තිස්සමහාරාම මහා සෑය
තිස්සමහාරාමයේ එක පෙළට වන දාගැබ් හතර අතුරෙන් වඩාත්ම පූජනිය දාගැබ ලෙස වන්දනාවට පාත්රවී ඇත්තේ තිස්ස වැව ආසන්නයේ සරුසාර වෙල්යාය මධ්‍යයේ අභිමානවත් ලෙස නැගී සිටින තිස්ස මහා සෑයයි.අනුරාධපුරයට රුවන්වැලි මහාසෑය මෙන් රුහුණට තිස්ස මහාසෑය වැදගත් සේ සැලකේ. එය සොලොස්මස්ථාන වන්දනාකරන බෞද්ධයෝ සොලොස්මස්ථාන අතරින් අටවන ස්ථානයට ගෙන “සම්පූර්ණයෙන් සඳ මඬලක් වැනි වූ ලළාට ධාතූන් වහන්සේ නිධන්කොට කාවන්තිස්ස රජතුමා විසින් කරවන ලද තිස්සමහාරාම චෛත්‍යයට මම නමස්කාර කරමි” යයි වන්දනා කරති.
මහානාග, යටාලතිස්ස, ගෝඨාභය ආදී රුහුණේ රජකළ රජවරුන් බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුව වඩා හිඳුවා ධාතු ඝරයක් ගොඩනංවා පුද සත්කාර කල බවත් පසුව ක්‍රිස්තු පූර්ව දෙවන ශතවර්ෂයේදී පමණ රුහුණේ රජකළ කාවන්තිස්ස රජතුමා එම ධාතු ඝරය වටා විෂ්කම්භය තුන්සිය හැට රියනකින් හා රියන් එකසිය විස්සක උසකින් යුක්තව තිස්ස ස්තුපය කරවූ බව වංශ කතාවල කියවේ.
පසු කාලීනව ඉලනාග රජු (ක්‍රි.ව. 38-44) තිස්ස දාගැබ විශාල කරවූ බවත් වෝහාරිකතිස්ස රජු (ක්‍රි.ව. 215-237) දාගැබ ප්‍රතිසංස්කරණය කළ බවත් වසභ (ක්‍රි.ව. 66-110) පළමුවැනි ජෙට්ටතිස්ස (ක්‍රි.ව. 267-277) ළමැනි මිහිඳු ආදී රජවරුන් තිස්සමහාරාම විහාරයේ නඩත්තුව සඳහා කෙත් වතු පුජා කළ බවත් කියවේ. චෝල ආක්‍රමණ නිසා බිඳවැටුණු රජරට සිංහල රාජධානිය නැවත පිහිටුවීමට තිස්සමහාරාමය ආසන්නයේ සිට කටයුතු කළ මහා විජයබාහු රජතුමාද (ක්‍රි.ව. 1056-1111) තිස්ස ස්තුපය ප්‍රතිසංස්කරණය කොට ඇත.
එමෙන්ම මහනුවර යුගයේ දී ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ (1707-1739)රජතුමා තිස්ස විහාරයට අනුග්‍රහය දක්වමින් පිරිනැමූ සන්නස් දෙකක් හා තුඩපතක් හමුව ඇත. එහි ප්‍රතිසංස්කරණ කටයුතු බුද්ධරක්ඛිත නවරත්න නම් ගනින්වහන්සේ නමකට පැවරූ බවක්ද කියවේ.
කාවන්තිස්ස රජතුමා විසින් රුහුණේ මාගම හා සේරුවිල තිස්ස නමින් දාගැබ් දෙකක් කරවූ බවත් බුදුරජානන් වහන්සේගේ ලලාට ධාතුව මහා පෙරහරින් සේරුවිලට වැඩම කරවා එය එහි නිධන්කොට තැනූ පැරණි තිස්ස මහා වෙහෙර වර්තමාන සේරුවිල මංගල මහා චෛත්‍යය බව ධාතුවංශයේ සඳහන්වන බව පැවසේ. එමෙන්ම මිහිඳු නම් ඈපා වරයෙකු කිරින්දේ සටහන් කොට ඇති සෙල් ලිපියක තිස්සමහාරාම මහා සෑයේ බුදුන් රජාණන් වහන්සේගේ වම් යටි දළදාව නිධන් කොට ඇති බව සඳහන් වන බව කියවේ. කෙසේවෙතත් සම්ප්‍රදායන් සහ ජනශ්රැති අනුව බෞද්ධයන් සොළොස්මස්ථානය ලෙස වන්දනා කරන්නේ මේ තිස්සමහාරාමයේ තිස්ස මහා සෑයයි.
දුටුගැමුණු රජතුමන්ගේ චරිත කතාවේ බොහෝ සිද්ධි තිස්සමහාරාම විහාරය හා සම්බන්දය. දුටුගැමුණු කුමරා උපත ලැබුවේ තිස්ස මහා විහාරයේ මරණාසන්නව සිටි සිල්වත් සාමණේර නමකට අපවත් වීමෙන් පසු තම පුතා ලෙස පිළිසිඳ ගන්නා මෙන් විහාරමහා දේවිය කල ආයාචනය අනුව බව මහා වංශයේ සඳහන්වේ. කාවන්තිස්ස රජතුමා අභාවයට පත්වූ පසු ආදාහන කටයුතු සංවිධානය කළේත්, දුටුගැමුණු රජතුමා එළාර රජුට එරෙහිව සටන් වැදීමට සේනාව ගමන් ගනිද්දී පෙරගමන් කරමින් ආශීර්වාද කළේත් තිස්සමහාරාම භික්ෂුන් වහන්සේලාය.
ලංකාව ඉංග්‍රීසින් අතට පත්වීමෙන් පසු තිස්සමහාරාමය කෙරෙහි වූ අවධානය ක්‍රමයෙන් අඩුවී ගොස් නටබුන් බවට පත්වූ බවක් පෙනේ. 1853 වසරේදී තිස්සමහාරාම දාගැබ වන්දනා කිරීමට වැඩමවූ වේපතඉර සුමන නම් ස්වාමින්වහන්සේ නමක් පෙරමුණ ගෙන වල්බිහිව තිබු දාගැබ් පරිශ්‍රය එළිපෙහෙළි කොට 1857 දී තිස්සමහාරාම කාර්ය සාධක සමිතිය පිහිටුවා දාගැබේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කොට ඇත. ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කිරීමට පෙර 1873 දී උන්වහන්සේ අපවත් වූ බැවින් පසුව වල්පිට මේධංකර නම් ස්වාමින්වහන්සේ නමක ගේ මුලිකත්වයෙන් කටයුතු කොට 1900 දී කොත් පළඳවා දාගැබේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන්කරන ලදී.
වර්තමාන තිස්ස මහා සෑයේ වට ප්‍රමාණය අඩි 550 ක් වන අතර උස අඩි 186 කි. ස්තුප මළුවේ පැරණි බුද්ධ ප්‍රතිමා, බෝසත් ප්‍රතිමා, මල් ආසන, ගල් කණු, බත් ඔරු පා ධෝවන ආදිය අදත් දැකගත හැකිය.
යටාල දාගැබ
යටාල දාගැබ
තිස්සමහාරාමයේ තවත් වැදගත් දාගැබක් වන්නේ යටාල දාගැබයි. හම්බන්තොට කතරගම මාර්ගයේ දෙබරවැව හා අකුරුගොඩ මංසන්දි අතර මහා මාර්ගය ආසන්නයේම යටාල වෙහෙර පිහිටුවා ඇත. යටාල වෙහෙරද මහා විහාර සම්ප්‍රදායට අයත් විහාරාරාමයක ස්තුපයයි. අඩි 115 ක් පමණ උස අඩි 360 ක් පමණ වට ප්‍රමාණයකින් යුත්, තිස්සමහාරාම දාගැබ් අතර ප්‍රමාණයෙන් තෙවැනි තැන ගන්නා මේ දාගැබ ක්‍රිස්තු පූර්ව දෙවන හෝ පළමුවන සියවසේදී පමණ ඉදිකරන්නට ඇතැයි සැලකේ.
දෙවන පෑතිස් රජුගේ දේවිය තම පුතු රාජ්‍යත්වයට පත්වීමට රජුගේ සොහොයුරු මහානාග යුවරජුගෙන් තර්ජනයක් විය හැකියි සිතා මහානාග කුමරු මැරවීමට උත්සාහ ගත් බැවින් ඔහු සිය දේවියද සමග රුහුණට පලා ගියේය. එසේ යද්දී මේ ස්ථානයේදී මහානාග කුමරුගේ බිසව පුත් කුමරෙක් බිහිකළ බවත් ඔහුට යටාලතිස්ස යන නම තැබූ බවත් කියති. මේ කුමරුගේ උත්පත්තිය සිහිපත් කරවමින් යටාල දාගැබ ඉදිකරවා ලංකාවේ ප්‍රථම මහරහතන් වහන්සේ ලෙස සැලකෙන ත්‍රිපිටකාරිට්ඨ මහා රහතන් වහන්සේට අතපැන් වත්කර මෙම යටාල වෙහෙර ශාසනයට පූජා කළ බව වංශ කතාවල සඳහන් වෙයි.
සමහර සෙල්ලිපිවල මේ දාගැබ දළදා දාගැබ ලෙසද හඳුන්වා ඇති බව පෙනේ. රජරට පර සතුරු ආක්‍රමණිකයන්ගෙන් අනතුරට පත්වන විට දළදා වහන්සේගේ ආරක්ෂාව සඳහා දළදාව රුහුණට ගෙනවිත් මේ චෛත්‍යයේ නිධන් කොට තිබුණු බව කියවේ.
හම්බන්තොට – කතරගම මහා මාර්ගය ඉදිකිරිම නිසා යටාල විහාරය දෙකඩ වී ඇත. යටාල වෙහෙරට පාරෙන් අනෙක්පස භුමියේ දිගින් අඩි 68 ක් හා පළලින් අඩි 66 ක් පමණ වන ගොඩනැගිල්ලක දිගින් අඩි 22 ක් පමණ වන විශාල ආසන ඝරයක නටබුන් හමුව ඇත. මේ ආසන්නයේ විහාරාරාමයට අයත් සේ සලකිය හැකි තවත් නොයෙක් ඉදිකිරීම් වල නටබුන් හමුව ඇතත් පිළිම ගෙවල් හැර අනෙක් ගොඩනැගිලි නිශ්චිතව හඳුනා ගැනීමට අපොහොසත්ව ඇත. මේ ස්ථානයට මඳක් ඔබ්බෙන් පිහිටි ගල් කණු මණ්ඩිය නමින් හැඳින්වන ස්ථානයද මේ විහාරාරාමයේම කොටසක් විය හැකිය.
ගල් කණු මණ්ඩිය
නටබුන් බවට පත්ව තිබු මේ දාගැබද 1884 දී තලල්ලේ ජිනරතන නම් ස්වාමින් වහන්සේ නමකගේ ප්‍රධානත්වයෙන් පිලිසකර කොට ඇති අතර නැවත 1987 දී ගම්උදාව වැඩසටහන යටතේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ප්‍රතිසංස්කරණය කොට ඇත.
කෞතුකාගාරය
යටාල දාගැබ පරිශ්‍රයේ කරන ලද කැනීම් වලින් හුණුගල් වලින් කරවන ලද බුද්ධ ප්‍රතිමා, සිරිපතුල් ගල්, මුරගල්, වැසිකිලි ගල්, ගල් කණුවල පාදම්, සඳකඩ පහන්, වාහල්කඩ කොටස්, මැටි නල, සෙල්ලිපි ආදී පුරා වස්තු රාශියක් හමුවී තිබේ. මේ අතරින් අඩි පහක් පමණ උස තිවංක ඉරියව්වෙන් පොළොන්නරු ගල් විහාරයේ ප්‍රතිමාව මෙන් පපුව හරහා දෑත් බැඳගෙන සිටින ආකාරයෙන් නෙලා ඇති ප්‍රතිමාව විශේෂිතය. මේ පරිශ්‍රයෙන් සොයාගත් පුරා වස්තු රාශියක් මේ ආසන්නයේ පිහිටුවා ඇති කෞතුකාගාරයේ ප්‍රදර්ශණය කෙරේ.
බුද්ධ ප්‍රතිමා
බෝධිසත්ව පිළිමය
රුහුණේ දක්නට ලැබෙන පැරණිම ඇත් පවුර ඇත්තේ යටාල වෙහෙර මලුව වටාය. වෙහෙර මළුව අඩි තුනක් පමණ කැණීමෙන් පසුව ඇත් පවුරේ මුදුන මතුවී ඇති බවත් ඇත් පවුරේ පදනම සෑ මළුවට අඩි අටක් පමණ යටින් බවත් පෙනේ. වැසි සමයේදී ඇත් පවුර තරමක් ජලයෙන් යටව තිබෙනු දැකිය හැකිය.
ඇත් පවුර
සෑ මළුවේ පිළිම ගෙවල් වල නටබුන්, ඡත්‍ර ගලක් හා අවලෝකිතේශ්වර බෝධිසත්ව පිළිමයක් දක්නට ලැබේ.
මැණික් වෙහෙර
මැණික් වෙහෙර
තිස්සමහාරාම දාගැබ් හතරෙන් බටහිර කෙලවරේ වන දා ගැබ මැණික් වෙහෙරයි. මෙයද හම්බන්තොට කතරගම මාර්ගය ආසන්නයේම පිහිටා ඇත. මහානාග රජතුමාගේ ඔටුන්නේ වූ මැණික තැන්පත්කොට සෑදු නිසා මැණික් වෙහෙර යනුවෙන් ව්‍යවහාර කෙරෙන බව ජනප්රවාදයේ එයි. අනුරාධපුර යුගයේ නටබුන් මැණික් වෙහෙර අවටද දැකිය හැක.
රුහුණේ මාගම පැරණි සේද මාවත නම් ජ්‍යාත්‍යන්තර සබඳතා ජාලයේ වැදගත් සංධිස්ථානයකි. එයට අනුරාධපුරයට මෙන්ම ඉතා පැරණි ඉතිහාසයක් ඇත. එමෙන්ම එහි පැරණි ජාතික උරුමයන් රාශියක් ඇත. එහෙත් අනුරාධපුර, පොළොන්නරු ආදී පෙදෙස්වලට සාපේක්ෂව මේ පෙදෙසේ පුරාවිද්‍යාත්මක ගවේෂණයන් සිදුව ඇත්තේ අඩුවෙනි. දැන් ගාල්ල, තිස්සමහාරාමය හා රම්බා විහාරය අතර කලාපය ඇතුලත් කොට දෙවන සංස්කෘතික ත්‍රිකෝණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට යන බව දැනගන්නට ඇත. මධ්‍යම සංස්කෘතික අරමුදල හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැනට මාගම ප්‍රදේශයේ කෙරෙන ගවේෂනයන්ගෙන් රුහුණේ තවත් බොහෝ තොරතුරු හෙළිදරව් කරගනු ඇතැයි විශ්වාස කරමු.
Great work
කැමතියිLiked by 1 person
Supper
කැමතියිLiked by 1 person