ඇම්බැක්කේ ලී කැටයම්

ඇම්බැක්කේ ලී  කැටයම් හා අමුතු පෙරහැර

හෙළ  රාජධානියේ අගනුවර අනුරාධපුරයේ සිට නොයෙක් හේතුන් මත පොළොන්නරුව, දඹදෙණිය, කුරුණෑගල, ගම්පල ආදී ප්‍රදේශ කරා සංක්‍රමණය විය. මෙසේ සංක්‍රමණය වීමත් සමග  අනුරාධපුර යුගයේදී පැතිරගිය බුදු දහමද ආගමක් බවට පත්වී වෙනත් ආගම්, ඇදහිලි හා විශ්වාසයන් සමග මිශ්‍රවූ බවක්ද දැකිය හැකිය. ගම්පල යුගය වනවිට බුදු දහමට දේව ඇදහිලි ආදිය කොතෙක් දුරට මිශ්‍රවී තිබුණේදැයි පෙන්වන ජීවමාන සාක්ෂියක් මහනුවර, උඩුනුවර මැද පළාතේ ඇම්බැක්ක ගමේ පිහිටා ඇත. ඒ ඇම්බැක්ක ශ්‍රී කතරගම මහා දේවාලයයි. මේ දේවාලය ගම්පොල රාජධානි සමයේ තුන්වන වික්‍රමබාහු රජතුමා විසින් ක්‍රි.ව. 1370 දී පමණ ඉදිකොට ඇත. මුල් කාලයේ මෙය හඳුන්වා ඇත්තේ මහසෙන් දේවාලය යනුවෙනි.

ඇම්බැක්කේ ශ්‍රී කතරගම මහා දේවාලයය ආරම්භ වීම පිලිබඳ රසවත් පුරාවෘතයක් දෙල්ගොඩ මුදියන්සේ නැමැත්තෙකු විසින් රචනාකරන ලද ‘ඇම්බැක්කේ වර්ණනාව’ නම් කවිපොතේ සඳහන්වේ. එහි කියවෙන පරිදි, මේ ප්‍රදේශයේ රංගම විසු බෙර වයන්නෙකුට වැලඳුණු කුෂ්ඨ රෝගයක් සුවකරදෙන ලෙසට ඉල්ලා රුහුණු කතරගම මහා දේවාලයට ගොස් භාර වීමෙන් පසු ඒ රෝගය සුවවී ඇත. ඒ සඳහා වූ භාරය ඔප්පු කරනු වස් ඔහු වාර්ෂිකව කතරගම ගොස් බෙර වයා දෙවියන්ට පුද සත්කාර කොට ඇත. වරෙක ඔහු වියපත්ව දුර්වල වූ පසු කතරගමට පැමිණ බෙර වයා දෙවියන් පිදීමට නොහැකි වෙතැයි පසුතැවිලි වෙමින් දේවාල භුමියේ නිදන්නට වී ඇත. එදින ඔහු ඉදිරියේ කතරගම දෙවියන් පෙනිසිට, දුක් නොවන ලෙසත් ගමට ගිය පසු එක්තරා ගසකින් ඔහුගේ ආනුභාවය පෙන්වා පෙන්වා දෙන බවත් එතැනදී බෙර වයා පුද සත්කාර කරන ලෙසත් දන්වා ඇත.

හෙනකඳ බිසෝ බණ්ඩාර දේවිය  ගම්පොල තුන්වන වික්‍රමබාහු රජුගේ බිසවයි. ඇයට අයත් උද්‍යානයක් ඇම්බැක්කේ තිබී ඇත. දිනක් එය සකසන උයන් පල්ලා උයන එලි පෙහෙළි කරද්දී  කදුරු ගසකට වැදුණු කැති පහරකින් සිදුවූ කැපුමකින් හත් රියනක් උසට රුධිර දහරාවක් ගලාගිය බව කියති. මේ බව ඇසූ පෙරකී බෙර වයන්නා “මේ ඔහුට කතරගමදී දෙවියන් දැනුම් දුන් ඔහුගේ ආනුභාවය පෙන්වා දීම” බව උයන් පල්ලාටද දන්වා ඔවුන් ඒ කදුරු ගස අබියස බෙර වයා දෙවියන්ට  පුද සත්කාර කර ඇත.

මේ පුවත දැනගත් තුන්වන වික්‍රමබාහු රජතුමා (ක්‍රි.ව.1356 – 1373) මේ ඇම්බැක්ක මල් උයනේ තෙමහල් දෙවොලක් ඉදිකොට කතරගම දෙවියන්ගේ රුවක් එහි තැන්පත් කොට ඇත. රජතුමා ආපසු යනවිට ඔහු ගමන් ගත් දෝලාව පසෙකට බරවී ගෙනයා නොහැකිවූ බැවින් එයද දේවාලයට පුජා කර ඇත. වික්‍රමබාහු රජතුමා මේ දේවාලයට ගම් බිම් කුඹුරු වතුපිටි අලි ඇතුන් ආදී නොයෙක් පුජාවන් කොට දෙවාල රාජකාරි 67 ක්ද ස්ථාපනය කොට ඇත. එකල සිටි උයන් පල්ලාගේ පරපුර කංකානි ගෙදර නමින් හා බෙර වයන්නාගේ පරපුර අරත්තන පනික්කි මුරය නමින්ද අද දක්වාම පැවත එන බව කියති.

රජ බිසව වූ හෙනකඳ බිසෝ බණ්ඩාර දේවිය පිළිබඳවද රසවත් පුරාවෘතයකි. ඒ අනුව ඇය උපත ලබා ඇත්තේ උඩුනුවර මාත්ගමුව නම් ගමේ ගසක හටගත් බෙලි ගෙඩියකින් ඔපපාතිකවය. ඇය මියගොස් ඇත්තේ කොත්මලේ පුසුල්පිටිය ප්‍රදේශයේදීය. එගම වැසියන් ඇයගේ දේහය කහට කොටයකින් තනන ලද දෙනක බහා මහවැලි ගඟේ පාකර එවන ලදුව ගම්පොල කහටපිටියේදී ගොඩට පැමිණ ඇත. මේ බව ඒ ප්‍රදේශයේ උනම්බුව මහා නිලමේ විසින් රජතුමාට දන්වන ලදුව රජතුමා පස් දිනක් පෙරහැර පවත්වා දේවියගේ දේහය ආදාහනය කරන ලදී. ඇයගේ ආභරණ ලබාගැනීමට ප්‍රදේශයේ සියලු දේවාල වල භාරකරුවන් ඉදිරිපත්වූ නමුත් හදිසියේ එල්ලවූ කළු දෙබර ප්‍රහාරයක් නිසා කිසිවෙකුට ඒවා ලබාගත නොහැකි වීලු. ඉන් පසු ඒවා ලබා ගත හැකිවූයේ ඇම්බැක්ක දේවාලයේ භාරකරුවන්ටය. ඒ ආභරණ අද දක්වා මේ දේවාලයේ තැන්පත් කර තිබේ. හෙනකඳ බිසෝ බණ්ඩාර දේවියගේ මරණින් පසු ඇය කතරගම දෙවියන්ගේ මෙහෙසියක් වූ බවත් ඇය ඇම්බැක්ක දේවාලයේ අධිපති දෙවඟන වූ බවත් කියති.

දැවයෙන් කරන ලද හෙනකඳ බිසෝ බණ්ඩාර දේවියගේ පිළිරුවක්ද, රුධිර දහරාව නිකුත්වූවායයි පැවසෙන කදුරු ගසෙන් නිමකළ මොනර රුවක්ද, දේවාලය අධිකාරම් ධුරය දරන ලද දේවතා බණ්ඩාරගේ පිළිරුවක්ද මේ දේවාලයේ ඇති බව පැවසේ.

ඇසල පෙරහැර පැවැත්වීම මේ දේවාලයේ වාර්ෂිකව සිදු කරන්නකි. ඇතුල් පෙරහැර පහක්, කුඹල් පෙරහැර පහක් හා රන්දෝලි පෙරහැර පහක් ඊට අයත්වේ. මේ පෙරහැරවල් අනෙකුත් ප්‍රාදේශීය දේවාල වල කෙරෙන පෙරහැරවලට වඩා වෙනස්වේ. ඒ වෙනස්කම් අතර දේවාභරණ වැඩමවන කපු මහතා කළු ලෝගුවකින් සැරසී සිටීම, ඇම්බැක්ක දෙවාලයටම ආවේනික නර්තන හා වාදන වලින් යුක්තවීම, පෙරහරේ එක අවස්ථාවක කපු මහතා දෑත් පපුව මත තබාගෙන දුවමින් පෙරහැරේ යාම ආදිය විශේෂයෙන් කැපී පෙනේ.

අවසානයේදී කෙරෙන දිය කැපීමේ පෙරහැර මේ දෙවාලයටම සුවිශේෂී වූ පෙරහරකි. දිය කැපීම සඳහා දේවාලයේ සිට ගම්පල බෝතලපිටිය දක්වා ගමන් ගන්න පෙරහැර හෙනකඳ බිසෝ බණ්ඩාර දේවියගේ මරණය සිහිපත් කරන්නකි. දිය කැපීමෙන් පසු නැවත දේවාලයට පැමිණෙන මේ පෙරහරේ නැටුම් කණ්ඩායම් නොමැති අතර කපුවන් කළු රෙදි වලින් හිස වසාගෙන අවමගුල් පෙරහැරක ස්වභාවයෙන් ගමන් ගනී. මෙවන් පෙරහරක් පවත්වන එකම දේවාලය ඇම්බැක්ක දේවාලයයි. මේ පුජා විධි වලින් හා ඒවා සමග බැඳුනු පුරාවෘත වලින් එකල සමාජයේ පැවති ඇදහීම් පිළිබඳව හා රාජ්‍යත්වයට දිව්‍යමය බලයක් ආරෝපනය කොට තිබු බව අපට පැහැදිලිවේ.   

මේ ප්‍රදේශය තුල පත්තිනි දේව ඇදහිල්ලද ව්‍යාප්තව තිබුණු බව කියති. පත්තිනි දේවිය වෙනුවෙන් අං කෙලි පවත්වා පුද දුන් බැවින් මේ ප්‍රදේශය අං බක්ක ලෙස හැඳින්වූ බවද කියති. පසුව අං බක්ක ඇම්බැක්ක වී ඇත.

මේ චාරිත්‍ර හා පුරාවෘත වලට වඩා ඇම්බැක්ක දේවාලය ප්‍රසිද්ධ වී ඇත්තේ එහි ඇති වටිනා දැව නිර්මාණ සඳහාය.

අනුරාධපුර පොළොන්නරු ආදී යුගවල ශෛලමය නිර්මාණයන් කෙරෙහි මුල් තැන දී තිබුණු බවක් හැඟේ. එහෙත් ගම්පොල, මහනුවර ආදී කාලවල වැදගත් නිර්මාණයන් බොහොමයක් කර ලද්දේ දැව වලින් බව පෙනී යයි. මේවා අතරිනුත් පැරණි ඉතා වැදගත් හා නිර්මානාත්මක දැව නිර්මාණ දැකිය හැක්කේ ඇම්බැක්ක දෙවාලයේය. මේ ලි කැටයම් ලංකාවේ පමණක් නොව ලෝකයෙන්ම මේ ආකාරයෙන් දැකිය හැකි හොඳම ලි කැටයම් බව UNESCO සංවිධානයද ප්‍රකාශ කොට ඇත.

ඇම්බැක්ක දේවාල සංකීර්ණය ප්‍රධාන ගොඩ නැගිලි අටකින් සමන්විතය.  ඇම්බැක්ක බෞද්ධ සිද්ධස්ථානයක් වුවද අනෙක් බෞද්ධ සිද්ධස්ථානවල මෙන් මුල් තැන ලැබී ඇත්තේ බුදු මැදුරට නොව දේවාලයටය.

Ambakka
Ambakka
හේවිසි මඩුව හෙවත් දික් ගෙය

ප්‍රධාන මාර්ගයෙන් දේවාල සංකීර්ණයට ඇතුළු වන්නේ වාහල්කඩ නමින් හැඳින්වෙන ගොඩනැගිල්ල තුලිනි. අඩි 2.5 ක් පමණ උස පාදමක් මත ඉදිවූ අඩි 23 ක් පමණ දිග, අඩි 19 ක් පමණ පළල මේ ගොඩනැගිල්ලේ වහල දැව කනු 10 ක් මත ඉදිවී ඇත.  

Ambakka
Ambakka
වාහල්කඩ

වාහල්කඩ තුලින් ඇතුළුවූ විට මහා දේවාලය හෙවත් වැඩ සිටින මාලිගය ලෙසින් හැඳින්වෙනගොඩනැගිල්ල හමුවේ.

_DSC0255

මේ ගොඩනැගිල්ල කොටස් පහකින් යුක්තය. ඒ

  1. හේවිසි මඩුව හෙවත් දික් ගෙය
  2. සඳුන් කුඩම
  3. අන්තරාලය හෙවත් මැද දික් ගෙය
  4. පිරිත් කියන ගේ
  5. වැඩ සිටින මාලිගාව හෙවත් ගර්භ විමානය යනුවෙනි.

අඩි 2.5 ක් පමණ උස පාදමක් මත ඉදිකොට ඇති අඩි 53 ක් පමණ දිග අඩි 26 ක් පමණ පළල දව කණු 32 ක් මත විශිෂ්ඨ ලෙස නිමකොට ඇති වහලයකින් හෙබි ශාලාවකි දිග් ගෙය. ගම්පොල යුගයේ ගෘහ නිර්මාණ ශිල්පයේ පමණක් නොව සමකාලින දැව නිර්මාණ අතර ඉතා විශිෂ්ඨ නිර්මාණ දැකිය හැකි වන්නේ මේ ශාලාවේය. 14 – 15 සියවස්වල මෙය ගම්පොල රජවරුන්ගේ මගුල් මඩුව ලෙස භාවිතා කළ බව සදහන්වේ. මෙය දෙල්මඩ මුලාචාරි නම් ශිල්පියෙකුගේ නිර්මාණයක් බව කියති. මෙහි කණු සඳහා යොදාගෙන ඇත්තේ ගම්මාලු,  පිහිඹියා වැනි කල් පවත්නා හා එමෙන්ම කැටයම් කිරීමට පහසු ලි වර්ගයි. මේ කණු සියල්ල විවිධාකාර කැටයම් වලින් සරසා තිබේ. 18 වන සියවස අවසාන සමයේ රාජාධි රාජසිංග රජතුමා මේ ශාලාව තවත් අලංකාර කරවා ඇත.

Ambakka
Ambakka
හේවිසි මඩුව හෙවත් දික් ගෙය

කුළුණු හිසේ මුතුදැල් මෝස්තරයක්ද, කුලුනේ අටපට්ටම් හැඩය චතුරස්රාකාර ලෙස වෙනස් කෙරෙන ස්ථානයේ නාග බන්ධන හා ගැටලියපත් මෝස්‌තර යොදා ඇත. කුළුණු 32 කේ එක කුළුනක 4 බැගින් වන හතරැස් හැඩයක් ගන්නා මුහුණත් 128 හි විවිධාකාර කැටයම් නිර්මාණය කර ඇත.

 

Ambakka
Ambakka
හේවිසි මඩුව හෙවත් දික් ගෙය
Ambakka
පේකඩ කැටයම්
පේකඩ කැටයම්
Ambakka
ගැටලියපත් මෝස්‌තර
Ambakka
Ambakka

මේ කැටයම් ප්‍රධාන වශයෙන් වර්ග හතරක අයත්වන බව පෙනේ.

  1. මල්ලව පොර, මව සහ දරුවා, හේවායා, අශ්වාරෝහකයා, ලී කෙළි, නළඟන, යෝගියා ආදිය දැක්වෙන  මිනිස් රුප.
  2. කිඳුරු කින්නර කැටයම, නාරිලතා ආදී නිරූඪ මිනිස් රූප.
  3. භේරුණ්ඩ පක්ෂියා, මකරා,  ඇත්කඳ ලිහිණියා, සැරපෙන්දා, ගජසිංහ, කිහිඹි රූපය,වෘෂභ කුඥ්ජරය,හස්තිකුම්භ විදාරණය,  හංස පූට්ටු වැනි නිරූඪ සත්ත්ව රූප හා
  4. නෙළුම් මල්, බිනර මල්, බෙරලිය මල්, ලියපත් ලණු ගැටය වැනි වෙනත් ජ්‍යාමිතික සැරසිලි මෝස්තරයි.

2.31.1

මිනිස් රුප

2.11.3

 

2.41.3

සත්ත්ව රූප

1.2

ජ්‍යාමිතික සැරසිලි

මේ කුළුණු මත ඉදිකොට ඇති වහලද නිර්මානාත්මක හා ශිල්පිය දක්ෂතාවය මැනවින් පිළිඹිබු කෙරෙන නිර්මාණයකි. කුළුණු දෙක බැගි ගෙන ඒ මත පේකඩ තුන බැගින් පේකඩ හයක් සවිකර තිබේ. මේ පේකඩ සරපෙන්දී මුවකින් නිකුත්වන සේ හා යටි පැත්තේ හංස පුට්ටු හා පලාපෙති මොස්තරද, තලාඳ වල ලියවැල් මොස්තරද කැටයම් කොට තිබේ. පියස්ස තලාඳ මත ඉදිකර තිබේ. මෙහි උතුරු පැත්තේ කුරුපාව අසල  මුදුන් යටලියට මඩොල් කුරුපාව නම් එක් ලි ඇනයක් මගින් පරාල 26 ක් එකට වද්දා තිබේ. පරාල වල යටි පැත්ත වක්‍රාකාරව පිළියෙළ කර ඇත. යටලියේ සිට වහල කෙලවර දක්වා වන පරාලද කැටයම් කොට තිබේ.

Ambakka
Ambakka
මඩොල් කුරුපාව

කුළුණු 32 කේ මුහුනත් වල කැටයම් 128 ක්ද, ලියපත් කැටයම් 256 ක්ද, පේකඩ වල නෙලුම් මල් කැටයම් 64 ක්ද, බාල්ක වල කැටයම් 30 ක් හා තලාඳ වල කැටයම් 36 ක් වශයෙන් ඇති මේ ශාලාවේ මුළු කැටයම් ගණන 514 කි. මේවා අතර එකම කැටයම දෙතැනක දක්වා නැත. හැම එකක්ම එකිනෙකට වෙනස්ය.  මේ සියලු කැටයම් රුපය ඉස්මතුවන ආකාරයට අර්ධ උන්නත ලෙස නෙලා ඇත. මේ කැටයම් සඳහා සිංහල පාරම්පරික සැරසිලි මෝස්‌තර හා ඒ ඒ ස්ථාන වලට ගැලපෙන සේ යොදාගත් සමාජයේ දක්නට ලැබුණු වෙනත් සිද්ධීන්ද යොදාගෙන තිබෙන බව දැකිය හැකිය.

Ambakka
Ambakka

හේවිසි මඩුව කෙලවර සිංහ රුප දෙකක් සහ මකර තොරණ අතරින් වූ දොරටුවෙන් ඇතුළු වන්නේ සඳුන් කුඩමටයි.

ඇසල පෙරහැර අවසන් වීමෙන් පසුව පිරිත් දේශනා කරන්නේ පිරිත් කියන ගේ සිටය

වැඩ සිටින මාලිගාව හෙවත් ගර්භ විමානයට ඇතුල් විය හැක්කේ   කපු මහතුන්ට පමණි. දෙමහල් ගොඩනැගිල්ලක් වන මෙහි  මුදුන් වහළ පල හතරක් සිටින සේ සෙවිලි කර එහි මුදුනේ සතර වරම් දේවරූප සවි කළ කොතක් පළඳවා තිබේ. මේ උළුවස්ස හා මුදුන් වහලේ කොත් කැරැල්ල රජ මාලිගාවෙන් ගෙන ආ බව කියති.

_DSC0246

වැඩ සිටින මාලිගාව 

දේවාල ගොඩනැගිල්ලට වම්  පසින් බුදු මැදුර හා දකුණු පසින් පල්ලේ දේවාලය හෙවත් දේවතා බණ්ඩාර දේවාලය  පිහිටුවා ඇත.

Ambakka
Ambakka
බුදු මැදුර

දේවාල භූමියේ පිවිසුමට වම පසින් වී අටුව ඇත. දේව පුජාව සඳහා දානය පිළියෙළ කිරීමට ගන්නා වී ගබඩා කර ඇත්තේ මෙහිය.

Ambakka
Ambakka
ගල් උළුවස්ස
Ambakka
Ambakka
වී අටුව

බුද්ධ පුජාව සඳහා සහ දෙවියන් වෙනුවෙන් පිළියෙළ කෙරෙන මුරුතැන් පුජාවට ආහාර පිළියෙළ කරන්නේ මුරුතැන් ගෙයෙහිය. එය වී අටුවා ආසන්නයේ ඇත.

Ambakka
Ambakka
මුරුතැන් ගෙය

දේවාල පරිශ්‍රයෙන් පිටත සිංහාසන මණ්ඩපය හෙවත් රිට්ටා ගෙය නමින් හඳුන්වන කුඩා මණ්ඩපයක් ඇත. රජතුමා පෙරහැර නරඹා ඇත්තේ මෙහි සිටය. පෙරහරෙන් ගෙන එනු ලබන දේවාභරණ ටික වෙලාවක් මෙහි රඳවා තබනු ලැබේ.

දේවාල භූමියට මීටර් 200 ක් පමණ නුදුරින් ඇම්බැක්ක ගෙලි ඔය පාරේ ගල් තලාවක් මත අම්බලමේ නෂ්ඨාවශේෂ දක්නට ලැබේ. මේ අම්බලම දේවාලය ඉදිකිරීමට පෙර හතරවන බුවනෙකබාහු (ක්‍රි.ව1341 – 1348) රජ සමයේ ඉදිකරන ලද්දක් බවට මතයකි. අද මෙහි දක්නට ඇත්තේ අඩි හතක් පමණ උස ගල් ටැම් පමණි. ඒ ටැම් වල හංස පුට්ටුව, නාරිලතා, භේරුණ්ඩ පක්ෂියා, ගුරුලා, සිංහ, ඇත් ආදී කැටයම් දක්නට ලැබේ.

Ambakka
Ambakka
අම්බලමේ නෂ්ඨාවශේෂ

ඇම්බැක්ක දේවාලයට පේරාදෙණිය, කොළඹ –  මහනුවර මාර්ගයේ පිළිමතලාව, මහනුවර – ගම්පොල මාර්ගයේ වැලිගල්ල ආදී ස්ථාන වල සිට  මාර්ග කීපයකින්ම ලඟාවිය හැකිය.

Ambakka

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.