මානව ශිෂ්ඨාචාරයේ ආදිතම යුගයේ මිනිසා දඩයම් කරනු ලැබුවේ තම ජීවනෝපාය සඳහාය. ඒ යුගය පසුවී වසර 50,000 පමණ ගතවී ඇති මේ ගොවිතැන් යුගයේදීත් සමහරු දඩයම් කිරීමේ පුරුද්ද අත හැරීමට අකමැතිවූ බවක් පෙනේ. එහෙයින් සමහරු දඩයම් කිරීම විනෝදාංශයක් නැතහොත් ක්‍රීඩාවක් ලෙස කරන්නට පෙළඹී සිටිති. ඩයනා නැතහොත් ආර්ටෙමිස් දඩයමට අධිපති දේවතාවිය ලෙස නම් කරගෙන සිටීමෙන් දඩයමට කොපමණ අගයක් තිබුණේදැයි සිතාගත හැකිය. මෙසේ විනෝදාංශයක් ලෙස දඩයම් කිරීමට රජවරු පවා කැමැත්තක් දැක්වුහ.

මෙසේ දඩයමේ ගිය ප්‍රංශ රජවරු වනයේ නවාතැනක් ලෙස ඉදිකළ ගොඩනැගිල්ල පසුකාලීනව සියවස් අටක් පමණ කාලයක් ප්‍රංශ රජවරු නොකඩවා පරිහරණය කළ මාලිගාවක් බවට පත්විය. ඒ පැරිස් නගරයට කිලෝමීටර් 55 ක් පමණ ගිණිකොන දෙසින් පිහිටි ෆොන්ටේන්බ්ලු මාලිගයයි. ක්‍රි.ව.1137 පමණ ඈත කාලයක සිටම මේ ස්ථානය ප්‍රංශ රජවරු ගැවසුන තැනක් විය. ක්‍රි.ව 1528 දී පමණ පළමුවන ෆ්‍රැන්සිස් රජ මෙය රජ මාලිගාවක් බවට පත් කළේය. පසු කාලින ප්‍රංශ රජවරුද මිට තවත් නොයෙකුත් අංග හා ගෘහ භාණ්ඩ එකතු කරමින් එය මනස්කාන්ත මාලිගයක් කළහ. ප්‍රංශ විප්ලවය සමයේදීත් මේ මාලිගයට හානියක් නොවූ නමුත් එහි තිබු ගෘහ භාණ්ඩ ඉවත් කරනු ලැබිණ. පසුව මෙහි වෙනත් හමුදා ආයතන පිහිටුවනු ලැබිණ. පසුව නැපෝලියන් අධිරාජයා විසින් මේ මාලිගය ගෘහ භාණ්ඩ ආදියෙන්ද පරිපුර්ණ කරමින් ප්‍රතිසංස්කරණය කොට නැවත රාජකීය මාලිගයක් බවට පත්කළේය.
දෙවන ලෝක යුද සමයේ 1940-41 වසරවල මේ මාලිගයේ ජර්මන් හමුදාව ලැගුම් ගති. 1949 දී මාලිගය නැටෝ (Nato) සංවිධානයේ යුරෝපිය මුලස්ථානය බවට පත්වූ අතර 1966 දක්වාම නැටෝ සංවිධානය මෙහි සිට කටයුතු කරන ලදී. 1960 අග භාගයේදී ප්‍රංශ ජනාධිපති චාර්ල්ස් ඩිගෝල් මහතාගේ පාලන කාලයේ මෙය නැවත ප්‍රතිසංස්කරණය කෙරින. 1981 දී මෙය UNESCO සංවිධානය මගින් ලෝක උරුමයක් ලෙස නම් කල අතර දැන් එය කෞතුකාගාරයක් ලෙස මහජන ප්‍රදර්ශනයට විවෘත වී ඇත.
වර්සෛල්ස් ලූව ආදී ඉතා ජනප්‍රිය සංචාරක ස්ථාන තරම් නොවුවත්, ප්‍රංශ ගෘහ නිර්මාණ ශිල්පය, සම්භාව්‍ය කලා, වෙනත් දර්ශනීය භාණ්ඩ හා උද්‍යාන අලංකරණය ආදී දේවල් පිලිබඳ උනන්දුවක් දක්වන බොහෝ සංචාරකයින් නොවරදවා පැමිණෙන ස්ථානයක් බවට ෆොන්ටේන්බ්ලු මාලිගය පත්ව තිබේ. මධ්‍යකාලීන යුගයේ සිට නිම කරන ලද ගොඩනැගිලිවල ඇති කැටයම්, සිතුවම්, ප්‍රථිමා, සිවිලිම්, ගෘහ භාණ්ඩ ආදී චමත්කාර ජනක නිර්මාණ සංචාරක ආකර්ෂණයන් වී ඇත.
මෙහි ඇති කලාත්මක නිර්මාණ සඳහා පුනරුදසමයේ (Renaissance) යුරෝපිය කලාවට ප්‍රංශ කලාවේ බලපෑම මුසුකොට ඇත. මෙහි දක්නට ලැබෙන සිතුවම් බදාම වලින් කරන ලද කැටයම් හා මුර්ති සමග එකාබද්ධ කිරීමෙන් කලාව නව මානයකට යොමුකර තිබේ. ෆොන්ටේන්බ්ලු ගුරුකුලය ( School of Fontainebleau) නමින් හැඳින්වූ මෙහි කලාකරුවන්ගේ නිර්මාණ ප්‍රංශයේ පමණක් නොව මුළු මහත් යුරෝපයේම ගෘහනිර්මාණ ශිල්පයට හා අලංකරණයට බලපෑමක් සිදුකොට ඇත.
මේ මාලිගා සංකීර්ණයේ කාමර 1500 ක් පමණ ඇති අතර ආශ්රිත උද්‍යානය අක්කර 230 කටත් වැඩි භුමි ප්‍රදේශයක් පුරා පැතිර ඇත. ප්‍රංශයේ විශිෂ්ඨ ගෘහ නිර්මාණ ශිල්පීන් වූ ෆිලීබර්ට් ඩෙල්මෝ 1514- 1570 (Philibert Delorme), ඇන්ජු-ජැක්ස් ගේබ්‍රියෙල් 1698 – 1782 (Ange-Jacques Gabriel) සහ ඇන්ඩ්‍රේ ලෙ නොට්‍රේ 1613 – 1700 (André Le Nôtre) ආදීහු මේ නිර්මාණය කිරීමට දායක වුවෝ වෙති.
ෆ්‍රැන්සිස් ශාලාව මධ්‍යතන යුගයේ ප්‍රංශ ගෘහ නිර්මාණ ශිල්පයේ කදිම නිමැවුමකි

මීටර් 60 ක් පමණ දිග, මීටර් 6 ක් පමණ පළල ෆ්‍රැන්සිස් ශාලාව මධ්‍යතන යුගයේ ප්‍රංශයේ ගෘහ නිර්මාණ ශිල්පයේ අපූරු නිමැවුමකි. ඉතාලි ජාතික කලාකරුවන් හා නිර්මාණ ශිල්පින් මේ ශාලාව හැඩගන්වා ඇත. මෙහි ඇති ඉතාලි ජාතික චිත්‍ර ශිල්පියෙකු වූ රොසෝ ෆියොරෙන්ටිනෝ ( Rosso Fiorentino 1494 – 1540) ප්රමුඛ ඉතාලි ජාතික චිත්‍ර ශිල්පීන්ගේ චිත්‍ර, කලා ලෝලීන්ට මානුෂවාදී (Mannerist) චිත්රවලට කදිම නිදසුන් සපයයි.
THE ROYAL ELEPHANT, ROSSO FIORENTINO


ALEXANDER TAMING BUCEPHALUS, PRIMATICCIO
බෝල් රූම් නමින් හැඳින්වෙන ශාලාවද ඉතා සිත්කළු ශාලාවකි. විශාල ආරුක්කු සහිතව නිමවූ මේ ශාලාව සැදීම පළමුවන ෆ්‍රැන්සිස් රජ ආරම්භ කලත් නිම කරන ලද්දේ ඔහුගේ පුත් දෙවන හෙන්රි විසිනි.


The ceiling of the ballroom, designed by Philibert Delorme
මෙහිද පුරාවෘත වල සඳහන් සිද්ධි නිරුපනය කරමින් අඳින ලද මනරම් බිතුසිතුවම් දක්නට ඇත. මේවා සැලසුම් කරන ලද්දේ Primaticcio විසින් වන අතර නිමවන ලදුයේ Niccolo dell’Abate විසිනි.

Chapelle de la Trinite
1259 දී පමණ ආරම්භ කොට ඇති මේ දේවස්ථානය අද දක්නට ලැබෙන පරිදි නිම කොට ඇත්තේ 1608 දී පමණ කාලයේදීය. මෙහි ඇති පුජනිය සිතුවම් Jean Dubois විසින් ඇඳ ඇත. මෙහි ප්‍රධාන පූජාසනය1633 දී ඉතාලි මූර්ති ශිල්පියෙකු Francesco Bordoni ගේ සැකසුමක් බව කියති. මෙහි අලංකරණය බැරොක් ශෛලියට නෑකම් කියන ෆොන්ටේන්බ්ලු දෙවන ගුරුකුලයට අයත් වනබව පෙනේ.
සිංහාසන කාමරය

NAPOLEON’S THRONE
රජුගේ නිදන කාමරය

රැජිනගේ නිදන කාමරය

MARIE ANTOINETTE’S BED, BY SENÉ AND LAURENT
පාප්වහන්සේගේ කාමරය


Bedroom of the Queen-Mother Anne of Austria
ඩයනා ශාලාව

ප්ලේට්ස් ගැලරිය



අශ්ව ලාඩමක හැඩය ඇති පියගැටපෙළ

උද්‍යානය











පැරිස් ඉඳන් කිලෝමීටර් 55 කියන්නෙ හූවක දුරනෙ, මෙහි දවසක් පුරා බලන්න දේවල් තියනවද ?
සමහරක් රජ මාලිගා වල වගේ නැතිව පින්තූර ගන්න ඉඩකඩ තියනවා වගේ ? ඉතිරි පින්තුර ටිකත් Flickr ඇල්බම් එක්ක හදල දැම්ම නම් බොහොම වටිනව.
කැමතියිLiked by 1 person
ඔව්, දවසක් ගතකරන්න පුළුවන්. ඒත් එය එකිනෙකාගේ කැමැත්ත අනුව බලන්න ගතකරන කාලය අනුව වෙනස් වෙනවා. සමහරුන්ට මේ චිත්‍ර බල බල උනත් දවසක් ගත කරන්න පුළුවන්. මේවායේ පින්තුර ගන්න තහනමක් නැහැ. ඔව් අනෙක් පින්තුර ටිකත් කොහේ හරි සංරක්ෂණය කරන්න ඕන.
කැමතියිLiked by 1 person