වසර මිලියන 13.6 කට පමණ පෙර මයෝසින යුගයේ සිදුවූ පෘතුවි තැටි ගැටීම හේතුවෙන් පෘතුවියේ නව කඳු පන්ති බිහිවිය. ඒ සමගම විශාල මුහුදු පෙදෙස් හා රට තුල විශාල ජලාශද ඇතිවී තිබේ. වසර දහස් ගණනක් තිස්සේ සිදුවූ වාශ්පීකරණය ආදිය නිසා නිසා ජල මට්ටම වෙනස්වීම, නාය යාම් නිසා ජලාශ ගොඩවිම ආදී නොයෙකුත් භූගෝලීය සාධක නිසා මේ ජලාශ වියැකී ගොස් රට තුල විශාල ලුණු නිධි ගොඩනැගී ඇත. එසේ ගොඩනැගුනු විශාල ලුණු නිධියක් පෝලන්තයේ ක්රැකෝ (Cracow) නගරයට ගිනිකොන දිගින් පිහිටා ඇත.

අද ඛනිජ තෙල් වලට තිබෙන වෙළඳපොල මෙන් වෙළඳපොළක් මධ්‍යතන යුගයේ පැවතියේ ලුණු වෙනුවෙන් බව පෙනේ. ආහාර වර්ග කල් තබා ගැනීමට ශීතකරණ නොතිබුණු යුගයක ආහාර කල්තබාගැනීමට ප්‍රධාන වශයෙන් භාවිතා කළේ ලුණුය. ලුණු සඳහා ඉතා ඉහල වෙළඳ පොලක් තිබු බැවින් පෝලන්තයේ ධන නිධානයක් වූ දකුණු පෝලන්තයේ ක්රැකෝ (Cracow) නගරයට ගිනිකොන දිගින් පිහිටි වීලිච්කා (Wieliczka) ලුණු ආකරය අවුරුදු 700කට අධික කාලයක් තිස්සේ ඉතාම සාර්ථක ලෙස ලුණු කැණීම කරන ලදී. මෙය වර්ග කිලෝමීටර් 7 පමණ ප්‍රදේශයක් තුල මීටර් 327 ක් (අඩි 1000 ක් පමණ) ගැඹුරට, තට්ටු 9 ක් ලෙස කාමර වශයෙන් 2000 කටත් වැඩි ප්‍රමාණයක් කැණීම් කර ඇත. මේ කාමර සම්බන්ද කර ඇති පටු මාවත් කිලෝමිටර තුන්සියයක් පමණ දිගට විහිදී ඇත.

මෙය සම්පුර්ණයෙන්ම අතින් කණින ලද ආකරයකි. ශත වර්ෂ ගණනාවක් තිස්සේ කැණීම් කරන අය විසින් කැණීම් කිරීමේදී යම් යම් නිර්මාණයන් කිරීමේ සිරිතක් පවත්වාගෙන ගොස් ඇත. එනිසා මේ තුල ජලාශ, දේවස්ථාන, කෞතුකාගාර, ආපන ශාලා, නොයෙකුත් පිළිරූ ආදිය ඉදිවී තිබේ. 15 වන සියවසේ පමණ සිටම ලක්ෂ ගණනක් සංචාරකයින් මෙහි ඇති මෙවැනි විසිතුරු දේ නැරඹීමට පැමින ඇත. ඊජිප්තුවේ පිරමිඩ් වලට වඩා විශිෂ්ටත්වයෙන් මෙය දෙවැනි නොවන බව 18 වන සියවසේදීත් සමහර සංචාරකයන්ගේ පිළිගැනිම වී තිබිණ.

ජලාශ

ලුණු වලින් නිමවා ඇති ප්‍රතිමා
මානව ඉතිහාසයේ වැදගත්කම සලකා 1978 සිට UNESCO ලෝක උරුමයක් ලෙස වීලිච්කා ලුණු ආකරය නම් කරනු ලැබිණ . මෙහි වාණිජ වශයෙන් ලුණු කැනීම 1996 දී පමණ නවතා ඇත. පෝලන්තයේ ක්රැකෝ නගරයට කිලෝ මීටර් 14 ක් පමණ ගිනිකොන දීගට වන්නට පිහිටි මේ වීලිච්කා ලුණු ආකරය සංචාරකයන් අතර ඉතා ජනප්‍රිය ගමනාන්තයකි. මෙය නැරඹීම සඳහා වසරකට මිලියනයකටත් වැඩියෙන් සංචාරකයෝ පැමිණෙති.

පටු මාවත්
මේ ලුණු ආකරය තුල කිලෝමීටර් 3.5 ක පමණ ප්‍රමාණයක් සංචාරකයන් වෙනුවෙන් විවෘත වී තිබේ. එය ආකරයෙන් 1% පමණ ප්රමාණයකි. මෙය නැරඹීමට යාමේදී ලි වලින් සාදන ලද පඩි 380 ක් පමණ බැසීමට සිදුවේ. ආකරයේ බිත්ති ශක්තිමත් කර ඇත්තේ හා පඩි පිළියෙළ කර ඇත්තේ දැවයෙනි. පරිසරයේ පවත්නා ලුණු ගතිය නිසා දිලිර බැඳීම් ආදියෙන් දැව ආරක්ෂා වී තිබේ.


පටු මාවත්
මේ ආකරය නැරඹීමට පැමිණි මුල්ම සංචාරකයෙක් වූ පෝලන්ත ජාතික තාරකා විද්‍යාඥ නිකුලස් කොපර්නිකස් නමින් මෙහි කාමරයක් ඔහුගේ 500 වන උපන් දිනයේදී නම්කොට තිබේ.
මේ තුල දේවස්ථාන ගණනාවක් දකින්නට ලැබේ. 17 වන සියවසේ ගොඩ නැගු සාන්ත අන්තෝනි දෙව් මදුර ඉන් පැරණිම එක ලෙස ගණන් ගැනේ.
ශ්වසන සංකුලතා ඇති අයට විශේෂිත ප්‍රතිකාර කරන නිකේතනයක්ද මෙහි පිහිටුවා ඇත. මෙහි පවත්නා ලුණු සහිත වාතාශ්‍රය විෂබීජ, බැක්ටීරියා හා ආසාත්මිකතා ඇතිකරන දේවල් වලින් තොර බව කියනු ලැබේ. එවන් පරිසරයක් කෘතිමව ඇතිකිරීම අපහසු බැවින් මෙහි පිහිටුවා ඇති නිකේතනයේ ඇදුම වැනි රෝගවලට පුනරුද සමයේ සිටම සාර්ථක ලෙස ප්‍රතිකාර කරන බව කියති.

St .Kinga දේවස්ථානය

ලුණු වලින් නිමවා ඇති ප්‍රතිමා

ලුණු වලින් නිමවා ඇති ලාම්පු
මේ තුල ඇති St .Kinga දේවස්ථානය යුරෝපයේ පිහිටි විශිෂ්ඨතම භූගත දේවස්ථානයවේ. මීටර් 101 ක් පොලව මට්ටමින් පහතින් පිහිටි මේ දේවස්ථානය මීටර් 31 ක් දිගින් මීටර් 15 ක් පළලින් හා මීටර් 12 ක් උසින් යුක්තය. වසර සියයක පමණ කාලයක් තිස්සේ මේ දේවස්ථානය ගොඩනගා ඇත. එය නම් කොට ඇත්තේ පතල් සේවකයින්ගේ සාන්තුවරයා ලෙස සැලකෙන St .Kinga නමිනි. 1890 පමණ සිට දේවස්ථානයේ ආගමික කටයුතු සිදුකෙරේ.

ලුණු වලින් නිමවා ඇති ලාම්පු
මේ St .Kinga දේවස්ථානයේ ඇති අල්තාරය, ප්‍රතිමා, ලාම්පු, ආගමික භාණ්ඩ ආදී සියලු දේ ලුණු වලින් ඉතා අලංකාරලෙස නිමවා තිබේ. මෙහි ඇති බොහෝ ලුණු කැටයම් පතල් සේවකයන් විසින්ම නිමවා තිබේ. මෙහි ප්‍රධාන කලාකරුවන් ලෙස සැලකෙන්නේ Antoni Wyrodek සහ ඔහුගේ සොහොයුරු Józef and Tomasz Markowski යන අයයි. ලියනාර්ඩෝ ඩාවින්සි ගේ “අවසාන භෝජන සංග්‍රහය” නම් සිතුවම ඉතා අලංකාරලෙස Wyrodek විසින් මෙහි කැටයම් කොට ඇත.

අවසාන භෝජන සංග්‍රහය
මේ දේවස්ථානයේ ශබ්ද පාලනයද විශිෂ්ටය. එහෙයින් මෙතුල බොහෝ ශ්‍රේෂ්ට සංගීතඥයින් වාද්‍ය ප්‍රසංගද පවත්වා ඇත.

මේ ආකරය තුල ඇති තවත් මීටර් 36 උසැති කාමරයක නොයෙක් වික්‍රමාන්විත ක්‍රීඩා කිරීමට ක්‍රීඩකයෝ ඉදිරිපත්ව ගිනස් වාර්තා පවා පිහිටුවා ඇති බව කියති.

භෝජනාගාරය
මේ ආකරය තුල පිහිටුවා ඇති කෞතුකාගාරයේ මුල් කාලයේ සිටම කැනීම් සඳහා භාවිතා කළ උපකරණ ආදිය ප්‍රදර්ශනය කෙරේ. ආකරය තුල සුඛෝපබෝගී භෝජනාගාරයක්ද පිහිටුවා ඇති අතර මෙහි ඇති ශාලා හා දේවස්ථානය විවාහ මංගල්‍ය ආදී නොයෙකුත් උත්සව සඳහා කුලියට දීමද කරනු ලැබේ.
Map from www.mapmania.org and reddit