ශ්‍රී ලංකාවට පමණක් නොව මුළු ලෝකයටම දුම්රිය ගමනාගමනය හඳුන්වා දුන්නේ බ්‍රිතාන්‍යයෙනි. පළමුව 16 වන සියවසේදී ගල් අඟුරු ආකරවල අඟුරු පිරවූ භාජන දැවයෙන් කරනලද ධාවන පථයක් ඔස්සේ තල්ලු කරගෙන යාම ඇරඹින. කාර්මික විප්ලවයේදී ජේම්ස් වොට් විසින් වාෂ්ප යන්ත්‍රය නිර්මාණය කිරීම නිසා එය උපයෝගී කර ගනිමින් 1803 දී Richard Trevithick නම් බ්‍රිතාන්‍ය ජාතික යාන්ත්‍රික ඉංජිනේරුවා වේල්සයේ Penydarren සිට Abercynon දක්වා සැතපුම් 10 ක පමණ දුරක් ඉතා සාර්ථක ලෙස මිනිසුන් 70 ක් හා යකඩ ටොන් 11 ක් Merthyr Tydfil ට්රෑම් මාර්ගයේ ගෙන ගියේය. පැයට සැතපුම් 2.4 ක වේගයෙන් ධාවනය වූ මෙය ලෝකයේ ප්‍රථම දුම්රිය ගමන බවට පත්විය.
අශ්ව රථ ආදියෙන් යකඩ ප්‍රවාහනය කිරීම වියදම් අධික ක්‍රියාවක් වින. එහෙයින් වෙනත් විකල්ප ප්‍රවාහන ක්රමයක්භාවිතයට ගැනීමට පතල් කරුවන් උනන්දු වූ බැවින් වාෂ්ප දුම්රිය වැඩි දියුණු කිරීමට කටයුතු කෙරින. එහි ප්‍රතිපලයක් ලෙස 1825 සැප්තැම්බර් මස 27 වන දින සිට ස්ටොක්ටන් (Stockton) හා ඩාර්ලින්ටන් (Darlington) අතර ලොව ප්‍රථම පොදු දුම්රිය ගමනාගමනය ඇරඹින. මුල්ම දුම්රියට බලය සපයන ලද්දේ ටයින් ගඟ ඉහල නිව් කාසල් (Newcastle upon Tyne) නගරයේ පිහිටුවා තිබුණු දුම්රිය ඉතිහාසයේ ප්‍රමුඛයන් වන ජෝර්ජ් සහ රොබට් ස්ටීවන්සන් (George & Robert Stephenson) යන පිය පුතු දෙපලට අයත් සමාගමෙන් නිපදවන ලද යන්ත්‍රයෙනි. දුම්රිය ප්‍රවාහනය නිසා ස්ටොක්ටන් නගරයේ යකඩ ටොන් එකක මිල සිලිම් 18 සිට සිලිම් 8 පැන්ස 6 දක්වා අඩුවූ බව කියනු ලැබේ.
යෝක්ෂයර් ප්‍රාන්තයට දුම්රිය ඉතිහාසයේ ඉතා වැදගත් තැනක් හිමිව ඇත. ප්‍රථම දුම්රිය ගමන සිදුවූයේද, ප්‍රථම දුම්රිය සමාගම් පිහිටවුයේද යෝර්ක්ෂයර් පෙදෙසේය. එවන් හේතුන් නිසාම එක්සත් රාජධානියේ ජාතික දුම්රිය කෞතුකාගාරය පිහිටුවා ඇත්තේ යෝර්ක් නගරයේය. 1975 දී පිහිටුවන ලද එය ලන්ඩන් නගරයෙන් පිටත පිහිටුවා ඇති එකම ජාතික කෞතුකාගාරයයි. එය ලෝකයේ විශාලතම විද්‍යා කෞතුකාගාර සන්ධානයේ කොටසක් වශයෙන් ක්‍රියාත්මක වෙයි. එය දුම්රිය ඉතිහාසයේ වැදගත් යන්ත්‍රෝපකරණ පමණක් නොව දුම්රිය මගින් ආර්ථිකයට, සමාජයට, දේශපාලනයට, සංස්කෘතියට හා තාක්ෂණය ආදියට ඇතිකරන ලද බලපෑම විදහා දක්වන සියලු දේ ආරක්ෂා කොට ප්‍රදර්ශනය කෙරේ. එහි ඓතිහාසික දුම්රිය එන්ජින් හා පෙට්ටි සියයක් පමණ, පාවිච්චිකරන ලද නොයෙක් බඩු භාණ්ඩ, වෙනත් රටවලින් හා කෞතුකාගාර වලින් ලබා ගන්නා ලද භාණ්ඩ, ඡායාරුප හා පෝස්ටර්, පොත්, ඉංජිනේරුමය සටහන් ආකෘති ආදිය ප්‍රදර්ශනයට තබා ඇත. එමෙන්ම කර්මාන්ත ශාලාවේ ක්‍රියාකාරිත්වය පිළිබඳවද අත්දැකීමක් ලබා ගත හැකිය.
මිට අමතරව පොත් 20000 ක් පමණ, ජෝර්ජ් හා රොබර්ට් ස්ටීවන්සන් ආදීන්ගේ 750,000 ක් පමණ වන ඉංජිනේරුමය සටහන්, ඉංජිනේරු Thimothy Hackworth ගේ චිත්‍ර,පෝස්ටර් 12,000 ක්පමණ හා මිලියන 1.75 පමණ වන ඡායාරුප හා ඔස්කාර් සම්මාන ලාභී ශබ්ද පටිගත කිරීම් ශිල්පී Peter Handford විසින් පටිගත කරන ලද ශබ්ද ආදිය ඇතුලත් තොරතුරු ගබඩාවක් පිළිබඳවද සොයා බැලිය හැකිය.
මේ කෞතුකාගාරයේ ප්‍රධාන ශාලාවේ දුම්රිය හැරවුම් වේදිකාව (Turn table) වටා ඓතිහාසික වැදගත් කමකින් යුත් දුම්රිය එන්ජින් හා මැදිරි රාශියක් තබා ඇත.

රොබට් ස්ටීවන්සන් ගේ රොකට් එන්ජිම
1829 දී මැන්චෙස්ටර් හා ලිවර්පුල් රේන්හිල් ට්‍රේල් (Rainhill trials) ජයගෙන පවුම් 500 ක ත්‍යාගයක් දිනාගත් හොඳම දුම්රිය එන්ජිම ලෙස පිළිගත් රොකට් එන්ජිම රොබට් ස්ටීවන්සන්ගේ නිමැවුමකි. ඉන්ධනලෙස ගල් අඟුරු යොදාගත් මිට පැයට සැතපුම් 25 ක පමණ වේගයකින් ගමන් කල හැක්විය.


වාෂ්ප දුම්රියක බොයිලේරුව ඇතුලත


කෞතුකාගාරයේ ප්‍රධාන ශාලාව



යුද සමයේ ක්‍රියාත්මක වූ ගිලන් රථ දුම්රිය (Hospital on wheels)
වසර 100 කට පමණ පෙර පළමු ලෝක යුද සමයේ බ්‍රිතාන්‍ය සොල්දාදුවන් ගිලන් රථ දුම්රිය මගින් Southampton සිට එංගලන්තයේ නොයෙක් රෝහල් වෙත ප්‍රවාහනය කරන ලදී. ගිලන් රථ දුම්රියක මුළුතැන් ගෙයක්, බෙහෙත් ශාලාවක් ඇතුළු මැදිරි 16 ක් පමණ තිබිණි. ගිලන්රථ මැදිරියක ඇඳන් 36 ක් තිබිණ. 2016.07.07 දින සිට මේ දුම්රිය ප්‍රදර්ශනයට තබා ඇත.

ලොව ප්‍රථම රියදුරු රහිත විදුලි දුම්රිය (Post Office Railway, underground train, No 809)
අඩි දෙකක් පළල උමං දුම්රිය මාර්ගයක් ඔස්සේ පැයට සැතපුම් 35 ක පමණ වේගයෙන් ලන්ඩනයේ තැපැල් භාණ්ඩ ප්‍රවාහනය සඳහා 1930 දී පමණ යොදාගත් තැපැල් කාර්යාල දුම්රියක්. මෙය 1931 මැයි සිට 1977 ඔක්තෝබර් දක්වා කාලය තුල සැතපුම් 1,184,549 ක් ධාවනය කර තිබිණ. තැපැල් කාර්යාල දුම්රිය 1927 සිට 2003 දක්වා ක්‍රියාත්මක වී ඇත.

වේල්සයේ කඳුකර පටු දුම්රිය මාර්ගයක ධාවනය වූ දුම්රියක්.




1913 Birmingham Railway Carriage and Wagon Works Co. Ltd හි නිපදවන ලද පළමු පන්තියේ දුම්රිය මැදිරියක්

දුම්රිය ගමනාගමනය ප්‍රචලිත වෙත්ම එහි අලංකාරය හා වේගය ගැනද උනන්දුවක් දක්වන්නට විය.

1938 දී Nigel Gresley ගේ සැලසුමකට අනුව Doncaster Railway Works හි නිපදවන ලද Mallard දුම්රිය 1938 ජුලි 3 වන දින පැයට සැතපුම් 126 ක වේගයක් වාර්තා කළේය.


William Arthur Stanier ගේ සැලසුමක අනුව 1938 දී Crewe railway works හි නිපදවන ලද Duchess of Hamilton නම් දුම්රිය. මෙය ලන්ඩන් හා ග්ලාස්ගෝ අතර ධාවනය කල Coronation Scot වැනි බ්‍රිතාන්‍යයේ සීඝ්‍රගාමී දුම්රිය සේවයේ භාවිතයට ගැනුණු විශාලතම හා බලයෙන් අධික එන්ජිමකි.

ජපානය 1964 දී අධික වේගයෙන් දුම්රිය ධාවනය සඳහාම මාර්ග ඉදිකොට ෂින්කාන්සෙන් බුලට් නමින් දුම්රියක් ධාවනයට එක් කළේය. ආරම්භයේදී එය පැයට සැතපුම් 130 ක වේගයෙන් ධාවනය කළේය. මේ දුම්රිය කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරෙන මේ දුම්රිය ජපානයෙන් පිටත ඇති එකම බුලට් දුම්රියයි.

බ්‍රිතාන්‍යයේ අධිවේගී දුම්රියක් ලෙස අලුතින් ධාවනයට යෙදවූයේ Eurostar දුම්රිය සේවයයි. එංගලන්තය හා ප්‍රංශය අතර චැනල් උමං මාර්ගය විවෘත කිරීමෙන් පසුව 1994 නොවැම්බර් 14 දින සිට ලන්ඩන් හා යුරෝපය අතර Eurostar දුම්රිය සේවයඇරඹින.

චැනල් දුම්රිය උමං මග ඉදිකිරීමේදී එහි පස් ඉවත් කිරීමට යොදාගත් muck truks ඇදීම සඳහා Hanslet එන්ජිම යොදාගනු ලැබිණ.

ආපන ශාලාව

කාර්මික වැඩපොළ





ප්‍රදර්ශනට තබා ඇති විවිධ භාණ්ඩ

දුම්රිය ආකෘති

නගරයේ සිට කෞතුකාගාරයට දුම්රියකින්ම යාමට (Road Train)
අවුරුදු 300 කට අධික කාලයක් තිස්සේ ක්‍රමයෙන් වර්ධනය වූ දුම්රිය ගමනාගමනයේ කතන්දරය දස ලක්ෂයකට අධික නොයෙක් භාණ්ඩ ඇසුරෙන් පවසන යෝක්ෂයර් ජාතික දුම්රිය කෞතුකාගාරය දුම්රිය ගැන උනන්දුවක් නොදක්වන වුව ඕනෑම වයසක කෙනෙකු දුම්රිය කෙරෙහි ආකර්ෂණය කරවන අපූරු ස්ථානයකි. 2017.09.24 දින මටද මේ කෞතුකාගාරය දැකගන්නට ලැබීම අමතක නොවන අත්දැකීමකි.
එන්.එච්. සමරසිංහ 2018.06.29
Nice photos! I visited this museum many years ago and liked it very much.
කැමතියිLiked by 1 person
මේ කෞතුකාගාරය අපූරු තැනක් වගේ, වීස සහ නිවාඩු ලබා ගන්නට පුළුවන් උනොත් හෙට අනිද්දට ලීඩ්ස් සහ මැන්චෙස්ටර් වෙත යන්න හිතාගෙන ඉන්නව. ඒ ගමන ඉඩකඩ ලැබුණොත් යෝක් වෙතත් ගොඩ වැදිලා එන එක වටිනවා වගේ.
බොහොම ස්තුතියි ලිපියට.
කැමතියිLiked by 1 person
ඔව්, ඒ එක්කම පුලුවන්නම් බ්‍රොන්ටේ මියුසියම් එකටත් යන්න. ලීඩ්ස් වලට බොහොම කිට්ටුයි.
කැමතියිLiked by 1 person