රන්මසු උයන – Ranmasu Uyana (Royal Goldfish Park)

ස්වාභාවික පරිසරයේ අපුර්වත්වය තීව්‍ර කරමින් තම නිර්මාණ කුසලතාවය හා තාක්ෂණික ඥානය මෙහෙයවා පුරාණ හෙළයන් විසින් කරන ලද මාහැඟි උද්‍යාන අලංකරණයක් අනුරාධපුර ඉසුරුමුණි ව්හාරයේ සිට මීටර් 200ක් පමණ උතුරු දෙසට පිය නැගූ විට හමුවිය. ඒ රන්මසු උයනයි. වසභ රජතුමාගේ කාලයේ අනුරාධපුර නගරයේ වන උයන් හා පොකුණු කරවා ඒවා පස්පියුමින්  අලංකාර කොට මසුන් හා හංසයන් වැනි සත්වයන්ද ඇතිකළ බව මහාවංසය කියයි. ඒ අනුව අනුරාධපුර මුල් අවධියේ සිටම මේ උද්‍යානය ඉතා දැකුම්කලු ලෙස තිබෙන්නට ඇත.

_DSC7246

මහමෙව්නා උයන දෙවන පෑතිස් රජතුමා විසින් මිහිඳු හිමියන්ට පුදන ලද බැවින් රජුගේ මගුල් උයන ලෙසින් රන්මසු උයන  දෙවන පෑතිස් රජ සමයේ සිට භාවිතා කළ බව පුරාවිද්‍යාත්මකව තහවුරු වී ඇති බව කියති. හතරවන මිහිඳු රජුගේ වෙස්සගිරි සෙල් ලිපියේ සඳහන්ව ඇත්තේ තිසා වැව් බැම්මට පහලින් ඇති රන්වන් මසුන් විසූ  පොකුණු සහිත ප්‍රදේශය මගුල් උයන හෙවත් රන්මසු උයන බවයි. උතුරේ සිට දකුණට මිරිසවැටි විහාරයේ සිට ඉසුරුමුණි විහාරය දක්වාද, තිසා වැව් තාවුල්ලේ සිට නැගෙනහිර දෙසටද මේ උයන පැතිරී තිබුන බව වංශ කතාවල සඳහන්ව ඇතැයි කියති.

_DSC7267

රන්මසු උයන සියවස් ගණනනාවක් තිස්සේ කටු කොහොලින් වැසි තිබිණ. මේ උයනේ පොකුණු ආදියට යොදා තිබී ඇති ගල් පුවරු පසුව වෙනත් ඉදිකිරීම් වලට ගෙනගොස් ඇත. එමෙන්ම සමහර කැටයම් ආදිය නිධන් සොරුන් ගෙනගොස් ඇත. මේ උයන පිළිබඳව 1901 දී එච්. සී. පී. බෙල් මහතා වාර්තා කොට තිබේ. ඉන් පසුව 1940 දී පමණ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙහි සංරක්ෂණ කටයුතු අරඹා ඇත. ඒ අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ ස්ථානයේ පිහිටි පොකුණු ආදියේ අඩු ලුහුඬුව තිබු ගල් ලෑලි ආදිය වෙනුවට අනුකරණ ගල් ආදිය  යොදා ඉතා මැනවින් ප්‍රතිසංස්කරණය කොට තිබේ. අද අපට දක්නට ලැබෙන මෙහි ඉදිකිරීම් බොහොමයක් නමවන හෝ දහවන සියවසේදී පමණ කරන්නට ඇතැයි විශ්වාස කෙරේ.

_DSC7265

අක්කර 40 ක පමණ බිම් ප්‍රමාණයක් පුරා පැතිරී ඇති මේ උයනේ කැපී පෙනෙන අංගයක් වනුයේ එහි ඇති පොකුණුයි.  

_DSC7248

ප්‍රධාන පොකුණ

ඉන් ප්‍රධාන පොකුණ සම චතුරශ්‍රාකාරය. එහි  පැත්තක දිග අඩි 20 අඟල් 10 කි. පොකුණට බැසීම සඳහා දකුණු පැත්තෙන් පිටතට නෙරූ පියගැට   පෙළක් ඇත. පැති බැමි තට්ටු දෙකකට තනා ඇති බැවින් පොකුණ පතුලේ පැත්තක දිග අඩි 18 අඟල් 10 කි. පොකුණේ ගැඹුර අඩි 4 අඟල් 6 කි. මෙහි  ජලය බැසයාම සඳහා පතුලේ ඊසාන දෙසින් විවරයක් ඇත.

_DSC7248-001

පොකුණ තුල විමාන කැටයමක් 

මේ පොකුණට මඳක් ඉහලින් බටහිර පැත්තේ තවත් කුඩා පොකුණකි.

DSC07590

කුඩා පොකුණ

එහි පළල අඩි 12 අඟල් 3 කි. පැති බැමි තට්ටු තුනකින් යුක්තය. මේ බැම්මේ ගල් කණු සිටුවා ඊට වහලක් තනා තිබු බව පෙනේ. මේ පොකුණට ඉහලින් ධාරා ගෘහය නමින් හැඳින්වෙන අඩි 12 අඟල් 6 ක් දිග, අඩි 7 ක් පළල ආදී 6 අඟල් 9 ක් උස කාමරයක් ඇත. පොකුණේ සිට ඊට ඇතුළුවීමට පියගැට තුනකි. ඒ පියගැට  දෙපස මකර රුප හා ඉදිරිපස පුන් කලස් දෙකක් කැටයම් කොට ඇත. මේ කාමරයට ඉහලින් ගඩොල් වලින් කල අඩි 36 දිග 23 ක් පළල මණ්ඩපයක් ඉදිව තිබී ඇත. මිට ඇතුළුවීම සඳහා වෙනම පියගැටපෙළක් තිබේ.

_DSC7247

මණ්ඩපයේ නටබුන් 

අභ්‍යන්තර නල මාර්ගයෙන් ගෙන එනු ලබන ජලය මේ ගොඩනැගිල්ලේ පාදමට යටින් ඇති කවුළු වලින් පොකුණට ඇදහැලෙන්නට සලස්වා තිබී ඇත.

_DSC7250

ධාරා ගෘහය

මිට මඳක් ඔබ්බෙන් තවත් කුඩා පොකුණක් ඇත. එයද ධාරා ගෘහයකින් සමන්විතය. මේ දෙපස දිය කෙලින ඇතුන් නිරුපනය කරන අලංකාර ගල් කැටයමකි.  

_DSC7253

_DSC7264

දෙවන පොකුණ 

Ranmasu Uyana

කැටයම් කළ  ඇත් රූප 

මේ පොකුණු වලට හා උද්‍යානයට ජලය සපයා ඇති ආකාරය පිළිබඳව සොයා බැලීමේදී පැරණි හෙළයන් විශිෂ්ට ජල කළමනාකරණ තාක්ෂනයක් දැනසිටි බව පෙනී යයි.  මේ පොකුණු වලට ජලය සපයා ඇත්තේ පොකුණු වලට වඩා අඩි 30 ක් පමණ ඉහලින් පිහිටි තිසා වැවෙනි. එහෙයින් වැවේ සොරොව්වෙන් අඩු පිඩනයකින් ලබා ගන්න ජලය ඇල මාර්ගයෙන් ලබාගෙන අඩි 2650 ක් පමණ දිගට කල  කානු පද්ධතියක් හා උමං ජල මාතිකා ඔස්සේ පොකුණු වලට ලබාගෙන ඇත.

_DSC7252

ජලය සපයන කානු 

සොරොව්වේ සිට ගෙන එන ජලය පළමුව කෙලගෙය නම් ගෘහයටද එතනින් කුඩා පොකුණටද පසුව විශාල පොකුණටද ගෙනවිත් ඇත. මේ පොකුණු මතුපිට කානු මාර්ගයෙන් මෙන්ම පොලව යටින් උමං මගින්ද සම්බන්ද කොට ඇත. මේ ප්‍රධාන පොකුණු දෙක හැරෙන්නට ජලජ ශාඛ ආදිය වගාකළ හා විසිතුරු මසුන් හා හංසයින් ආදී සතුන් ඇතිකළ  තවත් කුඩා පොකුණු රාශියක් මේ උයනේ තිබී ඇත. ඒ පොකුණු හා උද්‍යාන අලංකරණය සඳහා තනා තිබු වතුර මල් ආදියට ජලය සැපයු තවත් බොහෝ ඇල මාර්ග මෙහි තිබී ඇත. මේ ජල මාර්ග මිනිස් සිරුරේ ස්නායු පද්ධතිය හා සමාන යයි එච්. සී. පී. බෙල් මහතා කියා ඇත. මේ උයනේ පොකුණු වලින් බැසයන ජලය පහලින් පිහිටි කුඹුරු වගාකිරීම සඳහා යොදා ඇත.

_DSC7259

_DSC7278

_DSC7260

ගොඩනැගිලිවල නටබුන්

මේ උයනේ ඇති තවත් වැදගත් ස්මාරකයක් වනුයේ පොකුණු වලට ඉහලින් පිහිටි ගල් ලෙනක බිත්තියේ කැටයමක් වන අඩි 6 ක් පමණ විෂ්කම්භය ඇති  සම කේන්ද්‍රීය වෘත්ත, විවිධ ජ්‍යාමිතික හැඩතල හා සත්ව රූප සහිත සටහනයි.

DSC07603

විශ්ව චක්‍රය

මෙය විශ්ව චක්‍රයක්, තරු දොරටුවක්‌ (star gate) ලෙස හඳුන්වා ඇත. මෙහි පිටත වෘත්තයේ මසුන්, ඉබ්බන්, කැස්බෑවන්, කකුළුවන්, හක් බෙල්ලන්, මුහුදු අශ්වයන්, මුහුදු සිංහයන් ආදී ජලජ ජීවින් දැක්වේ. වෘත්තය මැද සමචතුරශ්‍රයක් තුල ඇඳි වෘත්ත හතකි. වෘත්තයේ ඉතිරි කොටස් තුල නොයෙක් ආකාරයේ ජ්‍යාමිතික හැඩතල සහිත විවිධ පරිමානයේ සෘජු කෝණ  සටහන් කර ඇත. සටහනේ උඩ “පණතෙපණස” යනුවෙන් පූර්ව බ්‍රාහ්මී  අකුරෙන් ලියා ඇත. එහි තේරුම 53 ක් යනුයි. මේ සටහනේ ඇඳ ඇති සත්ව රුප හා අනෙකුත් සලකුණු වල එකතුව 53 කි.  

DSC07597DSC07598DSC07601

 විශ්ව චක්‍රයේ සටහන් 

මේ රුප සටහන පිළිබඳව බොහෝ අය විවිධ අදහස් දක්වා ඇත. එච්.සී.පී. බෙල් මහතා සහ සෙනරත් පරණවිතාන මහතා මෙය ලෝක ධර්මතාවය පිළිබඳ බෞද්ධ අර්ථයක් ප්‍රකාශ කෙරෙන බව අදහස් කරති. මෙය මහායාන තාන්ත්‍රයානිකයින්ගේ යන්ත්‍රයක් බව මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ අදහසයි. සෙනරත් දිසානායක මහතා අදහස් කරන්නේ මෙය ලෙන ඉදිරිපස ගලෙහි කොටා ඇති ආසන වල හිඳ කිසියම් භාවනාවක හෝ කිසියම් මානසික අභ්‍යාසයක යෙදෙන්නට උපයෝගී කරගන්නට ඇඳ  ඇති රූප සටහනක් බවයි. මෙය පැරණි ලෝක සිතියමක් බවටද අනුමාන කෙරේ.

DSC07602

ඉදිරිපස ගලෙහි කොටා ඇති ආසන

තවත් සමහරු මෙයට  පිට සක්වල ජීවින් හා සම්බන්දතාවයක් ඇතැයිද, මේ ස්ථානය  විශ්වය සමඟ ගනුදෙනු කළ ස්‌ථානයක්‌ වියහැකි යයිද කියති. කෙසේ වුවත් මේ සටහන ඊජිප්තුවේ Abydos හා Abu Ghurab, බොලිවියාවේ Gate of the Sun, එංගලන්තයේ Stonehenge, පේරු හි Gate Of The Gods ආදී ලෝකයේ වෙනත් රටවල දක්නට ලැබෙන අද්භූත ස්ථාන අතරට ගැනෙන ස්මාරකයක් බවට පත්ව ඇත.

රන්මසු උයනේ උතුරු කෙලවරේ සෘජු කෝනාශ්‍රාකාර දිය අගලක් සහ පැරණි ගොඩනැගිලි තුනක නටබුන් දක්නා ලැබේ.

Ranmasu Uyana

පින්තුරය ලංකාදීප පත්‍රයෙනි 

අතීතයේදී රන්මසු උයන  ලිය ගොමු , මල් ගොමු, ජල තටාක, විවිධ ජල නිර්මාණ, ඉසුරුමුණි පෙම් යුවල වැනි  මනරම් කැටයමින් යුත් ජල ක්‍රීඩා කෙරෙන හා විවේක ගන්නා ගොඩනැගිලි, මත්සයින්, විහඟුන් ආදියෙන් සුසැදි උද්‍යානයක්ව තිබෙන්නට ඇත. දුටුගැමුණු රජුගේ පුත් සාලිය කුමරාට අශෝකමාලා හමුවන්නට ඇත්තේ මෙහිදීය. අනුරාධපුරයේදී අපට දක්නට ලැබෙන ස්මාරක බොහොමයක් ආගමික තේමාවන් සම්බන්ද ඒවාය. එහෙත් රන් මසු උයනේ අද දක්නට ලැබෙන නෂ්ටාවශේෂයන් එදා හෙළයන් ලෞකික සැප සම්පත් වින්දාසේම ඔවුන්  කලා කෞශල්‍යය, නිර්මානාත්මක කුසලතාවය හා තාක්ෂණික දැනුම අතින් පිරිපුන් අයවලුන් බව අපට ප්‍රත්‍යක්ෂ කරවයි.

මේ උයනද ඇතුළු අනුරාධපුරය 1982 සිට UNESCO  ලෝක උරුමයක් ලෙස නම්කොට ඇත.

එන්.එච්. සමරසිංහ 2018.05.15

Protected by Copyscape

Advertisements

3 Comments

    1. මගේ බ්ලොග් අඩවියට පිවිසුනාට හා අදහස් දැක්වූවාට බොහොම ස්තුතියි, ඉදිරියටත් මා දුටු වැදගත් ස්ථාන පිළිබඳව ලියන්නට උත්සාහ කරනවා. ඔබේ අගය කිරීම ඒ සඳහා මා ධෛර්යමත් කිරීමක්.

      Liked by 1 person

  1. මා දැනට සිටින්නේ රටෙන් බැහැරව. ලංකාවට පැමිණි පසුව අනුරාධපුර, පොලොන්නරුව වැනි තැන්වල ඇවිද යද්දී මටත් මගේ සෙසු සගයන්ටත් මේ අඩවිය මහත් පිහිටක් ගෙන දේවි. තවතවත් ලියන්න. ඔබතුමාට ජයවේවා

    Liked by 1 person

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.