ථූපාරාමය – අනුරාධපුර THUPARAMAYA

මිහිඳු මාහිමියන් ලක්දිවට වැඩම කිරීමට පෙර ලක්දිවෙහි යක්ෂ වන්දනාව ප්‍රචලිතව පැවතී බව වංශ කථා වලින් හෙළිවේ. ක්‍රිස්තු පූර්ව හතරවන සියවසේදී  පණ්ඩුකාභය රජ චිත්‍ර රාජ සහ කාලදේවල යක්ෂයනට අභය වැව පහල හා අනුරාධපුර නගරයට නැගෙනහිරින් දේවාල දෙකක්ද චිත්‍රා හා වළවාමූඛී යක්ෂණියන්ට තවත් දේවාල දෙකක්ද මිට අමතරව මහේජ නම් යක්ෂයෙකුට තවත් දේවාලයක්ද කරවා පුද පුජා පැවැත්වූ බව මහා වංශයේ සඳහන් වේ.

මේ “මහේජ” යක්ෂයා වෙනුවෙන්  දේවාලයක් ඉදිකොට තිබු භුමිය කකුසඳ, කෝනාගම, කාශ්‍යප හා ගෞතම යන සිව් බුදුරජානන් වහන්සේලාගේ පාද ස්පර්ශයෙන් පවිත්‍රවූ පුණ්‍ය භුමියක් බවත්, කකුසඳ බුදු හිමියන්ගේ පැන් ගෙනගිය භාජනයක් , කෝනාගමබුදු හිමියන්ගේ පටි ධාතුව හා කාශ්‍යප බුදු හිමියන්ගේ නාන කඩය තැන්පත් කොට තිබු බවත් බෞද්ධ සාහිත්‍යයේ සඳහන්වේ. ගෞතම බුදුරජානන් වහන්සේගේ තෙවන ලංකා ගමනේදී මේ ස්ථානයේ මඳ වෙලාවක් සමාධි සුවයෙන් වැඩහිඳි බව කියවේ. එහෙයින් මේ භුමිය බෞද්ධයනට ඉතා වැදගත් පුජනීය බිමකි.

දෙවන පෑතිස් රජ කාලයේදී අනුරාධපුර ඇතුළු නුවරට දකුණින් හා මහමෙව්නා උයනට උතුරෙන් පිහිටි “නන්දන උයන” නමින් හැඳුන්වූ මේ භුමියේ මිහිඳු මාහිමියන්ගේ ලංකාගමනයෙන් පසුව ඉදිකළ පළමුවන ස්ථූපය ඉදිකෙරිණ. මිහිඳු හිමියන්ගේ උපදෙස් පරිදි දේවානම්පියතිස්ස රජතුමා මේ ස්ථූපය ඉදිකරවීය. භික්ෂුන් වහන්සේලා වැඩසිටි ආරාම සහිත පෙදෙසේ ඉදිවුහෙයින් එය “ථූපාරාමය” යනුවෙන් හැඳින්විණ.

SARISARAWEB

ථූපාරාමය

මහාවංශයේ දැක්වෙන්නේ මිහිඳු මාහිමියන් ලක්දිවට වැඩමවීමෙන් පසු උන්වහන්සේට වන්දනා කිරීම සඳහා පුජා වස්තුවක් නොමැති වීම නිසා බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේනමක් වැඩමවා ස්ථුපයක් කරවීමට අදහස් කල බවයි. දෙවන පෑතිස් රජතුමා ස්තුපය කරවීමට භාරගත් අතර මිහිඳු හිමියන් සුමන සාමනේරයන් වහන්සේ ලවා සක්දෙව්පුර සිළුමිණි සෑයෙන් බුදුරජානන් වහන්සේගේ දකුණු අකු ධාතුව වැඩමවා ගත්තේය. රජතුමාගේ ධවල ඡත්රය ධාතුන් දෙසට නැමීම, මගුල් ඇතා දණින් සිටීම, ධාතු කරඬුව හිස මත පිහිටීම ආදී රජතුමාගේ අධිෂ්ඨානයන් සඵලවිමෙන් සර්වඥ ධාතුව බව පසක් කර ගැනිණ. පෙරහරින් මගුල් ඇතුපිටින් වැඩමවූ ධාතුන් වහන්සේ ඇතුගේ කුම්භස්තලයට වඩා පහත ස්ථානයක තැන්පත් කිරීමට මගුල් ඇතු ඉඩ නොදුන් බැවින් අබා වැවෙන් වියලි මැටි ගෙන්වා ඇතුගේ උසට සරිලන තුපයක් කරවා එය සරසා ධාතුන් තැන්පත් කළේය. පසුව ථූපාරාම ස්ථූපය කරවා ධාතුන් එහි තැන්පත් කරන්නට කටයුතු කෙරිණ.  ස්තුපයේ ධාතුන්වහන්සේලා තැන්පත් කිරීමේදී බුදුරජානන් වහන්සේගේ අධිෂ්ඨානය අනුව පෙළහර පෑබව මහා වංශයේ සඳහන්වේ.

රුවන්වැලි මහාසෑයට උතුරෙන් අභය වැව හෙවත් බසවක්කුලම වැවට නැගෙනහිරින් ථූපාරාම මාවත ආසන්නයේ   අක්කර තුනහමාරක් පමණ භුමි ප්‍රදේශයක් පුරා ථූපාරාම ආරාම සංකීර්ණය පිහිටා තිබේ. ලංකාවේ භික්‍ෂුණි ශාසනය පිහිටුවීමෙන් පසු මෙය භික්ෂුණි ආරාමයක් වන්නට ඇතැයි විද්වත්හු අදහස් කරති. මෙහි ඇති ප්‍රධානතම ස්මාරකය වන්නේ ථූපාරාම දාගැබයි. 

ථූපාරාම දාගැබ

SARISARAWEB

ථූපාරාම දාගැබ

පොළව මට්ටමේ සිට අඩි 11 අඟල් 4 උස (ඇතෙකුගේ උසට සමාන) අඩි 164 අඟල් 6 ක් විශ්කම්භය ඇති  වෘත්තාකාර ශෛලමය වේදිකාවක් මත ථූපාරාම දාගැබ ඉදිකොට ඇත. දාගැබේ මුල් ස්වරුපය ධාන්‍යාකාර වුවකි. ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ දෙවන පෑතිස් රජ (ක්‍රි.පූ. 307-267)  ඉදිකරවූ මේ දාගැබට ක්‍රි.පූ. 119-109 අතර රජුවූ ලජ්ජිතිස්ස රජු ශෛලමය ආසන තුනක් හා ශෛලමය කන්චුකයක් (විශාල කොට බැඳීමක්) කරවිය. ක්‍රි.ව. 65 – 109 අතර රජකම් කළ වසභ රජතුමා මේ ස්ථූපයට මනරම් වටදාගෙයක් හෙවත් චේතිය ඝරයක් කරවා සිව් බුදුවරුන්ගේ පිළිම තැන්පත් කරවිය. පළමුවන උපතිස්ස රජු (ක්‍රි.ව. 365 -410) ථූපාරාම කොත රන් කන්චුකයකින් සැරසිය.  මේ දාගැබ හා වටදා ගෙය ගෝඨාභය (ක්‍රි.ව.253 -266) ධාතුසේන (ක්‍රි.ව. 459 – 477) දෙවන අග්ගබෝධි (ක්‍රි.ව.608 – 614) දෙවන කාෂ්‍යප (ක්‍රි.ව 652 -661) මානවම්ම (ක්‍රි.ව. 684 -718) දෙවන මහින්ද (ක්‍රි.ව. 777 – 797) දෙවන සේන (ක්‍රි.ව. 853 – 887) දෙවන උදය (ක්‍රි.ව. 887 – 895) ආදී රජවරු ප්‍රතිසංස්කරණය කළහ. දෙවන දප්පුල රජ (ක්‍රි.ව. 815 – 831) වටදා ගෙය රුවන් ගඩොලින්  බඳවා රුවන් දොරටු පිහිටුවිය. සිව්වන මහින්ද රජ (ක්‍රි.ව. 956 – 972) රන් රිදීයෙන් දාගැබ සරසා රන් දොරටුවක්ද කරවිය. 

ක්‍රි.ව. 640 සිට 652 දක්වා පමණ  කාලය තුල රජවූ දාටෝපතිස්ස රජ අනෙකුත් විහාරාරාම දාගැබ් මෙන්ම ථූපාරාම දාගැබද විනාශ කළේය. පළමුවන සේන රජ සමයේ පැමිණි පඬි රට ද්‍රවිඩ ආක්‍රමණිකයෝද ථූපාරාමය කොල්ලකා විනාශ කළහ.  ඒ විනාශයන් පසුකාලින රජවරු විසින් ප්‍රතිසංස්කරණය කරන ලදී. දහවන සියවස අවසානයේදී සොලින් විසින්ද නැවත ථූපාරාමයද කොල්ලකන ලදුව එය නැවත මහා පරාක්‍රමබාහු රජතුමා ප්‍රතිසංස්කරණය කරන ලදී. 

දාගැබ වටා පේලි හතරකට සැකසු කුළුණු 176 ක් මත ථූපාරාම වටදාගෙයි ගෝලාකාර වහලක්  රඳවා තිබූ බව විශ්වාස කෙරේ. ඇතුළු වටයේ අඩි 22 අඟල් 10 ක් උස කුළුණු 52 ක්ද, ඊට අඩි 10 අඟල් 3 ක් පිටතින්වූ කුළුණු පෙළේ අඩි 21 අඟල් 3  ක් උස කුළුණු 36 ක්ද ඊටත් අඩි 9 අඟල් 7 පිටතවූ කුළුණු පෙළේ අඩි 19 අඟල් 4 ක් උස කුළුණු 40 ක්ද, ඊට අඩි 14 ක් ඈතින් පිහිටි බාහිර කුළුණු පෙළේ අඩි 14  ක් උස කුළුණු 48 ක්ද තිබූ බව සොයාගෙන ඇත. මේ කුළුණු සියල්ල තනි ගලෙන් නිමකොට කුළුනේ කොටසක් චතුරශ්‍රාකාරව හා අනෙක් කොටස අෂ්ටාශ්‍රාකාර නිමවා ඇත. කුළුණු හිස වෙනම නෙළා මනරම් කැටයමින් අලංකාර කොට කුඩිම්බි යොදා කුලුනට සම්බන්ද කොට තිබිණ. 

පසුකාලීනව සිදුවූ ආක්‍රමණ හේතුවෙන් අනුරපුරය ජනශුන්‍ය වීම නිසා නටබුන්ව ගිය ථූපාරාම දාගැබ නැවත ප්‍රතිසංස්කරණය කරන ලද්දේ 1862 දිය. මේ ප්‍රතිසංස්කරණයේදී ධාන්‍යාකාරව ගොඩනගා තිබු දාගැබ ඝන්ඨාකාර දාගැබක් බවට පත්විණ. මේ දාගැබ දැන් අඩි 59ක විශ්කම්භයකින් හා අඩි 63 ක උසකින් යුක්තය. ථූපාරාම වටදාගෙයි වහල රඳවා තිබු අංග සම්පුර්ණ ගල් කුළුණු 31, ශිර්ෂ කොටස නොමැති  කුළුණු 10 ක් හා කැඩී බිඳී ගිය කුළුණු 93 ක නටබුන් අදද දැකිය හැකිය.

පිළිම ගෙය

ථූපාරාමයේ අනෙක් වැදගත් ස්මාරකයක් වනුයේ ස්තුපයේ නැගෙනහිර දොරටුව සමීපයේ ඇති පටිමාඝරය හෙවත් පිළිම ගෙයයි.

SARISARAWEB

පිළිම ගෙය

මෙය අඩි 85 ක් දිග හා අඩි 57 ක් පළල වේදිකාවක් මත ඉදිකර ඇත. අඩි 21 ක් පමණ දිග හා පළලින් යුත් ගර්භ ගෘහයක් අඩි 25 X 19 පමණ මණ්ඩපයක් හා 12 X 11 පමණ වන අන්තරාලයකින් පිළිම ගෙය සමන්විත වෙයි. අන්තරාලය පසුව ඉදිකරණ ලද්දක් බව විද්වතුන්ගේ අදහසයි.  දෙවන පෑතිස් රජතමා විසින් කරවන ලද පිළිම ගෙයෙහි බුදු පිළිමයක් තැන්පත් කර තිබු බවත් එම පිළිමය පසුව පළමුවන ජෙට්ටතිස්ස රජු ප්‍රාචීන තිස්ස පබ්බත විහාරයට ගෙන ගිය බවත් එය නැවත මහසෙන් රජතුමා අභයගිරියට ගෙනගිය බවත් මහා වංශයේ සඳහන්වේ. මේ පිළිමගෙය තුල මෑතකදී නව බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කොට තිබීම පිළිබඳව සමහරු නොසතුට පළකරති.

SARISARAWEB

පිළිම ගෙය

SARISARAWEB

පිළිම ගෙය

මේ පටිමාඝරය ඉදිකිරීමට යොදා ඇති ගල් කුළුණු වල විශේෂ ලක්ෂණයක් වන්නේ ඒවායේ හිස වජ්‍ර ආකාරයෙන් නිමවා තිබීමයි. මේ ආකාරයේ කුළුණු වෙනත් ස්ථානයකින් හමුව නොමැත. මෙහි ගල් උළුවස්ස, දොරටුපාල රුප හා සඳකඩ පහන දැකුම්කලුය.

SARISARAWEB

වජ්‍ර ආකාර ගල් කුළුණු

නාගලු ළිඳ

ථූපාරාමයේ පිළිම ගෙය සමීපයේ ගල් පුවරු පිහිටුවා තනන ලද පටු දිගටි ළිඳක් දක්නට ලැබේ. නාගලු ළිඳ යනුවෙන් හැඳින්වෙන මේ ළිඳෙන් ථූපාරාම වාසි භික්ෂුන්ගේ අවශ්‍යතාවයන්ට ජලය ලබාගන්නට ඇත.

SARISARAWEB

නාගලු ළිඳ

SARISARAWEB

නාගලු ළිඳ

පාද ලාංචන චේතිය

ථූපාරාම දාගැබට නැගෙනහිරින් ඇති කුඩා ස්ථූපය පාද ලාංචන චේතිය, සිලා චේතිය, දීඝ ථුපය ආදී නම්වලින් හැඳින්වේ. ලජ්ජතිස්ස රජතුමා විසින් මෙය ඉදිකරවන්නට ඇතැයි සැලකේ. මේ කල්පයෙහි බුදුවූ බුදුවරුන් සිව් නමම ලංකාවට වැඩමකොට නැවත ඉන්දියාවට වැඩම කලේ මේ ස්ථානයේ සිට බැව් සඳහන් වේ. ගෞතම බුදුරජානන් වහන්සේ නැවත ඉන්දියාවට වැඩමවීමේදී මෙහි එතුමන් පා සලකුණක් තැබූ බව සඳහන් වන අතර එය සිහිපත් කිරීම සඳහා මෙය ඉදිකරන්නට ඇත.

SARISARAWEB

පාද ලාංචන චේතිය

සංඝමිත්තා චෛත්‍යය

ලංකාවට ශ්‍රී මහා බෝධිය වැඩමකළ සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ඇතුළු භික්ෂුණින් වහන්සේලා වැඩසිටියේ ථුපාරාමයේ බව කියවේ. සංඝමිත්තා මෙහෙණින් වහන්සේ අපවත්වීමෙන් පසු ආදාහනය කරන ලද්දේ මේ ආසන්නයේය. උත්තිය රජතුමා දේහය ආදාහනය කොට එහි බඳවන  ලද චෛත්‍යය සංඝමිත්තා චෛත්‍යය නමින් හැඳින්වේ. එය ථූපාරාම දාගැබට මඳක් ඔබ්බෙන් නැගෙනහිරට වන්නට පිහිටුවා ඇත.

SARISARAWEB

සංඝමිත්තා චෛත්‍යය

උපොෂතාගාරය

ක්‍රි.පුර්ව 22-7 කාලයේ කිරුල දැරූ භාතිකාභය රජතුමා හා ක්‍රි.ව 143 – 167 කාලයේ කිරුල දැරූ භාතිය තිස්ස රජතුමා ථූපාරාමයට පොහොය ගෙවල් දෙකක් කරවූ බව සඳහන්වේ. ථූපාරාම චෛත්‍යයට දකුණින් ථූපාරාම උපොෂතාගාරයේ නටබුන් දැකගත හැකිය. 

SARISARAWEB

උපොෂතාගාරය

SARISARAWEB
ආරාමික ගොඩනැගිලි

රෝහල

ථූපාරාම ආරාම සංකීර්ණයේ තිබුණු රෝහලක නටබුන්ද මෑතකදී සංරක්ෂණය කරතිබෙනු දැකිය හැක.  රෝහලේ භාවිතා කළ බෙහෙත් ඔරුව, ඇඹුරුම් අත්ගල් හා ඖෂධ ඇඹරීමට යොදා ගන්නා ලද ගල් පුවරු, ලෝහමය පිහි තල,  ගල්මංජුසා ආදිය මේ භූමියෙන් සොයාගෙන ඇත.

SARISARAWEB

රෝහල

SARISARAWEB

බෙහෙත් ඔරුව

SARISARAWEB

SARISARAWEB

බෝධි ඝරය

ශ්‍රී මහා බෝධියෙන් හටගත් අෂ්ටඵල බෝ රුක් වලින් එකක් ථූපාරාමයෙහි රෝපණය කල බව සඳහන්වේ. දැනට එම බෝධිය දක්නට නොමැතිවුවත් එහි  බෝධි ඝරය ස්ථූපයට බටහිරින් සංරක්ෂණය කර තිබෙණු දැකිය හැක.

SARISARAWEB

බෝධි ඝරය

SARISARAWEB

බෝධි ඝරය

SARISARAWEB
පොකුණක්

ථූපාරාමයේ සිට  රුවන්වැලි සෑයේ උතුරු දොරටුව දක්වා දිවෙන මාර්ගයට බටහිරින් ථූපාරාමය ආසන්නයේ පැරණි ගොඩනැගිළි සංකීර්ණයක් ඇත.

SARISARAWEB

ගොඩනැගිළි සංකීර්ණය

SARISARAWEB

ගොඩනැගිළි සංකීර්ණය

තවමත් මෙය නිවැරදිව හඳුනාගත් බවක් හෙළි නොවන අතර එය පන්චාවාසයක්, පිළිමගෙයක් පධාන ඝරයක් හෝ භික්ෂු අධිකරණ ශාලාවක් විය හැකි බවට මත ප්‍රකාශවී ඇත. මෙහි ප්‍රධාන ගොඩනැගිල්ලේ නැගෙනහිර දොරටුවේ කොරවක්ගල් කැටයම  විශේෂිතය. මේ කැටයම් වල සිංහ, ඇත්, වලස්, මොනර, වඳුරු, ආදී සතුන්ගේ රූප, තවුසෙක්, ස්ත්‍රියක් පුරුෂයෙක් හා ළදරුවෙක් ආදී නොයෙක් රූප කැටයම් කොට ඇත. එකිනෙකාට සතුරු සත්වයින් මිතුරුවී සිටින විලාශයක් පෙන්නුම් කෙරෙන බැවින් මෙය වෙස්සන්තර ජාතකය, මෛත්‍රී බල ජාතකය හෝ කපිල මුනිවරයාගේ කතාව වියහැකි බවට අදහස් ප්‍රකාශවී ඇත. කෙසේ වුවත් මෙවැනි කැටයමක් වෙනත් තැනකින් හමුව නොමැත. 

SARISARAWEB
ප්‍රධාන ගොඩනැගිල්ල
SARISARAWEB
කොරවක්ගල් කැටයම

SARISARAWEB

කොරවක්ගල් කැටයම

මෙහි ඇති සඳකඩ පහන ද මල් ලියකම්, රැලි ගැසුණු කේෂර සහිත සිංහ රුප, ආදී ගැඹුරට කැටයම් කළ ඉතා සියුම් කැටයම් වලින් යුත් කලාත්මක අතින් ඉහල අගයක් ඇති එකක් බව කිව යුතුය. දැනට මෙහි මුරගල් දකින්නට නැතත්  මේ කැටයම් පිළිබඳව සලකා බැලීමේදී එකල මෙහි අලංකාර කැටයමින් යුත් මුරගල් ද තිබෙන්නට ඇතැයි අනුමාන කල හැකිය 

SARISARAWEB

සඳකඩ පහන

SARISARAWEB

කැටයම්

මේ ගොඩනැගිලිද ථූපාරාම ආරාම සංකීර්ණයට අයත්සේ සැලකීම සාධාරණය.

එන්.එච්. සමරසිංහ.  2019. 07. 15

Protected by Copyscape

3 Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.