවිට ගිරිහඬු සෑය පිහිටා ඇති පුදබිම නිතුපත්පාන යනුවෙන් හැඳින්වෙන  රහතන් වහන්සේලා පවා වැඩසිටි ථෙරවාදී පුදබිමකි. අටවන සියවස පමණ වන විට මෙය මහායානික පුදබිමක් බවට පත්ව ඇති බව පෙනේ. තිරියාය සෙල් ලිපියෙහි අවලෝකිතේශ්වර හා මංජු ශ්‍රී යන බෝධිසත්ව වරුන්ද වන්දනා කොට  ඇත. අවලෝකිතේශ්වර බෝධි සත්වයෝ නාවිකයන්ගේ විශේෂ වන්දනාවට පාත්‍රවී  ඇත. එහෙයින් වරායක් අසල වූ මේ පුදබිමද ජ්‍යාත්‍යන්තර සබඳතාවයන් නිසා මහායානික ඉගැන්වීම් වලට විශේෂ තැනක් දෙන්නට ඇත. විදේශ වලද ධර්ම ප්‍රචාරක කටයුතු කල අමෝඝ වජ්‍ර නම් මහායානික තෙරුන් වහන්සේ එකල මෙහි අධිපතිත්වය දරා ඇත.  

පුරාවිද්‍යා ගවේෂණ වලින් අනාවරණය වී ඇති පිළිම ගෙවල් හයෙන් දෙකක් අවලෝකිතේශ්වර හා මංජු ශ්‍රී යන බෝධිසත්වයන් උදෙසා යයි සිතති. 1983 දී කරන ලද කැණීම් වලදී කුඩා බුදු පිළිම 31, බෝධිසත්ව පිළිම 11 ක්‌, හා තාරා දෙවඟනගේ කුඩා පිළිම 3 ක්‌ හමුවී ඇත.

දොළොස්වන සියවසේදී සිදුවූ සොළී ආක්‍රමණ නිසා ජනයා මේ පෙදෙස් අතහැර ගිය බැවින් මේ පුදබිම වල් බිහි වින. සියවස් ගණනනාවක් තිස්සේ වනය තුල සැඟව තිබු මේ පුදබිම ගන්දර ධර්මකීර්ති ශ්‍රී ආනන්ද මාහිමියන්ගේ හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැපවීමෙන් ඉටුකරනලද කාර්ය භාරය නිසා එලි පෙහෙළි වින. ඉන් පසු ගන්දර ධර්මකීර්ති ශ්‍රී ආනන්ද නාහිමියන් මේ පුදබිමේ භාරකාරිත්වයට පත්විණ. එහෙත් 1985 දී පමණ කොටි ත්‍රස්තවාදීන මේ ප්‍රදේශය ග්‍රහණයට ගෙන කරන ලද බෝම්බ  පිපිරවීම් ආදී හේතු නිසා මේ පුදබිමේ ඉදිකර තුබූ ගොඩනැගිලි නැවත විනාශයට පත්විය. නැවත 2002 පමණ සිට මෙහි සංවර්ධන කටයුතු ආරම්භ වී ඇත.

_DSC7465

බෝධිය

මේ පුදබිම දැක බලා ගැනීම මෙන්ම රැක බලා ගැන්මද අපේ යුතුකමයි.

_DSC7453

girihanduseya

ගමන් මඟ

එන්.එච්. සමරසිංහ  2018.03.10

Protected by Copyscape

9 Comments

  1. වටිනා ලිපි සම්බාරයක් ඇති ඔබගේ අඩවිය අහම්බයෙන් වගේ නෙත් ගැටුණා. මෙම අඩවිය ජනප්‍රිය සින්ඩිකේටරයන් වෙත යොමු කරන්නේනම් බොහෝ දෙනෙකුට කියවීමට අවස්ථාව ලැබෙනවා ඇත.

    ස්තුතියි……

    ඔබට ජය!

    Liked by 1 person

    1. මගේ ලිපි කියවූවාට ස්තුතියි. මා ගිය ගමනක ආගිය තොරතුරු කියනවාට වඩා ගමනාන්තයේ ඇති වැදගත්කම බොහෝ දෙනාට දැනගන්නට සැලැස්වීම වඩාත් පලදායක යයි සිතු බැවින් මෙසේ ලියන්නට පටන් ගතිමි. තවත් බොහෝදේ ලියන්නට ඇත. ලිපි අගය කිරීම හා මගේ අදහස වැඩි දුරටත් සපල කරගන්නට අදහස් දැක්වීම මට මහත් ධෛර්යයකි.

      Liked by 1 person

  2. මෙවන් දැනුම් සම්භාරයක් ලබාදීම ගැන අතිශය ස්‍තූති වන අතර රටේ අතීතය වැලලී යන මෙවන් යුගයක තවත් ඉතිහාස දැනුම බෙදා දීමට තෙරුවන් බෙලන් සියලු දෙවි රැකවරණින් ඔබට හැකියාව
    ලැබේවා !

    Liked by 1 person

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.