ලොව ආගම් පහළවීමට පෙර පටන්ම මිනිස්සු ස්වභාව ධර්මයේ ක්‍රියාත්මක වන නොයෙකුත් ශක්තීන්ට වැඳුම් පිදුම් කරන්නට වූහ. අහසේ දිස්වන හිරු, සඳු හා තාරකා මෙන්ම එදිනෙදා ජිවිතයට මහෝපකාරිවන ගස් වැල්, ජලය ආදියට දේවත්වයක් ආරෝපනය කොට වැඳුම් පිදුම් කරන්නට වූහ. පසු කාලීනව ආගම් පහල වූවද කලින් කළ වන්දනාවන් නව අර්ථකතනයන් සහිතව තවදුරටත් පවත්වා ගැනිණ. සත්වයාට නැතිවම බැරි ජලය ශුද්ධ වස්තුවක් ලෙස සැලකීම සාධාරණය. ඉන්දියාවේ ජන ජිවිතයට “ගංගා” නම් ගඟ ඉටුකරන්නේ මහඟු මෙහෙයකි. එය අදත් ඉන්දියානුවන්ගේ මහත් ගෞරවාදරයට ලක්වේ.
හින්දු භක්තිකයෝ ශුද්ධ වස්තුවක් ලෙස සලකන ගංගා ගඟේ උත්පත්තිය දේවත්වය හා සම්බන්ද බවට විශ්වාස කරති. හින්දු පුරාණෝක්ති වල කියවෙන ආකාරයට ගංගා මෙලොවට පහල වූයේ භක්තිමත් තපස්වරයෙක්ව, ශිව දෙවියන්ගෙන් හා මහා බ්‍රහ්මයාගෙන් වරයක් ලබාගෙන සිටි භගීරත මහරජතුමා නිසාය. භගීරත මහරජතුමාගේ පරපුරේ මුතුන්මිත්තෙකු වූ සාගර මහරජුට පුත්කුමාරවරු හැට දහසක් විණි. සාගර රජතුමා කළ අශ්වමේද යාගයක් සම්බන්ද අශ්වයා ඉන්ද්‍ර දෙවියන් විසින් සොරාගෙන කපිල නම් මහත් බලසම්පන්න මුණිවරයෙකුගේ ආශ්‍රමය සමීපයේ සඟවා තැබීය. අශ්වයා සොයාගිය කුමාරවරු කපිල මුණිවරයාගේ ආශ්‍රමය අසලදී අශ්වයා හමුවූ බැවින් කපිල මුණිවරයා අශ්වයා සොරා ගන්නට ඇතැයි සැක කොට ඒ ගැන ඔහුගෙන් විමසූහ. මේගැන කිසිවක් නොදත් භාවනාවක යෙදී සිටි කපිල මුණිවරයා ඔහුගේ ධ්‍යානය බිඳීම ගැන උරණව එක් බැල්මකින් කුමාරවරුන් හැට දහසම දවා අළු බවට පත් කළේය. එසේ කොට මේ කුමාරවරුන්ට විමුක්තිය ලබා ගැනීමට නම් ඔවුන්ගේ පරපුරේ කෙනෙකු සුරලොවේ ගලායන ගංගා නදිය මෙලොවට ගෙන්වා කුමාරවරුන්ගේ භෂ්මාවශේෂ මතින් ගංගාව ගලා යැවිය යුතු යයි ප්‍රකාශ කළහ.
භගීරත මහරජතුමාට ගංගා ගඟ මෙලොවට ගෙන ඒමට හා මහා බ්‍රහ්මයාගෙන් වරම් ලැබිණ. එමෙන්ම ගංගාව මෙලොවට ගැලීමේදී ඇතිවන කම්පනයෙන් මිනිස් සංහතියම විනාශවිය හැකිබවටද අනතුරු ඇඟවින. මීට පිළියමක් කළ හැක්කේ ශිව දෙවියන්ට පමණක් බැවින් ඔහුගෙන් උපකාර ලබා ගන්නා ලෙසටද උපදෙස් දුනි. ගඟ ගැලිමේදී වන කම්පණය තම හිස මතට ගැනීමට ශිව දෙවියෝ කැමති වූහ. විශ්වයේ ඇති සියලු ශක්තින් තමාට ආරෝපණය කොටගත් ශිව මෙලොවට ගැලූ “ගංගා” නදිය සිය කෙස් කළඹෙන් පිළිගෙන ඒ ජල ධාරාවෙන් ගංගාවන් හයක් මවා තුනක් පෙරදිගටත් තුනක් බටහිරටත් ගලා යාමට සැලසීය. ඉන් ප්‍රධානතම ගංගාව හිමාලයේ සිට නැගෙනහිර දෙසට භගීරත මහරජතුමා පැදවූ රාජකීය රථය පසුපස ගමන් කරමින් මියගිය කුමාරවරුන්ගේ භෂ්මාවශේෂ මතින් ගලාගොස් ඒවා සෝදාහරිමින් බෙංගාලය දෙසින් සාගරයට එක්විය. ඉන් ඒ කුමාරවරුනට විමුක්තිය උදාවිණ. මේ ආකාරයේ ගංගා නදියේ උත්පත්තිය ගැන ගෙතී ඇති කතා බොහෝය. සෑම වසරකම මැද භාගයේදී පමණ දෙව්ලොව සිට ගංගාව ගලා ඒම අනුස්මරණය කිරීමට අවතරනොත්සවය පැවැත්වේ. ගංගා නදිය ආශ්‍රිතව පැවැත්වෙන ඉතාම ප්‍රසිද්ධ හා වැදගත් උත්සවය වන්නේ විශාල බැතිමතුන් සංඛ්‍යාවක් එක්ව ජලයේ ස්නානය කෙරෙන මහා කුම්භමේලා උත්සවයයි. එය එකම ආගමක් අදහන ජනයා ඉතා විශාල පිරිසක් එක්වන ලෝකයේ විශාලතම ආගමික චාරිත්‍රයයි.
ගංගා නම් ගඟ ගැන කතාකරන විට ඒ හා සමගම කියැවෙන නගරයකි බරණැස් නුවර හෙවත් වරණාසි නගරය. එය ලෝකයේ ඉපැරණිතම නගරයකි. සාගර මහරජුගේ පුත්කුමාරවරු හැට දහසගේ භෂ්මාවශේෂ තැන්පත්ව තිබුනේ බරණැස් නුවර හෙවත් වරණාසි නගරයේ බව හින්දුන්ගේ විශ්වාසයයි. විශ්වය බිහිවූ අවස්ථාවේම එය ඇතිවූ බවත් මතු යම් දවසක වන ලෝක විනාශයේදීත් එය විනාශ නොවන බවටත් හින්දූහු විශ්වාස කරති. එමෙන්ම බරණැස පිහිටා ඇත්තේ ශිව දෙවියන්ගේ ත්‍රිශුලය මත බවටත් ශිව හා පාර්වතී වාසය කරන්නේද බරණැස බවටත් හින්දුන්ගේ විශ්වාසයයි.
මේ පුරාණෝක්ති අනුව යමින් අදද හින්දුන් විශ්වාස කරන්නේ බරණැස උපත ලබන්නවුන් හා එහිදී මිය යන්නන් මෝක්ෂය කරා අනිවාර්යයෙන් ළඟාවන බවයි. කෙසේහෝ බරණැසදී මරණයට පත්වීම හා ඥාතින් ලවා “ගංගා” ගඟ අසබඩදී සිරුර ආදාහනය කරවා භෂ්මාවශේෂ ගංගා ගඟේ පාකරවා ගැනීම බොහෝ හින්දුන්ගේ අභිලාෂයයි.
ගංගා ගඟ මූලික කරගෙන කෙරෙන හින්දු පූජාවන් බොහෝය. මේ පුජාවන් සිදු කිරීම සඳහා ගං ඉවුරේ පඩි පෙළක් මෙන් බැමි බැඳ ඉදිකොට ඇති ඝාට් නමින් හැඳින්වෙන තොටුපොළවල් 84 ක් පමණ ඇත. බ්‍රහ්මයා විසින් ශිව දෙවිඳුන් පිළිගැනීමට ඝාට් නිර්මාණය කළ බව කියති. මේ අතරින් දශශ්වාමේඩ් ඝාට් ප්‍රධානය.


බ්‍රහ්ම දෙවිඳුන් මෙහිදී අශ්ව පූජා චාරිත්‍රයක් කළ බවට විශ්වාසයකි. මෙහි සෑම දිනකම සවස් භාගයේදී ගංගා ආරති පූජා පැවැත්වේ. දහස් ගණනක් මැටි පහන් දල්වා ගඟේ පාකර යැවෙමින් කෙරෙන මේ පූජාව ඉතා අලංකාර එකකි. ගං ඉවුරේ කෙරෙන චාරිත්‍ර දැකබලා ගැනීමට දහස් ගණන් සංචාරකයෝ පැමිණෙති. මේ තොටුපොළවල් වලින් ස්නානය කොට ගංගාවට නමස්කාර කිරීම විශාල පුණ්‍යකර්මයක් ලෙස හින්දූහු සලකති. ගංගා නදියේ ගිලී නෑමෙන් ආත්මයන් දහයකදී කළ පාපයන් සෝදා හැරිය හැකිවෙන බව හින්දූන්ගේ විශ්වාසයයි.
වරණාසි ඝාට් දැකබලා ගැනීමේ හොඳම ක්‍රමය හිමිදිරි උදයේ බෝට්ටුවකින් ගඟ දිගේ බෝට්ටු සවාරියක් යාමයි. ගඟකට හිරු නැගෙන චමත්කාර ජනක දර්ශනය දැකිය හැක්කේ බරණැසදී පමණක් බව කියති. හිමිදිරියේ ගංගා ගඟට හිරු පායනවිට රන් පැහැති හිරුරැස් ගං දිය මතට පතිතවී ඇතිවන වර්ණවත් දිය රැළි හා මසුන් මරන්නන්ගේ යාත්‍රා හා ඒ අවට පොදිකන පක්ෂීන් දැකීම මනරම් අත්දැකීමකි. ගං දියේ සිට විවිධ වර්ණයන්ගෙන් සැදී ගොඩනැගිලි සහිත බරණැස් නගරයට හිරු එලිය පතිත වීමද සිත් ගන්නා සුළුය.
හිමිදිරි පාන්දර ගංගා ජලයේ ගිලී ස්නානය කර පූජා පැවැත්වන බැතිමතුන්, කුංකුම තවරාගත් සාධුන් හා ධ්‍යානයකට සමවැදී භාවනා කරන යෝගීන් ආදීහු මෙන්ම ගංදියේ රෙදි සෝදන අයද, ගඟ බඩ සිටිනු දැකිය හැකිය.
එමෙන්ම පූජාවන්ට අවශ්‍ය මල්, පහන් ආදිය විකුණන වෙළඳුන්ද බොහෝය.
මියගිය හිංදු බැතිමතුන්ගේ සිරුරු ආදාහනය කෙරෙන බොහෝ ස්ථාන ගඟ අසබඩ දැකිය හැකිය. ඒ අතරින් මනිකර්ණික හා හරිශ්චන්ද්‍ර තොටුපොළවල් ආදාහන කටයුතු සඳහා විශේෂය. මේවායේ දැවෙමින් තිබෙන සිරුරු, දැවිගොස් ඉතිරිවූ භෂ්මාවශේෂ ආදියද දැකිය හැකිය. දිනකට මෘතදේහ 200 පමණ ගං ඉවුරේ දැවෙන බව කියති



එමෙන්ම බොහෝ අපද්‍රව්‍ය ගඟට එක්වෙනුද පෙනේ. ගංගා නදියේ ජලය අපවිත්රවීම වැලැක්වීම පිළිබඳව පියවරක් ගැනීමට ඉන්දීය රජයටද විශාල අපහසුවක් වී ඇත්තේ එය ආගමික චාරිත්‍ර සමග බැඳී ඇති ගැටළුවක් වීමයි. ගඟ අසබඩ සිදුකෙරෙන ක්‍රියාකාරකම් හා අපිරිසිදු කිරීම් සමහර සංචාරකයනට අප්‍රසන්න අත්දැකීමක්ද වේ කෙසේ වෙතත් ඉන්දීය රජය ක්‍රියාත්ක කරන නමාමි ගංගා වැඩ සටහන මේ තත්වය සමනය කිරීමට ගෙන ඇති යහපත් පියවරක් ලෙස සැළකිය හැකිය.
බෞද්ධයනටද බරණැස ඉතා පූජනීය නගරයකි. බුදු රජාණන්වහන්සේ පස්වග මහණුන්ට ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වූයේත්, ප්‍රථම භික්ෂු පරම්පරාව ඇතිවී භික්ෂුන් රහත් ඵලයට පත්වූයේත්, භික්ෂුන්ගේ ප්‍රථම වස් වැසීම ආරම්භ වුයේත්, භික්ෂුන් වහන්සේලාගේ ප්‍රථම සදහම් චාරිකාව ආරම්භ කෙරුනේත් බරණැස් නුවරදීය.
12 වන සියවසේදී මොහමඩ් ගවුරිගේ ආක්‍රමණ හේතුවෙන් බරණැස විනාශයට පත් කලත්, මෝගල් අධිරාජයාගේ සමයේ මේ නගරය මොහොමඩාබාද් නමින් හැඳින්වුවත් අදද බරණැස හෙවත් වාරාණාසිය අසිරිමත් නගරයක් ලෙස පවතී. එහි හින්දු, බෞද්ධ, ඉස්ලාම්, ක්‍රිස්තු භක්තික, ජෛන, ආදී නොයෙක් ආගම් අදහන්නෝ සාමයෙන් කල් ගෙවති.