අවුෂ්විට්ස් ඝාතන කඳවුර – Auschwitz Concentration Camp

සංචාරකයන් මෙතරම් කම්පාවට පත්කරවන වෙනත් ගමනාන්තයක් මෙලොව ඇතැයි සිතිය නොහැකිය. කෙනෙකුට  තමා මෙන්ම වූ තවත් මිනිසුන් කණ්ඩායමකට ඉතා කෘර ලෙස වද හිංසා කොට ඝාතනය කල හැකිද? අපට හිතන්නටවත් නොහැකි දේ කලකට පෙර සිදුව තිබේ. අඩි  දහයක් පමණ උස කටු කම්බි වැට වලින් වටවූ ක්‍ෂතිජය තෙක් විහිදීගිය රතුවන් ගොඩනැගිලි රැසකින් සැදුම්ලත් පෝලන්තයේ අවුෂ්විට්ස් ඝාතන කඳවුර හෙළිදරව් කරන්නේ ඒ කෘරතර සිදුවීම් වල කතන්දරයයි.

P1010962P1010978

P1020080

පළමුවන ලෝක යුද්ධයෙන් පසු පිරිහීමකට ලක්ව තිබු ජර්මනියේ නායකයා ලෙස 1933 දී ඇඩොල්ෆ් හිට්ලර් පත්විය. ජර්මනිය නගා සිටුවීම සඳහා ජාතික වාදය ජර්මනිය තුල ඉස්මතු කරවමින් නාසි වාදය ව්‍යාප්තකිරීමට ඔහු පියවර ගත්තේය. ජර්මනියේ ආර්ථිකය, ආගම, සන්නිවේදනය, අධ්‍යාපනය, නිතිය, සංස්කෘතිය ආදි සියලුම අංග නට්සිකරණය විය. ජර්මනියේ සියලු දේශපාලන පක්ෂ තහනම් කළ  ඔහු නට්සිවාදයට විරුද්ධ සියලුදෙනා මර්ධනය කිරීමට  පියවර ගත්තේය. ඔහුට විරුද්ධවන සියළු දෙනා යුරෝපයෙන් තුරන් කළ යුතුයයි ඔහු නියෝග කළේය. ඔහුගේ දැක්ම අනුව ආර්යයන්ගෙන් පැවත එන ජර්මානුවන් ලෝකයේ උතුම්වූ ජාතියයි. ලෝකයේ පහත්ම ජාතිය වන යුදෙව්වන් ලොවින් අතුගා දැමිය යුතුය.

නාසි වාදයට එරෙහි වන්නන්, කොමියුනිස්ට් වාදීන්, සමලිංගිකයන්, රුසියානුවන්, ජර්මන් සිරකරුවන්  හා යුදෙව්වන් නවීන ජර්මනියට සුදුසු ලෙස හැඩගැස්වීමට යයි කියමින් හිට්ලර් කඳවුරු රාශියක් යුරෝපය පුරා පිහිටුවීය. මේ අතරින් ඉතාමත් ම්ලේච්ඡ හා කතාබහට ලක්වූ කඳවුරයි අවුෂ්විට්ස් කඳවුර.

හිට්ලර්ගේ හමුදා නායකයෙකුවූ හෙන්රිච් හිම්ලර්ගේ (Heinrich Himmler )   නියෝගයෙන් පෝලන්තයේ දකුණු පෙදෙසේ පිහිටි Oswiceim ගම්මානයේ වැසියන් ඉන් ඉවත්කොට 1940 දී හිට්ලර්ගේ SS හමුදාව අත්කරගත් පෝලන්ත බළකොටුවක තිබු ගොඩනැගිලි 20 ක අවුෂ්විට්ස් කඳවුර යුදෙව්වන්  ලවා ඉදිකරවා ගන්නා ලදී. කලින් හමුදා බැරක්කයක්ව තිබී පසුව දුම්කොළ කර්මාන්ත ශාලාවක් පිහිටුවා තිබුණ මේ භූමිය පහසුවෙන් ආවරණය කරගත හැකිවීම කඳවුරක් පිහිටුවීමට බලපෑවේය. 1940 මැයි මාසයේදී කපිතාන් රුඩොල්ෆ් ෆ්‍රාන්ස් හොස් (Rudolf Franz Ferdinand Höss)  මේ කඳවුරේ පාලකයා ලෙස පත්විය. 1940  ජුනි මාසයේදී පළමුව පෝලන්ත සිරකරුවන් ගෙනවිත් ඇරඹුන මේ කඳවුරට හැම දෙසින්ම රැදවියන් එවන්නට වුයෙන් කඳවුර තවත් පුළුල් කරන  ලදී. ඒ අනුව මේ කඳවුරට කිලෝ මීටර් හතරක් පමණ ඈතින් අවුෂ්විට්ස් 2 හෙවත් බිර්කෙනාවු (Birkenau) නමින් හා අවුෂ්විට්ස් 3 හෙවත් මොනොවිට්ෂ් ( Monowitz)නමින්  තවත් කඳවුරු දෙකක් පසුව ඉදි කෙරින. 1942 පමණ වනවිට මේ කඳවුරු පුනරුත්ථාපන කඳවුරු නොව ඝාතන කඳවුරු බවට පත්විය.

P1020096P1020082

බිර්කෙනාවු කඳවුරට පැමිණෙන දුම්රිය මග හා දුම්රිය මැදිරියක්

නාසීන් විසින් පවත්වාගෙන ගිය විශාලතම කඳවුර බවට අවුෂ්විට්ස්  පත්විය. ලැගුම් හල්, ගෑස් කාමර, මළ සිරුරු දවන ආදාහනාගාර ආදියෙන් මේ කඳවුර පරිපුර්ණ විය. පසුව මුළු යුරෝපයෙන්ම අවුශ්විට්ස්  වෙත සිර කරුවන් ගෙනෙණු ලැබිණ. 1942 මාර්තු මාසය වනවිට හන්ගේරියාවෙන් 400,000 ක්ද, පෝලන්තයෙන් 300,000 ක්ද ප්‍රංශයෙන් 69,000 ක්ද, නෙදර්ලන්තයෙන් 60,000 ක්ද, ග්‍රීසියෙන් 55,000 ක්ද, බොහිමියාවෙන් 46,000 ක්ද, ස්ලෝවෙකියාවෙන් 27,000 ක්ද, බෙල්ජියමෙන් 25,000 ක්ද, ඔස්ට්‍රියාවෙන් 23,000 ක්ද, යුගොස්ලෝවියාවෙන් 10,000 ක්ද, ඉතාලියෙන් 7,500 ක් හා නොර්විජියාවෙන් 690 ක්ද ආදි වශයෙන් යුදෙව්වන් 1,100,000 ක් පමණ මේ කදවුර වෙත එවූ බව සඳහන් වේ. මිට අමතරව පෝලන්ත ජාතිකයන් 150,000 පමණ. අහිගුන්ටිකයන් 23,000 ක්, සෝවියට් යුද සිරකරුවන් 15,000 ක් හා අනෙක් ජාතිවල යුද සිරකරුවන් 25,000 ක් පමණද මේ කඳවුරට එවූ බව සඳහන් වේ.

P1010967

දොරටුව “Arbeit macht frei” (“Work Sets You Free”)

P1010980

සිරකරුවන් ගෙන ආ රටවල්

කඳවුරට මිනිසුන් ගෙන ආවේ ඔවුන් හොඳින් වැඩ කළහොත් නිදහස් විය හැකි බව කියා රවටමිනි. ඒ බව හැඟවෙන“Arbeit macht frei” (“Work Sets You Free”) යනුවෙන් පුවරුවක් ඇතුළුවන දොරටුවේද සවි කොට තිබිණ

ඔවුන් පැමිණෙන විට තමන් සතු හොඳ ඇදුම් වලින් සැරසි තමාගේ වටිනා බඩු මුට්ටු හා එදිනෙදා පාවිච්චි කරන සනීපාරක්ෂක  භාණ්ඩ ආදියද රැගෙන ආහ. කුඩා ළමුන් පවා තමන්ගේ සෙල්ලම් බඩු රැගෙන කිසිදු පැකිලීමකින් තොරව පැමිණියහ. දුම්රියෙන් මේ කඳවුරට රැඳවියන් ගෙන ආ විටම ඔවුන්ගේ ඉරණම තීන්දු විය

P1010988P1010990

කඳවුරට පැමිණෙන රැඳිවියන් (කඳවුරේ ප්‍රදර්ශනය කරන ඡායාරුපයකින)

දුම්රියෙන් පැමිණියවුන්ට විශාල බෑග් තබා අත් බෑගය පමණක් රැගෙන බසින ලෙසට අණ කෙරින. කඳවුරේ වෛද්‍ය අංශය පැමිණියවුන් පරීක්‍ෂා කෙරින.  මේ කඳවුරේ වෛද්‍ය අංශයේ ප්‍රධානියා වෛද්‍ය ජෝසෙෆ් මැන්ගල (Josef Mengele) විය. නිරෝගී ජර්මානුවන් බිහිකරන්නේ කෙසේද යන්න හා වැඩි වැඩියෙන් ජර්මානුවන් ඉපිදවිමට නිවුන් දරුවන් ලබාගන්නේ කෙසේද යන්න පිළිබඳව පර්යේෂණ කිරීම ඔහුගේ ප්‍රධාන රාජකාරියක් විය.

P1010989

රැඳිවියන් වර්ග කිරීම  (කඳවුරේ ප්‍රදර්ශනය කරන ඡායාරුපයකිනි)

දුම්රියෙන් බට මිනිසුන් ගැහැණු පිරිමි වශයෙන් පළමුව දෙකොටසකට බෙදින අවුරුදු 14 ට අඩු දරුවන් මව් වරුන් සමග ඉන්නට ඉඩදෙනු ලැබිණ. පසුව මේ අය අතරින් වැඩකළ නොහැකි මහළුවියේ පසුවූවන්, දුබලයින්, අවුරුදු 14 ට අඩු අය වම් පසට යැවූ අතර වැඩකළ හැකි අය දකුණු පසට යැවිණ. නිවුන් අයවලුන් ප්‍රතිකාර හා පර්යේෂණ සඳහා වෙන් කර ගැනිණ. රැඳිවියන් ගෙනා සියලු වස්තුව  රජයේ ආදායමට එකතුවූ අතර ආහාර පාන ආදිය නිලධාරීන්ගේ ප්‍රයෝජනයට ගැනිණ.

වම් පසට යැවූ අය දෙදහසක් පමණ  විෂබීජ නැසීමට හා ස්නානය සඳහා යයි කියමින් නිරුවත් කොට වර්ග මීටර 210 ක් පමණවූ ගෑස් කාමර වෙත යවා අගුලු දමන ලදී. මේ කාමර වල බොරු වතුර මල් සවිකොට තිබිණ. පසුව එම කාමරවලට යොමුකොට ඇති ඇති සිදුරු වලට සයනයිඩ් (Cyanide), ක්ලෝරීන් (Chlorine) හා නයිට්‍රජන් (Nitrogen) එක් කොට තැනු  සයික්ලෝන් බී (Cyclon B) නම් ගෑස් යොදන ලදී.

P1010995

P1010998-001

සයික්ලෝන් බී  කෑන්

විනාඩි 20 ක් පමණ ගතවූ පසු ගෑස් කාමරයට යැවූ සියලුදෙනා මිය ගොසිණි.

P1020065P1020066P1020067

ගෑස් කාමරය හා දවන උදුන්

දකුණු පසට යැවූ අය හිස මුඩුකොට නාන කාමරයකට යවා කැල්සියම් ක්ලෝරයිඩ් ගල්වා නහවනු ලැබිණ. ඉක්බිති සිරකරු ඇඳුමක් අන්දවා සිරකරු අංකය පච්චයක් ලෙස කොටවනු ලැබ  ඇත.

P1020035

සෑම සිර කරුවෙකුටම ඔහු අයත්වන කණ්ඩායමේ ලාංචනය සහිත අංකයක් ඇඳුමේ පැළඳිය යුතු විය.

P1020038P1020037

සිරකරු ඇඳුම හා කණ්ඩායම් සංකේත

P1020033

මේ සිරකරුවන් දිනපතා පෙරෙට්ටුවක තබා ගණන් කොට වැඩෙහි යොදවනු ලැබිණ. පෙරෙට්ටුවේ ගණන් ගන්නා අතර සංගීත කණ්ඩායමක් වාදනයක් ඉදිරිපත් කොට ඇත. එය පෙරෙට්ටුවේ ගමන් කිරීමට ආධාරයක් වී තිබේ.

P1010970

සංගීත කණ්ඩායමක් (කඳවුරේ ප්‍රදර්ශනය කරන ඡායාරුපයකිනි)

දිනකට පැය 11 ක් පමණ වැඩ කිරීමට සිදුවූ අතර දිනකට කෑමට ලැබුනේ  සුළු ආහාරයකි.

P1010976

යුදෙව්වන්  ලවා කදවුර ගොඩනැගීම  (කඳවුරේ ප්‍රදර්ශනය කරන ඡායාරුපයකිනි)

සමහරුන්ට නිදන්නට ලැබුනේද පැරණි ජර්මන් හමුදාවේ අශ්වයින් 50 කට පමණ සෑදු අශ්වගාලක තැබූ තට්ටු තුනක ඇඳන්වල 400 ක් පමණ දෙනා එකට කොටුවිමෙනි.

P1020095

කඳවුරේ ඇඳන්

P1020091

විවෘත වැසිකිලි

500 ක් පමණ සිටිය හැකි ශාලාවක 1200 ක් පමණ සිටිය යුතු විය. මේ ශාලාවල ඇඳන් අතරේම විවෘත වැසිකිලිත් පිහිටුවා තිබුණි.

P1020073P1020090P1020089P1020080

විදුලිය යෙදු කම්බි වැටවල් හා මුර කුටි සහිත කඳවුරු ගොඩනැගිලි

රැඳිවියන් පැනයාම වැලැක්වීමට මේ ගොඩනැගිලි සියල්ල අඩි 10 ක් පමණ උස කටු කම්බි වැටකින් කොටුකර ඒ  වැටට විදුලිය යොදා තිබිණ. කඳවුරු නිරීක්ෂණය සඳහා ගමන් කිරීමට පටු මාවත් ඒ වටා තිබු අතර තැනින් තැන මුර අට්ටාලද පිහිටුවා තිබී ඇත.

අධිකලෙස වැඩ කිරීම, ප්‍රමාණවත් ආහාර නොලැබීම, බෝවන රෝග වැළඳීම, කෘර දඬුවම් වලට මුහුණ දීම වැනි නොයෙක් කාරනා නිසා සිරකරුවෝ බොහොමයක් මිය ගියහ. එමෙන්ම පැනයන්නට උත්සාහ දැරීම, බාහිර අයවලුන් සමග සම්බන්ධතා පැවැත්වීම ආදී බොහෝ වැරදි වලට දඬුවම මරණය විය. එය වෙඩි තැබීමකින්, එල්ලීමෙන් හෝ විෂ එන්නටහකින් වුවද සිදුවිය හැකිය. වෛද්‍ය පර්යේෂණයන් සඳහා අවශ්‍ය නිදර්ශක වෙනුවෙන්ද ජීවිතය පුද කිරීමට සිදුවිය හැකිය. නිවුන් දරුවන් පිලිබඳ පර්යේෂණ සඳහා නිවුන් දරුවන් දෙදෙනාම එකවිට ජිවිතක්ෂයට පත්කොට ඉදිරිපත් කල බව කඳවුරේ වෛද්‍යවරයෙකු ලියා තිබේ. වෛද්‍ය මැන්ගල අතින් නිවුන් දරුවන් 1500 ක් පමණ ඝාතනය වූ බව කියති.

P1020030P1020029

පර්යේෂණ සඳහා දිවිදුන් දරුවන් කීප දෙනෙක් (කඳවුරේ ප්‍රදර්ශනය කරන ඡායාරුපයකිනි)

මේ කිනම් ආකාරයට වුවත් මියයන සිරකරුවන්ගේ සිරුරු පිළිස්සීම සඳහා උදුන් වලට යවනු ලැබේ. මේ උදුන්වල සේවය කරන සොන්ඩර් කමාන්ඩෝවරු සිර කරුවන්ගේ ඇඳුම්, ආභරණ, හිසකෙස්, රත්රන් දත් ඇත්නම් ඒවා  ආදී සියලුදේ ඉවත් කර ගනී. දිනකට සිරකරුවන්ගෙන් ලබා ගන්නා රත්රන් ප්‍රමාණය රාත්තල් 75 ක් පමණ වූ බව කියති. මෙසේ දවාලන සිරුරු වල අළු දිනකට විශාල ප්‍රමාණයක් ලොරි වලින් ප්‍රවාහනය කොට කඳවුර ආසන්නයේ තිබූ විස්ටියුලා (Vistula) ගඟට දැමූ බව කියති. මේ සොන්ඩර් කමාන්ඩෝවරුන්ගේද සේවා කාලය මාස හතරක් පමණක් බව කියති. මාස හතර අවසාන ඔවුන්ටද ජිවිතයෙන් සමු ගන්නට සිදුවේ.

දෙවන ලෝක යුද්ධයෙන් පරදින බව තේරුම් ගත ජර්මානුවන් මේ කඳවුරු වසා දමන්නට කටයුතු කළහ. සිර කරුවන් කඳවුරෙන් ඉවත්කිරීමෙන්  හා ඝාතනය කොට පුළුස්සා, ආදාහනාගාර ආදිය පුපුරුවා විනාශ කරන ලදී. කඳවුරෙන් රැඳිවියන් ඉවත් කිරීමේදී දුම්රිය ප්‍රවාහන පහසුකම් ප්‍රමාණවත් නොවූ නිසා පා ගමනින්ම ඔවුන් රැගෙන යාමට පියවර ගෙන තිබුණි. 50,000 කට වැඩි පිරිසක් මෙසේ ගෙන ගියත් ඉන් සෑහෙන පිරිසක් ගමන් අපහසුව නිසා මිය ගොස් තිබු බවද වාර්තා වී ඇත. 

P1020105P1020106

විනාශකළ  ගොඩනැගිලි

1944 අප්‍රේල් මාසයේදී මේ කඳවුරේ සිටි යුදෙව්වන් දෙදෙනෙකු වූ රුඩොල්ෆ් හා ඇල්ෆ්‍රඩ් නම් දෙදෙනෙකු කඳවුරෙන් පැනගොස් කඳවුරේ තොරතුරු සපයා ඇත. ඒ අනුව 1945 ජනවාරි 27 වනදා සෝවියට් රතු හමුදාවේ 322 වන රයිෆල් ඛණ්ඩය විසින් මේ කඳවුරේ ජීවත්ව සිටි 7500 ක් පමණ රැඳිවියන් නිදහස්  කර ගන්නා ලදී.

මේ කඳවුර නිදහස් කරගත් හමුදා වලට ඒ කඳවුරේ ගබඩා වල තිබී රැඳිවියන්ගේ ඇඳුම් පැළඳුම්, සපත්තු, ඇස් කණ්නාඩි, සනීපාරක්ෂක ද්‍රව්‍ය, සෙල්ලම් බඩු, ආදිය ඉතා විශාල ප්‍රමාණයක්  හා ඝාතනය කල කාන්තාවන්ගේ හිසකෙස් ටොන් හතක් පමණද හමුවී ඇත.

P1020023-001P1020022-001P1020019-001P1020016-001P1020015-001P1020012-001P1020011-001P1020010-001P1020009-001P1020007-001P1020005-001

රැඳිවියන්ගේ භාණ්ඩ

මේ කඳවුරු වල කීදෙනෙක් සිටියාද, කි දෙනෙක් ඝාතනයට ලක්වුවාද ආදී නිවැරදි තොරතුරු දැනගන්නට නැත. රුසියානු හමුදාවේ ගණනය කිරීම් අනුව පුද්ගලයන්  ලක්ෂ 40 ක් පමණ ඝාතනයට ලක්වූ බවට අනුමාන කරති. පසුව වෝර්සෝහි පෝලන්ත ජාතික සුප්‍රීම් අධිකරණයේදී ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක් ඝාතනය කිරීම ගැන රුඩොල්ෆ් හොස්ට විරුද්ධව නඩු විභාගයක් පවත්වන ලදී. මේ නඩුවේදී හෙළිවූ තොරතුරු අනුව ලක්ෂ 25 ක් පමණ ගෑස් මගින් ඝාතනය කල බවත් ලක්ෂ 5 ක් පමණ කුසගින්නේ මිය ගිය බවත් හෙළි කරගන්නා ලදී.

නඩු විභාගයෙන් රුඩොල්ෆ් ෆ්‍රාන්ස් හොස් වරද කරුවකු වූ අතර ඔහුට මරණිය දණ්ඩනය හිමිවිය. 1947 අප්‍රේල් 16 වන දින රුඩොල්ෆ් හොස් අවුට්විෂ්හිදී පෝරකයට නැංවිය.

P1020058

කඳවුරු ප්‍රධානි හොස් එල්ලූ කඳවුරේ පෝරකය

කඳවුරේ මිනීමරු වෛද්‍යවරයා වූ  ජෝසෙෆ් මැන්ගල යුද්ධයෙන් පසු නඩු විභාගය සඳහා සොයාගත නොහැකිවිය. ඔහු කඳවුරෙන් පලා ගොස් බ්‍රසීලයේ සැඟව සිට 1979 දී මියගිය බව හෙළිදරව් කරගෙන ඇත.

AUTWISH-001

හිට්ලර්, රුඩොල්ෆ් ෆ්‍රාන්ස් හොස් හා වෛද්‍ය ජෝසෙෆ් මැන්ගල (පින්තුර Wikimedia Commons වෙතිනි)

පෝලන්ත පාර්ලිමේන්තුවේ තීරණයක් අනුව 1947 ජුලි මස දෙවැනිදා සිට මේ ස්ථානයේ කෞතුකාගාරයක් අරඹන ලදී. ඒ සඳහා ජර්මන් හමුදා විසින් විනාශ කරන ලද සමහර ගොඩනැගිලි කලින් තිබු ආකාරයට ප්‍රති නිර්මාණය කර තිබේ.   

P1020028-001P1020097P1020101

මනුෂ්‍ය වර්ගයක් පහත්කොට සලකමින් අමානුෂික හා කෘර අන්දමින් ඝාතනය කිරීම සඳහා සංවිධානාත්මකව කටයුතු කරණු ලැබූ ස්ථානයක් ලෙස ඉතිහාසයට එක්වූ අවුශ්විට්ස්, ලෝක ඉතිහාසයේ සිදුවීම් වල විශ්වීය වැදගත්කම සලකා 1979 දී යුනෙස්කෝ සංවිධානය ලෝක උරුමයක් ලෙස නම් කොට තිබේ.

එන්.එච්. සමරසිංහ 2019.03.06

Protected by Copyscape

4 Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.