ලංකාවේ පැරණිම බුදුරුව පිහිටි ලෙන් විහාරය
අනුරාධපුර යුගයේදීම ආරම්භ කරන්නට ඇතැයි සැලකෙන මධ්‍ය කඳුකරයේ පිහිටි ඉපැරණි පුදබිමකි හිඳගල රජ මහා විහාරය. පේරාදෙණියේ සිට B 364 ගලහ පාරේ යනවිට පේරාදෙණිය විශ්ව විද්‍යාලය පසුකොට මඳ දුරක් ගියවිට හන්තාන කඳු වැටියේ දකුණු බැවුමේ පිහිටි හිඳගල රජමහා විහාරය හමුවේ. මේ රජ මහා විහාරය වළගම්බා රජ සමයේ ගොඩනැගූ බව සැලකේ. මේ විහාර පරිශ්‍රයේ තිබු සෙල් ලිපි දෙකක් පිළිබඳව කරුණු හෙළිව ඇත. ඒවා 6 වන හා 7 වන සියවස් වලට අයත් බව පරණවිතාන මහතාගේ අදහසයි. මෙහි ඇති හත්වන සියවසට අයත්සේ සැලකෙන ගිරි ලිපියේ මෙහි බෝධි ඝරයක් ඉදිකිරීම ගැන සඳහන්වේ. මේ විහාරයේ දැනට ප්‍රතිමා ගෘහය පිහිටි ලෙන කටාරම් සහිතව පිළියෙළ කොට ඇත්තේ ක්‍රිස්තු පූර්වයේ විය හැකි යයි කියති. ගම්පොල යුගයේදී හෙනකඳ බිසෝ බණ්ඩාර දේවිය හිඳගල විහාරය ප්‍රතිසංස්කරණය කල බව කියති. සඟවා තිබූ දන්ත ධාතුන් වහන්සේ මහනුවරට වැඩම වීමේදී මේ විහාරස්ථානයේද දිනක් වඩාහිඳුවා තිබු බව පැවසේ.
මෙහි ඇති සෙල් ලිපිය අනුව මෙම විහාරස්ථානය ඈත අතීතයේදී “වටක වහර” ලෙස හැඳින්වූවා විය හැකි බවත්, මෙහි ඉන්ද්‍රසාල ගුහාව දැක්වෙන පැරණි චිත්‍රය නිසා විහාරස්ථානයට “ඉන්ද්‍රසාල” ගුහාව යනුවෙන් පසුව හැඳින්වූ නම බිඳී ඒමෙන් හිඳගල ලෙස ව්‍යවහාර වන බවත් සෙනරත් පරණවිතාන මහතාගේ අදහසයි. මෙහි ඇති පර්වතය දණගසා සිටින අලියෙකුගේ හැඩය ගන්නා නිසා හිඳගල ලෙස හැඳින්වූ බවටද මතයකි.
හිඳගල රජ මහ විහාරය දැනට බොහෝ ප්‍රචලිතව ඇත්තේ එහි ඇති බිතු සිතුවම් නිසාය. ශ්‍රී ලංකාවේ චිත්‍ර කලා ඉතිහාසයේ වැදගත් තැනක් මෙහි සිතුවම් වලට ලැබී ඇත. 7 වන සියවස, 14 වන සියවස, 18 -19 සියවස් හා 20 වන සියවසේ මුල් කාලය ආදී කාල වකවානු කීපයකම සිතුවම් මෙහි දක්නට ලැබේ.
පැරණිතම සිතුවම්
වර්තමාන ලෙන් විහාරයේ පියස්සට ඉහලින් කටාරම් කෙටු ගල් කුලෙහි ඇඳි සිතුවම් අනුරාධපුර යුගයේ 7 වන සියවසට අයත්සේ පිළිගැනේ. මේ සිතුවම් 1965 ජනවාරි මස 30 දා ඇතිවූ ගින්නකින් විනාශයට පත්ව ඇතත් දැනට ඉතිරිව ඇති අඩි 11 X 17 පමණ ප්‍රමාණයක වන ශේෂයන් වලින් වුවද සිතුවම් වල වැදගත්කම නිරීක්ෂණය කළ හැකිය.
(ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු මහතා විසින් 1918 දී අඳින ලද මේ සිතුවමේ පිටපතක් ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශණයට තබා ඇත.) සිතුවමේ ඇති අනෙක් මිනිස් රුප වලට සාපේක්ෂව මිනිස් සිරුරකට වඩා වැඩි ප්‍රමාණයකින් බද්ධ පර්යන්කයෙන් විතර්ක මුද්‍රාවෙන් හා ප්‍රතිග්‍රහණ මුද්‍රාවෙන් වැඩ සිටින බුදුරජානන් වහන්සේගේ රූප දෙකක් මෙහිවේ. ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන සිතුවමට නගා ඇති බුදුරජාණන් වහන්සේගේ පැරණිතම සිතුවම් දෙක මෙය බවට විශ්වාසයකි. බුදුරජාණන් වහන්සේ රාජායතන රුක යට වැඩ හිඳින අවස්ථාව වම් පස සිතුවමෙන් දැක්වේ. බුදු රුවට පිටුපසින් ශක්‍ර දේවේන්ද්‍රයා අනෝතප්ත විලෙන් ගෙනා පැන් පුජාකර යන ආකාරයත්, බුදු රජාණන් වහන්සේගේ දකුණු පසින් දන් වැළඳීම සඳහා පාත්‍රය පුජා කරන දෙවිවරු සතර දෙනාත්, ඊට පිටු පසින් විළඳ හා මීපැණි පුජා කිරීමට සැරසෙන තපස්සු හා භල්ලුක වෙළඳ දෙබෑයනුත් සිතුවම් කර ඇත. බුදු රජාණන් වහන්සේ දානය පිළිගනිම සඳහා දෑතම දිගු කර ඇති ආකාරයක් පෙනේ. මේ චිත්‍රය භක්තිය හා ත්‍යාගශිලිත්වය විදහා දක්වන්නකි. ඉන්ද්‍රසාල ගුහාවේදී සක් දෙවිඳුන් බුදුහිමියන් හමුවීමට පැමිණීම ( නැතහොත් ආනන්ද කුමාරස්වාමි මහතාගේ මතයට අනුව මාතෘ දිව්‍යරාජයාට දහම් දෙසීම) දකුණු පස කොටසින් පිළිබිඹු කොට ඇත. බුදු රජාණන් වහන්සේ සරසන ලද ආසනයක් මත අභය මුද්‍රාවෙන් එරමිණිය ගොතා වැඩ හිඳිති. හිස වටා ප්‍රභා මණ්ඩලයද වේ. පසෙකින් බන දෙසුමට ආරාධනය කරන දෙවියාගේ රුව ඉතා විචිත්‍ර ලෙස සිතුවම් කර ඇත. ඊට යටින් ඇති දේව රූප සතර වරම් දෙවි වරුන්ගේ විය හැකිය. චිත්රයේ කෙළවරක ගොනුන් බැඳී කරත්තයක් හා ගොනුන් කීප දෙනෙකුගේ සිතුවම් ඇත.
බුදුරුව
මේ සිතුවම් අජන්තා මෙන් පශ්චාත් ගුප්ත යුගයේ සිතුවම් වලට මෙන්ම සීගිරි හා දිඹුලාගල පුල්ලිගොඩ ආදී ලෙන් සිතුවම් වලටද නෑකම් කියන බවක් පෙනේ. එහෙයින් මේ චිත්රද සිගිරි චිත්‍ර ඇඳි කාලයේම ඒ පරපුරේ සිත්තරුන් විසින් කරන්නට ඇති බව විද්වතුන්ගේ අදහසයි. එල්. ටි. පී. මංජු ශ්‍රී මහතා අදහස් කරන්නේ මේ චිත්‍ර සීගිරි චිත්‍ර වලටත් වඩා පැරණියි කියායි. මේ සිතුවම් ඇඳීම සඳහා කහ, කොළ, සුදු හා රතුවන් දුඹුරු පැහැයන් යොදාගෙන ඇත. වර්ණ භාවිතයෙන් සිතුවමේ ත්‍රිමාන ලක්ෂණය ඉස්මතුකර පෙන්වීමට ශිල්පියා දැරූ උත්සාහය සාර්ථක වී ඇති බව පෙනේ. රතුවන් දුඹුරු පැහැයෙන් ඇති රේඛා භාවිතය සිතුවමේ කලාත්මක භාවය වැඩි දියුණු කර ඇත. බිම් මට්ටමේ සිට නරඹන ප්‍රේක්ෂකයාට චිත්‍රය රසවිඳීමට හැකිවනසේ උන්නත භාවය හා දුර පිලිබඳ අවබෝධයකින් යුතුව ඉහළ මට්ටමකින් පිහිටි ගලෙහි මුහුණතේ චිත්රණය කොට ඇති ආකාරය හා එක චිත්‍රයක් තුල සිද්ධීන් කීපයක් ගලපා තිබෙන ආකාරය අපුරුය. මේ චිත්රවල අවස්ථාවට අනුව බුදු රජාණන් වහන්සේගේ භාව ප්රකාශනය හා අභිනය දක්වා ඇති ආකාරය විශිෂ්ටය. මෙය සම්භාව්‍ය සිත්තරෙකුගේ උසස් නිර්මාණයක් බව විද්වතුන්ගේ පිළිගැනීමයි.
හිඳගල රජ මහා විහාරය නැවත සංවර්ධනය වී ඇත්තේ මහනුවර යුගයේදීය. මේ ලෙන් විහාරය ඇතුළු ගර්භයකින් හා ඒ වටා වන ප්රදක්ෂිණා පථයකින් සමන්විතය. ලෙන තුල සැතපෙන විශාල බුදු පිළිමයක්, හිඳි පිළිමයක් හා හිටි පිළිම කීපයක් වෙයි. ලෙන් විහාරය තුල දක්නට ලැබෙන සිතුවම් නුවර හා ගම්පල යුගයේ කළ ඒවාය. විහාරය තුල බිත්තිවල බුදුරජානන් වහන්සේ ඉන්ද්‍ර ඇතුළු දෙව් බඹුන්ට දහම් දෙසීම, සක් දෙවිඳු, බුදු රජාණන් වහන්සේ හා ශ්‍රාවක පිරිස ආදිය සිතුවම් කොට ඇත. මාර පරාජය දැක්වෙන විශාල සිතුවමක් ගල් වියනේ දැක්වේ. විහාරයේ නැගෙනහිර බිත්තියේ තීරු කීපයකට බෙදා සිතුවම් කර තිබෙනු පෙනේ. ඉහලින්ම ඇති තීරුවල සොලොස්මස්ථාන හා වැඩහිඳින බුදුන්වහන්සේලාගේ සිතුවම්ය. දකුණු පැත්තේ තීරුවල වෙස්සන්තර ජාතකය දැක්වේ. අනෙක් පැත්තේ දහම්සොඬ ජාතකය හා චුල්ලධම්මපාල ජාතකය සිතුවම් කර ඇත. ලියවැල් පෙලකින්ද සිතුවම් අලංකාර කොට ඇත.
ලෙන තුල දකුණට වන්නට කුඩා දාගැබක් ඉදිකොට තිබේ.
මකර තොරණ
විහාරයට පිවිසීමට ඇත්තේ අලංකාර මකර තොරණකින් සමන්විත දොරටුවකිනි. මකර තොරණේ තව්තිසා භවන, පූර්ණඝට අතින් ගත් සුද්ධාවාස බ්‍රහ්මයින් දෙදෙනෙක්, ඉන්ද්‍ර හා මහා බ්‍රහ්ම, දේවතා රූප, දොරටුපාල රූප ලියවැල් ආදිය දැක්වේ. දොරටුව දෙපස සක් පිඹින්නන්ගේ රූප හා දොරෙහි මල් මෝස්තර සිතුවම් වේ.
තව්තිසා භවන
සක් පිඹින්නන්
පිටත බිත්තිබිත්තිවල දෙවාරාධනාවේ සිට බුද්ධත්වය ලැබීම දක්වා බුද්ධ චරිතයේ විවිධ අවස්ථා සිතුවමට නගා ඇත.
බුද්ධ චරිතයේ විවිධ අවස්ථා
නිරය
ඊට අමතරව නිරය, සොලොස්මස්ථාන ආදියද වේ. මේ සිතුවම් කොළඹ යුගයේ මුල් කාලයේ (ක්‍රි.ව. 1917 දී පමණ) ඒවාය. ඒවා පැරණි චිත්‍ර මත අඳින ලද්දක් බව පෙනේ. ද්විමාන ලෙස මහනුවර යුගයේ අඳින ලද චිත්‍ර වෙනුවට ත්‍රිමාන ආකාරකට කොළඹ යුගයේදී අඳින්නට ආරම්භ කිරීමේ අවස්ථාවක් ලෙස මෙය ගිනිය හැකිය. මේ චිත්රවල නිල් පැහැය ඉස්මතුවී පෙනේ.
ඝන්ටා කුළුණ
විහාල මළුවේ ඝන්ටා කුළුණක් හා මළුවට උතුරෙන් බෝධීන් වහන්සේ දැකගත හැකිය.
බෝධීන් වහන්සේ
මල්වතු මහා විහාරයට අනුබද්ධ විහාරස්ථානයක් වන මේ විහාරය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සංරක්ෂණය කරනු ලැබ ඇත.
මම මෙම මේ විහාරයේ සිය කිලෝමීටර් 5 – 6 ක් දුරින් පිහිටි කළුගමුව දෙසින් ඉඩමක් මිලදී ගත් නිසා ලංකාවට එන හැම වතාවකම මේ පළාතට එනව. විටක් මෙහි ගොස් තිබෙනවා. පින්තූරත් ඇති අර ගත්ත ඒවා 🙂
කැමතියිLiked by 1 person
මේ විහාරයේ ඇතුලත බිතු සිතුවම් වල පින්තුර තියෙනවාද? මා එහි ගිය දිනයේ ඇතුලත පින්තුර ගන්න එපා කීව නිසා ගත්තේ නැහැ.
කැමතියිLiked by 1 person
අවාසනාවට මම ගිය දවසේ ඇතුළත බලන්න ලැබුණේ නැහැ. ආයෙත් දවසක යන්න හිතාගෙන ඉන්නව. පින්තූර ගන්න පුළුවන් උනොත් එවනිනම්.
කැමතියිLiked by 1 person