කටුවන ඕලන්ද කොටුව – Dutch Fort of Katuwana

16 වන ශත වර්ෂය පමණ වන විට බටහිර ජාතීහු තම රටවලින් බැහැරට ගොස් අන් රටවල්  වෙතද තම වෙළඳාම හා ආගම ව්‍යාප්ත කරන්නට පියවර ගත්හ. එපමණකින් නොනැවතුණු ඔවුහු ඒ රටවල් තම අනසක යටතට ගන්නටද පෙළඹුනහ. එසේ 1505 දී ලංකාවට පැමිණි පෘතුගීසින් ශතවර්ෂයකට අධික කාලයක් ලංකාවේ මුහුදුබඩ පළාත් තම ග්‍රහණයට ගෙන තිබූ අතර එම පෙදෙස් 17 වන සියවසේදී ලංකාවට පැමිණි ලන්දේසීන් විසින් අත්පත් කරගන්නා ලදී.  

ස්පාඤ්ඤය සමග යුදවැදී ජය ලැබූ ලන්දේසීන් පෘතුගීසින්ට වඩා යුද අත්දැකීම් වලින් පරිනත වූ ජාතියක් වූ බැවින් ඔවුන් ආරක්ෂක උපක්‍රම හා ඉංජිනේරු තාක්ෂනය ආදියෙන් ඉදිරියෙන් සිටි පිරිසක් විය. එහෙයින් ඔවුහු පෘතුගීසින් ලංකාවේ ගොඩනගා තිබු බලකොටු අලුත්වැඩියා හා නවීකරණය කලෝය. එබැවින් එතෙක් ලංකාවේ තිබු පෘතුගීසි බලකොටුවල අනන්‍යතාවයද ගිලිහී ගියේය.

dsc02616

ශ්‍රී ලංකාවේ දකුණුදිග පිහිටි උරුබොක්ක ඔය හා රත්මලේ කන්ද ආශ්‍රිත ප්‍රදේශය පොළොන්නරු යුගයේ පළමුවන විජයබාහු රජසමයේදීද ආරක්ෂාව සඳහා වැදගත් ප්‍රදේශයක් ලෙස හඳුනාගෙන සිටි බව කියති.   කන්ද උඩරට හා දකුණුදිග පෙදෙස යා කෙරෙන මාර්ගයක් වැටී තිබුනේ මේ ප්‍රදේශය හරහාය. මහා පරාක්‍රමබාහු රජ සමයේ රුහුණ මුල් කරගෙන රජුට විරුද්ධව සේනා සංවිධානය කළ සුගලා බිසවගේ බලකොටුවක් කටුවන තිබුණු බව මහා වංශයේ සඳහන්වේ.

17 වන සියවස වනවිට  ලංකාවේ මුහුදුබඩ පළාත් නතුකරගෙන සිටි ලන්දේසි පෙරදිග ඉන්දියා වෙළඳ සමාගමද කටුවන ප්‍රදේශයේ ඇති වැදගත්කම අවබෝධ කරගත්හ.

voc

රුවල් නැංවූ නැව, කාලතුවක්කු, ඕලන්ද කොඩි, මුහුදට අධිපති නැප්චුන්  හා තිට්ස් දෙවඟන, යුද බෙර, හෙල්ල, නාවික ආම්පන්න හා මුදල් සංකේත වන බෙලි කටු. ඉහල VOC ලකුණ.

ලන්දේසි පෙරදිග ඉන්දියා වෙළඳ සමාග මේ ලාංඡනය

ඒ අනුව ඔවුන්ගේ උතුරු සීමාව වූ මේ ප්‍රදේශයේ බලකොටුවක් 1697 දී ඉදිකළහ. ඒ කටුවන ඕලන්ද බලකොටුවයි.   මේ ස්ථානයේ බටහිරින් හා වයඹ දිගින් රම්මල් කන්ද, හිඟුර කන්ද හා කරිවිල කන්ද පිහිටීමෙන් හා නැගෙනහිර දෙසින් වෙරළ තිරය දක්වා සම බිමක් පිහිටීමෙන් බලකොටුවක් තැනීමට සුදුසු පරිසරයක් නිර්මාණය වී ඇත.

dsc02589

මාතර සිට කිලෝ මීටර් 50 ක් පමණ දුරින් පිහිටි කටුවන නගරයේ B 485 මාර්ගය ආසන්නයේ කටුවන කොටුව පිහිටා ඇත. මේ කොටුව පිළිබඳව වැදගත් ඓතිහාසික සටහන් තබා ඇත්තේ 1734 දී මේ කොටුවට පැමිණි ජර්මන් ජාතික සැලසුම් ශිල්පියෙකු බව කියන“හෙයිත්”  (Johann Wolfgang Heydt)  විසිනි.

dsc02601 - copydsc02601

කොටුවේ පැරණි සිතුවම්

dsc02603

කොටුවේ සැලැස්ම

මේ බලකොටුව තැනීම ආරම්භකොට ඇත්තේ  1645 දී පමණය. එය දිග පළල අඩි 150 ක් පමණ වන චතුරශ්‍රාකාර ඉදිකිරීමකි.  කොටු පවුර පිටතින් අඩි 16 – 20 ක් පමණ උස්වන අතර ඇතුලත උස අඩි 8 – 12 වැනි විවිධ ප්‍රමාණයන්ව ඇත. ප්‍රාකාරය මතවූ පා මංකඩ අඩි 10ක් පමණ වී ඇත. බලකොටුවේ නිරිත හා ඊසාන දිශා දෙකෙහි කාල තුවක්කු හය බැගින් රඳවා තිබූ මුර පළවල් දෙකකි. මෙහි 40 දෙනෙකුගෙන් පමණ සමන්විත භට කණ්ඩායමක් සිටි බව විශ්වාස කෙරේ. දෙපසට විහිදී තිබු මුර පළවල් දෙක නිසා කොටුවේ නිරිත හා ඊසාන දිශා දෙක අතර දිග අඩි 260 ක් පමණ වන බව “හෙයිත්” සඳහන් කර ඇත.

dsc02588dsc02586

මුර පළවල්

dsc02592

කොටු බැම්ම විශාල ගල් කුට්ටි වලින් තනා කපරාරු කොට තිබී ඇත. කොටුවට ඇතුළුවීමට ඇත්තේ එක් දොරටුවක් පමණි. දොරටුවට වම් පසින් උසැති ගොඩනැගිල්ලක්ද, දකුණු පසින් ප්‍රධාන අණදෙන නිලධාරියාගේ නිවසද තිබී ඇත. එක් පසෙක ගබඩා ගොඩනැගිල්ලක් වන දෙමහල් ගොඩනැගිල්ලකි. එහි පහල මහලේ යුද්ධෝපකරණ ගබඩා කොට තිබී ඇති අතර ඉහල මහල නිවස්නයන්  වී ඇත. කොටුවේ කෙළවරක ශල්‍යාගාරයක් හා දොරටුවට වම් පසින් ලිඳක් ඇත. ඒ අසල ඉහලට නගින පියගැටපෙළ ද විය.

dsc02582

ලිඳ

කලාපිය භාණ්ඩ මිළදී ගැනීමේ මධ්‍යස්ථානයක් ලෙස මෙන්ම  සිංහලයේ අගනුවර වූ මහනුවර සිට ලන්දේසීන්ගේ ප්‍රධාන නගරයක් වූ මාතර දක්වා දිවෙන මාර්ගය ආරක්ෂා කරගැනීමට  හා උඩරට සමග වෙළඳ සබඳතා ආරක්ෂා කර ගැනීමට ලන්දේසීහු මේ බලකොටුව පවත්වාගෙන ගියහ.

dsc02599

1761 පෙබරවාරි 6,7,8 යන දිනවලදී සිංහල හමුදාව එල්ල කළ බරපතල ප්‍රහාර හමුවේ කොටුව ආරක්ෂා කරගන්නට ලන්දේසීන්ට නොහැකිවිය. 1761.02.08 දින මේ බලකොටුව සිංහල හමුදාව අත්පත් කරගන්නා ලද අතර එහි වූ සියලුදේ විනාශ කරදමා ඇත. කටුවන සටන ජය ගැනීම සඳහා සහභාගී වූ සබරගමුවේ ප්‍රධානින් 15 දෙනෙකුට  පමණ මහනුවර මහා වාසලේදී නින්දගම් ප්‍රධානය කළ බව කියවේ. මඩුවන්වල දිසාවේ විසින් මේ කොටුවේ දොරටුවෙහි වූ ගල් උළුවස්ස ගලවා ගෙන ගොස් තම වලව්වේ දොරකඩක් ලෙස සවිකර ඇත.

කොටුවේ ප්‍රධානියාගේ නිල නිවසේ තිබු සී මැදුරු කවුළු දෙක සබරගමුවේ දැනට ඉතිරිව ඇති 18 වන සියවසේ ගොඩ නැගූදා සිට මේ වනතෙක් අඛණ්ඩ නේවාසික පරපුරක් ඇති ඇමටියගොඩ වලව්වේ සවි කර ඇත. කටුවන සටනේදී අත්පත් කරගත් ලන්දේසි තුවක්කුවක් ආදී කෞතුක භාණ්ඩද මේ වලව්වේ සංරක්ෂණය කොට ඇති බව සඳහන්වේ. (බලන්න ඇමටියගොඩ වලව්ව)

dsc02585

1805 දී කටුවනදී ඉංග්‍රීසින් සමග සටනක් ඇතිවී එයින්ද ඉංග්‍රීසින් පැරදී කටුවන නැවත සිංහලයන් අතට පත්ව ඇත. කටුවන අවසන් ජයග්‍රාහි සටන් බිම නිසා අප හැමට කටුවන ඉතා වැදගත් ඓතිහාසික භූමියකි.

පසු කාලීනව නටබුන් බවට පත්ව තිබු මේ කොටුව 1980 දී පුරාවිද්‍යා ස්මාරකයක් බවට ප්‍රකාශයට පත් කෙරින. 2007 දී නෙදර්ලන්ත රජය හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එක්ව කටුවන කොටුව සංරක්ෂණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන ලදී.  ඒ අනුව කොටුවේ දොරටුවට සිදුව තිබු හානිය ක්‍රමවත්ව පිලිසකරකිරිම, කොටුවේ බාහිර පෙනුමට බධාවන අකාරයේ ඉදිකිරීම් ඉවත් කිරීම හා කොටුව අභ්‍යන්තරයේ වූ ශේෂිත නටබුන් සුරක්ෂිත කිරීම ආදී පියවර ගනිමින් කොටුව සතුටුදායක ලෙස සංරක්ෂණය කර ඇත. එසේම ඊට නව ප්‍රවේශ මාර්ගයක්, නිල නිවසක්  හා තොරතුරු මධ්‍යස්ථානයක් ඉදිකොට ඇත.

dsc02600

දොරටුව 

කටුවන කොටුව දකුණේ සංචාරක මධ්‍යස්ථානයක් ලෙස  හා එය ප්‍රාදේශීයව සිදු කෙරෙන වැදගත් සංස්කෘතිකාංග සඳහා යොදා ගතහැකි ආකර්ශනීය ස්ථානයක් ලෙස පවත්වාගෙන යාමට හැකිවීම සංරක්ෂණ ව්‍යාපෘතියේ ප්‍රතිපලයක් වී ඇත.

එන්.එච්. සමරසිංහ   2019.01.18

Protected by Copyscape

Advertisements

3 Comments

  1. “1761.02.08 දින මේ බලකොටුව සිංහල හමුදාව අත්පත් කරගන්නා ලද අතර එහි වූ සියලුදේ විනාශ කරදමා ඇත. කටුවන සටන ජය ගැනීම සඳහා සහභාගී වූ සබරගමුවේ ප්‍රධානින් 15 දෙනෙකුට පමණ මහනුවර මහා වාසලේදී නින්දගම් ප්‍රධානය කළ බව කියවේ”. ඔබ තුමාගේ පොස්ටුවේ මේ කොටස කියවද්දී සටනේදී දස්කම් දැක්වූ සෙනෙවිවරයකුට කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් පිරිනැමූ ලේඛනයක් පිළිබඳ තොරතුරු සිහිවුනා.
    කිරිඇල්ලේ ඤාණවිමල හිමි- සපරගමුවේ පැරණි ලියකියවිලි – 1942 ග්‍රන්ථයේ 124 පිටුවේ එම තොරතුරු හමුවෙනවා. “…ශකවර්ෂ එක්වාදහස්සසිය අසූතිනට පැමැණි ව්‍රෂ නම් වූ මේ වර්ෂයෙහි ඉල්මස පුර විශේනිය නම් තිථිය ලත් ඉරිදා මේ දවස මේ සන්හස දෙවා වදාලාවූ පණතත්….” මේ සන්නස පවසන ඇමටියගොඩ ගුණතිලක අලහකෝන් මුදලිතුමාගේ වලව්ව දැනටත් බොහෝ දුරට නිරුපද්‍රිතව පවතී. දැනට එහි හිමු කරුව සිටින්නේ උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයේ ගරු බස්නායක නිලමේවරයා වන උදය ඇමටියගොඩ බණ්ඩාර මහත්මාය. මේ ජාතික උරුමයේ වටිනාකම අවබෝධ කරගෙන සිටින්නකු වන එතුමා වලව්ව හා එහි පෞරාණික වස්තූන් මනාව සංරක්ෂණය කිරිමට කැපව සිටින්නකු වීම වාසනාවකි. අදාල සන්නස එහි තවමත පවතින බව සිතිය හැකියි. තවත් පුරාණ සන්නස් ගණනාවක්ද පෞරාණික සම්පත් රාශියක එකතුවක්ද එහි වන බව දැක ඇත්තෙමි. ඇමටියගොඩ වලව්ව යනුවෙන් මුහුණු පොත විමසා බලන්න

    Liked by 1 person

    1. කියවූවාට හා අදහස් දැක්වූවාට පිං. මේ තොරතුරු අසා තිබුන්නාට ඒවා ගැන සවිස්තරව දැන සිටියේ නැහැ. ඔබේ තොරතුරු වලින් හෙළිවූ දේත් ඇතුලත් කොට ලිපිය නැවත සංස්කරණය කළා. අපේ උරුමයේ අක් මුල් පිළිබඳව සොයන්නට ඔබෙන් ලැබෙන සහයෝගයට මගේ හෘදයංගම ස්තුතිය පිළිගන්න.

      Liked by 1 person

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.