කේඑල් කුලුණ – KL Tower

පැරිස් නගරයේ  1889 වසරේදී පැවැත්වුණු Exposition Universelle නම් ප්‍රදර්ශනය අලංකාර කිරීමට අයිෆල් කුලුන ඉදිකළේ 1909 දී ගලවා ඉවත් කිරීමේ අදහසිනි. එහෙත් එය අද ප්‍රංශයේ අනන්‍යතා සලකුණක් බවට පත්ව සියලු ලෝක වාසීන්ගේ ප්‍රසාදයට ලක්වෙමින්, ප්‍රංශයට අත්‍යාවශ්‍ය ඉදිකිරිමක්ව හොඳින් නඩත්තු කරමින් පවත්වාගෙන යයි. අයිෆල් කුලුනේ රේඩියෝ තරංග විකාශනය කිරීමට ඇන්ටෙනා සවි කොට කරන ලද ගුවන් විදුලි තරංග විකාශනය ඉතා සාර්ථකවීම හා එය යුද සමයේ ඉතා ප්‍රයෝජනවත් වීම අයිෆල් කුලුන 1909 දී ගලවා ඉවත් නොකර අද දක්වාම පවත්වාගෙන යාමට තරම් වැදගත් හේතුවක් විය. මාකෝනි සන්නිවේදනය සඳහා ගුවන් විදුලි තරංග යොදා ගත්දා සිටම ගුවන් විදුලි තරංග විකාශනය කිරීම සඳහා කුලුනු යොදා ගැනීම ගැන අවධානය යොමු කෙරින.

අද සමාජයේ බොහෝ  කාර්යයන්ට රැහැන් රහිත ගුවන් විදුලි තරංග විකාශනය මගින් කෙරෙන සන්නිවේදනය ඉතා වැදගත් වී ඇති බව නොරහසකි. ගුවන් විදුලි හා රුපවාහිනී විකාශණය, දුරකථන හා අන්තර් ජාල සන්නිවේදනය, කාලගුණ දත්ත රැස්කිරීම, දුම්රිය හා රථවාහන ගමනාගමන පාලනය ආදී නොයෙක් කාර්යයන් සඳහා එක් උස කුලුනක් පවත්වාගෙන යාමෙන් ලැබෙන විශිෂ්ට ප්‍රතිපල පිළිබඳව වටහාගත් නොයෙක් රටවල් උසින් වැඩි සන්නිවේදන කුලුනු ඉදිකරන්නට විය. 

මැලේසියාවේද සන්නිවේදන කාර්යයන් ඇතුළු බහු කාර්ය කුලුනක් ඉදිකිරිම 1991 දී ආරම්භ කළේය. එය පිහිටුවීමට තෝරා ගන්න ලද්දේ මැලේසියාවේ සංරක්ෂිත වනාන්තරයක් ලෙස පළමුවෙන්ම නීතිගත කොට ඇති  ක්වාලාලම්පූර් නගරය මධ්‍යයේ වන බුකිට් නනාස් නමින් හැඳින්වෙන අක්කර 25 ක පමණ ස්වාභාවික වර්ෂා වනාන්තරයයි. එය මුහුදු මට්ටමෙන් මීටර් 94 (අඩි 308) ක් උසකින් පිහිටා ඇත. 

1-_DSC2854
 

ක්වාලාලම්පූර් නගරයේ  කේඑල් කුලුන

 

1991 ඔක්තෝබර් මස 04 දිනයේදී වැඩ ඇරඹුන මේ කුලුන 1994 දී ඇන්ටෙනා භාවිතය සඳහා විවෘත කරන ලද අතර එහි සියලු වැඩ කටයුතු අවසන්කොට මහ ජනයාට විවෘත කලේ 1996 ජුලි මස 23 දිය. මේ කුලුන මැලේසියානුවන් විසින් හඳුන්වන්නේ “මෙනරා ක්වාලාලම්පූර්” යනුවෙනි. ඇන්ටෙනා කුලුනුද සමග මෙහි උස මීටර් 421 (අඩි 1381) කි. ක්වාලාලම්පූර් නගරයේ ක්‍ෂතිජ රේඛාවෙන් ඉහලට ප්‍රෞඩ ලෙස නැගී තිබෙන කේඑල් කුලුන නගරයේ ප්‍රධානතම ආකර්ෂණයක් වී ඇත. මේ කුලුන දැනට ලෝකයේ සන්නිවේදන කුලුනු අතර හත්වන උසම කුලුනයි. එමෙන්ම අග්නිදිග ආසියාවේ උසම කුලුනයි. එමෙන්ම එය වනාන්තරයක පිහිටි මේ ආකාරයේ එකම කුලුන ලෙසද ප්‍රසිද්ධියට පත්ව ඇත. කුලුන ඉදිකිරීමේදී පාදම සඳහා කොන්ක්‍රීට් කියුබික් මීටර 50,000 කට වැඩි ප්‍රමාණයක් පැය 31 තිස්සේ නොකඩවා යෙදීම ඉදකිරීම් ක්‍ෂේත්‍රයේ වාර්තාවකි.

2-_DSC3170

කේඑල් කුලුන වැරගන්වන ලද කොන්ක්‍රීට් වලින් නිමවා ඇති අතර ප්‍රධාන වශයෙන් කොටස් පහකට බෙදිය හැකිවේ. කුලුනු පාදමේ මහල් තුනක ගබඩා, නඩත්තු හා ආරක්‍ෂක අංශ පිහිටුවා ඇත. තව කොටසක් සංචාරකයනට සේවා සපයන ස්ථාන හා  වෙළඳ සැල් වලට වෙන්ව ඇත. කුලුනු බඳ මහල් 22 ක් උසය. එහි විදුලි සෝපාන හතරක් හා පඩි 2058 කින් සමන්විත පඩි පෙළක් ඇත. කුලුනු හිස මහල් හයකින් සමන්විතය. පොදු නැරඹුම් මහල මීටර් 276 ක් ඉහලින් වේ. තවත් මහල් කීපයක ආපන ශාලා, උත්සව ශාලා, ගුවන් විදුලි, රුපවාහිනි, දුර කතන මෙහෙයුම් මැදිරි, නඩත්තු කාර්යාල ආදියට වෙන්කොට ඇත.  මේ මහල්වලට ඉහලින් ඇන්ටෙනා සවිකොට ඇත. 

3-_DSC3180
 

ඇතුළුවන මහල

 

4-_DSC3181
 

ඇතුළුවන මහල

 

කුලුන ඉස්ලාමිය වාස්තුවිද්‍යා ලක්‍ෂණ ඉස්මතු කෙරෙන ලෙස නිර්මාණය කර ඇති බව පෙනේ. ඇතුළුවන ප්‍රධාන ශාලාවේ සිවිලිම ඉරාන ශිල්පින් විසින් ඉස්ලාමිය සම්ප්‍රදායික මුකර්නාස් (Muqarnas) රටාවෙන් දියමන්තියක් මෙන් නිමවා ඇත.  

24-_DSC3232
 

සිවිලිම

 

කුලුන රාත්‍රී කාලයේදී LED විදුලි පහන් රාශියකින් ආලෝකමත් කෙරේ. කිලෝමීටර් 10 ක පමණ දුර සිට වුවද, කුලුනේ ආලෝක ධාරා නිරීක්ෂණය කල හැකිබවත්, කුළුණු හිසේ ආලෝකය ජෙන්ටින් හයිලන්ඩ් වලට පවා දර්ශනය වන බවත්  කියති. 

2-_DSC3240
 

ආලෝක කළ කුලුන

 

1-_DSC3241
 

ආලෝක කළ කුලුනු  හිස

 

බොහෝ සංචාරකයින් පිවිසෙන්නේ කුලුනු හිසේ පහළින්ම වන, බිම් මට්ටමේ සිට මීටර් 276 ක් ඉහලින් පිහිටි නිරීක්ෂණ මහලටය. එහි සිට ක්වාලාලම්පූර් නගරය කුරුළු ඇසකට පෙනෙනවා මෙන් දැකිය හැකිය.

02-_DSC3187
 

කුලුනේ සිට ක්වාලාලම්පූර් නගරය

 

03-_DSC3188
 

කුලුනේ සිට ක්වාලාලම්පූර් නගරය

 

5-_DSC3183
 

කුලුනේ සිට ක්වාලාලම්පූර් නගරය

 

 

14-_DSC3199
 

කුලුනේ සිට කුට්ටම් කුලුන 

 

එමෙන්ම වෙළඳ සැල් වලින් සැමරුම් භාණ්ඩ මිලට ගත හැකිය. නැරඹුම් මහලට ඉහල මහලේ පිහිටි කැරකෙන  අවන් හලින් නගරයේ අසිරිය නරඹමින්ම ආහාරද ගත හැකිය.

කුලුනේ මීටර් 300 ක ඉහලින් ස්කයි ඩෙක් නම් නැරඹුම් මහල පිහිටියේය. පහල පිහිටි නිරීක්ෂණ මහලට පිවිසීම සඳහා ගෙවන මුදලට වඩා වැඩි මිලක් ඊට පිවිසීම සඳහා ගෙවිය යුතුය.  එය අහසට විවෘත ලෙස තනා ඇති බැවින් සිමා රහිත දර්ශන පරාසයක් වෙත නෙත් යොමුකළ හැකිය. මෙහි ඇති හැම පැත්තක්ම පෙනෙන ස්කයි බොක්ස් වෙත පිවිස සුන්දර අත්දැකීමක් සංචාරකයනට ලබාගත හැකිය. මැලේසියාවේ ඉස්ලාම් භක්තිකයෝ රාමසාන් උත්සවය පවත්වන දිනය නිගමනය කිරීම සඳහා සඳ බැලීමටද මේ ස්ථානය භාවිතා කරති.

කුලුන ඉදිකිරීමට නියමිතවූ භුමියේ තිබූ වසර සියයක් පමණ පැරණි ජෙලුටන්  (jelutong)  (Dyera costulata) ගස ආරක්‍ෂා කිරීමට කුලුන ඉදිකරණ ස්ථානය වෙනස් කර ඇත. මේ වෙනස් කිරීම වෙනුවෙන් අතිරේකව මැලේසියානු රිංගිට් 430,000 ක්පමණ වැයකළ බව කියති. සංරක්ෂණය කරන ලද මේ ගසද කුලුන පාමුල දැක ගත හැකිය. 

26-_DSC3234
 

ජෙලුටන් ගස

 

29-_dsc3237.jpg
 

ජෙලුටන් ගස හා කුලුන

 

කුලුනේ ආකර්ෂණය වැඩි කිරීම සඳහා කුලුන ආශ්‍රිතව සංචාරකයන් ප්‍රියකරන  තවත් අංග ගණනනාවක් පවත්වාගෙන යනු දැකිය හැකිය. සිනමා හලක්, කුඩා සත්වෝද්යානයක්, කුඩා මින් මැදුරක්, උඩු යටිකුරු ලෙස තැනූ නිවසක්, මැලේසියානු සංස්කෘතික ගම්මානයක් ආදිය සංචාරකයන් වෙනුවෙන් විවෘතය. 

මේ කුලුන පිහිටා ඇති කේඑල් එකෝ ෆොරස්ට් පාර්ක් නම් වනෝද්‍යානයේ සැරිසැරීමටද පහසුකම් සලසා ඇත.

මේ කුලුන ආශ්‍රිතව වරින් වර විශේෂ ක්‍රියාකාරකම්ද පවත්වනු ලැබේ. කුලුනේ සිට පැරචුට් මගින් පනින බේස් ජම්ප් ජ්‍යාත්‍යන්තර ක්‍රීඩා ඉසව්ව 1999 සිට වාර්ෂිකව පවත්වනු ලැබේ. එමෙන්ම කුලුනේ පඩි 2058 නැගීමේ ජාත්‍යන්තර ටවර්තන් අභියෝග ඉසව්වද බෙහෙවින් ජනප්‍රියය. 

ලංකාවේ ඉදිකෙරෙන නෙළුම් කුලුනද මේ කේඑල් කුලුනට බෙහෙවින් සමාන බව පෙනේ.  නෙළුම් කුලුන ඉදි කිරීමෙන් පසුව ලංකාවේද සන්නිවේදන හා සංචාරක ආදී නොයෙක් ක්‍ෂේත්‍රයන් වල නව පිබිදීමක් ඇතිවේයයි සිතමු.

එන්.එච්. සමරසිංහ.  2019. 09. 22

Protected by Copyscape

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.