අපි ජලාශයක් අසල ගැවසෙමින් නිවාඩුවක් ගත කරන්නට කැමැත්තෙමු. මනරම් ජලාශයක නාන්නට, පිහිනන්නට හෝ බෝට්ටුවක නැගී ජලාශය වටේ රවුමක් යන්නට එසේත් නැතහොත් ජලාශයක වෙරලටවී පිළිසඳරේ යෙදෙන්නට, සක්මන් කරන්නට හෝ වෙනත් විනෝදාත්මක ක්‍රියාවක යෙදෙන්නට නො එසේනම් නිකම්ම නිකම් ජලාශය දෙස බලා සිටින්නට අපි කැමැත්තෙමු. ඉන් අපට ශාරීරික හා මානසික සුවය ලැබෙන බව විශ්වාසයි.
ලෝකයේ උතුරු පෙදෙස්වල සිදුවූ අයිස් කඳු දියවීම නිසා පස ඛාදනයවී බොහෝ ජලාශ ස්වාභාවිකව බිහිවී ඇතත් සමකය ආසන්නයේ ඇති ශ්‍රී ලංකාවේ වෙරළාසන්නයේ පිහිටි කලපු විල්ලු ආදිය හැරෙන්නට රට තුල පිහිටි ජලාශ මිනිසුන් විසින් කරන ලද නිර්මාණයන්ය. කෘෂිකාර්මික ආර්ථිකයක් මත යැපුණු ශ්‍රී ලාංකිකයෝ කෘෂිකර්මය සඳහා වර්ෂාව මගින් ස්වාභාවිකවම ලැබෙන ජල පහසුව මත පමණක්ම විශ්වාසය නොතැබූහ. වර්ෂාව මගින් ලැබෙන ජලය වර්ෂාව නොමැති කාලයේදී ප්‍රයෝජනයට ගැනීම සඳහා ගබඩා කර තැබීමට ඔවුහු ක්‍රිස්තු පුර්ව පස් වන සියවසේ පමණ සිටම විශාල ජලාශ ඉදිකළහ. එහෙයින් අතීත ශ්‍රී ලාංකිකයෝ ලෝකයෙන්ම වාරි කර්මාන්තය පිළිබඳව විශේෂඥ දැනුමකින් යුත් පිරිසක් වුහ. අටවන සියවසේදී පමණ කාශ්මීරයේ රජ කෙනෙකු ඔහුගේ රටේ වාරි කර්මාන්තයක් ඉදිකිරිම සඳහා පැමිණෙන ලෙස ශ්‍රී ලාංකික ශිල්පීන්ට ආරාධනා කල බව කියති. එය ලෝක ඉතිහාසයේ එක් රටක් තවත් රටකට තාක්ෂණික ආධාර සපයන ලද පළමුවන අවස්ථාව ලෙස ගිනිය හැකි බවද කියති.
1980 වසරේදී මහවැලි යෝජනා ක්රමයේ මාදුරු ඔය ජලාශය ඉදිකිරීමේදී එම ජලාශයේ සොරොව්ව පිහිටවිය යුතු තැන නවීන තාක්ෂණික උපක්‍රම භාවිතයෙන් කැනේඩියානු ඉංජිනේරුවන් විසින් නිගමනය කෙරින. ඉදිකිරීම් කටයුතු සඳහා එම ස්ථානය කැණීමේදී සියලු දෙනා මවිතයට පත්කරවමින් ඒ ස්ථානයේ ක්‍රිස්තු පුර්ව පළමුවන සියවසේදී පමණ ඉදිකොට තිබු සොරොව්වක නටබුන් මතුවිය. මෙවන් කරුණු වලින් පැහැදිලි වන්නේ පුරාන ශ්‍රී ලාංකිකයන්ගේ වාරි කර්මාන්තය පිළිබඳව වූ ශිල්පිය දක්ෂතාවයයි.
මාදුරු ඔය පැරණි සොරොව්ව (අන්තර්ජාලයේ පලව තිබු පින්තුරයකි)
වැව සහ දාගැබ ශ්‍රී ලාංකික සංස්කෘතියේ මූලිකාංගයන්ව පැවතින. එහෙයින් ආගම මෙන්ම තාක්ෂණික දැනීමද ශ්‍රී ලාංකිකයන්ට උපතින්ම උරුම වූවකි..
වැව් තැනීම පිළිබඳව සාමාන්‍ය පොදු ජනයා තුල පවා හොඳ අවබෝධයක් තිබුණු බව පැහැදිළිවන ජනප්‍රවාදයක් ඌව පළාතේ සොරබොර වැව සම්බන්දයෙන් අසන්නට ලැබේ. එහි හා පහත සඳහන් ජන කවියෙන් කියවෙන පරිදි සොරබොර වැව තනා ඇත්තේ බුලතා නමැති ශක්ති සම්පන්න එක් පුද්ගලයෙකු විසිනි.
ඔන්න බලාපන් බුලතා කරපු බලේ
යතුරුදාපු ගල්දොර යට වතුර හැලේ
එන යන්නෝ ඉඩ නෑරම බැලුම් ගලේ
සොරබොර වැව නුදුටු ඇස් මොටද පින් කළේ
ජනප්‍රවාදය
අනුරාධපුර සමයේ දුටු ගැමුණු රජතුමා සොලීන් පැරදවීමට රුහුණේ සිට රජරටට යුද පෙරමුණ මෙහෙයවිය. ඒ ගමනේදී මහියංගනයේ ඡත්ත නම් සොලී සෙනෙවියා සමග සටන් වැද ඔහු පරාජය කොට එහි කඳවුරු බැඳ වෙසෙමින් නටබුන්ව ගිය “පඨමක චේතිය” නම් මහියංගන මහා සෑය ප්‍රතිසංස්කරණය කරවමින් සිටියේය. ඒ අවස්ථාවේදී රජතුමාට දිනකට වාර පහක් බුලත් සැපයීමේ රාජකාරිය බුලතාට පැවරී තිබිණ. ඔහු උඩ දුම්බර කිරි පට්ටිය නම් ගමේ සිට රාජකාරියට පැමිණියෙකි. එහි සිට මහියංගනයට එන අතරතුර ඔහු ගල්කුළු දෙකක් අතරින් ගලා බස්නා දිය පහරක් දැක එහි වැවක් බැඳවීමට හැකි බව අවබෝධ කර ගත්තේය. ඉන්පසු ඔහු රාජකාරිය අතර තුර ලද විවේකයේදී තනිවම වැව ඉදිකිරීමේ කටයුත්ත කළේය. මිනිසුන් විසි දෙනෙකු කරන තරමේ වැඩ කොටසක් ඔහුට තනිවම කළ හැකි තරමේ ශක්තියක් ඔහු සතුවූ බව කියති. රජතුමා මහියංගන දාගැබ අසූ රියන් කොටබඳවා අවසන්ව කොත පළඳවන විට බුලතා සොරබොර වැවද තනා නිමකොට තිබිණ.
මහියංගන මහා සෑය
මේ අතර බුලතාට ආහාර ගෙන ආ ඔහුගේ භාර්යාව උඩ දුම්බර සිට මහියංගනයට එන දුර්ග මාර්ගය පහසුවෙන් තරණය කිරීම සඳහා ගල් පඩි 2000 කින්පමණ යුක්තවූ පඩි පෙළක් තනා තිබිණ.
මහියංගන වෙහෙරට කොත පැළඳවූ පසු බුලතා තමාගේ වාරි කර්මාන්තය හා භාර්යාව නිමකළ ගල් පඩිපෙළ බැලීමට එන ලෙස රජතුමාට ආරාධනය කළේලු. රජතුමා එහි පැමිණ ඒවා බලා තමා නොසිතූ විරූ දස්කමක් කර තිබෙනු දැක විශ්මයට පත් විලු. මේ කර්මාන්තයට උදව් කලේ කවුරුන්දැයි විමසු විට ඔහු තමා පාවිච්චිකළ විශාල උදැල්ල, කූඩය, ගල් කටුව හා මිටිය පෙන්විලු. ඉන්පසු රජතුමා ඔහු ගැන විශාල ලෙස පැහැදී ඔහු හා භාර්යාව රජ මාලිගාවට කැඳවා ගෙන ගොස්, රජුගේ මව වූ විහාර මහා දේවියටද හඳුන්වා දී ඇත. එහිදී රජතුමා ඔහුගේ පළඳනාවක් හා ගම්වරයක් බුලතාට ප්‍රධානය කොට ඇත. විහාර මහා දේවිය බුලතාගේ භාර්යාවට ඇගේ පළඳනාවක් ප්‍රධානය කොට ඇත. පසුව බුලතා රජතුමාගේ දශ මහා යෝධයන්ට සේම ඔහුටද සේනාපති ධුරයක් පිරිනමා බල සේනාවක් පවරා දී ඇත. භාර්යාව විහාර මහා දේවියගේ ආරක්ෂාවට යෙදවීලු.
සොරොව්ව
ඇල මාර්ගය
කෙසේවුවද “බින්තැන්නේ මුහුද” යනුවෙන් හැඳින්වෙන මේ සොරබොර වැව ශ්‍රී ලංකාවේ වැව් අතර ඉතා සුවිශේෂී වැවකි. මේ වැවෙහි සොරොව්වෙන් ජලය පිට කෙරිමේදී පීඩනය පාලනය කෙරෙන බිසෝකොටුවක් නොමැත. සොරොව්ව නිර්මාණය කොට ඇත්තේ වැව් බැම්ම කෙලවර පිහිටි ගල් පර්වතය හෑරීමෙනි. ජලය පිට කිරීම සඳහා අඩි පහක් පමණ පළලින් යුතු ඇල මාර්ගයක් ස්වාභාවිකව පිහිටි ගලෙහි කැණීමෙන් නිර්මාණය කොට ඇත. මේ නිසා ජලය පිට කෙරෙන්නේ වැව් පතුලෙන් නොව තරමක් ඉහලිනි. එහෙයින් ජලය පිට කිරීමේදී විශාල පීඩනයක් ඇති නොවීම හා ගල් දොරුව සෑහෙන පීඩනයකට ඔරොත්තුදීම බිසෝකොටුවක් ඉදි නොකිරීමට හේතුව වන්නට ඇත. ශ්‍රී ලංකාවේ මේ ආකාරයෙන් සොරොව්වක් ඉදිකොට ඇත්තේ මේ වැවේ පමණි.
මහියංගන නගරයට කිලෝමීටර් තුනක් පමණ ඊසාන දෙසින් පිහිටි සොරබොර වැව ක්‍රිස්තු පුර්ව දෙවන සියවසේදී තනා ඇත්තේ දියබානා ඔය හරස් කිරීමෙනි. වැව් බැම්ම අඩි 28.5 ක පමණ උපරිම උසකින් හා අඩි 1590 ක පමණ දිගකින් යුක්තය. උපරිම ජල ධාරිතාව අක්කර අඩි 16,400 කි. මේ වැවට වර්ග සැතපුම් 16.89 ක ධාරා ප්‍රදේශයක් හා අක්කර 1440 ක ජල පැතුරුම් ප්‍රදේශයක් ඇත. වැවේ වම් ඉවුරේ සොරොව්වද, දකුණු ඉවුරේ පිටවානද පිහිටුවා තිබේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් නඩත්තු කෙරෙන මේ වැව මෑතකදී ප්‍රතිසංස්කරණය කර ඇත. මේ වැව ආධාරයෙන් අක්කර 3000 ක පමණ ප්‍රදේශයක් වගා කරණු ලැබේ.
දකුණු ඉවුරේ වැල් පාලම
මේ වැව පරිශ්‍රයේ තිබු ටැම් ලිපියක් බදුල්ල මහජන පුස්තකාලයේ ප්‍රදර්ශනයට තබා ඇති බව සඳහන්වේ.
වර්තමානයේ කොස්ගොල්ල කඳුවැටියේ ගල් පඩිපෙළ යනුවෙන් හැඳින්වෙන පෙදෙසේ බුලතාගේ භාර්යාව ඉදිකළ පඩි පෙළෙහි ශේෂයන් දක්නට ලැබෙන බව කියති.
සොරබොර වැව ඒ ප්‍රදේශයේ ගම් බිම් සරුසාර කරනවා මෙන්ම එය ඌව පළාතේ ප්‍රධාන සංචාරක ආකර්ශනීය ස්ථානයක් බවටද පත්ව ඇත. මේ වැවේ ඇති විශේෂ ඉංජිනේරු ශිල්පිය උපක්‍රමය නැරඹීමට හා පරිසරයේ ඇති ආකර්ශනීය සොබා සෞන්දර්යය අත් විඳීමට මහියංගනය පෙදෙසට පැමිණෙන බොහෝ දෙනා අමතක නොකරති.