පොළොන්නරුව ශ්‍රී ලංකාවේ අගනුවර වශයෙන් පැවතුනේ වසර 150 ක පමණ කාලයකි. ඒ කාලසීමාව කෙටි වුවද නගරයේ ඉදිකරන ලද සැලසුම් සහගත නිර්මාණ නිසා පොළොන්නරුව මධ්‍යකාලීන ලෝකයේ කැපිපෙනෙන අගනුවරක් විය. අද එය යුනෙස්කෝ ලෝක උරුමයකි. මෙසේ පොළොන්නරුව අනභිභවණීය නගරයක් වන්නට ක්‍රි.ව. 1153 – 1186 කාලයේ මුළු සිරිලකට රජු වූ මහා පරාක්‍රමබාහු රජතුමා සිදුකරන ලද ඉදිකිරීම් හේතුවූ බව අවිවාදිතය.
බුදු දහමේ අභිවෘද්ධිය උදෙසා මහා පරාක්‍රමබාහු රජතුමා ගොඩනගන ලද වැදගත් හා විශාලතම ආරාම සංකීර්ණය වන්නේ පොළොන්නරුවේ රන්කොත් වෙහෙර හා ගල් විහාරය අතර හෙක්ටෙයාර් 35 ක පමණ භුමි භාගයේ භික්ෂු අධ්‍යාපන මධ්‍යස්ථානයක් ලෙස ආරම්භ කරන ලද ආළාහන පිරිවෙන සංකීර්ණයි. මෙය තරමක උස් භූමියක් මාලක ආකාරයෙන් සකස් කොට ගොඩනැගිලි ඉදිකොට ඇති ආරාම සංකීර්ණයකි. ඉහලම මාලකයේ ආරාම සංකීර්ණයක ප්‍රධානතම අංගයන් වන පූජනීය ගොඩනැගීම් වන ස්තුපය, ප්‍රතිමා ගෘහය ආදිය හා ශාසනික කර්මයන් කරවන උපෝසථාගාරය ඉදිකර ඇත. ඒවටා ඇති පහත් භුමිය තට්ටු වශයෙන් ක්‍රමානුකුලව පිළියෙලකොට සංඝාරාම, දාන ශාලා, පොකුණු හා අනෙකුත් විහාර අංග හා කුඩා ස්තුප ආදිය ඉදිකොට ඇත. සමස්ත ඉදිකිරීම් සංකීර්ණය එකක් වශයෙන් ගෙන භුමියේ පිහිටීම අනුව දර්ශණිය පරිසරයක් ගොඩනැගෙන පරිදි ගොඩනැගිලි මනාව සැලසුම් කිරීමට පරාක්‍රම බාහු රජු පියවර ගෙන ඇති බව පෙනේ.

පොළොන්නරු රාජධානියේ බිඳවැටීම හේතුවෙන් වල්බිහිව ගිය මේ ගොඩනැගිලි සංකීර්ණය හෙළිකර ගනු ලැබුවේ යටත් විජිත සමයේ පුරාවිද්‍යා අධිකාරීන් වූ එච්. සී. පී. බෙල් ඒ. එම්. හෝකාර්ට් ආදීන් විසිනි. පසුව සෙනරත් පරණවිතාන මහතාගේ මුලිකත්වයෙන් මෙහි තරමක භුමි ප්‍රමාණයක් හෙළි පෙහෙළි කරවන ලදී. පසුව යුනෙස්කෝ සංස්කෘතික ත්‍රිකෝණ වැඩසටහණ යටතේ හෙක්ටෙයාර අටක පමණ භුමි ප්‍රදේශයක වන ස්මාරක සංරක්ෂණය කර ඇත.
ආලාහන පිරිවෙන සංකීර්ණයේ ඉහලින්ම වන ස්මාරක වනුයේ ලංකාතිලක පිළිම ගෙය, කිරි වෙහෙර ස්ථූපය හා බද්ධ සිමා ප්‍රාසාදය නම් උපෝසථාගාරයයි.
ලංකාතිලක පිළිම ගෙය

ආලාහන පිරිවෙන් සංකීර්ණයේ කේන්ද්‍රීය ස්මාරකය හා පොළොන්නරුවේ විශාලතම පෞරාණික පිළිමගෙය ලංකාතිලක යයි. පරාක්‍රමබාහු රජතුමා කරවුවායයි සැලකෙන මෙය දිගින් අඩි 124 ක් හා පළලින් අඩි 66 ක් පමණ වන බොකු වහලක් සහිතව සම්පූර්ණයෙන් ගඩොලින් නිම කරන ලද ගෙඩිගේ වර්ගයේ පිළිම ගෙයකි. මේ වර්ගයේ පොළොන්නරුවේ ඇති තුපාරාමය හා තිවංක පිළිමගේ යන පිළිම ගෙවල් වලට වඩා මෙය විනාශයට පත්ව ඇත. පිටතින් බැලුවිට මෙය පස් මහල් ගොඩනැගිල්ලක් මෙන් පෙනේ. නැගෙනහිරට මුහුණලා ඇති ප්‍රධාන දොරටුව දෙපස අඩි 55 ක් පමණ උස කුළුණු දෙක කැපී පෙනේ. ගොඩනැගිල්ලේ උතුරු බිත්තියේ ශේෂව ඇති කොටස අඩි 60 ක් පමණ උසකින් යුක්ත බව පෙනේ. මෙය අඩි සියයක් පමණ උසකින් යුක්තවූ ගොඩනැගිල්ලක් වන්නට ඇති බව සිතිය හැකිය.

පිටත බිත්ති ගඩොලින් හා හුණු බදාමයෙන් නිර්මාණය කරන ලද විසිතුරු ප්‍රාසාද කැටයම් වලින් අලංකාර කොට ඇත. මේ කැටයම් වලින් බුදුන් වැඳීම සඳහා දෙවියන් හා බඹුන් ගේ පැමිණීම නිරුපනය කොට ඇත. ගොඩනැගිල්ලේ පාදමෙහි සිනහ පිරුණු මුහුණින් හා විවිධ කෙළිලොල් ඉරියව්වලින් යුත් වාමන රුප පෙළකි.
ගොඩනැගිල්ල ඇතුලත මෙන්ම පිටතද සිතුවම් ඇඳ තිබුණු බවක් පෙනේ. මෙය ප්‍රවේශ මණ්ඩපය, අන්තරාලය හා ඝර්භ ගෘහය යන අංග තුනෙන්ම සමන්විත වෙයි. බිත්ති ඉතා පළල් බැවින් ඇතුලත ඉඩකඩ සීමිතය. පද්මපීඨයක් මත වැඩසිටින බුද්ධ ප්‍රතිමාව ගඩොලින් නිමකොට බදාම පිරියම් කල අඩි 41 ක් පමණ උස සමභංග ආකාරයේ හිටි පිළිමයකි. එහි ශිර්ෂය විසිවන සියවසේ මුල් කාලය වන තෙක් තිබී ඇති අතර එය දැන් හානියට පත්ව ඇත.

(කොළඹ ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශණය කෙරෙන 1840 ගණන්වල ඇන්ඩෘ නිකොල් විසින් අඳින ලද ලංකාතිලක විහාරය නම් චිත්‍රයේ බුදු පිළිමය ශීර්ෂය සහිතව ඇඳ ඇත) පිළිමය වටා ප්‍රදක්ෂිණා කල හැකි පරිදි පිළිමයට පිටුපසින්ද බිත්තිය හා පිළිමය අතර ඉඩ කඩක් පවතී. ලංකාතිලක පිළිමගෙයි ගල් කණු මත දැවයෙන් කළ ඉහල මහලක්ද තිබී ඇත. ඊට පිවිසීම සඳහා ප්‍රවේශ මණ්ඩපය දෙපස පියගැට පේලි දෙකක් තිබී ඇත.
නැගෙනහිර දොරටුව දෙපස මුරගල් වල නැගෙනහිරට අධිපති ධෘතරාෂ්ට්‍ර මහාරාජගේ පිළිරුව හා කොරවක් ගලවල ඇතුළු පැත්තේ ධෘතරාෂ්ට්‍රගේ භාර්යාව ලෙස සැලකෙන කාන්තව පද්මයක් මත සිටින ආකාරයෙන් කැටයම් කොට ඇත. මේ කැටයම් පොළොන්නරු යුගයට පෙර කරන ලද ඒවා විය හැකි බවට මතයක් වේ.


මේ කොරවක් ගල වෙනත් ගොඩනැගිල්ලක තිබු එකක් හෝ වෙනත් ගොඩනැගිල්ලක් වෙනුවෙන් සාදන ලද්දක් බව පෙනී යන්නේ එය පියගැට පහක් වෙනුවෙන් නිමකළ එකක් බව පෙනී යන නිසාය. එහෙත් ලංකාතිලකයේ ඇත්තේ පියගැට තුනක් පමණි. පිළිම ගෙයට පිවිසීමට ප්‍රධාන දොරටුවට අමතර දොරටුවක් දකුණු පසින් ඇත.

මෙහි මුරගලේ ඇති ලිපියකින් මහාපරාක්‍රමබාහු රජතුමා ඉදිකළ ලංකාතිලකය අවුරුදු සියයකට පසු හතරවන විජයබාහු විසින් ප්‍රතිසංස්කරණය කළ බව සටහන් කොට ඇත.
පිළිමගෙය ඉදිරිපස මණ්ඩපය.

ලංකාතිලක පිළිම ගෙය ඉදිරිපස පැත්තක දිග අඩි 36.5 ක් පමණ වන කුමන කාර්යයක් සඳහා යොදාගත්තේදැයි නිශ්චිතව හඳුනාගෙන නැති චතුරශ්‍රාකාර මණ්ඩපයක් වෙයි. එක් ප්‍රවේශ දොරටුවක් ඇති මෙහි ගල් ටැම් 40 ක් පමණ දක්නට ඇත. මේ අර්ධ වශයෙන් අෂ්ට කෝනාශ්‍රාකර ගල්ටැම් හා ගොඩනැගිල්ලේ පාදම විසිතුරු කැටයම් වලින් අලංකාර කොට ඇත.

මේ ඉදිකිරිම පිළිමයට පූජා කෙරෙන පූජා භාණ්ඩ පිළියෙළ කරන හා රැගෙන යන පෙරහැර ආරම්භ කරන ස්ථානය විය හැකිය. එමෙන්ම විහාරයට ශබ්ද පූජා පැවැත්වීම සඳහා ඉදිකළ හේවිසි මණ්ඩපයක්ද විය හැකිය.
කිරි වෙහෙර

උස් අත්තිවාරමක් මත වැලි මලුව, සල පතල මලුව වාහල් කඩ ආදී සියලු අංගයන්ගෙන් පරිපුර්ණව ක්‍රමානුකුලව සැලසුම් කොට මනරම් ලෙස ඉදිකොට ඇති ආලාහන පිරිවෙන් සංකීර්ණයේ ස්ථූපය කිරිවෙහෙරයි. මෙය රුපවතී ස්ථූපය ලෙසද හඳුන්වා ඇත. මහා පරාක්‍රමබාහු රජතුමාගේ දෙවියක වූ සුබද්‍රා බිසව ස්ථූපයක් ඉදිකරවූ බව වංශකතාවල කියවේ. මෙය එය විය හැකිය. නැතහොත් මේ ස්ථූපය මහා පරාක්‍රමබාහු රජතුමා විසින් ඇය වෙනුවෙන් ඉදිකරන ලද්දක් වියහැකි යයිද මතයක් වේ.. බුබ්බුලාකාර හැඩයෙන් යුත් මෙය අඩි 80 ක් පමණ උසකින් හා පතුලේ වටප්‍රමාණය අඩි 264 කින් සමන්විත වෙයි. නිදන් හොරුන් විසින් දැඩි හානියක් කොට තිබුනද, පැරණි ස්ථූප අතරින් මුළු ස්ථූපයම හුණු කපරාරුවෙන් යුක්තව තරමක් හෝ ආරක්ෂිතව තිබූ ස්ථූපය මෙයයි.
කිරිවෙහෙර ආදි අනුරාධපුර යුගයේ ස්ථූප මෙන්ම පේසා වළලු තුනක් මත හා වාහල්කඩ සතරක් සහිතව නිමවා ඇත. එහෙත් මේ වාහල් කඩවල් තනා ඇත්තේ අනුරාධපුර යුගයේ මෙන් හුණුගල් වලින් නොව ගඩොල් වලිනි. එමෙන්ම ඒවායේ සත්ව කැටයම් ආදිය නොමැත. වාහල් කඩ සමීපයේ දෙපස ගඩොලින් බොකු වහල සහිතව ඉදිකළ මල් ආසන නැතහොත් කුඩා ප්‍රතිමාඝර තිබීමද විශේෂත්වයකි.

කිරි වෙහෙර පුවරු ලිපියේ නිශ්ශංකමල්ල රජුගේ යුද ජයග්‍රහණ ගැන හා ඉන්පසු මෙහි පැමිණ ධාතු වන්දනා කිරීමට අසුන්ගෙන සිටි බව සඳහන්වේ.

බද්ධ සීමා ප‍්‍රාසාදය

ආලාහන පිරිවෙන් සංකීර්ණයේ අනෙක් වැදගත් ස්මාරකය වන්නේ එහි භික්ෂුන්වහන්සේලාගේ සංඝ කර්මය සඳහා ඉදිකෙරුණු උපෝසතාගාරය හෙවත් පොහොය ගෙය වන බද්ධ සීමා ප‍්‍රාසාදයයි. අඩි 113 ක් දිගින් හා අඩි 106 ක් පළලින් යුතු මේ ගොඩනැගිල්ලද මහා පරාක්‍රමබාහු රජතුමා විසින් ඉදිකරවන ලද්දකි. මේ ගොඩනැගිල්ල මහල් දොළහකින් සමන්විතවූ බව වංශකතා වල සඳහන්වේ. වාර්තාවී ඇති අන්දමට ලංකාවේ තිබූ විශාලතම උපෝසතාගාරය මෙයයි. සිව් දිසාවෙන්ම පිවිසිය හැකි, සඳකඩ පහන් සහිත පියගැට පෙළ ඇති අඩි 4.5 පමණ උස පාදමක් මත ගොඩනැගූ ගොඩනැගිල්ල මධ්‍යයේ අඩි 60 X 57.5 ප්‍රමාණයේ විශාල ශාලාවක් ඇත.

ඒ මධ්‍යයේ මට්ටම් දෙකකින් යුත් වේදිකාවකි. ඉහල වේදිකාවේ ධාතු කරඬුව තැන්පත් කොට සිව් දෙසට මුහුණලා ඇති පහල වේදිකාවේ ප්‍රාතිමෝක්ෂ දේශනාව කරන භික්ෂුන් වහන්සේගේ ආසනය පනවා තිබෙන්නට ඇත. ශාලාව වටා විවිධ ප්‍රමාණයේ කාමර දහයක් පමණ තිබී ඇත. මේ කාමරවලට පොළොන්නරු සම්ප්‍රදායික කවුළු තබා ඇති අතර බදාම කපරාරු කොට රත් පැහැ වර්ණාලේප කොට තිබී ඇත.
පෝයගේ සීමාවන් අලංකාර කුඩා ගල් ටැම් වලින් සටහන් කොට තිබේ. පෝයගේ සීමාවෙන් පිට සිව් දෙසින්ම කාමර පෙළක් තිබී ඇත. මෙහි සැලසුම් සහගත අපහරණ පද්ධති සහිතව වැසිකිලි කැසිකිලි ආදී පහසුකම්ද සලසා තිබිණි.

කිරිවෙහෙරට බටහිර දෙසින් පහල මාලකයේ තවත් ඉහල මහලක් සහිතව තිබූ බවට විශ්වාස කෙරෙන කුඩා උපෝසතාගාරයක නටබුන් පෙනේ.

මෙහි පියගැටපෙළ පාමුල ඇති සඳකඩ පහන චතුරශ්‍රාකාරවීම විශේෂතත්වයකි.

එමෙන්ම මෙහි දක්නට ඇති නාන කාමරයට හා වැසිකිලියට වෙන් වෙන් වශයෙන් පිළියෙළකළ වලවල් එකල සෞඛ්‍යාරක්ෂිත කටයුතු මනා ලෙස සම්පාදනය කොට තිබු බව ප්‍රකට කරවයි.
රෝහල

බද්ධ සිමා ප්‍රාසාදය හා රන්කොත් වෙහෙර අතර පැරණි රෝහලක නටබුන් දැකිය හැකිය. චුල වංශයේ සඳහන් මහා පරාක්‍රමබාහු රජතුමා කරවූ රෝහල මෙය විය හැකිය. මෙය පොළොන්නරුවෙන් හමුවූ ප්‍රථම රෝහලවේ. ආයත චතුරශ්‍රාකාර ගොඩනැගිල්ලක් වන මෙහි කාමර පහළොවක් පමණ හා මැද මිදුල් දෙකක් වේ. එහි කුඩා කුටියක් තුල බෙහෙත් ඔරුවක් තිබේ.

මේ රෝහලේදී බාහිර රෝගීන්ට මෙන්ම නේවාසික රෝගීන්ටද ප්‍රතිකාර කල බව පෙනේ. මෙහි කැනීම් වලදී මේ රෝහලේ භාවිතා කල ශල්‍ය උපකරණ, මිණුම් උපකරණ, ඇඹරුම් ගල්, බෙහෙත් වර්ග රැස්කර තිබු චීන බඳුන් ආදිය හමුව ඇත. මේවා පොළොන්නරු කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.
ආලහන පිරිවෙන් පරිශ්‍රයේ පහල මාලකයේ නොයෙක් තැන්වල භික්ෂු නේවාසික ගොඩනැගිලි ලෙස සැලකෙන ගොඩනැගිලිවල නෂ්ටාවශේෂ දැකිය හැකිය.
ආලාහන පිරිවෙන පිහිටුවා ඇත්තේ කලින් ආදාහන කටයුතු කරන ලද භූමියක බව විශ්වාස කෙරේ. ආලාහන යන නම ලැබී ඇත්තේද එනිසා බව කියති. එසේම ආලහන පිරිවෙන් පරිශ්‍රයේ නොයෙක් ස්ථානවල කුඩා ස්ථූප රාශියක් දැකිය හැකිය.

මේවා භික්ෂුන් වහන්සේලාගේ හා රාජකීයයන්ගේ භෂ්මාවශේෂ නිධන් කොට ඉදිකළ ඒවා විය හැකිය.
ස්තූතියි
කැමතියිLiked by 1 person