සිතුල්පව්ව රජ මහා විහාරය – SITHULPAWWA RAJAMAHA VIHARAYA

ශ්‍රී ලංකාවේ  රුහුණු ප්‍රදේශය ප්‍රාග් ඓතිහාසික යුගයේ සිටම මානව ජනාවාස සහිත ප්‍රදේශයක්ව තිබී ඇති බවට සාධක යාල වනෝද්‍යානයේ කරන ලද ගවේෂණ වලින් හෙළිවී ඇත. එමෙන්ම ශ්‍රී ලංකාව තුල බුදු දහම ව්‍යාප්ත වීමේදී රජරට මෙන්ම රුහුණු ප්‍රදේශය තුලද එකසේ බුදු දහම ව්‍යාප්තවූ බව පෙනීයයි. මහවැලි ගඟට උතුරින් විසු භික්ෂුන් වහන්සේලා ධර්ම සාකඡ්චා ආදිය සඳහා අනුරාධපුරයට එක් රැස්වූ බවත් මහවැලි ගඟට දකුණින් විසූ භික්ෂුන් වහන්සේලා රුහුණේ තිස්සමහාරාමයට එක රැස්වූ බවත් කියති.

_DSC7184-3

සිතුල්පව්ව පිළිබඳව සාහිත්‍යමය  මෙන්ම ඓතිහාසික අභිලේඛන මුලාශ්‍රවල බොහෝ කරුණු සඳහන් වී ඇති බැවින් ක්‍රිස්තු පුර්වයේ සිටම  රුහුණේ පැවති ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන අතරින් සිතුල්පව්ව රජ මහා විහාරයට ඉතා වැදගත් තැනක් හිමිව තිබු බව පෙනේ.

සිත් අලවන පර්වතය යන අරුත ඇති  “චිත්තල පබ්බත” යනුවෙන් මහා වංශ ආදී පොත්වලද, “චිතල පවත” “චිතල පවම” යනුවෙන් ශිලා ලේඛන වලද මේ භුමිය හඳුන්වා ඇත.

මේ සිද්ධස්ථානය ආරම්භකොට ඇත්තේ කාවන්තිස්ස රජු විසිනි. එකල රජරට ද්‍රවිඩ පාලනයකට යටත්ව තිබු බැවින් රුහුණේ සිද්ධස්ථාන සංවර්ධනය කිරීමට රාජ්‍ය අනුග්‍රහය ලැබෙන්නට ඇත. එළාර රජ සමග යුද්ධයකට යාමට රුහුණේදී සේනා සංවිධානය කළ  දුටුගැමුණු රජ සිතුල්පව්ව විහාරයේ භික්ෂුන්ට දන් පිළිගන්වා මාගමින් පිටත්වූ බව සහස්‌සවත්ථූපකරණයේ සඳහන්වන බව කියවේ. දුටුගැමුණු රජු සමග යුද පෙරමුණට ගිය දශ මහා යෝධයින්ගෙන් ගෝඨයිම්බර, පුස්‌ස දේව, වේළුසුමන, නන්දිමිත්‍ර යන සිව් දෙනාම සිතුල්පව්වේ සංවර්ධනයට දායක වී ඇති බව සෙල් ලිපි වලින් තහවුරුවේ. ශ්‍රී මහා බෝධියේ දෙතිස්‌ඵල රුහ බෝධීන් වහන්සේ නමක්‌ මේ විහාරයේද  රෝපණය කර ඇතැයි සිංහල බෝධිවංශයේ සඳහන්වේ.

ශ්‍රී ලංකාවේ ඉතිහාසය හෙළිදරව් කෙරෙන ක්‍රිස්තු පුර්වයේ සිට හයවන සියවස  පමණ දක්වා වන විවිධ කාලවලට අයත්වන ශිලා ලිපි රාශියක් සිතුල්පව්වේ ඇත. දෙවනපෑතිස් හා කාවන්තිස්ස රජවරුන්ගේ මුනුබුරෙකු ලෙස සැලකෙන  ඉලනාග රජු විසින් කරවා ඇතැයි සැලකෙන පර්වත ලිපියක් ඉතා වැදගත් ලෙස සලකනු ලබන්නේ එහි සිතුල්පව්වට පවරාදුන් ඉඩ කඩම් සංඛ්‍යාව ඉපැරණි අංක ක්‍රමයකින් දක්වා ඇති නිසාය.  තවත් ලිපියක වසභ රජ පරපුර ගැන සඳහන්වේ. පළමුවන ගජබාහු රජකල ලිපියක දැක්වෙන පරිදි “දුබල – යහටගම” හා “අකුජ – මහගම” අධිකරණ ශාලාවලින් ලැබෙන දඩ මුදල්වලින් දෛනිකව කහවනු දෙක බැගින් සිතුල්පව්ව විහාරයේ භික්‍ෂූන්ගේ බෙහෙත් පිණිස ලබාදී ඇත. මීට අමතරව විවිධ පුද පුජාවන් පිළිබඳව සඳහන්වන පූර්ව බ්‍රාහ්මී කටාරම් ලේඛන රාශියක් ඇත.

Girilipiya
Girilipiya

_DSC7185-3

ගජබාහු රජකල ලිපිය

සිතුල්පව්ව පරිශ්‍රය ලංකාවේ කටාරම් කෙටු ලෙන් වැඩිම ගණනක් ඇති ආරාම සංකීර්ණයයි.   සියයකට අධික ප්‍රමාණයක් ඇතැයි සඳහන්වන මේ ලෙන් වල රහතන් වහන්සේලා 12,000 ක් පමණ වැඩ විසූ බව කියති. රුහුණේ සිටි රජවරු පමණක් නොව අනුරාධපුරය රාජධානිය කොටගත්  වසභ, ගජබාහු වැනි රජවරුද සිතුල්පව්වට රාජ අනුග්‍රහය ලබාදී ඇත.

_DSC7182-3

වළගම්බා රජ සමයේදීත් සිතුල්පව්ව රහතන් වහන්සේලා ඉතා විශාල ප්‍රමාණයක්  වැඩසිටි ආරම සංකිර්නයක්ව තිබී ඇත. එහෙත් එකල සිදුවූ “බැමිණිතියා” නම් මහා නියං සාගතය හේතුවෙන් මේ විහාරයේ රහතන්වහන්සේලා පිරිනිවන්පා ඇත.

පසුව සිදුවූ දේශපාලන අස්ථාවර භාවයන් හා බෞද්ධ බැතිමතුන් දුබල වීම ආදිය නිසා  සිතුල්පව්ව වල් බිහිවී ජන ශුන්‍ය පෙදෙසක් බවට පත්වින. විසිවෙනි සියවස ආරම්භයේදී පොතපතින් හා මුඛ පරම්පරාවෙන් පැවත ආ ප්‍රවෘත්ති වලින් සිත් පුබුදුවාගත් ගාල්ලේ යටගල රජමහ විහාරාධිපතිව වැඩ විසූ කළහේ රතනජෝති ශ්‍රී ගුනරතනාභිධාන නායක ස්වාමින්වහන්සේගේ උත්සාහය නිසා මේ පුදබිම නැවත කල එළි විය. 1909 දී පුරාවිද්‍යාඥයෙක්වූ හෙන්රි පාකර් මෙහි පර්යේෂණ කටයුතු කර ඇත. 1922 දී පමණ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙහි නටබුන් පිළිබඳව ලේඛනගත කර ඇත.

වර්තමාන රුහුණු යාල වනෝද්‍යානය තුල පිහිටි සිතුල්පව්ව රජ මහා විහාරයට තිස්සමහාරාමයේ සිට B 422 මාර්ගයේ යෝධ කන්ඩිය වැව පසුකල පසු හමුවන කිරින්ද – සිතුල්පව්ව මාර්ගයේ කිලෝමීටර් 24 ක් පමණ ගමන් කිරීමෙන් හෝ කතරගම සිට කතරගම – සිතුල්පව්ව පාරේ කිලෝ මීටර් 17 ක් පමණ ගමන් කිරීමෙන් ලඟාවිය හැකිය.

වංශ කතා, සෙල් ලිපි,  පුරාවෘත ආදියේ සඳහන් කරුණු සනාථ කරවන ඉදිකිරීම් හා පුරාවිද්‍යාත්මක නෂ්ඨාවශේෂයන් රාශියක් අද සිතුල්පව්වේ දැකිය හැකිය.

මහා සිතුල්පව්ව

_DSC7153-3

කාවන්තිස්ස රජ කරවූ චෛත්‍යය

සිතුල්පව්වේ මහා සිතුල්පව්ව හා කුඩා සිතුල්පව්ව යනුවෙන් හැඳින්වෙන පර්වත දෙකක් මත චෛත්‍යයන් දෙකකි. කාවන්තිස්ස රජ කරවූ චෛත්‍යය පිහිටියේ පළමුව හමුවන පර්වතය මතය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සැලසුම් වලට අනුව මේ චෛත්‍යය දැන් රියන් 36 ක් උසට බඳවා පිළිසකර කර ඇත.

_DSC7165-3_DSC7162-3

මේ චෛත්‍යයට පරිවාර චෛත්‍ය ලෙස වසභ රජතුමා ඉදිකළ අනෙක් චෛත්‍ය දහයේ අත්තිවාරම් දක්නට ඇත.

කුඩා සිතුල්පව්ව

_DSC7159-3

කුඩා සිතුල්පව්ව

මහා සිතුල්පව්වට නැගෙනහිරින් පිහිටි කඳු ගැටයේ කුඩා සිතුල්පව්ව පිහිටා ඇත. සිතුල්පව් ලෙන් විහාරය ඉදිරිපස ඇති මාර්ගය කුඩා සිතුල්පව්ව කරා දිවෙයි. මෙහිද චෛත්‍ය දෙකක්, ගල් ලෙන්, පොකුණු හා විශාල ගල් කුඩය ලෙස හැඳින්වෙන ගල් ලෙනක් ආදිය ඇත.

_DSC7164-3

කුඩා සිතුල්පව්ව මාර්ගය

ලෙන් විහාරය

_DSC7171-3

ලෙන් විහාරය

සිතුල්පවු ලෙන් විහාරය මහා සිතුල්පවු කන්දේ බෑවුමක ඉදිකොට තිබේ. එය අඩි 67 ක් පමණ දිගකින් හා අඩි 30 ක් පමන උසකින් යුතුය. එහි ඇති සැතපෙන බුදු පිළිමය අඩි 37 ක් පමණවේ. මේ ලෙනෙහි කටාරමට යටින් ඇඳ තිබු සිතුවම් වල ශේෂයන් දැකගත හැකිය.  මේවා ලංකාවේ දක්නට ලැබෙන අනුරාධපුර යුගයට අයත් ඉතා පැරණි සිතුවම් වල ශේෂයන්ය.

පැහැදිලිව දැකගත නොහැකි වුවත් මේ සිතුවම් අතර  බුදු රජාණන්වහන්සේගේ සිතුවම් දෙකක්, දේව රුපයක්, අතක කොටසක්, මුවෙකුගේ හා කවුළුවක  සිතුවමක් ආදිය ඇති බව හඳුනා ගත හැකිය. එමෙන්ම එකිනෙකා පසුපස පියඹායන පක්ෂීන් සමුහයක් හා තවත් පක්ෂීන් කීපදෙනෙකුගේ රූප, දේවතා රුප දෙකක්, කුඩා ප්‍රමාණයේ මිනිස් රුප හතරක්, වාමන රූප හා මෘග රුප කීපයක්ද හඳුනාගෙන තිබේ.  ලෙන් විහාරයේ කොටන ලද කටාරමට පහල කොටසේ රළු පෘෂ්ටය බදාම වලින් සුමටකොට සුදු පැහැය තවරා ඒ මත කහ, ලා රතු, දුඹුරු හා කොළ පාටින් සිතුවම් ඇඳ තිබේ. චිත්‍ර සියුම් ඉරි මගින් වඩාත් තීව්ර කර ඇති බව පෙනේ. එකිනෙකා පසුපස පියඹා යන්නේ වලි කුකුලන් රංචුවක් බවත් එවැනි දර්ශනයක් ලංකාවේ වෙනත් කිසිම තැනක සිතුවම් කොට තිබෙනු නොදක්නා ලද හෙයින් එය ඉතා විශේෂ සිතුවමක් ලෙසත් සමහරු සලකති. මේවා සීගිරි සිතුවම් මෙන් අනුරාධපුර සම්භාව්‍ය සම්ප්‍රදායේ විශිෂ්ඨ නිදර්ශන ලෙස ඉතිරිවී ඇති සිතුවම් කිහිපයෙන් එකක් බව කිව හැකිය. 

Pilimageya (Patimaghara)
Pilimageya (Patimaghara)

_DSC7177-4

පැරණි පිළිම ගෙය

මිට අමතරව හිටි පිළිමයක් තැන්පත් කොට තිබු, මණ්‌ඩපය, අන්තරාලය හා ගර්භ ගෘහය යන අංගවලින් සමන්විත තවත් පැරණි පිළිම ගෙයක නටබුන් පෙනේ. මෙහි ගර්භ ගෘහය මැද දැනුදු බුදු පිළිමයේ පද්මපීඨය දැකිය හැකිය.  

බෝධි ඝරය

Bodhigharaya
Bodhigharaya

බෝධි ඝරය

ඒ ආසන්නයේ බෝධි ඝරයක නටබුන් ඇත. බෝධිවංශයේ දැක්වෙන  ශ්‍රී මහා බෝධියේ දෙතිස්‌ඵල රුහ බෝධීන් වහන්සේ රෝපණය කළේ මෙහි විය හැකිය.

උපෝසථාගාරය

Uposathagaraya
Uposathagaraya

කණිට්ට තිස්ස රජතුමා විසින් ඉදි කරන ලද බවට සැලකෙන  උපෝසථාගාරයක නටබුන් ප්‍රධාන ස්තුපය පිහිටි පර්වතයට දකුණින් දැකිය හැකිය. මෙහි දක්නට ලැබෙන ගල් කණු වල මුදුනේ ස්වභාවය අනුව මෙය මහල් කීපයක ගොඩනැගිල්ලක් බව පැහැදිලිවේ. ගොඩනැගිල්ලේ දකුණෙන් ඉහල මහලට පිවිසෙන පඩිපෙලක් තිබු බවට විශ්වාස කල හැකි ලකුණු ඇත.

ප්‍රවේශ මාර්ගයට බටහිරින් වන වැවේ දක්නට ලැබෙන ගල් කණු වල ස්වභාවය අනුව එහි ටැම්පිට විහාරයක් තිබුණු බවට අනුමාන කල හැකිය.

බෝධිසත්ව රූප

_DSC7172-3

සිතුල්පව් ලෙන් විහාරය අසල බෝධිසත්ව ප්‍රතිමා දෙකක නටබුන් දැකිය හැකිය.මේ බෝධිසත්ව ප්‍රතිමා අවලෝකිතේශ්වර බෝධිසත්වයන්ගේ බව විශ්වාස කෙරේ. එක පිළිමයක් රාජ කුමාරයෙකු ලෙසත් අනෙක් පිළිමය යෝගී කෙනෙකු ලෙසත් දෙයාකාරයකින්  නිම කොට තිබීම විශේෂත්වයකි. මේ ප්‍රතිමා වල දෙ අත් වලට හානි සිදුවී ඇති අතර රාජ කුමාරයෙකු ලෙස නිමකළ ප්‍රතිමාවේ සිරස ද දක්නට නැත.

පොකුණු

_DSC7157-3

_DSC7148-3

_DSC7188-4

සිතුල්පවු පරිශ්‍රයේ පොකුණු රාශියක් ඉදිකොට තිබුණු බව පෙනේ.  

ගල් කුඩය

Untitled

ගල් කුඩය

කුඩා සිතුල්පව්වට යන අතරමග ගල් කුඩය නමින් හැඳින්වෙන යෝධ කුඩයක ආකාරයෙන් පැතිරගිය ගල් කුලක් හමුවේ. වසභ රජතුමා මෙහි කටාරම් කොටවා පරිහරණය සඳහා පිළියෙළ කරවූ බව මහා වංසයේ සඳහන්වේ. මේ ගල් කුල යට පුද්ගලයන් 200 කට පමණ වැස්සෙන් නොතෙමි සිටිය හැකිය.

සිතුල්පවු පර්වතය මතට පෙනෙන හාත්පස  දසුන මනරම්ය.

_DSC7158-3_DSC7155-3

Protected by Copyscape

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.