උතුරු මැද පළාතේ, අනුරාධපුර පැරණි නගරයේ හා ඒ ආසන්නයේ පමණක් නොව ඊට කිලෝමීටර් ගණනාවක් ඈත පෙදෙස් වල පවා ඓතිහාසික හා ප්‍රාග් ඓතිහාසික වටිනාකමකින් යුත් භුමි ප්‍රදේශ දක්නට ලැබේ. අනුරාධපුරයට කිලෝමීටර් 40 ක් පමණ වයඹ දෙසින් මල්වතු ඔය වම් ඉවුර හා විල්පත්තුව වනෝද්‍යානයේ නැගෙනහිර සීමාවට මැදිව උතුරු පළාත් මායිම ආසන්නයේ පිහිටි තන්තිරිමලේ එවන් විශේෂිත ප්‍රදේශයකි.

මහින්දාගමනයටත් පෙර උපතිස්ස ඇමති විසින් පිහිටුවාගෙන තිබු උපතිස්ස ග්‍රාමය මේ තන්තිරිමලේ විය හැකිය. තන්තිරිමලයේ සිට වයඹ දිග වෙරළ දක්වාම එකල සශ්‍රික ජනාවාස තිබුණු බව කියති. දෙවන පෑතිස් රජ සමයේ මෙය තිවක්ක නම් බමුණකු සතුව තිබී ඇත. ශ්‍රී ලංකාවට ශ්‍රී මහා බෝධිය වැඩම කරවීමේ පෙරහැර මෙහිදී එක් දිනක් නවාතැන් ගත බවත් මංජුසාවක වැඩමවන ලද ශ්‍රී මහා බෝධි අංකුරය ප්‍රදේශයේ පිහිටි උසම ගල් තලාව වන මෙහි එදින තැන්පත්කොට පුද පුජා කරන ලද බවත් වංශ කතාවල සඳහන්වේ.
බෝධිය

බෝධිය
ශ්‍රී මහාබෝධිය අනුරාධපුරයට වැඩමවා මහමෙව්නා උයනේ රෝපණය කළ පසු හටගත් පළමු අංකුර අටෙන් එකක් ශ්‍රී මහාබෝධිය වැඩමවද්දී ඊට සහභාගිවූ හා රාජකීය පිරිසට නවාතැන් සපයා ආගන්තුක සත්කාර කොට ශ්‍රී මහා බෝධියට පුද පුජා ආදිය කොට ගෞරව දැක්වූ තිවක්ක බමුණාට කළ ගුණ සැළකීමක් ලෙස පිරිනමා ඇත. ඔහු එය පිළිගෙන පෙරහරින් තන්තිරිමලයට වැඩමවා එදා ශ්‍රී මහා බෝධිය වඩමවද්දී එය තැන්පත්කොට තිබු උස් ගල්තලාව මත මණ්ඩපයක් සකසා එහි රෝපණය කොට ඇත. පසු කාලීනව එයට බෝධිඝරයක්ද තනවා ඇත. එවක් පටන් මේ ස්ථානය බෞද්ධ සිද්ධස්ථානයක් බවට පත්ව ඇත. පසුකාලීනව මේ භුමියේ බෞද්ධාගමික ගොඩනැගිලි හා ප්‍රතිමා ආදිය ඉදිවී ඇත. මේවා සමහරක් අදද දක්නට ලැබේ.
සැතපෙන පිළිමය

බෝධිය රෝපණය කරන ලද ගල් තලාවේ උතුරු බෑවුමේ ගල් කුල කැණ නෙලා ඇති සැතපෙන බුදු පිළිමයක් වේ. ක්‍රි.ව. 7, 8 හෝ 9 වන සියවසට පමණ අයත්යැයි සැලකෙන මෙය, බුදු රජාණන්වහන්සේ සිංහ සෙයියාවෙන් සැතපෙන ආකාරය නිරූපිතය. අඩි 45 ක් පමණ දිගකින් යුක්ත මේ පිළිමයේ සිවුරේ තනි රැලි ඉතා හොඳින් ඉස්මතුකොට දක්වා ඇත. පිළිමයේ ආරක්ෂාව සඳහා එකල පිළිම ගෙයක්ද තනා තිබු බව හෙළිවේ. තන්තිරිමලේ වල්බිහිවූ පසු මේ පිළිමයේ සිරස හා ගැබ නිධන් හොරුන් විසින් විනාශ කොට ඇත. 1974 දී පමණ කරන ලද කැනීම් වලදී සිරසේ කොටස් හමුව ඇත. ඒ කොටස් උපයෝගී කරගෙන පිළිමය ප්‍රතිසංස්කරණය කරන්නට 1984 දී උත්සාහ ගෙන ඇති නමුත් කළ නොහැකිවී ඇත. පසුව ඇතිවූ ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු අඩාල වින. ත්‍රස්තවාදී තර්ජනවලින් රට මුදාගත් පසු 2012 දී මහින්ද චින්තන උරුම අරුණ වැඩ සටහන යටතේ මේ පිළිමය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සංරක්ෂණය කොට ඇත.
සමාධි පිළිමය


බෝධියට දකුණුපසට වන්නට පිහිටි ගලක් ලෙනක් ආකාරයෙන් ඇතුලට කැණ ඒ තුල බුදුරජානන් වහන්සේ වීරාසන ක්‍රමයට ධ්‍යාන මුද්‍රාවෙන් වැඩහිඳින ආකාරයේ අඩි 8 ක් පමණ උසට සමාධි පිළිමයක් ක්‍රි.ව.8 -9 සියවසේදී නෙළා ඇත. පිළිමය පිටුපසින් ගලට සම්බන්දවි ඇත.
මන්දස්මිතය සහිත මුහුණින් හා ගතින් සමාධි ගුණය ඉස්මතුකොට ඇත. මෙහි බුදුරජානන් වහන්සේ වැඩහිඳින්නේ ඵලකාසනයක් මතයි. ආසනයට යටින් වාමන රූප කැටයම් දක්නට ලැබේ. මේ ආසනයට පිට ඇන්දක්ද සහිතය. පිට ඇන්ද දෙපස මකර මුඛ දෙක යට සිටගෙන ඉන්නා ආකාරයේ සිංහ රුප දෙකකි. පිට ඇන්දට ඉහලින් බුදුරජානන් වහන්සේගේ හිස දෙපස චාමර සලනා දේව රූප දෙකකි. හිසට පිටුපසින් බුදුරැස් මාලාවද නෙලා ඇත. හිස දක්ෂිනාවෘත කෙස් පිඩු වලින් හා හිස මත ශිකාකාර සිරස්පතකින්ද යුක්තය. ඒකාංශ පාරුපන ක්‍රමයට පොරවා ඇති සිවුර ඇඟට ඇලී ඇති ආකාරයෙන් හා තනි රැලි ආකාරයෙන් නෙළා තිබේ.
මේ පිළිමය සඳහා වහලක් තනා තිබු බව ඉදිරිපස ඇති කැටයම් සහිත ගල් උළුවස්ස, ගඩොල් බැමි හා පර්වතයේ කැණ ඇති සිදුරු ආදියෙන් තහවුරුවේ. මේ සමාධි පිළිමය දෙපසින් තවත් පිළිම කීපයක් නෙලන්නට ආරම්භ කර ඇතත් අවසන්කොට නොමැත. එසේම මේ ස්ථානයට යාමට පියගැට පෙලක්ද නිමවීමට උත්සාහ කර ඇත. මේ කටයුතු කරන්නට ඇත්තේ අනුරාධපුර යුගයේ අවසන් කාලයේ විය හැකිය. ප්‍රදේශයට එල්ලවූ පර සතුරු ආක්‍රමණ හේතුවෙන් වැඩ නිම කරන්නන්ට නොහැකි වන්නට ඇත.
පොත්ගුල


බෝධියට නැගෙනහිර දෙසින් පිහිටි ගල් කුල මත ඇති චතුරශ්‍රාකාර ඉදිකිරිම පොත් ගුලක් ලෙස හඳුනාගෙන ඇත. එක් දොරටුවක් පමණක් ඇති මෙහි බිත්ති හා වහල නිමවා ඇත්තේ කළුගල් වලිනි. මේ සඳහා යොදාගත් ගල් කුට්ටිවල අටවන සියවසේ පමණ භාවිතා කළ අක්ෂර සටහන් කොට ඇත. මේ ගොඩනැගිල්ල තුල එකල භාවිතා කළ පුස්කොල පොත් ආරක්ෂාකාරීව තැන්පත් කොට තබන්නට ඇත. ගල මත පිහිටි මෙයට පිවිසීම සඳහා ගඩොලින් හෝ දැවයෙන් පියගැට පෙළක් තිබෙන්නටද ඇත.
(ලෙනෙහි පින්තුරය අන්තර් ජාලයෙනි)
පොත් ගුල පිහිටි ගල් කුල කැණ ලෙනක් නිර්මාණය කර ඇත. මේ ලෙනට ඉදිරියෙන් වහලක් හා උළුවස්සක් තිබුණු බව සිතිය හැක. මේ ලෙන පොත් කියවීම සඳහා භාවිතා කරන්නට ඇතැයි අනුමාන කෙරේ.
පධාන ඝරය
(පින්තුරය අන්තර් ජාලයෙනි)
පොත්ගුලේ ලෙනට ඉදිරිපස පධාන ඝරයක පාදම හා බිත්තිවල නටබුන් දැකිය හැක. මෙහි ඉදිරිපස කොටස විවෘත මණ්ඩපයක් ලෙස හා පිටුපස කොටස වහලක් සහිතව තිබී ඇතැයි සැලකේ. තන්තිරිමලේ පුදබිම් පරිශ්‍රයේ මෙවන් ගොඩනැගිලි 12 ක පමණ නටබුන් සොයාගෙන ඇත. මේවා භික්ෂුන් වහන්සේලා භාවනානුයෝගිව වැඩ සිටි සංඝාරාම ගොඩනැගිලි විය හැකිය.
විශාල ගල් තලාවක් වූ මේ පුදබිමේ තැන් තැන් වල පොකුණු නිර්මාණය කර තිබීම විශේෂත්වයකි


13 වන සියවස පමණ වනවිට අනුරාධපුරයට එල්ලවූ සතුරු ආක්‍රමණ නිසා තන්තිරිමලය පෙදෙස ජන ශුන්‍ය වී පුදබිම වල්බිහි වින. දීර්ඝ කාලයක් ජන ශුන්‍යව පැවති තන්තිරිමලේ නැවතත් ජනාවාසයක් කොට ඇත්තේ 1960 දී පමණ පුජ්‍ය කුඩාකෝන්ගස්කඩ විමලඥන හිමියන්ගේ අප්‍රතිහත ධෛර්යයෙනි.

1960 න් පසුව කොළඹ ප්‍රදේශයේ පදිංචි ජේ.පි. ප්‍රේමදාස මහතා සහ එම මැතිණිය විසින් ඉදිකරවන ලද ඝන්ඨා කුළුණක් බෝධිය සමීපයේ දක්නට ඇත. මෙහි දක්නට ලැබෙන චෛත්‍යයද 1976 දී පමණ එම දේපල විසින් ඉදි කරවා තිබේ. ප්‍රමාණයෙන් කුඩා වුවත් මේ බුබ්බුලාකාර චෛත්‍යය තන්තිරිමලේ පුද බිමට පැමිණෙන සැදැහැවතුන්ගේ භක්තිමත් සිත පුබුදුවයි.

චෛත්‍යය
තන්තිරිමලේ පුද බිමට පැමිණෙන සැදැහැවතුන්ට වන්දනාමාන කරගන්නට බුදු මැදුරක්ද මෑතකදී තනවා ඇත.


බුදු මැදුර
මේ පෙදෙසින් හමුවූ පුරාවස්තු ප්‍රදර්ශනය කෙරෙන කෞතුකාගාරයක්ද මේ පරිශ්‍රයේ පිහිටුවා ඇත.
1992 කුඩාකෝන්ගස්කඩ විමලඥන හිමියන් කණගාටු දායක ලෙස අපවත්වූ අතර ඉන් පසු පුජ්‍ය තන්තිරිමලේ චන්දරතන නාහිමියෝ මේ ස්ථානයේ අභිවෘද්ධිය සඳහා කැපවී සිටිති.
ලෙන් චිත්‍ර
තන්තිරිමලේ ශ්‍රී ලාංකික මානවයාගේ ප්‍රාග් ඓතිහාසික තොරතුරුද හෙලිකරගන්නා ලද ස්ථානයකි. 1910 දී පමණ සහකාර පුරාවිද්‍යා කොමසාරිස් වරයෙකු වූ ජෝන් ස්ටීල් මහතා තන්තිරිමලේ ප්‍රදේශය ආශ්‍රිතව කරන ලද සමීක්ෂණ වලදී ඔහු ආදි මානවයන් භාවිත කරන ලද බවට විශ්වාස කෙරෙන පැරණි ගෘහ නිර්මාණ ශිල්පිය අවශේෂ, වටකුරු හා පලිඟු ගල් හා මෙවලම්ආදිය මෙහි ගල් ලෙනක තිබී සොයාගත් බව ප්‍රකාශ කර ඇත.
තන්තිරිමලේ ප්‍රාග් ඓතිහාසික මානවයාගේ වාසස්ථානයක් බවට හෙළිවන ඉතා වැදගත් සාක්ෂියක් වන්නේ මේ පුද බිමේ සිට මීටර් 500 ක් පමණ ගිණිකොන දෙසට ගියවිට හමුවන ලෙනෙහි දක්නට ලැබෙන චිත්‍රයි. මේ චිත්‍ර අපර පාෂාණ යුගයේ ගල් ගුහාවල විසූ දඩයක්කාරයන් විසින් අඳින්නට ඇතැයි විශ්වාස කෙරේ. මේ චිත්‍ර වසර 4000ක් පමණ පැරණි ඒවා බව සෙනරත් පරණවිතාන මහතාගේ අදහසයි. මේ චිත්‍ර තනි වර්ණයකින් ඇඳ ඇති නිසා චිත්‍ර ඇඳීම සඳහා අළු හා මකුළු භාවිතා කරන්නට ඇතැයි සිතිය හැකිය. ඇඟිල්ලෙන් හෝ තලාගත් කෝටුවකින් චිත්‍ර අඳින්නට ඇත. චිත්‍රවල දැක්වෙන රූප ඔවුන්ගේ දෛනික ජිවිතයේ අත්දැකීම් විය හැකියයි සිතීම සාධාරණය.
තන්තිරිමලේ මේ ගුහාවේ දැක්වෙන චිත්‍ර වල සත්ව රූප පක්ෂීන්ගේ රූප හා මානව රූප ගණනාවක් දක්නට ලැබේ. ඒ අතර දුනු හී ගත් මිනිසුන්, සතුන් පිට නැග යම් මෙවලමක් දරා සිටින මිනිසුන්ගේ චිත්‍රද වේ. එමෙන්ම සුර්යයාගේ චිත්‍රයක්, මි පැණි එකතු කරන හං ගොටුවක චිත්‍රයක්, දුනු හා ඊතල වල චිත්‍ර හා හඳුනා නොගත් සංකේතවල චිත්‍රද දැකගත හැකිය.
ලෙනෙහි දක්නට ලැබෙන චිත්‍රවල අනුරූ
මිනිසුන්
සතුන් පිට නැග සිටින මිනිසුන්
සත්ව රූප
දුනු හී
සුර්යයා
හං ගොටුව
හඳුනා නොගත් සංකේත
ඒ අනුව අපට සිතාගත හැක්කේ ඒ කාලයේ මිනිසුන් සමුහ වශයෙන් දඩයමේ ගියබවත්, මිනිසුන් සතුන් හිලෑ කරගෙන තිබෙන්නට ඇති බවත්ය. තන්තිරිමලේ ගවේෂණය කල ජෝන් ස්ටීල් මහතාට එහි වැදි ජනයා පවසා ඇත්තේ ඒ චිත්‍ර ඔවුන් හෝ ඔවුන්ගේ මුතුන් මිත්තන් විසින් හෝ අඳින ලද ඒවා නොවන බවයි. එහෙයින් ජෝන් ස්ටීල් මහතාගේ අදහස වී ඇත්තේ මේ සිතුවම් ප්‍රාග් ඓතිහාසික යුගයේ ඔස්ත්‍රො නීග්‍රොයිඩ් මානවයා විසින් අඳින ලදැයි කියාය.
එහෙයින් තන්තිරිමලේ බෞද්ධ සිද්ධස්ථානයක් පමණක් නොව මානවයාගේ ඉතිහාසය හෙළිදරව් කරන තවත් සුවිශේෂී ප්‍රදේශයක් බව පෙනේ.