ඉසුරුමුණිය, අනුරාධපුරය – ISURUMUNIYA, ANURADHAPURAYA

හෙළයන්ගේ පළමු අගනුවර වූ ක්‍රිස්තු පුර්ව 380 දී පමණ පණ්ඩුකාභය රජතුමා පිහිටවූ අනුරාධපුරය ලෝකයේ පැරණිතම නගරයන්ගෙන් එකකි. එමෙන්ම හෙළ ඉතිහාසයේද වැඩිම කාලයක් අගනුවර බවට පත්ව තිබු අනුරාධපුරය, ශ්‍රී ලංකාවේ මෙතෙක් හෙලිදරව් කරගෙන ඇති  වැඩිම ඓතිහාසික ස්මාරකයන් ප්‍රමාණයකට හිමිකම් කියන නගරයද වෙයි. අනුරාධපුර අටමස්ථානය වන්දනාවේ යන බොදු බැතිමතුන්ට පවා මේ බොහෝ ඓතිහාසික පුජනිය ස්ථාන මගහැරියයි. එහෙත් අනුරාධපුර අටමස්ථානයට අයත් නොවන සිද්ධස්ථානයක් වුවත් මේ හැමදෙනාම පාහේ නොවරදවාම සැදැහැසිතින් යන ස්ථානයකි ඉසුරුමුණිය රජ මහා විහාරය. මේ විහාරස්ථානයට කීප වරක්ම යන්නට මට අවස්ථාව ලැබිණ.

Isurumuniya

ලෙන් විහාරය

මිහිඳු මා හිමියන් මේ ස්ථානයේ වැඩසිටි බව දැනගතිමි. එකල මෙය “මේඝගිරි” විහාරය නමින් හැඳින්වූ බව කියති. වර්ෂාව ලබා ගැනීම සඳහා උත්සව පැවැත්වූ මෙඝ වන නම්  රජතුමාගේ මගුල් උයන පිහිටා ඇත්තේද මේ ආසන්නයේය. දේවානම් පියතිස්ස රජතුමා මේ විහාරය කරවුයේ මිහිඳු හිමියන් ළඟ පැවිදිවූ එතුමාගේ බෑනා කෙනෙකුවූ අරිට්ඨ කුමාරයා ඇතුළු පන්සියයක් වෛශ්‍ය කුලයේ දරුවන් වෙනුවෙනි. වංශ කතා පොත්වල මේ විහාරය “ඉස්සරසමනාරාම”, “කසුන්ගිරි වෙහෙර” ආදී නම් වලින් හඳුන්වා ඇත.

Isurumuniya

බෞද්ධ ඉතිහාසයේ ඉසුරුමුණියට ඉතා වැදගත් ස්ථානයක් හිමිවේ. හතරවන සියවස පමණ වනවිට මේ විහාරය අභයගිරියට අයත්ව තිබී ඇත. ලංකාවට වැඩම කරවන ලද බුදුරජාණන්වහන්සේගේ දන්ත ධාතුව මුලින්ම තැන්පත් කොට තිබී ඇත්තේ මේ ඉසුරුමුණිය විහාරයේය.

ඉසුරුමුණි විහාරයේ විහාර ගෙවල් දෙකක් දුටිමි. ලෙන් විහාරය යනුවෙන් හැඳින්වෙන දර්ශනීය කුඩා විහාරගෙය මිහිඳු පොකුණට ඉහලින් ඇත. පර්වතය ඉදිරියේ වේදිකාවක් මත ඉදිවූ මේ විහාරගෙයට පිවිසීමට  ගලින් නිමකළ පඩි කිපයක් ඇත. පඩි පෙල දෙපස මුරගල් දෙකක් හා කැටයම් කළ කොරවක් ගල් හා ඉදිරිපස සඳකඩ පහනක් තිබේ. විහාරයේ උළුවස්ස, මකර තොරණ, ආසනය හා ඉඳි බුදු පිළිමය එකම ගලෙන් නෙලා ඇති බව කියති.

Isurumuniya

මකර තොරණ

ලංකාවේ ගලෙන් නෙළන ලද පළමුවන බුදු පිළිමය මෙය බවට අදහස් ප්‍රකාශවී ඇත. මේ පිළිමය බදාමෙන් පිරියම් කොට වර්ණාලේපිත කොට ඇත. පිළිමයට පිටුපසින් තවත් මකර තොරණක් නිමවා ඇත. විහාරයේ බිත්තිවල සූවිසි විවරණ සිතුවම් වේ..

Isurumuniya

Isurumuniya

පඩි පෙල දෙපස මුරගල්

අනෙක් විහාරගෙය මෑතකදී තනවන ලද්දකි. මෙහි බුදුරජානන් වහන්සේගේ ඉඳි පිළිමයක්, හිටි පිළිමයක් හා ඔත් පිළිමයක් පිහිටුවා තිබේ. විහාරගේ කෙලවර මිහිඳු ගුහාව ලෙස හැඳින්වෙන ගල් ගුහාව දැකිය හැකිය. අඩි 20 ක් පමණ දිග, අඩි 10 ක් පමණ උස මේ ගුහාව කටාරම් කොටා පිළියෙළ කොට ඇත. ගුහාවතුල මිහිඳු හිමියන් සැතපුන බවට විශ්වාස කෙරෙන ගල් ආසනයක් ඇත. විහාරයේ මෑතකදී සිතුවම් කරන ලද ඉසුරුමුණියේ ඉතිහාසය දැක්වෙන බිතුසිතුවම් රාශියකි.

Isurumuniya

විහාරගේ කෙලවර මිහිඳු ගුහාව

Isurumuniya

ඉසුරුමුණි ගල් පර්වතය මත අඩි 30 ක් පමණවූ මළුවේ ඉදිකර ඇති චෛත්‍යය අඩි 25 ක් පමණ උසකින් හා අඩි 75 ක් පමණ වට ප්‍රමාණයකින් යුක්තය. මෙහි සර්වඥ ධාතුන් වහන්සේලා නිධන්කොට ඇති බව විශ්වාසයයි..

Isurumuniya

චෛත්‍යය 

ශ්‍රී මහා බෝධියෙන් හටගත් අෂ්ට පලරුහ බෝධීන් වහන්සේලාගෙන් එකක් දෙවන පෑතිස් රජතුමා විසින්  මෙහි රෝපණය කොට ඇත.

Isurumuniya

බෝධීන් වහන්සේ

ඉසුරුමුණි විහාරයේ තවත් ඉතා වැදගත්  අංගයක් වන්නේ එහි ඇති විශිෂ්ට ගල් කැටයම්ය. චෛත්‍යය ආසන්නයේ ගලක කැටයම් කළ සිරිපතුලකි.

Isurumuniya

සිරිපතුල

ලෙන් විහාරයට ඇතුළුවන පඩි පෙලෙහි සඳකඩ පහන, මුරගල් කොරවක් ගල් හා මකරතොරන  ආදියෙහි ඇති කැටයම් ඉතා අලංකාරය.

Isurumuniya

තවත් විශේෂිත කැටයමක් ලෙස දුටුවේ ලෙන් විහාරයේ දකුණු පැත්තේ ගලේ නෙළා ඇති හත්වන සියවසේ පල්ලව සම්ප්‍රදායට නෑකම් කියන අශ්ව හිස හා මිනිස් රුවේ කැටයමයි.

Isurumuniya

අශ්ව හිස හා මිනිස් රුවේ කැටයම

මේ කැටයම කුමක්දැයි තවම නිගමනයකට පැමිණ ඇති බවක් නොපෙනේ.  මෙහි දැක්වෙන්නේ සෙබලෙකු හා ඔහුගේ අශ්වයා බව හෙන්රි පාකර් නම් නිලධාරියෙකු කියා ඇත. ආනන්ද කුමාරස්වාමි මහතා කියන්නේ මේ කපිල ඉසිවරයා හා ඔහුගේ අශ්වයා බවයි. මේ හින්දු සාධුවරයෙක් බව ලෝංහර්ස්ට් නම් පුරා විද්‍යාඥයා කියන අතර මේ මහා ඇලෙක්සැන්ඩර් රජු බව ඩී.ටී. දේවේන්ද්‍ර මහතා කියනවා. එල්.ටී.පී. මංජු ශ්‍රී මහතා කියන්නේ මේ අනංගයා කියලයි. මේ වර්ෂාවට අධිපති පර්ජන්‍ය නම් දෙවියා  හා අග්නි නම් දෙවියා බවයි සෙනරත් පරණවිතාන මහතාගේ අදහස. කෙනෙක් මේ අවලෝකිතේශ්වර දෙවියන්ගේ බව කියන අතර කෙනෙක් මේ අයියනාර් දෙවියා බව කියනවා. ජේ.බී. දිසානායක මහතාගේ අදහස මේ අනුරාධපුරය ගොඩනැගු පණ්ඩුකාභය රජතුමා හා එතුමාට රජවීමට උදව්කල චේතියා නම් වෙලඹකගේ වෙස් ගෙන සිටි යකිනියගේ බවයි.

Isurumuniya

ප්‍රීති වෙන ඇතුන්

ලෙන් වීහාරය දකුණු පැත්තේ ඇති පොකුණට මායිම්ව ඇති ගල් පර්වතයේ ජලයේ බැස ප්‍රීති වෙන ඇතුන්ගේ කැටයමක් පෙනේ. මෙඝගිරි ලෙස හැඳින්වූ මේ විහාරයේ වර්ෂාව පතා පුද පුජා පවත්වා ඇති බැවින් වර්ෂාව ලැබීමෙන් ඇත්තු සතුටු වෙන කැටයමක් නෙළා ඇතිබව සිතිය හැක.

Isurumuniya

කෞතුකාගාරය

මේ ස්ථානයේ පිහිටුවා ඇති කෞතුකාගාරයේ මේ පරිශ්‍රයේ තිබී හමුව ඇති අනුරාධපුර යුගයේ පුරා වස්තු ප්‍රදර්ශනයට තබා තිබේනු දුටුවෙමි. මෙහි  ඇති ඉතා වැදගත් ප්‍රදර්ශණ භාණ්ඩය දෙකක් ලෙස පෙණුනේ ඉසුරුමුණි පෙම් යුවල නිරුපනය වන ගල් කැටයම හා රජ වාසල දර්ශනයක් අඩංගු වන ගල් කැටයමයි.. මේ කැටයම් මේ ආසන්නයේ ඇති රන්මසු උයනේ තිබී සොයාගෙන ඇත. ගුප්ත මුර්ති කලාවේ ආභාශය ලැබී ඇති බවට සැලකෙන මේ මුර්ති පස්වන සියවසට පමණ අයත් සේ සැලකේ.

Isurumuniya

පෙම් යුවල

ඉසුරුමුණියේ ලෝකප්‍රකට කැටයම වී ඇත්තේ පෙම් යුවලක් නිරුපනය කර ඇති කැටයමයි. අඩි 3 අඟල් 1 ක් උස හා අඩි 2 අඟල් 3 පළල චතුරශ්‍රාකාර ගල් පුවරුවක අර්ධ උන්නත වශයෙන් මෙය නෙළා ඇත.

ගල් තලයක් මත වාඩිවී  සිටින තරුණයා පිටුපසින් සිටින ආකාරයටත් ඔහුගේ වම්  කලවය මත වාඩිවී සිටින තරුණිය ඉදිරියෙන් සිටින ආකාරයටත් නෙළමින් පෙම් යුවළ ගල් පුවරුවේ සමබරව කැටයම් කොට ඇති අන්දම අපුරුය. තරුණයාගේ හා තරුණියගේ ආංගික අභිනයන්ගෙන් හා සංකේත වලින් ඔවුනොවුන් කෙරෙහි වන ප්‍රේමය හා ස්නේහය මෙන්ම සෘංගාරයද ඉස්මතුකොට දක්වා ඇත. මෙය හෙළ කළා කරුවාගේ නිර්මාණ කෞෂල්‍යයේ විශිෂ්ටත්වය විදහා දක්වන නිර්මාණයකි.

මේ කැටයම ගැනද විවිධ මත පලවී තිබේ. මේ දුටුගැමුණු රජතුමාගේ පුත් සාලිය හා ඔහුගේ සිත්ගත් සැඩොල් තරුණියක වූ අශෝකමාලා ගේ බවයි සෙනරත් පරණවිතාන මහතගේ අදහස. මේ ශිව හා පාර්වතී ලෙසත්, මංජු ශ්‍රී හා ශක්ති ලෙසත්, සෙබලෙකු හා බිරිඳ ලෙසත් විවිධ අදහස් පලවී ඇත. එක් ජනශ්‍රැතියකට අනුව මෙහි නිරුපනය කර ඇත්තේ ජනක නම් සිගිරි සිතුවම් ඇඳි චිත්‍ර ශිල්පියා හා පළමුවන කාශ්‍යප රජුගේ දියණියක වන උප්පලවණ්‌ණාය. මහාචාර්ය ජේ. බී. දිසානායක මහතාගේ අදහස වන්නේ  මේ පණ්ඩුකාභය රජතුමා හා ස්වර්ණපාලි කුමාරිකාව බවයි.

අනෙක් වැදගත් කැටයම වන්නේ රජ පවුලක එක්තරා අවස්ථාවක් දැක්වෙන ගල් කැටයමයි.

Isurumuniya

රජ පවුල

මේ කැටයමේ මැද අන් අයට වඩා තරමක් උස අසුනක රජතුමා අසුන්ගෙන සිටි. ඔහු දකුණත ඔසවා යමක් පැහැදිලි කරන බවක් පෙනේ. ඔහුගේ වමත දේවියගේ උකුල මත ඇති අතර දේවිය දෙඅතින්ම ඒ අත අල්ලාගෙන සිටි. පසෙකින් සිටින කුමරා දෙඅත් පපුව මත තබාගෙන සාවධානව යමකට ඇහුම්කන් දෙන බවක් පෙනේ.   මෙහි සිටින්නේ දුටු ගැමුණු රජතුමා, දේවිය හා සාලිය කුමරු බව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා පවසයි. මේ සාලිය කුමරා හා සම්බන්ද කතාවක එක අවස්ථාවක් විය හැකි බව ඔහුගේ අදහසයි.

IsurumuniyaIsurumuniya

අප්සරා, කින්නර, දේව ආදී නොයෙක් කැටයම් සහිත පුවරු ඉසුරුමුණි කෞතුකාගාරයේදී දැක ගන්නට හැකිවිය.

IsurumuniyaIsurumuniya

මේ සිද්ධස්ථානය වැඳපුදා ගැනීමෙන් හා කලාත්මක නිර්මාණ දැකබලා ගැනීමෙන් අනතුරුව යාමට අදහස් කළේ රන් මසු උයනටයි.

එන්.එච්. සමරසිංහ 2018.05.06

Protected by Copyscape

Advertisements

1 Comment

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.