විදුරු නිෂ්පාදන අද ජන ජිවිතයට අත්‍යවශ්‍ය අංගයක් වී ඇත. විදුරු භාවිතය මෙසපොටේමියානු ශිෂ්ටාචාර සමයේදීත් පැවති බව පුරාවිද්‍යාඥයෝ පවසති. පසු කාලීනව ක්‍රිස්තු පූර්ව 650 දී පමණ වන විට බටහිර ආසියාවේ විදුරු උණුකොට විසිතුරු විදුරු භාණ්ඩ නිපදවීමට පියවරගෙන තිබුණු බව හෙළිව ඇත.
විදුරු හා විදුරු වල තවත් අනු අංගයක්වන ක්‍රිස්ටල් වලින් නිපදවූ කලාත්මක භාණ්ඩ භාවිතය අද ඉතා ජනප්‍රිය වී ඇත. මෙවන් විදුරු භාණ්ඩ නිපදවන ප්‍රධාන රටකි ස්වීඩනය. ක්‍රිස්තු වර්ෂ 1500 දී පමණ පසු කාලිනව ගස්ටෝව් වාසා නමින් කිරුළු පැළඳී වාසා Vasa නම් වංශවත් පවුලේ Gustav Eriksson ගේ අනුග්‍රහයෙන් ස්ටොක්හෝම් නගරයේ විදුරු කර්මාන්තය අරඹා ඇත. ජර්මනියෙන් හා ඉතාලියෙන් ගෙන්වාගත් කාර්මිකයින්ගෙන් ඇරඹුන විදුරු නිෂ්පාදන එකල ඉතා සුඛෝපභෝගී භාණ්ඩයක්ව තිබිණ.
ස්ටොක්හෝම් නගරය විදුරු කර්මාන්තයට උචිත ප්‍රදේශයක් නොවූ බැවින් 18 වන සියවසේදී විදුරු කර්මාන්ත ශාලා දකුණු ස්වීඩනයේ Småland ප්‍රදේශයේ ස්ථාපනය කෙරින. ඒ ප්‍රදේශයෙන් විදුරු නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හා උනුකිරීමට අවශ්‍ය දැව පහසුවෙන් ලබාගැනීමට හැකිවීම ඊට හේතුව විය. කලින් ඒ පෙදෙසේ තිබු යකඩ කර්මාන්තය අත්හැර දමා තිබු හෙයින් එම කර්මාන්තශාලා පරිශ්‍ර හා කම්කරුවන්ද විදුරු නිෂ්පාදනය සඳහා ලෙහෙසියෙන් ලබා ගත හැකි වින.
Växjö නගරය
අද දකුණු ස්වීඩනයේ Småland ප්‍රදේශයේ විදුරු නිපදවන කම්හල් 15 ක් පමණ පිහිටුවා ඇති අතර ස්වීඩනයේ ජාතික විදුරු කෞතුකාගාරයද පිහිටුවා ඇත්තේ මේ ප්‍රදේශයේ Växjö නගරයේය
විදුරු කෞතුකාගාරය
මේ විදුරු කෞතුකාගාරයේ විදුරු කර්මාන්තයේ ආරම්භක අවධියේ සිට නිපදවන ලද විවිධ විදුරු භාණ්ඩ හා කලාත්මක විදුරු නිර්මාණ ප්‍රදර්ශනයට තබා ඇත.
ප්‍රදර්ශණ භාණ්ඩ කීපයක්
ගිනස් වාර්තාවක් පිහිටුවා ඇති චීස් භාජන
මිට අමතරව විදුරු නිෂ්පානයේ යෙදී සිටි ස්වීඩනයේ Kronoberg ප්‍රදේශයේ ජන ජීවිතය විදහා දැක්වෙන ප්‍රදර්ශන කුටි වලින් හා මුදල් කෞතුකාගරයකින්ද සමන්විතය.
පැරණි මුදල්
විදුරු භාණ්ඩ නිපදවීමට ශිල්පියා ශිල්පිය නිපුනතාවයෙන් මෙන්ම කලා කුසලතාවයෙන්ද පරිපුර්ණ පුද්ගලයෙකු විය යුතුය. විදුරු නිර්මාණයක් කිරීම සඳහා, නලයකට සම්බන්ද විදුරු රත් කිරීම හා බැලුනයක් මෙන් කටින් පිඹ අවශ්‍ය ප්‍රමාණයට පුම්බා ගැනීම කළ යුතුය. ඉන් පසු මේ බැලුනය ඒ මේ අතට කරකවා තමන්ට අවශ්‍ය ආකාරයට හැඩ ගස්සවා ගනු ලබයි. ඒ අතරම ලෝහ උපකරණ වලින් හැඩවැඩ දමා හෝ අච්චුවක බහා හැඩ ගන්වා තම සිතේ ඇති නිර්මාණය එලි දක්වයි.
උදුනේ රත්කරන විදුරු ඉන් එලියට ගත් මොහොතේ සිට ඝනවීම ඇරඹෙන හෙයින් ඉතාමත් ක්‍රියාශීලිව හා කඩිනමින් භාණ්ඩය නිර්මාණය කළ යුතුය. එමෙන්ම නිසි කල් යල් බලා නැවත රත් කිරීම හා හැඩ ගැන්වීම හා වර්ණ ගැන්වීම මහත් පරිශ්‍රමයකින් හා ඉවසීමෙන් කල යුතුය. සුළු ප්‍රමාදයක් හෝ වුවහොත් සියලු උත්සාහයන් ව්යාර්තවනු වැලැක්විය නොහැකිය.
Kosta Boda විදුරු කර්මාන්ත ශාලාව
මේ ප්‍රදේශයේ පිහිටි පැරණිතම විදුරු කර්මාන්ත ශාලාව වන Kosta Boda විදුරු කර්මාන්ත ශාලාව 1742 සිට අද දක්වාම විදුරු හා ක්‍රිස්ටල් භාණ්ඩ නිපදවීමේ යෙදී සිටි. මේ කර්මාන්ත ශාලාව හා මෙහි පවත්වාගෙන යන කෞතුකාගාරය නැරඹීමට බොහෝ සංචාරකයෝ පැමිණෙති. මෙහි ඇති අලෙවි හල හා හෝටලයද සංචාරක ආකර්ෂණයක් වී ඇත.
Hyttsill – Hot Shop Herring අවන් හලේ විදුරු නිපදවීම
සංචාරකයින්ට විදුරු භාණ්ඩ නිපදවන අයුරු ප්‍රදර්ශන කරමින්, එම විදුරු උණු කරන උදුන්වලම පිළියෙළ කරන ස්වීඩන් ආහාරවර්ග දිවා කාලයේ නිෂ්පාදන කටයුතු සඳහා යොදා ගන්න මේස වලම හිඳ භුක්ති විඳීමට අවස්ථාව සලසමින් මෙහි පවත්වාගෙන යන Hyttsill – Hot Shop Herring නම් අවන්හලේ පැරණි සම්ප්‍රදායානුකුල රෑ කෑමක් ගැනීම සංචාරකයන්ට ලැබෙන අපුරු අත්දැකීමකි.