ගුවනේ ගෙනෙන වාසනාව – Mascots

අපි අපේ ජීවිතය වාසනාවන්ත හා බලාපොරොත්තු ඉටුවන එකක් වන්නේනම් කැමති වන්නෙමු.  එහෙත් බොහෝවිට අපට ජීවිතයේදී මුහුණ දෙන්නට සිදුවන්නේ අප බලාපොරොත්තුවන සිදුවීම් වලට නොවේ. අපේ රැකියාව හෝ එදිනෙදා කටයුතුවල නිරත වීමේදී බලාපොරොත්තු රහිත විවිධ අවදානම් වලට මුහුණ දෙන්නට අපට සිදුවේ. අවදානම්සහිත කටයුතු වලට මුහුණ දෙන්නට සිදුවන විට බොහෝ දෙනෙක් තම ආත්ම විශ්වාසය දැඩි කර ගැනීම සඳහා නොයෙක් කටයුතුවල යෙදෙන බව දක්නට ලැබේ. තමන් අදහන ආගම අනුව බාර හාර වීම, අදෘශ්‍යමාන බලවේගයක් මත බලාපොරොත්තු තබමින් එය ආරෝපණය වී ඇතැයි සිතන කිසියම් වස්තුවක් තමා සන්තකයේ තබා ගැනීම බොහෝවිට දක්නට ලැබෙන ක්‍රියාවන්ය. මෙය පෙරදිග රටවල් වලට පමණක් නොව බටහිර රටවල් වලටද පොදු කරුණකි.  

යුද පෙරමුණට යාම තම ජීවිතය පරදුවට තැබීමකි. දැඩි ආත්ම විශ්වාසයක් ඇති පුද්ගලයෙකුට වුවත් යුද පෙරමුණට ගොස් නිරුපදෘතව ආපසු පැමිණෙන්නට හැකිවෙතැයි සිතීම අපහසුය. එහෙයින් යුද වැදීම සඳහා යන සමහරුන් තමාට ආරක්ෂාව හා වාසනාව ගෙන දෙතැයි විශ්වාස කරන යමක් තම සන්තකයේ තබා ගැනීමට පුරුදුවී සිටිති. ලෝක යුද්ධ වලට සහභාගී වුවන් ඔවුන් සමග රැගෙන ගිය එවන් දේවල් කීපයක්  බ්‍රිතාන්‍යයේ Cosford හි රාජකීය ගුවන් හමුදා කෞතුකාගාරයේදී තැන්පත් කර තිබෙනු මට දැක ගන්නට ලැබිණ.

Blog Photos

කැන්ගරු මව

 

ඩෙනිස් බනර් රාජකීය ඕස්ට්‍රේලියානු ගුවන් හමුදාවේ 467 වන බල ඝනයේ සාමාජිකයෙකි. තවත් හයදෙනෙකුගෙන් යුත් ඔහුගේ කණ්ඩායම 1944 ජුනි හා දෙසැම්බර් කාලය අතරතුර ජර්මනියට හා ප්‍රංශයට බෝම්බ හෙලීමේ මෙහෙයුම් 29 ක් සිදුකර ඇත.ඔවුහු ආරක්ෂාවට රෙදි කැබලිවලින් සාදන ලද, කැන්ගරු පැටවෙකු දරා සිටින කැන්ගරු මවකගේ කුඩා ආකෘතියක් තම ගුවන් යානයේ තබාගෙන සිටියහ. දෙවරක්ම ඔවුන්ගේ ගුවන් යානය සතුරු ප්‍රහාරවලට ලක්ව කාර්මික දෝෂ වලට ලක් වුවද, මේ හත් දෙනාම කිසිදු තුවාලයක් නොලබා  ජිවිත බේරා ගන්නට සමත් වුහ. මේ හත්දෙනාගේ අත්සන් සහිත කැන්ගරු රුව දැන් මේ කෞතුකාගාරයේ ඇත.

Blog Photos

Avro Lancaster R5868 S ගුවන් යානයේ කැන්ගරුවා

Avro Lancaster R5868 S ගුවන් යානය දෙවන ලෝක යුද්ධ සමයේදී ප්‍රහාර 137 ක් සඳහා යොදාගෙන ඇත.  නමුත් ඉන් කිසිවකදී සෙබළුන් අනතුරකට මුහුණ දී නැත. එම ගුවන් යානයේද ඕස්ට්‍රේලියානු ගුවන් හමුදාවේ පියාසර සාජන් කෙනෙකු ලෙස හැඩ ගන්වන ලද කැන්ගරුවෙකුගේ රුවක් තිබුණි. මේ කැන්ගරු රුව දැන් මේ කෞතුකාගාරයේ තිබෙන අතර ඒ ගුවන් යානය ලන්ඩනයේ රාජකීය ගුවන් හමුදා කෞතුකාගාරයේ ඇත.

Blog Photos

රෝලන්ඩ් රැට්

රාජකීය ගුවන් හමුදාවේ 16 වන බල ඝනය 1980 සිට එම බල ඝනය අවසන් කළ 2005 වන තුරු වාසනාවේ සංකේතයක් ලෙස රෝලන්ඩ් රැට් නමින් මීයෙකුගේ ආකෘතියක් තබාගෙන තිබුණි. මේ ඒ මී රුවයි.

Blog Photos

පෙන්ගුවින් පිළිරුව

මවුන්ට්බැටන් සාමි වරයා විසින් ලෝක යුද්ධ සමයේ පිහිටුවන ලද සේවා චිත්‍රපට හා මහජන සම්බන්දතා අංශයේ කාර්යයේ නියුතුව සිටි විලියම්ස් මහතා 1943 -45 කාලය තුල ඉන්දියාවේදී සමරු සටහන් තැබීම සඳහා පෙන්ගුවින් පිළිරුවක් යොදාගෙන තිබුණි.

Blog Photos

හාවෙකුගේ කකුල

හාවෙකුගේ කකුලක් ළඟ තබා ගැනීම වාසනාව උදා කරන දෙයක් හැටියට සමහරු සැලකුහ. දෙවන ලෝක යුද්ධයේදී ජර්මානුවන්ට හසුවූ රාජකීය ගුවන් හමුදාවේ ඉංජිනේරු ජෝන් මරෙල්ද තමන්ට වාසනාව උදා කරනු ඇතැයි සිතා හාවෙකුගේ කකුලක් ළඟ තබාගෙන සිටියේය. ඔහු 1945 අප්‍රේල් මාසයේදී ජර්මානුවන්ගේ ග්‍රහණයෙන් පැනගන්නට සමත් විය. ඔහු දින 12 ක් තිස්සේ පැමිණ මිතුරු හමුදාවට එක්විය. ඔහු ළඟ තිබූ හා කකුල මේ කෞතුකාගාරයේ ප්‍රදර්ශණයට තබා ඇත.

Blog Photos

Twinkletoes

1919 ජුනි 14 දින නිව්ෆවුන්ඩ්ලන්තයේ සිට අයර්ලන්තය දක්වා අත්ලාන්තික් සාගරය ප්‍රථමවරට නොනවත්වා තරණය කල ගුවන් යානයවු Vickers Vimy අසීරු කාලගුණික තත්වයන්ට මුහුණ දුන් නමුත් බරපතල අනතුරක් නොවී අයර්ලන්තයට පැමිණියේය. මේ ගුවන් යානයේද වාසනාවේ සංකේතයක් ලෙස Twinkletoes නම් කුඩා බළල් පැටවෙකුගේ රුවක් ගෙනගොස් ඇත.

Blog Photos

Gremlin

දෙවන ලෝක යුද්ධ සමයේදී ගුවන් යානා අනතුරු සිදුවන්නේ Gremlin නම් යක්ෂයෙකුගේ බලපෑම නිසා යයි සිතුහ. මේ යක්ෂයා පිළිබඳව ලෝක යුද්ධයේදී ගුවන් නියමුවෙකු ලෙස කටයුතු කල රෝලන්ඩ් ඩාල් 1943 දී ළමා පොතක්ද  ලිවීය. මේ චරිතය වෝල්ට් ඩිස්නීගේ කාටුන් වලටද ඇතුලත් විය.

Blog Photos

සාන්ත ක්‍රිස්ටෝපර් මාලය

Jean Lennox Bird රාජකීය ගුවන් හමුදාවේ පළමු ගුවන් නියමු වරියයි. ඇය දෙවන ලෝක යුද්ධයේදී ස්පිට්ෆයර්,  ඩකෝටා, හරිකේන්ස් ආදී ගුවන් යානා පැදවුවාය. ඇය සාන්ත ක්‍රිස්ටෝපර් නමින් මාලයක් පැළඳ සිටියාය. 1957 අප්‍රේල් 29 දින සිදුවූ අනතුරකින් ඇය මිය ගිය අතර ඇය පැළඳ සිටි සාන්ත ක්‍රිස්ටෝපර් මාලය මේ කෞතුකාගාරයේ තබා ඇත.

Blog Photos

බෝනික්කා

ජිම් චැප්මන් රාජකීය ගුවන් හමුදාවේ ගුවන් භටයෙකි. ඔහු තමාගේ වාසනාවේ සංකේතය ලෙස තම මංගල කේක් ගෙඩිය සැරසු කුඩා බෝනික්කෙක් රැගෙන ගියේය. ඔහු ජර්මනියට ඉහලින් ගමන් ගනිත්දී ප්‍රහාරයට ලක්ව ගිනිගත් ගුවන් යානයෙන් පැරෂුටයක ආධාරයෙන් පැන දිවි ගලවා ගන්නා ලදී. ඒ අවස්ථාවේදී ඔහුගේ පසුම්බියේ මේ බෝනික්කාද විය.

_dsc6026 (2)

පෙන්ගුවින් පිළිරුව

 

158 වන බල ඝනයේ පියාසර ලුතිනන් ස්ටැන් චැප්මන් පෙන්ගුවින් පිළිරුවක් ඔහු සමග ගෙන ගියේය.  1944 දිනෙක ජර්මනියට ඉහලින් පියාසර කරද්දී ප්‍රහාරයකට ලක්ව ගුවන් යානය විනාශ වුවත් ඔහු හා අනෙක් භටයින්  පැරෂුට ආධාරයෙන් පැන දිවි ගලවා ගත්තේ මේ පෙන්ගුවින් නිසා යයි ඔහු විශ්වාස කළේය.

ජීවිතයේ අසීරු අවස්ථාවකට මුහුණ දෙද්දී ඊට කිනම් හෝ බාහිර බලවේගයක් පිහිටවේ යයි සිතීම පෘතග්ජන බොහෝ දෙනාගේ විශ්වාසයයි.  

එන්.එච්. සමරසිංහ  2019.01.23

 

Protected by Copyscape

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.