අකලට මිලිනවූ මල් පොකුරක සිහිවටනය
ලෝක සාහිත්‍යයට අමරණීය සේවාවන් ඉටු කරන ලද ලේඛකයන් තම දිවි සැරිය නිමකළ පසු ඔවුන්ගේ නිර්මාණ කුසල තාවය ඔප් නැංවීමට හේතු සාධක වූ ඔවුන් දිවි ගෙවූ නිවසේ හා පරිසරයේ ස්වභාවය සෙසු ලෝකයාටද අත්විඳීමට ඉඩ සලසා දෙමින් ඒ ස්ථාන කෞතුකාගාර ලෙස පවත්වාගෙන යනු දැකිය හැකිය. ලෝක සාහිත්‍යයේ කැපී පෙනෙන ලේඛක සොහොයුරියන් තිදෙනෙක්ම විසූ නිවසේ පවත්වාගෙන යන කෞතුකාගාරයක් ඇත්තේ ලොව එකක් පමණි. ඒ එංගලන්තයේ බටහිර යෝර්ක්ෂයර් පෙදෙසේ හාවර්ත් ගමේ ඇති බ්‍රොන්ටේ කෞතුකාගාරයයි.
බ්‍රොන්ටේ කෞතුකාගාරය
අයිරිෂ් ජාතික පුජකවරයෙකු වූ පැට්රික් බ්‍රොන්ටේ හාවර්ත් ගමේ සාන්ත මයිකල් හා සියලු දෙවදුතයන්ගේ පල්ලියේ පුජක වරයාය.
සාන්ත මයිකල් හා සියලු දෙවදුතයන්ගේ පල්ලිය
ඔහු සිය භාර්යාව වූ මාරියා හා දරුවන් හය දෙනා සමග 1820 දී දේවස්ථානයේ පුජකවරයාට වෙන්කළ නිවසේ පදිංචියට පැමිණියේය. ඔහුගේ භාර්යාවවූ මරියා බ්රැන්වෙල් මහත්මිය පිළිකා රෝග තත්වයක් නිසා එළිසබෙත්, මරියා, චාර්ලට්, පැට්රික්(බ්රැන්වෙල්), එමිලි සහ ඈන් යන ඇගේ කුඩා දරුවන් හයදෙනා තනිකර දිවියෙන් සමු ගත්තාය. එහෙයින් මේ දරුවන් හදා වඩා ගන්නා ලද්දේ ඔවුන්ගේ මවගේ සොහොයුරියක් වූ එලිසබෙත් විසිනි. මේ දරුවන්ගෙන් වැඩිමහල් දෙදෙනාවූ එළිසබෙත් හා මරියා ක්ෂය රෝගය වැළඳීමෙන් කුඩා කලම මියගියහ.
චාර්ලට්, පැට්රික්(බ්රැන්වෙල්), එමිලි සහ ඈන් යන දරුවන් සිව්දෙනාට ක්‍රමවත් පාසැල් අධ්‍යාපනයක් ලබාදෙන්නට පියාට වත්කමක් හෝ කාලයක් නොවින. මව හා වැඩිමහලු සොහොයුරියන්ගේ අභාවය හා දරිද්‍රතාවය නිසා මේ නිවසේ සතුට අතුරුදහන්ව තිබිණ. වරින් වර අධ්‍යාපනය සහ රැකියාවන් සඳහා නිවසින් පිටව ගියද, නිවසේ එක්ව වාසය කිරීමට ඇති කැමැත්ත නිසා ඔවුන් ජීවත්වූ නිවස සිව්දෙනාගේම පාසැල විය. දරුවන් සිව්දෙනා එකිනෙකා අතර දැඩි බැඳීමකින් කාලය ගතකළහ.
දැඩි නීතිවලින් සිය දරුවන් පාලනය කිරීමට හා නිවසේ සිටිනවිට පාඩම් කියාදීමට පැට්රික් බ්‍රොන්ටේ පුජකවරයා පියවර ගත්තේය. හැම ආකාරයකම දැනුම ලබාගතහැකි පොත්පත් රාශියක් ඔවුන්ගේ නිවසේ විය. මේ ළමුන් මුළු දිවීයම ගතකලේ මේ පොත් පත් ඇසුරේය.
බ්‍රොන්ටේ පවුල ජීවත්වු පල්ලියට අයත් පුජකවරයා සඳහා වෙන්කළ නිවස පිහිටා ඇත්තේ සුසාන භූමියකට මායිම්වය. අඳුරු, නිහඬ හා ගුප්ත බවකින් වෙළුණු පරිසරයකය. මේ ගුප්ත නිහඬ බව හා පොත්පත් කියවීම නිසා මේ දරුවෝ මනඃ කල්පිත ලෝකයක් ගොඩනගා ගෙන ඒ තුල ජිවත් වුහ.
කුඩා කලම මේ දරුවෝ නිර්මාණ කරණයේ යෙදුනාහ. චාර්ලට් සහ බ්රැන්වෙල් ග්ලාස් ටවුන් නමින් නගරයක් හා එමිලි සහ ඈන් ගොන්ඩාල් නමින් රාජධානියක් ගොඩ නගාගෙන ඒ පිළිබඳව නිර්මාණ කරණයේ යෙදුනාහ. මේ නිර්මාණ ඔවුන් සටහන් කොට ඇත්තේ ඉතා කුඩා සටහන් පොත්වල ඉතාමත් කුඩා අකුරෙනි.
පින්තුරය http://www.chinadaily.com.cn/world/2012-01/31/content_14510266.htm වෙතිනි.
නිර්මාණ ඒ හා සබැඳි චිත්‍ර සටහන් වලින්ද තීව්ර කර ඇත.
පින්තුරය Wikimedia Commons වෙතිනි.
බ්‍රොන්ටේ පොත් ලියු මේසය
බ්‍රොන්ටේ සොහොයුරියන් තරුණ වියේදීම සාහිත්‍ය ලෝකයේ සුවිශේෂී හැකියාවන් සහිත පුද්ගලයින් බව පෙන්වා දෙමින් ඔවුහු නවකථා ලිවීමද ඇරඹුහ. චාලට් බ්‍රොන්ටේ (1816 – 1855) සිය පළමු නවකථාව “The Professor” හා ඊළඟ නවකථාව “Jane Eyre” ලියන ලද නමුත් එය ප්‍රකාශයට පත්කළ නොහැකිවින. කාන්තා නමකින් පොතක් පලකිරීමට ප්‍රකාශකයින් අකමැතිවීම ඊට හේතු විය. පසුව ඔවුන් තීරණය කළේ තම පොත් පිරිමි නමකින් ඉදිරිපත් කල යුතු බවයි. ඒ අනුව චාලට්ගේ “Jane Eyre” Currer Bell නමිනුත්, එමිලි ලියු “Wuthering Heights” Ellis Bell නමිනුත් ඈන් ලියු “The Tenant of Wildfell Hall” Acton Bell නමිනුත් පල කරන ලදී.
අද දක්වාම ලෝක වාසි සියලු පාඨකන්ගේ ඉමහත් ප්‍රසාදයට ලක්වූ “Wuthering Heights” එමිලි (1818 – 1848) ට ලියන්නට හැකිවූ එකම පොතයි. පොත පලකොට වසරක් යත්ම ඇයට ක්ෂය රෝගය වැළඳින. මාස තුනකට පමණ පෙර ඇයගේ සොයුරාද ක්ෂය රෝගය වැළඳී මියගොස් සිටි බැවින් ඇය ඉතා කනස්සල්ලෙන් සිට රෝගය සඳහා වන සියලු ප්‍රතිකාර හා ආහාර ප්‍රතික්ෂේප කොට අභාවප්‍රාප්ත වුවාය. පවුලේ බාලයාවූ ඈන්ද (1820 – 1849) ක්ෂය රෝගයේ ගොදුරක් වුවාය. වයස අවුරුදු 29 දී මියගිය ඇයටද පළකළ හැකි වුයේ Agnes Grey සහ The Tenant of Wildfell Hall යන කෘති දෙක පමණි.
වැඩි කලක් ජීවත්වුයේ චාලට් (1816 – 1855)ය . ඇයට Jane Eyre (1847), Shirley (1849) හා Villette (1853) යනුවෙන් පොත් තුනක් පළකළ හැකිවිය. ඇය බෙල්ජියානු ජාතිකයෙකු සමග විවාහ වූ අතර පළමු දරු ප්‍රසුතිය අවධියේදී සිදුවූ රෝගී තත්ත්වයක් නිසා මිය ගියාය.
බ්‍රොන්ටේ පවුලේ එකම පුත්‍රයා වූ පැට්රික් බ්රැන්වෙල් ද නිර්මාණ කුසලතාවය ප්‍රදර්ශනය කළ අයෙකි. ඔහු වඩාත් දස්කම් පෙන්වා ඇත්තේ චිත්‍ර ශිල්පයේය. ආලේඛ්‍ය සිතුවම් ඇඳීම කෙරෙහි උනන්දුවක් දැක්වූ ඔහු විසින් අඳින ලද ඔහුගේ සොහොයුරියන්ගේ ආලේඛ්‍ය චිත්‍රය ලන්ඩනයේ National Portrait Gallery හි ප්‍රදර්ශනය කෙරේ. ඔහු විසින් රචනා කරන ලද කවි පුවත්පත් වල පලකළේය. ඔහු විසින් පරිවර්තනය කරන ලද Horace ගේ Odes නම් ලතින් කාව්‍යය විද්වතුන්ගේ පැසසුමට ලක්විණ. සංගීත අංශයෙන්ද ඔහු දක්ෂතාවයන් දක්වා ඇති අතර ඔහු පල්ලියේ ඕගනය වාදනය කිරීමේ නියුතු විය. අවාසනාවන්ත ලෙස ඔහු මත්ද්‍රව්‍ය වලටද ඇබ්බැහි වුයෙන් තරුණ වියෙහිදීම ඔහු ජිවිතයෙන් සමු ගත්තේය.
1861 දී බ්‍රොන්ටේ පවුලේ පියාවූ පැට්රික් බ්‍රොන්ටේගේ අභාවයෙන් පසු බ්‍රොන්ටේ පවුලේ දේපල විකුණා දමා ඇත.
බ්‍රොන්ටේ පවුලේ නිර්මාණ හා සිහිවටන මතු පරපුර සඳහා සංරක්ෂණය කිරීමේ අරමුණෙන් 1893 දී ලෝකයේ පැරණිතම සාහිත්‍ය සංගමයක් වන බ්‍රොන්ටේ සමාජය පිහිටුවා ගන්නා ලදී. එම සංගමය මගින් බ්‍රොන්ටේ නිර්මාණ හා ඔවුන් පාවිච්චිකළ බඩු බාහිරාදිය නැවත එකතු කර ගන්නට පියවර ගත්තේය. 1928 දී එම සමාජයට බ්‍රොන්ටේ පවුල විසු නිවාසයද ලබා ගන්නට හැකිවිය. ඒ නිවසේ දැන් බ්‍රොන්ටේ කෞතුකාගාරය පවත්වාගෙන යයි. මිලට ගැනීමෙන් හා හිතවතුන්ගෙන් පරිත්‍යාග ලෙස ලබාගත් ගෘහ භාණ්ඩ හා උපකරණ, පොත් පත්, බ්‍රොන්ටේ වරුන්ගේ අත් පිටපත්, ප්‍රකාශයට පත්කළ පොත්වල මුල් පිටපත්, ලිපි, චිත්‍ර ආදී නොයෙක් දේ මෙහි ප්‍රදර්ශනයට තබා ඇත. මේ කෞතුකාගාරය පමණක් නොව එය පිහිටි හාවර්ත් ගම නැරඹීමට බ්‍රොන්ටේ පවුලේ නිර්මාණ පිළිබඳව උනන්දුවක් දක්වන බොහෝ දෙනා පැමිණෙති. ලෝක ව්‍යාප්ත සාමාජිකයින් රාශියක් ඇති බ්‍රොන්ටේ සමාජය මගින් පවත්වනු ලබන නොයෙකුත් කලාත්මක හා සාහිත්‍ය ප්‍රවර්ධන වැඩ සඳහා බොහෝ අය සහභාගී වෙති. ඒ අනුව හාවර්ත් හි බ්‍රොන්ටේ ගම්මානය ඉතා ජනප්‍රිය සංචාරක ගමනාන්තයකි.
එන්.එච්. සමරසිංහ 2018.11.26
