පැරිසියට ගිය කලා ලැදියෙකුට පොම්පිඩු ජාතික කලා හා සංස්කෘතික මධ්‍යස්ථානය අමතක කළ නොහැකිය. මෙය සංස්කෘතික මධ්‍යස්ථානයක් මෙන්ම සමකාලීන කලා කෘති ප්‍රදර්ශනය කෙරෙන කෞතුකාගායකි. බටහිර රටකදී කෞතුකාගාරය යන නම ඇසූ පමණින්ම අප සිතට නැගෙනුයේ ග්‍රීක් හෝ රෝම සම්භාව්‍ය ආකෘතියේ ගොඩනැගිල්ලක් වුවද මෙය ඊට වඩා සාකල්‍යයෙන්ම වෙනස්වූ ගොඩනැගිල්ලකි.
පැරිසියේ බියුබර්ග් හි කලාවේ විවිධාංග ඇතුලත් බහුවිධ සංස්කෘතික මධ්‍යස්ථානයක් පිහිටුවීමට ජෝර්ජස් පොම්පිඩු ජනාධිපතිවරයා 1969 දී ගත් තීරණය අනුව නව ගොඩනැගිල්ලක් තැනීමට ප්‍රංශය පළමුවරට ලොවපුරා සිටින ගෘහ නිර්මාණ ශිල්පින් අතර තරඟයක් පැවැත්විය. මෙයට රටවල් 49 ක නිර්මාණ ශිල්පින් 681 දෙනෙක් තම නිර්මාණ ඉදිරිපත් කළහ. මේ අතරින් ජයග්‍රහණය කළේ බ්‍රිතාන්‍යයේ රිචර්ඩ් රොජර්ස් හා ඉතාලි ජාතික රෙන්සෝ පියානෝ හා ජියැන්ෆ්රැන්කෝ ෆැන්චිනි ඉදිරිපත් කල සැලැස්මයි. ඒ අනුව ඉදිකළ ගොඩනැගිල්ල නූතන වාස්තු විද්‍යාවේ සංකේතයක් වී ඇති රැඩිකල් නිර්මාණයකි.
මේ ගොඩනැගිල්ලේ දිග මීටර් 166කි. පළල මීටර් 60 කි.උස මීටර් 42 කි. මහල් දහයකින් සමන්විත මෙහි ඇතුලත ඉඩ ප්‍රමාණය වැඩිකර ගැනීම සඳහා ගොඩනැගිල්ලට සේවා සපයන සෝපාන, වායු සමන නල, ජල නල, කේබල්, වයර්, ආදී දේ ගොඩනැගිල්ලේ ව්‍යුහයට පිටතින් සවිකර ඇත. ඒවා වැස්මක් රහිතව පිටතට පෙනෙන ආකාරයෙන් තිබීම විශේෂ ලක්ෂණයකි. එමෙන්ම ඒවායේ භාවිතය අනුව රතු, කහ, නිල්, කොළ ආදී වර්ණ රටාවක් අනුව වර්ණ ගන්වා තිබීම නිසා එහි අමුතු අලංකාරයක් දැකිය හැකිය.
මෙය තෙල් පිරිපහදුවක් මෙන් පෙනෙන බව සමහරුන්ගේ අදහසයි.
පොම්පිඩෝ මධ්‍යස්ථානය 1977 පෙබරවාරි 2 දින සිට මහජන ප්‍රදර්ශනයට විවෘත විය. අද එය වසරකට මිලියන 4 ක් පමණ දෙනා නරඹන්නට පැමිණෙන ඉතා ජනප්‍රිය සංචාරක මද්‍යස්ථානයකි. එය පැරිසියේ අයිෆල් කුලුන, ලූව කෞතුකාගාරය හැරුනවිට වැඩිම ආකර්ෂණිය ගොඩනැගිල්ල බව කියති.
මෙහි පවත්වාගෙන යන සමකාලින කලා කෘති ප්‍රදර්ශනය කෙරෙන කෞතුකාගාරය මෙහි ඇති වඩාත්ම ජනප්‍රිය අංගයයි. විසිවන සියවසේ කලා කෘති 60,000 ක් පමණ මෙහි ප්‍රදර්ශනය කෙරේ. පස්වන මහලේ 1905 සිට 1960 දක්වා වන කලා කෘතිත්, හතරවන මහලේ 1960 සිට මෑතක් දක්වා වන කලා කෘතිත් ඇත.
පස්වෙනි මහලේ ෆෝවිස්වාදී (Fauvists) Georges Braque (1882-1963), André Derain (1880-1954), Henri Matisse (1869-1954), Maurice de Vlaminck ආදීන්ගේ වර්ණවත් සිතුවම්, ඝනිකවාදී (Cubist) Pablo Picasso (1881-1973) හා Ernst, Jean Miró Fernand Leger ආදීන්ගේ සිතුවම් ප්‍රදර්ශනය කෙරේ. ජෝජස් බ්රාක් ගේ L’Estaque, Nature morte au violon හා Pablo Picasso ගේ Femme assise dans un fauteuil, Fernand Leger ඝනිකවාදයට නව මගකට යොමු කරවමින් ඔහු දුටු යන්ත්‍රෝපකරණ, සිලින්ඩර ආදියේ හැඩය නිර්මාණවලට මුසුකොට නිමවූ Femme en rouge et vert, Contrste de formes ආදී සිතුවම් හා Wassily Kandinsky (1866-1944) ආදීන්ගේ abstract (ප්රකාශනවාදී) සිතුවම්ද, සර්ලයිලිස්වාදී( Surrealists) Ernst ගේ “Ubu Imperator “ මෙහිදී දැකිය හැකිය. ඔවුන්ගේ නිර්මාණ වලින් ප්‍රදර්ශනය වන්නේ ස්වභාවිකත්වය නොව යමක් ඔවුන් දකින ආකාරය පෙන්වන ඔවුන්ගේ නිර්මාණ කෞෂල්‍යයයි.

by Pablo Picasso
1914 -18 යුද්ධයට විරෝධාකල්ප දැක්වූවන් නිසා ඇතිවූ ඩඩා (Dada) ව්‍යාපාරය කලාත්මක නිර්මාණ සඳහා සම්ප්‍රදායික ක්‍රම ප්‍රතික්ෂේප කරමින් සෞන්දර්යාත්මක නොවන එදිනෙදා භාවිත කෙරෙන නිමි භාණ්ඩ කලාකෘති ලෙස ඉදිරිපත් කළහ. මේ කලාගාරයේ ඇති Marcel Duchamp “Fontaine” යනුවෙන් ඉදිරිපත් කර ඇති මුත්‍රා බඳුන ඊට කදිම උදාහරණයකි.


1960 සිට කලාවේ වර්ධනය වූ විවිධාංග වන අවම කලාව (Minimal Art), සංකල්පීය කලාව (Conceptual) සහ ප්‍රති-ස්වරූපය (Anti-Form) මෙන්ම ප්රතිනිෂ්පාදනය කළ හැකි රූප සහ වර්ධනය වන ගෘහ නිර්මාණ ශිල්පීය මෝස්තර පොම්පිඩු මධ්‍යස්ථානයේ සිව්වන මහලේ ප්‍රදර්ශනයවේ. මේ අතරින් Yves Klein Jean Dubuffet, Christian Boltanski, Daniel Buren, ආදීන්ගේ නිර්මාණ කැපී පෙනේ.
ප්‍රදර්ශන භාණ්ඩ



මිට අමතරව සිනමා ශාලා දෙකක්, දෙවන හා තුන්වන මහල් වල පුස්තකාල දෙකක්, තාවකාලික ප්‍රදර්ශන ශාලා, රඟ හල්, දේශන ශාලා අවන් හලක්, කලා කෘති හා පොත්පත් අලෙවි හලක් ආදිය මේ ගොඩනැගිල්ලේ පිහිටුවා ඇත.
වීඩියෝ දර්ශන
මේ ගොඩනැගිල්ලට යාබදව පිහිටි ස්ට්රාවින්ස්කි ජල උද්‍යානය මෙහිම කොටසක් සේ ගැනේ.
මේ ආසන්නයේ අභිරුපන රංග ශිල්පින් සුලබ දසුනකි.
ගොඩනැගිල්ලේ සිට පැරිස් නගරය