ලෝකයේ උතුරු පෙදෙස්වල සීත සමය එළඹෙද්දී ඒ රටවල සුවැදි (ප්‍රජනනය හා පැටවුන් ඇතිදැඩි කරන) කුරුල්ලෝ උණුසුම හා ආහාර සොයා සමකය ආසන්න පෙදෙස් වලට සංක්‍රමණය වෙති. මෙසේ සංක්‍රමණය වන පක්ෂීන්ගේ ප්‍රධාන බුදින පෙදෙසක් බවට ලංකාවද පත්ව ඇත. මේ සුවැදි හා බුදින පෙදෙස් දෙක අතර වාර්ෂිකව නිත්‍ය ගමන් මගක් ඔස්සේ ගමන් කරන පක්ෂීන් නිහැරියන් ලෙස හඳුන්වති. උතුරේ සිට ඉන්දියාවේ බටහිර වෙරළ, නැගෙනහිර වෙරළ හා අන්දමන් දුපත් හරහා යන මාර්ග තුන ඔස්සේ ලංකාවට පැමිණෙන මේ නිහැරියන්ගේ වැදගත් බුදින පෙදෙසක් බවට කුමන වනෝද්‍යානය පත්ව ඇත. මෙහි පිහිටා ඇති කලපු, විල්ලු හා වැව් කීපය මේ සංචාරකයනට නිබඳවම ආහාර සපයන අතර මෙහි පවත්නා සෙන්ටිග්‍රේඩ් අංශක 27 ක මධ්‍ය උෂ්ණත්වය ඔවුන්ට සුවදායක පරිසරයක් ගොඩ නගයි. මේ ප්‍රදේශයට ලැබෙන මිලි මීටර් 1300 ක් පමණ වන වාර්ෂික වර්ෂා පතනය මේ ජලාශ පෝෂණය කරයි.
යාල නැගෙනහිර යනුවෙන් කලින් හැඳින්වූ මේ වනෝද්‍යානය පානමට කිලෝමීටර් 20 ක් පමණ දකුණින් කුඹුක්කන් ඔයට උතුරින් හා ගිනිකොණ දිග වෙරළට මායිම්ව පිහිටා ඇත. හෙක්ටෙයාර් 35,665 ක පමණ භූමියක් මෙයට අයත්ය. හෙක්ටෙයාර් 200 ක් පමණ විශාල කුමන විල්ලුව හා හැලව, ඕකන්ද, ගිරිකුල, බාගුර, අන්දරකල, ඉටිකල, යාකලෙයි කුමන ආදී කලපු, කුමන, බක්මී, අලුත්ගම, එරමිනියන් යන වැව් හා කුඩා ජලාශ වන කිරි පොකුණ, නෙළුම්පත් පොකුණ, කුඩා වෙල, කොට ලිඳ ආදී ජලාශ රාශියක් මේ තුල පිහිටා ඇත. කටු පඳුරු හා වියලි මිශ්‍ර සදාහරිත වනාන්තර, තණ බිම්, වෙරළාශ්‍රිත ශාඛ, ගංගා ධර වන බිම් ආදී විවිධ පරිසර පද්ධති රැසක් මෙහි දක්නට ලැබේ.
මේ වනෝද්‍යානය ප්රමුඛව කුඩුම්බිගල හා පානම අභය භුමි වලින්ද කොටස් ඇතුලත් කොට හඳුනා ගනු ලැබූ හෙක්ටෙයාර් 9011 ක භුමි ප්‍රමාණයක් අන්තර්ජාතික රම්සා තෙත් බිමක් ලෙස 2010. 10. 29 දින ප්‍රකාශයට පත්කරන ලදී.
උතුරු රටවලට සීත සමය එළඹෙන අගෝස්තු මාසය වනවිට කුමනට පැමිණෙන කුරුල්ලෝ උතුරට වසන්තය එළඹෙන අප්‍රේල් මාසය පමණ වනතුරු කුමනේ රැඳී සිටිති. මේ නිසා කුමනේදී ලංකාවට ආවේණික කුරුළු වර්ග 90 ක් පමණද ඇතුළුව කුරුළු වර්ග 255 ක් පමණ දැකගත හැකි වෙයි. එහෙයින් කුමන පක්ෂීන් නරඹන්නන්ගේ ඉතා ජනප්‍රිය ගමනාන්තයක් වී ඇත
පර්යටනික පක්ෂීන් ගැවෙන සමයේදී මෙහි දක්නට ලැබෙන පක්ෂීන් කීප දෙනෙකුගේ විස්තර මෙසේය.
මේ උද්‍යානයේදී දැකිය හැකි විශේෂිතම පක්ෂියෙකු වනුයේ ලංකාවේදී දැකිය හැකි විශාලතම පක්ෂියෙකු වන අලි මානාවාය
අලි මානාවා (Black-necked Stork) Ephippiorhynchus asiaticus
මේ පක්ෂියාගේ උස සෙ.මි 130 – 150 ක් පමණවේ. පියාපත් විහිදුම සෙ.මි 230 ක් පමණවේ. බර කිලෝ ග්‍රෑම් 4 ක් පමණ වේ. හිස, ගෙල, පිහාටු සහ වලිගය දිදුලන නිලට හුරු කළු පැහැති වන අතර පිටුපස හා ලය පෙදෙස දීප්තිමත් සුදු පැහැතිය. පාද රත් පැහැ වන අතර හොට කළු පැහැතිය. ගැහැණු සතා හා පිරිමි සතා සමාන වන නමුත් ඇසේ කනිකාවේ වර්ණය පිරිමි සතාගේ දුඹුරු පැහැයක් ගන්නා අතර ගැහැණු සතාගේ කහ පැහැය ගනී. මාංශ භක්ෂකයින් වන අලි මානාවා වඳවී යාමට ආසන්න පක්ෂියෙකු ලෙස 2012 දී රතු දත්ත පොතට ඇතුලත් වී ඇත. එහෙයින් මොහු දැඩි ආරක්ෂිත පක්ෂියෙකි.
පාදිලි මානාවා (Woolly-necked Stork) Ciconia episcopus
පැස් තුඩුවා (Spot-billed Pelican) Pelecanus philippensis
ලතු වැකියා (ඇඹල කොකා) (Painted Stork) Mycteria leucocephala
හැඳි අලවා (Eurasian Spoonbill) Platalea leucorodia
දෑ තුඩුවා (Black-headed Ibis) Threskiornis melanocephalus
අළු කොකා (කලපු කොකා) (Grey Heron) Ardea cinerea
මිට අමතරව සිලුටු දෑ තුඩුවා (Glossy Ibis), කරවැල් කොකා (Purple Heron), කණ කොකා (Indian Pond Heron), රෑ කොකා (Nightheron), මහ සුදු කොකා (Great Egret), සුදු මැදි කොකා (Intermediate Egret), කුඩා ඇලි කොකා (Little Egret) ආදී නොයෙක් කොක්කු වර්ගද දැකිය හැකිය.
අහිකාවා (Darter) Anhinga melanogaster
රත් කරමල් කිරලා (Red-wattled Lapwing) Vanellus malabaricus
කහ කරමල් කිරලා (Yellow-wattled Lapwing) Vanellus indikus
රත් කරමල් කිරලා හා කහ කරමල් කිරලා මෙහි සුලබව දැකිය හැකිය. සෙ.මි.32-35 පමණ වන මේ පක්ෂියා දික්වූ පාද සහිත භුමි වාසිකි. කැදලි තනා බිත්තර දමන්නේ බිමය.
කුඩා තඹ සේරුවා (Lesser Whistling-duck) Dendrocygna javanica
අහාර සොයමින් සැරිසරන දේශීය හා සංක්‍රමණික ජලාශ්‍රිත පක්ෂින් රාශියක් වැව්, කලපු, විල්ලු ආශ්‍රිතව දැකිය හැකිය. නිල් කිතලා (Purple Swamp-hen), කළු කිතලා (Common Coot), පියාපත් කළු ඉපල් පාවා (Black-winged Stilt), රත් පා සිලිබිල්ලා (Common Redshank), පලා පා සිලිබිල්ලා (Common Greenshank), වන සිලිබිල්ලා (Wood Sandpiper), කොළ සිලිබිල්ලා (Green Sandpiper), පොදු සිලිබිල්ලා (Common Sandpiper) , ගලිනුවා (Common Moorhen), කෝරා (Watercock), ළය සුදු කොරවක්කා (White-breasted Waterhen), රන් මහ ඔලෙවියා (Pacific Golden Plover), හීන් මාල ඔලෙවියා (Little Ringed Plover), කුඩා වැලි ඔලෙවියා (Lesser sand Plover), අළු මහ ඔලෙවියා (Grey Plover), හීන් හින්නා (Little Stint), ගල් හරවන්නා (Ruddy Turnstone), ආදීන් මේ අතරින් සුලබය.
දියසැනා (Pheasant-tailed Jacana) Hydrophasianus chirurgus
ලිහිණියන්
ජලාශ්‍රිත පක්ෂීන් පක්ෂීන් පමණක් නොව තුරු මත ගැවසෙන හා බිම සැරි සරණ වලි කුකුළා, හබන් කුකුළා, ගිරා මලිත්තා, කෑදැත්තා, මල් කොට්ටෝරුවා, මුදුන් බොර දෙමළිච්චා, මොනරා, කහ හැලපෙන්දා, අවිච්චියා, බිඟු හරයා, උකුස්සන් සහ රාජාලියන් ආදී බොහෝ පක්ෂින්ද කුමන උද්‍යානයේදී දැකගත හැකිවේ.
උකුස්සන් සහ රාජාලියන්
බිඟු හරයන් (Bee-eaters)
පොරෝ කෑදැත්තා (Malabar Pied Hornbill) Anthracoceros coronatus
මොනරා (Indian Peafowl) Pavo cristatus
පක්ෂීන් පමණක් නොව අලි ඇතුන්, මුවන්, ගොනුන්, කුළු හරක්, දිවියන්, වල් ඌරන්, හාවුන්, නරියන්, කබල් ඈයා, රන් මුගටියා ආදී නොයෙක් ක්ෂීරපායි සතුන් බොහොමයක්ද කුමන වනෝද්‍යානයේදී දැකගත හැකිවේ.
ඉහත ඡායාරූපයේ දැක්වෙන ඇතා යාල වනෝද්‍යානයේ සැරිසරන “සැන්ඩෝ” නම් ඇතාය. ඌ යාල අනසක පතුරුවා ගෙන සිටින ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන ඉතා ශක්තිමත් ඇතෙක් ලෙස ප්‍රසිද්ධය. ඌ සමග කළ සටනකින් යාල සිටින “ගැමුණු” නම් ඇතාගේ දලයක් බිඳ දැමූ බවත් යාල සිටි “දළ පූට්ටුවා” නම් ඇතා උගෙන් පහර කා මියගිය බවත් කියති. 2019 පෙබරවාරි මස වන විට ඌ පළමුවරට කුමනට පැමිණ තිබිණ.
කුමන ජලාශ්‍රිත පරිසරයේදී ඉබ්බන්, කිඹුලන් ආදී උභය ජිවින්ද දක්නට ලැබේ.
කුමන ආසන්නයේ කැස්බෑ වන්ද ගැවසෙන අතර කැස්බෑ සංරක්ෂණ හා තොරතුරු මධ්‍යස්ථානයක්ද වනෝද්‍යානය තුල පිහිටුවා ඇත.
කැස්බෑ සංරක්ෂණ හා තොරතුරු මධ්‍යස්ථානය, කිරිගල්බේ
කුමන වනෝද්‍යානය සංස්කෘතිකමය වශයෙන්ද ඉමහත් අගයක්ද සහිත ප්රදේශයකි. පළමුවන හා දෙවන ශත වර්ෂ වලට අයත්සේ සැලකෙන ශිලා ලේඛන මේ ප්‍රදේශයේ ඇත. පැරණි බෞද්ධ සිද්ධස්ථාන කීපයක නටබුන් හා ජීවමාන සිද්ධස්ථාන කීපයක් වනෝද්‍යානය තුල ඇත.
එන්.එච්. සමරසිංහ. 2019. 03. 20
කුරුල්ලන් ගැන තව දුරටත් කියවන්න මෙතැනින්. බූන්දල කුරුළු පාරාදීසය Bird Paradise of Bundala
Really Good Article. Thanks for sharing the details of Kumana National Park and history 🙂
කැමතියිLiked by 1 person
Thanks for your appreciation and I wanted to say thanks, again, for organizing such a great tour to observe animals leisurely in the Kumana National Park
කැමතියිකැමතියි
A flock of Brahminy Starlings, too.
කැමතියිLiked by 1 person
Good
කැමතියිLiked by 1 person