දහතුන්වන සියවසේ මුල් අවධියේදී කාලිංග මාඝ විසින් කරන ලද ආක්‍රමණ නිසා පොළොන්නරු රාජධානිය බිඳ වැටිණ. ඉන්පසු ප්‍රාදේශීය පාලකයන් වශයෙන් යාපහුවේ සිට සුබ නම් සේනාපතියෙක්ද සංඛ නම් සේනාපතියෙක් මිනිපේ සිටද ගෝවින්ද නම් පර්වතයක සිට බුවනෙකබාහු නම් ආදිපාද වරයෙක් රුහුණු රටද පාලනය කළහ මේ අතර ශ්‍රී සංඝබෝධි වංශයෙන් පැවත ආ වත්හිමි විජයබාහු නම් ක්ෂත්රියයෙක් වන්නියෙහි රජවී සිංහල අමාත්‍යවරුන් සමග එක්ව සතුරන් විනාශ කොට මායා රටද සතුරන් ගෙන් නිදහස් කරවා දඹදෙණියේ පර්වතයක් මුදුනේ රජ මාලිගයක් කරවා තුන්වන විජයබාහු නමින් ක්‍රි.ව.1232 දී ලංකාවේම රජු බවට පත්විය. එහෙයින් සිංහල රාජධානියේ අග නගරය බවට දඹදෙණිය පත්විය.
ශ්‍රී ලංකාවේ රාජ්‍යත්වය තහවුරු කරගැනීමට නම් ඔහුගේ ආරක්ෂාව යටතේ දන්ත ධාතුව හා පාත්‍රා ධාතුව තිබිය යුතු බව පොදු පිළිගැනිම විය. පොළොන්නරුවේ තිබුණු මේ ධාතුන් වහන්සේලා මාඝ ආක්‍රමණිකයන්ගෙන් බේරා ගැනීම සඳහා වාගීශ්වර නම් භික්ෂුන් වහන්සේනමක් ප්රමුඛ සංඝයා වහන්සේලා ඒවා මායා රටට රැගෙනගොස් කොත්මලය ප්‍රදේශයේ නිධන් කොට පඬි රටටත් සොලී රටටත් පලාගොස් තිබිණ. මේ බව දැනගත් විජයබාහු රජතුමා උන්වහන්සේලා ගෙන්වාගෙන දන්ත ධාතුව හා පාත්‍රා ධාතුව භාරගෙන පෙරහරින් දඹදෙණියට වැඩම කරවිය. ඒවා ආරක්ෂා කරගෙන පුද පුජා පැවැත්වීම සඳහා බෙලිගල පර්වත මස්තකයේ දළදා මාලිගාවක් ඉදිකරවා ඇත. එමෙන්ම එතුමාගේ නමින් විජයසුන්දරාරාමය නමින් විහාරයක්ද කරවිය. එමෙන්ම එතුමා ආරණ්‍යවාසී හා ග්රාමවාසි භික්ෂුන් වහන්සේලා එක්රැස්කර පළමුවන දඹදෙණි කතිකාවත සම්මතකර ගත්තේය. මෙහි සංඝරක්ෂිත ස්වාමින්වහන්සේට සංඝරාජ ධූරයද පිරිනමා විද්යාස්තානයක්ද ආරම්භ කළේය.
තුන්වන විජයබාහු රජතුමාගේ අභාවයෙන් පසු කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත නම් උපාධි ලත් එතුමාගේ පුත් පරාක්‍රමබාහු දෙවන පරාක්‍රමබාහු නමින් ක්‍රි.ව.1236 දී රජවිය. එතුමා විජයසුන්දරාරාමයේද තෙමහල් දළදා මාලිගාවක් හා දළදා ප්‍රදර්ශණ මණ්ඩපයක් තනවා ඇත.
කාලයාගේ අවෑමෙන් ශ්‍රී ලංකාවේ කිරුළු පැළඳි හතරවන ව්ජයබාහු හා පළමුවන බුවනෙකබාහු දඹදෙණියේ හා යාපහුවේ වාසය කළහ. ඉන්පසු කිරුළු පැලැන් රජවරු නොයෙක් හේතු නිසා නැවත පොළොන්නරුව, කුරුණෑගල, ගම්පොල, කෝට්ටේ ආදී ප්‍රදේශ රාජධානි නගරය බවට පත්කර ගත්හ. ඒ සමගම දන්ත ධාතුන්වහන්සේද යාපහුව, කුරුණෑගල, කෝට්ටේ, මහනුවර ආදී ප්‍රදේශවල පිහිටවූ දළදා මාලිගාවලට වැඩමවූහ. දඹදෙණිය ශ්‍රී ලංකාවේ අගනුවර වශයෙන් පැවතුනේ අඩ සියවසක පමණ කාලයකි. එහෙයින් දඹදෙණියේ විජයසුන්දරාරාමයේ වැදගත්කම ක්‍රමයෙන් ගිලිහි ගියේය.
ශ්‍රී වික්‍රම රාජසිංහ රජසමය වනවිට නටබුන්ව තිබු මෙහි දළදා මාලිගාව මිගස්තැන්නේ අධිකාරම විසින් දෙමහල් ටැම්පිට විහාරගෙයක් ලෙස ප්‍රතිසංස්කරණය කරවිය. ධාතු ප්‍රදර්ශන මණ්ඩපය තිබුනායයි සැලකෙන ස්ථානයේ පසු කාලීනව වටදා ගෙයක් තනවා ඇත.
වර්තමාන දඹදෙණිය නගරයේ මීගමුව – කුරුණෑගල මාර්ගයෙන් දකුණු පසට හැරී මඳ දුරක් ගියවිට මේ පුද බිමට ලඟා විය හැක.
විජයසුන්දරාරාම පුදබිම් පරිශ්‍රයට ඇතුළුවීමට කළුගලින් නිමවූ සෝපාන පන්තියක් හා ගල් උළුවස්සක් සහිත වාහල්කඩක් දැකිය හැකිය. වාහල්කඩ කළුගල් කණු හතරක් මත පෙති උළු සෙවිලි කල චතුරශ්රාකාර වහලකින් යුක්තය.
මේ විහාරපරිශ්රයේ ඇති ප්‍රධානතම පෞරාණික ස්මාරකය වන්නේ දැනට ටැම්පිට විහාරයක් බවට පත්කොට ඇති දළදා මාලිගා ගොඩනැගිල්ලයි. මෙය හේවිසි මණ්ඩපයක් හා ප්‍රතිමා මන්දිරයක් වශයෙන් කොටස් දෙකකින් යුක්තය. හේවිසි මණ්ඩපයට පිවිසෙන නැගෙනහිරට මුහුණලා ඇති පිවිසුම් දොරටුවේ පියගැට පෙළ පාමුල චාම් සඳකඩ පහනක් හා දෙපස කොරවක් ගල් දෙකකි. හේවිසි මණ්ඩපය ගල් කුළුණු 10 ක් මත දරා සිටින වහලකින් යුත් අඩි 20 ක් පමණ දිගින් හා අඩි 17 ක් පමණ පළලින් යුත් ඉදිකිරීමකි.
හේවිසි මණ්ඩපයට ඇතුළුවන දොරටුව දෙපස බැම්මේ දඹදෙනි යුගයට අයත් බැව් සැලකෙන ගල් කැටයම් පුවරු දෙකක් සවිකොට තිබෙනු පෙනේ.
එක පුවරුවක මිනිසෙකුට පහරදෙන ඇතෙක්ද, ඊට ඉහලින් මිනිසුන් දෙදෙනෙකු මිනිසෙකු ඔසවාගෙන යන ආකාරයක්ද, ඉහලම තිරයේ ලිංග වන්දනාවේ යෙදෙන මිනිසුන් දෙදෙනෙකුද දැක්වේ. අනෙක් පුවරුවේ පහල කැටයමේ සොල්දාදුවෙකුට පහර දෙන මිනිසුන් දෙදෙනෙකුද, පුවරුව මැද ධර්ම දේශනා කරන බුදුරජාණන් වහන්සේගේ රුවක්ද, ඉහල තිරයේ ලිංග වන්දනා කෙරෙන මිනිසුන් දෙදෙනෙකුගේ කැටයමක් ඇත.
කැටයම් කරනලද කළුගල් අත්තිවාරමක් මත ගල් කුළුණු 14 ක් ලි කුළුණු 12 ක් ආධාරයෙන් ඉහල මහලක්ද සමග ගර්භ ගෘහයක් හා ප්රදක්ෂිණා පථයක් සහිතව විහාරගෙය ඉදිකොට ඇත. එය දිගින් අඩි 29 ක් පමණ හා පළලින් අඩි 19 ක් පමණ වේ. සිව් දෙසින්ම ඇතුළුවීමේ දොරටු ඇතත් නැගෙනහිරින් හේවිසි මණ්ඩපයෙන් විහාර මන්දිරයට ඇතුළුවන ප්‍රධාන දොරටුව සකස් කර ඇත.
ඒ ඉදිරියේ සරල කැටයමින් යුත් සඳකඩ පහනක් දක්නට ඇත. විහාරයට පිවිසෙන්නේ චන්ද්‍රවංක ආකෘතියේ දැව උලුවස්සකිනි. දොරටුවට ඉහලින් හංස පුට්ටුවක සිතුවමක් හා දෙපස දොරටුපාල ප්‍රථිමා දෙකකි.
විහාරය ඇතුලත මහනුවර යුගයේ හෝ ඊට පසු කාලයක නිර්මාණය කරන ලද මකර තොරණක් යට හිඳී පිළිමයක් හා හිටි පිළිම දෙකක් ඇත.
ඉහල මහලට ඇතුළු වීම සඳහා දැවයෙන් කල සෝපාන පන්තියක් දකුණු පැත්තෙන් ඇත. උඩු මහලද බීරළු වැටකින් ආරක්ෂිත පටු ප්රදක්ෂිණා පථයකින් යුක්තය.
මෙහි ඇතුලත සිතුවම් වල ප්‍රධාන තේමාව වී ඇත්තේ දළදා පෙරහැරයි. අලි ඇතුන් සහිත දළදා පෙරහැර, දෝලාවකින් වැඩමවන දළදා කරඬුව ආදිය හා නෙලුම් මල් අතින් ගත් ස්වාමින්වහන්සේලාගේ පිළිරූ සිතුවම්කොට ඇත. මිට අමතරව දෙවන පරාක්‍රමබාහු රජතුමාගේ හා මේ විහාරය ප්‍රතිසංස්කරණය කළ මීගස්තැන්නේ අධිකාරම් තුමාගේ බවට සැලකෙන සිතුවම් දෙකක්ද දක්නට ඇත.
ගොඩනැගිල්ලේ පිටත බිත්තිවලද මහනුවර යුගයේ අඳින ලද සිතුවම් රාශියක් දක්නට ලැබේ.
පිටත බිත්තිවල බදාම ගැලවී ඇති ස්ථානවල කළු පැහැ පසුබිමක සුදු පැහැ රේඛා චිත්‍ර දක්නට ලැබේ.
මේවා දඹදෙණි යුගයේ සිතුවම් විය හැකිය.
විජයසුන්දරාරාම විහාර පරිශ්‍රයේ ඇති අනෙක් පෞරාණික ඉදිකිරිම වන්නේ වටදා ගෙයයි. මෙය අනුරාධපුර, පොළොන්නරු ආදී යුගවල ඉදිකරනු ලැබූ වටදා ගෙවල් වලට වඩා සරල ඉදිකිරීමකි. චෛත්‍යයේ ආරක්ෂාව සඳහා කුළුගෙය නමින් හැඳින්වෙන ගොඩනැගිල්ලක් ඉදිකර තිබේ. මහනුවර යුගයේ ගෘහ නිර්මාණ ශිල්පිය ලක්ෂණ ප්‍රකට කෙරෙන මෙය මැද කුළුණක් නොමැතිව කැණිමඬලක් ආධාරයෙන් චෛත්‍යය වටේ ඇති කුළුණු පෙළක් මත වහලයේ බර දරා සිටින ලෙස ඉදිකර තිබේ. ස්තුපගෙයද කැටයම් කරන ලද කළුගල් අත්තිවාරමක් මත ඉදිකොට ඇති අතර ප්‍රධාන දොරටුව නැගෙනහිරට මුහුණලා ඇත. ඇතුළුවන පඩිපෙළ දෙපස ඇතුන් දෙදෙනෙකු ආකාරයේ කොරවක් ගල් හා කැටයම් කැපී නොපෙනෙන සරල සඳකඩ පහනක්ද වේ. මේ ස්තුපය ඉදිකොට ඇත්තේ කලින් දළදා ප්‍රදර්ශණ මණ්ඩපය තිබු ස්ථානයේ විය හැකි බවට මත ප්‍රකාශවී ඇත.
මේ විහාරස්ථානයේ බෝධිය නැගෙනහිර ප්‍රාකාරය ආසන්නයේ රෝපණය කර තිබේ. බෝධි ප්‍රාකාර දෙකකින් ආරක්ෂාවී ඇති මේ බෝධිය වටා පදක්ෂිනා පථයකි.
මේ විහාර පරිශ්‍රයේ භුමි ප්‍රමාණය මහනුවර යුගයේ කරන ලද ප්‍රතිසංස්කරණ වලින් පසු අඩුවී ඇතිබව පෙනේ. විහාර මළුවට බැහැර ප්‍රදේශ වලද දළදා මාලිගාව පැවතී අවධියේ කරන ලද ඉදිකිරීම් වල නෂ්ඨාවශේෂ පැතිර පවතී. පැරණි චෛත්‍යයක හා පොහොය ගෙයක් ආදී ගොඩනැගිලි කීපයක නටබුන් මළුවෙන් පිටත දක්නට ලැබේ. ශෛලමය කුළුණු, කුළුණු පාදම් හා ශිර්ෂ, කොරවක්ගල්, සඳකඩ පහන්, පාධෝවන, ගල් පුවරු ආදී පුරා වස්තු රාශියක් මේ පරිශ්‍රයේ දැකගත හැකිය.
දඹදෙණි යුගයේ පරාවස්තු සංරක්ෂණය කොට ප්‍රදර්ශනය කෙරෙන පුරාවිද්‍යා කෞතුකාගාරයක්ද මෙහි පිහිටුවා තිබේ,
මිට අමතරව මේ පුදබිමේ දන්ත ධාතුව පිළිබඳව රජතුමාගේ සැකය දුරලීම සඳහා දන්ත ධාතුන් වහන්සේ පෙළහර පෑ එකම ස්ථානය බවට ජනප්රවාදයේ දැක්වෙන සපු බෝධිය, අලුත් විහාර මන්දිරයය, විවිධ දෙවිවරුන් සඳහා ඉදිකළ දේවාල හා ධර්මශාලා ආදියද දක්නට ලැබේ.