කොළඹ ප්‍රදේශයේ ස්වභාව සෞන්දර්යය පිළිබඳව සිත් යොමුකරද්දී අප තුල ඇතිවන්නේ යහපත් හැඟීමක් නොවේ. එහෙත් එවන් හැඟීම් ඇතිකරගෙන සිටීම නිවැරදි නොවන බව වැටහෙන්නේ කොළඹ සිට නැගෙනහිර දෙසට පැයක් පමණ ගමනකින් ලඟාවිය හැකි සීතාවක පෙදෙසේ සංචාරය කළ පසුවයි. කොළඹ සිට A 4 මාර්ගයේ අවිස්සාවේල්ල දෙසට කිලෝ මීටර් 53 ක් පමණ ගමන් කොට පුවක්පිටිය දුම්රිය ස්ථානය අසලින් ඇති පුවක්පිටිය – තුම්මෝදර (B 426) මාර්ගය ඔස්සේ ගමන් ගන්නාවිට අප ගමන් කරන්නේ කොළඹ දිස්ත්‍රික්කයතුල දැයි සැක ඇතිවන තරම්ය. කොළඹ දිස්ත්‍රික්කයේ උසම කඳුවන සිතාවක පෙදෙසේ පිහිටා ඇති උඩගම ලබුගම් කන්ද, තුම්මෝදර පන්ඥාගුල කන්ද ආදී කඳු දෙසට ගමන් ගන්න මේ මාර්ගය අපට කඳුකර පරිසරයක චමත්කාරය සිහිගන්වයි.
දිය ඇලි සොබා දහමේ අපූරු නිර්මාණයකි. විවිධ සිත්කළු රටා මවමින් හා නොයෙක් කන්කළු නාද නගමින් පහලට ඇදහැලෙන දිය දහර නරඹන්නන්ගේ සිත් ඇද ගනී. එවන් දිය ඇලි හතරක් කොළඹ දිස්ත්‍රික්කය තුලත් පිහිටා ඇත. මේ දිය ඇලි හතරම පිහිටා ඇත්තේ ඉහත කී තුම්මෝදර මාර්ගය ආසන්නයේය.
කුමාරි ඇල්ල
පුවක්පිටියේ සිට මේ මාර්ගයේ කිලෝ මීටර් 3 කට ආසන්න දුරක් පැමිණිවිට හමුවන හේවා ඉන්න පාරේ ටික දුරක් ගිය විට පාරට පහල බෑවුමේ කුමාරි ඇල්ල දැකගත හැකිය. මේ දිය ඇල්ල නිර්මාණය වී ඇත්තේ කැළණි ගඟට එක්වන කලටුවාව පෙදෙසේ නැගෙනහිර බෑවුම ඔස්සේ ගලාඑන දිය දහරකිනි. හේවා ඉන්න පාරෙන් පහලට ගිය විට මේ ඇල්ලේ ඉහල කොටස දැකිය හැකිය. අඩි පහක් පමණ උසකින් ඇද හැලෙන දිය දහර ජල තටාකයකට එක්වේ. එයින් උතුරායන ජලය නැවත අඩි පහක් පමණ පහලට වැටි ගල් තලාව දිගේ ගලා යයි. මෙහි පහල කොටසට බැසීම හා දිය නෑම අන්තරාදායකය.

කුමාරි ඇල්ල

ජලාශය



කුමාරි ඇල්ල
ඇල්ල උඩ ඇල්ල
මේ පුවක්පිටිය – තුම්මෝදර මාර්ගයේම තවත් කිලෝ මීටර් 3 ක් පමණ ගියවිට සීතාවක උද්භිද උද්‍යානය හා ඉලුක් ඕවිට හන්දිය හමුවේ. ඉලුක් ඕවිට හන්දියෙන් හැරී යන මාර්ගයේ මීටර් 500 ක් පමණ ගියවිට හමුවන සිරි විජය සුනන්දාරාම බෞද්ධ මධ්‍යස්ථානය ආසන්නයේ ඇල්ල උඩ ඇල්ල පිහිටා තිබේ. අඩි 16 ක් පමණ උස මේ ඇල්ල කොටස් කීපයකින් යුක්තය. කලටුවාව කන්දෙන් ගලා එන ජල පහරකින් මෙය සැදී ඇත. මේ ජල ධාරාව බටහිර දෙසට ගලාගොස් වක් ඔයට එකතුවී ගොස් කැළණි ගඟට එක්වේ.

ඇල්ල උඩ ඇල්ල
රන් මුදු ඇල්ල
මේ මාර්ගයේම තවත් කිලෝ මීටර් 3 ක් පමණ ගියවිට හමුවන පන්ඥාගුල පාරේ මීටර් 300 ක් පමණ ගොස් හමුවන රබර් වත්තේ අඩි පාර දිගේ පහලට ගිය විට රන් මුදු ඇල්ල හමුවේ.අඩි 49 ක් පමණ උස මේ ඇල්ලේ කොටස් තුනකි. මුල් කොටස අඩි 10 ක් පමණද, මැද කොටස අඩි 30 ක් පමණද, පහල කොටස අඩි 9 ක් පමණද වේ. පන්ඥාගුල කන්දේ සිට ගලාවිත් පහල අතුරු ඇලකට එක්වී වක් ඔයට එකතුවන දිය පහරකින් මෙය සැදී ඇත.



රන් මුදු ඇල්ල
දඹෝර ඇල්ල
පුවක්පිටිය – තුම්මෝදර මාර්ගය ඔස්සේ තුම්මෝදර හන්දියෙන් ලබුගම දෙසට ගිය විට හමුවන පොල්වත්ත මංසන්ධියෙන් ලබුගම – ඉහල බෝපේ පාරේ මීටර් 700 ක් පමණ ගොස් හමුවන අයර් වත්ත පාරට පහලින් දඹෝර ඇල්ල පිහිටා ඇත. උසින් අඩි 20 ක් පමණවන මෙය ගල් තලාවක් මතින් ගලායයි. තරමක ලඳු කැලෑවක් තුල අප්රකටව ඇති මේ ඇල්ලට ලඟාවීම තරමක් අසීරුය. තුම්මෝදරට බටහිරින්පිහිටි කඳුවැටියෙන් ඇරඹි නැගෙනහිර දෙසට ගලාවිත් වක් ඔයට එකතුවන ජල මාර්ගයකින් මෙය නිර්මාණය වී තිබේ.


දඹෝර ඇල්ල
මේ ප්‍රධාන දිය ඇලි වලට අමතරව කළු අග්ගල – තුම්මෝදර (B 188) මාර්ගයේ තුම්මෝදර ආසන්නයේ පිහිටි ඉඳිකඩ මුකලානේද දිය ඇල්ලක් මෙන් ගල් පර්වත ඔස්සේ ඇදහැලෙන දිය දහරක් වැසි කාලයේදී පමණක් දැකිය හැකිය.
මේ දිය ඇලි පිහිටි ප්‍රදේශ සුන්දර පරිසරයකින් හෙබි ග්‍රාමීය ප්රදේශයන්ය. මේ ගම්වල වැසියන් පරම්පරා ගණනක් මේ දිය දහරා, පරිසරය සුරකිමින් ඉතා සැලකිල්ලෙන් හා ප්‍රවේශමෙන් පරිහරණය කොට තිබේ. දැන් නාගරික වැසියන් විනෝද සංචාරයක් ලෙසින් මේ ස්ථාන වලට පැමිණ කා බී විනෝදවී ප්ලාස්ටික්, බිදුණු බෝතල් ඇතුළු නොයෙක් අප ද්‍රව්‍ය ජල මාර්ගවලට හා පරිසරයට මුදාහැර තිබෙනු පෙනේ. බිමත්ව හා නොසැලකිලිමත් ලෙස මේ තැන්වල දිය නෑමට යාමෙන් හා ගල් මතින් පහලට යාමට උත්සාහ කිරීමේදී සිදුව ඇති ජිවිත අහිමිවීම් හා අනතුරු පිළිබඳවද අසන්නට ලැබීම කනගාටුවට කරුණකි.
මේ දිය ඇලි බලන්නට යාමේදී පෞද්ගලික ඉඩම් හරහාද යාමට සිදුවේ. එහෙයින් පෞද්ගලික දේපල වලට අලාභ හානි සිදුකිරීමෙන් හා ප්‍රදේශ වාසීන්ට හිරිහැරයක් වන අන්දමින් හැසිරීමෙන් වැළකීම දිය ඇලි බලන්නට යන හැමගේම වගකීමයි. එමෙන්ම මේ ස්ථානවල සුන්දරත්වය අන් අයටද අත්විඳීමට ඉතිරි කිරීම සඳහා කැලි කසල පරිසරයට එක් කිරීම, ගහ කොළ විනාශ කිරීම, අසංවරව හැසිරීම ආදියෙන් වැලකි සිටීම ආදිය නරඹන්නට යන ඔබගේ යුතුකමයි.