“අහසින් වැටෙන එක් දිය බිඳුවක්වත් මිනිසාගේ ප්‍රයෝජනයට නොගෙන මුහුදට එක් වීමට ඉඩ නොදිය යුතුය ” යයි කියමින් එය යථාර්තයක් බවට පත් කිරීමට වෙරදැරූ ශේෂ්ඨ නරපතියෙකි මහා පරාක්‍රමබාහු රජතුමා. ක්‍රි. ව. 1123 දී උපත ලද එතුමා ක්‍රි.ව. 1153 සිට 1186 දක්වා ශ්‍රී ලංකාවේ අසහාය පාලකයා විය. ලංකාව “පෙරදිග ධාන්‍යාගාරය” නම් විරුදාවලිය ලද්දේ එතුමාගේ කාලයේය. එතුමා විසින් කරවන ලද පරාක්‍රම සමුද්‍රය වැනි ඉදිකිරීම් සියවස් ගණනාවක් තිස්සේ ලක් වැසියනගේ ආර්ථිකය ශක්තිමත් කරමින් ජීවනෝපායට අත්වැල සැපයුවාක් මෙන්ම කිව නොහැකි තරම් කාලයක් ඉදිරි පරම්පරා වලටද ඒ සේවාව සපයනු ඇත. එතුමා විසින් ප්‍රතිසංස්කරණය කළ හා ගොඩනැගු ආගමික සිද්ධස්ථාන අනාගත ලෝක සත්වයාගේද අධ්‍යාත්මික සංවර්ධනයට රුකුලක් වනු ඇත.
පරාක්‍රම සමුද්‍රය
පළමුවන වන විජයබාහු රජතුමා (1055–1100) චෝල පාලනයෙන් රට මුදවාගෙන නැවත ලංකාවේ ආර්ථික සංවර්ධනයට හා පිරිහී තිබුණු බෞද්ධ සිද්ධස්ථාන හා ආගම පුනරුත්තාපනය කිරීමට උත්සුක වුයේය. එතුමා විසින් ආරම්භ කල මේ වැඩ සටහන් තවත් කිහිප ගුණයකින් වැඩිකරමින් ඉටු කිරීමට හා පොලොන්නරුව අගනගරය විශාල ලෙස සංවර්ධනය කිරීමට මහා පරාක්‍රමබාහු රජතුමාට හැකිවිය. වංශ කතාවන්ට අනුව එතුමා විවිධ කුසලතා වලින් පරි පුර්ණ වූවෙකි. කලා, විද්‍යා, වෛද්‍ය, ඉංජිනේරු, යුද ශිල්ප, ධනු ශිල්ප, කඩු හරඹ, පමණක් නොව නැටුම්, කාව්‍ය ශාස්ත්‍රය හා සංගීතය හොඳින් දත් අයෙකි. බුද්ධාගම පමණක් නොව වෙනත් ආගම් පිළිබඳවද දැනුමැති යතිවරයෙකි. විදේශයන් සමගද වෙළඳ සබඳතා ඇතිකරගත් එතුමා වෙළඳ කටයුතු වෙනුවෙන් වරෙක බුරුමය සමග හා තවත් වරෙක දකුණු ඉන්දියාව සමගද යුද ක්‍රියාවන්හිද නිරතව ඇත.
එවන් ශ්‍රේෂ්ඨ නරපතියෙකුගේ නිවහනේ නෂ්ඨාවශේෂ අදද අපට දැක බලා ගන්නට හැකිවීම භාග්‍යයකි. පොළොන්නරුවේ ඇතුළු නුවර ප්‍රදේශය ඔහුගේ මාලිගය, උද්‍යානය, රාජ සභාව, මගුල් පොකුණ ආදිය පිහිටි බල කොටුව විය.
රජ මාලිගය
මහා පරාක්‍රමබාහු රජ තුමාගේ රජ මාලිගය “වෛජයන්ත ප්‍රාසාදය” යනුවෙන් හඳුන්වා තිබේ. සක්‍ර දෙවයාගේ හා ඉන්ද්‍ර නම් වෛදික දෙවියාගේ වාස භාවනයද හඳුන්වා ඇත්තේ “වෛජයන්ත ප්‍රාසාදය” යනුවෙනි. රජුගේ උත්තරීතර භාවය තහවුරු කරනු වස් මේ නම යොදන්නට ඇත. රජු දේවත්වයේ ලා සලකු බවක්ද අනුමාන කල හැකිය. මේ මාලිගය පිළිබඳව චුල වංශයේ හා මහා වංශයේ වර්ණනාත්මකව විස්තර කර ඇත. ඒ විස්තර වලට අනුව මෙය සත් මහල් ප්රාසාදයකි. එහි කාමර දහසෙකි. විසිතුරු කැටයමින් යුත් දහස් ගණන් කුලුණුද, මාලා කම් ආදියෙන් විසිතුරු වූ දොර ජනෙල්ද, සිය ගණනක් කුටාගාරද, ඇතුළු කාමරවල රන් මුවා දල කඩ මුවා ඇතිරිලි වලින් හෙබි සයනයන්ගෙන් සමන්විත වී ඇත.
මාලිගය අසල බමුණන් ලවා ශාන්ති කාර්ම කිරීමට රන් මැදුරක්ද, මන්ත්‍ර ජප කිරීම සඳහා ධාරණී ගෘහයක්ද, ජාතක කතා කියවීම සඳහා වට ගෙයක්ද, පිරිත් නුල් ආදිය ගැනීම සඳහා පංච සප්තති නම් ගෘහයක්ද තනවා ඇත. මිට අමතරව බුදුන් වැඳීම සඳහා ධර්මාගාරයක්ද, සඳලු තලයේ සිටම නැටුම් ගැයුම් බැලීම සඳහා සරස්වතී මන්ඩපයක්ද, තුන් මහලකින් යුත් රාජවෙසිභුජංග නම් විසිතුරු මන්ඩපයක්ද කරවූ බව වංශ කතා වල සඳහන්වේ.
බිත්තිවල දක්නට ලැබෙන සිදුරු හා කුහර
කෙසේ වෙතත් දැනට ඇතුළු නුවර ශේෂවී ඇති විශාලතම ගොඩ නැගිල්ල රජ මාලිගයයි. එහි පැත්තක දිග අඩි 150 ක් පමණ වේ. ඉතිරිව ඇති විශාල බිත්ති අඩි 30 ක් පමණ උසය. විශාල බිත්ති අඩි 5 කටත් වඩා පලින් යුක්ත වන තර කුඩා බිත්ති අඩි 3 ක් පමණ පළලය. විශාල බිත්තිවල කොටස් මහල් තුනක ශේෂයන් බව පෙනේ. බිත්තිවල දක්නට ලැබෙන සිදුරු හා කුහර ඉහල මහල් සඳහා යොදා ගත් දැවමය වියුහයන් සඳහා වූ ඒවා වන අතර ගොඩ නැගිල්ල සඳහා යෙදූ දැව කොටස් කිසිවක් ඉතිරිව නැත. ගොඩනැගිල්ලේ වහල දරා සිටීම සඳහා තිබී ඇති කුළුණු 36 ක් තිබුණු බව පෙනේ.
ඉහල මහලට පිවිසීමට ඉදිකළ ශෛලමය පියගැටපෙළක් මාලිගයේ පසෙකින් දක්නට ඇත.
පියගැටපෙළ
බිත්ති බදාම වලින් පිරියම් කොට සිතුවම් ඇඳ තිබෙන්නට ඇත. කපරාරු කල බිත්තිවල සියුම් කැටයම් කොට තිබුණු බවට ඉතිරිව ඇති කොටස් වලින් අනුමාන කල හැකිය.
බිත්තිවල කැටයම්
මාලිගයේ ප්‍රධාන ශාලා වලට අමතරව පේලි කීපයකට වන කාමර 50 ක් පමණ දකින්නන ඇත. කාමර බිත්තිවල බදාම හොඳ තත්වයේ පවතී. පොලව ගල් කුඩු මිශ්‍ර බදාමයකින් නිමවා තිබී ඇත.
කාමර
රජ මාලිගා සංකීර්ණයේ අඩි 75 ක් පමණ දිග හා පළලින් යුත් බිසෝ මාලිගා දෙකක් හා තවත් පරිවාර ගොඩනැගිලි කීපයක් වේ. ඒවා මුළුතැන් ගෙවල්, ඇමතිවරු, නිලධාරින් හා මෙහෙකරුවන්ගේ නිවස්න හා මුර කුටි ආදිය විය හැකිය.
රාජ සභා මණ්ඩපය
රජ මාලිගයට නැගෙනහිර දෙසින් ඇත්තේ “රාජ වෛශ්‍ය භුජංග මණ්ඩපය” නමින් හැඳින්වෙන මහා පැරකුම්බා රජුගේ රාජ සභා මණ්ඩපයයි. මෙය අඩි 75.5 ක් පමණ දිග, අඩි 33.5 ක් පමණ පළල හා අඩි 11.5 උස ක්‍රමයෙන් කුඩා වන වේදිකා තුනකින් සමන්විත පාදමක් මත ඉදිවූවකි. වේදිකාවේ පැති පහල කොටස ඇත් රූප වලින්, මැද කොටස සිංහ රූප වලින් හා ඉහල කොටස වාමන රූප වලින් කැටයම් කොට තිබේ.
ඇත් රූප
ගොඩනැගිල්ල බිත්ති රහිතව පෙළකට 12 ක් පමණ වන ශෛලමය කුළුණු පේලි හතරකින් වහලය දරා සිටින සේ නිමකර තිබී ඇත.
කුළුණු
මේ කුළුණු මල් මෝස්තර වලින් අලංකෘතය.
මිට ඇතුළු වීම සඳහා උතුරු දිසාවෙන් පියගැට පෙළකි.
කොටස් දෙකකින් වන පියගැටපෙළ පාමුල සඳකඩ පහනකින් හා දෙපස කොරවක් ගල් වලින් යුතුය. සිංහ ද්වාර ලෙස හැඳින්වෙන ශාලාවේ දොරටුව දෙපස සිංහ මුර්ති දෙකකි.
සිංහ මුර්ති
ගොඩනැගිල්ලට ගිනිකොන දෙසින් උරකැට යෙදු වැසිකිලි වලක් දැකිය හැක.
කුමාර පොකුණ
රාජකීය මාලිගා සංකීර්ණයේ දැකිය හැකි අනෙක් ප්‍රධානතම ස්මාරකය වන්නේ මගුල් උයනේ පිහිටි රාජකීය ස්නාන තටාකයයි. පරාක්‍රමබාහු රජතුමා මාලිගය ආසන්නයේ නොයෙක් තුරු ලතා හා මල් උයන් වලින් අලංකාර කොට නන්දන නමින් උයනක් කරවූ බවත් එය දෙවියන්ගේ නන්දන උයන හා සමාන වූ බවත් මහා වංශයේ කියවේ. එහි ජල යන්ත්‍ර මගින් විහිදෙන වතුරමල් නිසා හැමදා වැසි ඇති තැනක් මෙන් වූ බවත් කියයි. මගුල් උයනේ විසිතුරු මණ්ඩප, පොකුණු, ක්‍රීඩා සඳහා ස්ථාන ආදිය හා මගුල් පොකුණද කරවූ බව මහා වංශයේ තව දුරටත් කියවේ.
රාජ සභා මණ්ඩපයට නැගෙනහිරින් පිහිටි ප්‍රාකාර දොරටුවෙන් පහලට ගියවිට කුමාර පොකුණ හමුවේ. අඩි 44 ක පමණ දිගින් හා අඩි 38 ක් පමණ පළලකින් යුතු මේ පොකුණ පහලට යද්දී ක්‍රමයෙන් කුඩා වී ඇත. පොකුණට පිවිසෙන පඩි පෙළ දෙපස සිංහ මුර්ති දෙකක් හා පොකුණේ මකර මුඛ සහිත ජලය ගලා එන පිලි දෙකකි.
අභ්‍යන්තර නල මාර්ගයෙන් ඇතුළු නුවර දිය අගලේ සිට මෙයට ජලය සපයා ඇත. අප ජලය පිටතට මුදා හැරෙන සිදුර පොකුණ මධ්‍යයේ ඇත. වතුර රඳවා හනිම සඳහා එය ගල් ඇබයකින් වැසිය හැකිසේ පිළියෙළ කොට ඇත.
පොකුණ සමීපයේ ඇති අනෙක් ගොඩනැගිල්ල සළු පිලි අඳින මණ්ඩපයයි. එයද මනරම් කැටයමින් අලංකෘතය. එහි ඇති සඳකඩ පහනද ඉතා දර්ශනීය එකකි.
සළු පිලි අඳින මණ්ඩපය
සඳකඩ පහන
කැටයම්
විජයබාහු මාලිගයේ නටබුන්
ස්මාරක වල පිහිටීම
1 . රජ මාලිගය 2. රාජ සභා මණ්ඩපය 3. කුමාර පොකුණ 4. විජයබාහු මාලිගයේ නටබුන්
මෙවන් ස්ථාන අපේ ප්‍රෞඩ ඉතිහාසය ලොවට පෙන්වන විශිෂ්ඨ ජීවමාන සාධකයි. මහා පරාක්‍රමබාහු නම් ශේෂ්ඨ නරපතිගේ නිර්මාණ වල ආර්ථික ප්රතිලාභ අපි අදත් භුක්ති විඳිමු. එමෙන්ම අනාගත පරම්පරා ගණනනාවක් ඒවා භුක්ති විඳිනු ඇත. ඒවෙනුවෙන් කෘතගුණ සැලකීම සඳහා වත් 1982 සිටම යුනෙස්කෝ ආයතනය මගින් ලෝක උරුමයක් ලෙස නම්කොට ඇති පොළොන්නරුවේ පිහිටි මේ පෞරාණික ස්මාරකයන් අප විසින් ආරක්ෂා කරගත යුතුවේ.