මහින්දාගමනයෙන් පසු අනුරාධපුරයේ ඇතිවූ බෞද්ධ ප්රබෝධය රුහුණටද බලපෑවේය. රුහුණේ විසූ කාවන්තිස්ස රජු තිස්ස මහා විහාරය, සිතුල් පව්ව, කුටාලිය, ගම්ඨ වාලිය ආදී විහාරස්ථානයන් කරවා සැමදාම සංඝයාට සිව්පසයෙන් උපස්ථාන කල බව මහා වංශයේ සඳහන්වේ. පුජාවලියේ කාවන්තිස්ස රජතුමා දෙමටමල නමින් විහාරයක් කරවූ බව කියයි. මේ ගම්ඨ වාලිය හා දෙමටමල නමින් හැඳින්වෙන විහාරය වර්තමාන දෙමටමල් විහාරය බව විද්වත්හු පවසති. ඒ අනුව මේ විහාරය ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේ පමණ කාවන්තිස්ස රජතුමා විසින් කරන ලද බව පෙනේ.
මොනරාගල දිස්ත්‍රික්කයේ බුත්තල, බුත්තල – සෙල්ල කතරගම මාර්ගයේ මඳ දුරක් ගියවිට හමුවන බුත්තල – ඔක්කම්පිටිය මාර්ගයේ කිලෝමීටර් හයක් පමණ ගියවිට අලංකාර වෙල් යායක් මැද පිහිටි දෙමටමල් විහාරය දැකගත හැකිය.

මාලිගාවිල, දඹේගොඩ, යුදඟනාව, බුදුරුවගල ආදී විශාල සිද්ධස්ථාන පිහිටි ඌව වෙල්ලස්ස ඉතා සශ්‍රික හා දියුණු ආර්ථිකයක් හා සංස්කෘතියක් තිබුණු පෙදෙසකි. ඒ පෙදෙසේ පිහිටි මේ දෙමටමල් විහාරය නොයෙක් ඓතිහාසික සිද්ධීන් වලටද සම්බන්ද බව වංශ කතාවල දැක්වේ. දුටුගැමුණු හා තිස්ස කුමාරවරුන් අතර ඇතිවූ සටනින් පැරදී පලාගිය තිස්ස කුමරු සැඟවී සිටියේ මේ විහාරයේ නායක ස්වාමින්වහන්සේගේ ඇඳ යට බව කියති. මහා පරාක්‍රමබාහු රජතුමාගේ සටන් ගැන කියවෙන විට දෙමටමල් නමැති ස්ථානයක සටන් ගැනද සඳහන් වේ.
චෝල ආදී ආක්‍රමණ නිසා රජරට රාජධානි බිඳවැටීමෙන් හා බැමිණිතියා සාය ආදී ස්වාභාවික උපද්‍රවයන් නිසා දෙමටමල් විහාරයද පරිහානියට පත්ව ඇත. පසුකාලීනව මහනුවර යුගයේදී වුවද දෙමටමල් විහාරය ප්‍රතිසංස්කරණය වූ බවක් නොපෙනේ. සමහරවිට යටත්විජිත වාදීන් ඌව වෙල්ලස්සේ වැව් අමුණු කඩා බිඳ දමා, කෙත්වතු, ගම් නියම්ගම් විනාශකොට කරන ලද මහා මිනිස් සංහාරය නිසා මේ විහාරය ප්‍රතිසංස්කරණය කරනු නොහැකිව විනාශවූවා විය හැකිය.
සියවස් ගණනාවක් තිස්සේ මහ වනයට යටවී තිබුණු මේ ප්‍රදේශය නැවත ජනාවාසයක් බවට පත්වූයේ 1950 දී පමණ ඔක්කම්පිටියේ ගොවි ජනපද ඇරඹීමත් සමගය. ඒ කාලයේ මේ දෙමටමල් විහාරයේ ඓතිහාසික වැදගත්කම ගැන වැඩි සැලකිල්ලක් යොමුවූ බවක් නොපෙනේ. එහෙයින් මේ පුරාවස්තු සහිත පරිශ්‍රයන්ද ගොවි බිම් බවට පත්ව ඇති බව පෙනේ. එකල මේ විහාරය භික්ෂුන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් එලි පෙහෙළි කොට යම් ඉදිකිරීම් කරවා වන්දනාමාන හා නේවාසික කටයුතු වලට යොදාගෙන තිබුනද 1968 පමණ වනතුරු පුරාවිද්‍යාත්මක ගවේෂණයක් සිදුවූ බවක් නොපෙනේ. අක්කර හයක් පමණ භුමි භාගයක් පුරා පැතිරීගිය පුරාවස්තු රාශියක් තිබුන මේ පරිශ්‍රය පුරාවිද්‍යාත්මක ස්මාරකයක් බවට ප්‍රකාශවී ඇත්තේ 1978 වසරේ අගදීය. ක්‍රමවත් කැණීම් හා ගවේෂණයන් සිදුකරන ලද්දේ 1987 පමණ සිටයි.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කරන ලද කැනීම් වලින් හෙළිව ඇත්තේ දෙමටමල් විහාරය, ස්තුපය, පිළිමගෙය, බෝධිය, සභා ශාලාව හා උපෝෂතාගාරය යන අංග පහෙන් සමන්විත පංචාවාස වර්ගයේ සිද්ධස්ථානයක් බවයි.

මෙය රුහුණු ප්‍රදේශයෙන් හමුවූ පළමුවන පංචාවාසය බව කියති. මට්ටම් දෙකකට පිළියෙළ කර තුබූ දෙමටමල් විහාරයේ පුජනිය ස්ථාන පිහිටි ඉහල මට්ටමේ හා භික්ෂු කුටි වැසිකිලි ආදිය පිහිටි පහල මට්ටමේ වෙනස මීටර් 1.5 ක් පමණ වේ.

ප්‍රධාන ස්මාරකය වූ දාගැබ මීටර් 2.5 ක් පමණ උස මීටර් 30.5 ක පමණ දිගින් හා පළලින් යුත් සම චතුරශ්‍ර වේදිකාවක් මත ඉදිකොට තිබේ. ඊට පිවිසීම සඳහා පියගැට 15 කි. පියගැට පෙළ කෙලවර වාහල්කඩක් තිබු බවට වන ගල් කණු කීපයකි.

වැලි මලුව හා සලපතල මලුව එකම මට්ටමක පිහිටි අතර වැලි මලුව මධ්‍යයේ පැත්තක් මීටර් 17 ක් පමණ වන සලපතල මලුව වෙයි.

සංරක්ෂණයට පෙර ස්ථූපයේ නෂ්ටාවශේෂ ගඩොල් ගොඩක් ලෙස තිබී ඇත. එහි කැබලි දෙකකට බිඳී ගිය යූප ගල හමුව ඇතත් ඡත්‍රයක නටබුන් හමුව නොමැත. දාගැබේ ඉහල කොටසේ මුල් ස්වභාවය අවිනිශ්චිතවූ හෙයින් දාගැබ ප්‍රතිසංස්කරණය කර ඇත්තේ සමකාලින දාගැබ් වල මුලික ලක්ෂණ සැලකිල්ලට ගනිමිනි. ඒ අනුව දාගැබට කොත් කැරැල්ලක්ද එක්කොට ඇති නමුත් සම්ප්‍රදායිකව යූපගල පිහිටුවන ස්ථානයේ එය ස්ථාපනය කොට එය පෙනෙන පරිදි කොත් කැරැල්ලේ බටහිර පැත්තේ කොටසක් විවෘතව නිමවා ඇත.

දෙමටමල් විහාරයේ දාගැබට බටහිරින් මෑතකදී ගොඩනගන ලද විහාරය ගොඩනගා ඇත්තේ පැරණි උපෝෂතාගාරය මත බව හෙළිව ඇත. එහි සිදුකරනලද කැනීම් වලින් තහවුරු කරගෙන ඇත්තේ මීටර් 21 ක් දිග මීටර් 15.23 ක් පළල සෙන්ටි මීටර් 80 ක් උස වේදිකාවක් මත පිහිටවූ ගල් කණු 24 ක් මත මහල් කීපයකින් යුත් උපෝෂතාගාරයක් තිබී ඇති බවයි. ඉහළ මහල් වලට පිවිසෙන දැවයෙන් කළ පියගැටපෙළ සවිකොට තිබූ ගල් පුවරුව සොයාගෙන ඇත. උපෝෂතාගාරයේ ඉහල මහල් විශාල ගල් කුළුණු මත දැවයෙන් නිමකොට තිබෙන්නට ඇත. මේ ගොඩනැගිල්ලට පිවිසීමට බහිරව රුප තුන බැගින් කැටයම් කළ පියගැට හයක් හා ඒ දෙපස කැටයම් සහිත කොරවක් ගල් දෙකක් සමග නා රජු දැක්වෙන මුරගල් දෙකක් ඇත.

දෙමටමල් විහාරය පරිශ්‍රය කැණීමෙන් සොයාගෙන ඇති ඉතා වැදගත් අංගයක් ලෙස එහි භුමි මට්ටම් තුනකින් තිබී ඇති ගඩොලින් කළ බෝධිමාලකය සැලකිය හැකිය. එහි ගල් පඩි තුනකින් ඉහලට නැගිය යුතු සම චතුරශ්රාකාර වැලි මළුවක් වටා සෙ.මි.90 ක පමණ පළල ගඩොල් බැම්මක්ද, ඒ වැලි මලුව මැද තවත් සෙ.මි.60 පමණ පළල බැම්මකින් වටකළ මලුවක්ද, ඒ මළුවේ සම චතුරශ්රාකාර ගඩොල් අතුරුමක් මැද විෂ්කම්භය මීටර් 3.35 පමණ වූ වටකුරු බැම්මක් තිබී ඇත. පහල වැලි මළුවෙන් ඉහල මළු වලට පිවිසුම් මාර්ග තිබී නැත. මැද මළුවේ තිබී කිසියම් භාජනයක් තැබීමට හැකිවන පරිදි සකස් කළ බහිරව රුපයක් හා බොරදම් කැටයම් කළ ඝනකයක් හමුව ඇත. මැද මලුව මධ්‍යය කැණීමේදී විශාල භාජනයක් හමුව ඇත. එය බෝධි අංකුරය රෝපණය කළ භාජනය හෝ බෝධියේ වැඩීම සිමා කිරීමට යෙදු උපක්‍රමයක් විය හැකියි.
මෙම භාජනයට යටින් කොටු නමයක් සිටිනසේ ගඩොලින් සකස්කළ යන්ත්‍ර ගලක් තිබී ඇත. මෙය නිධන්වස්තු තැන්පත් කිරීම සඳහා සකසන ලද්දකි. බෝධියක් රෝපණය කිරීමට පෙර නිධන් වස්තු තැන්පත් කළ අවස්ථාවක් මින් පෙර හමුවී නොමැති බැවින් මේ සොයා ගැනීම විශේෂිත වුවකි. මෙහි තිබී සෙ.මී. 20 ක් පමණ වන බෝසත් හා දේව පිළිම යයි අනුමාන කෙරෙන ලෝකඩ පිළිම 13 ක්ද ලෝකඩ පහන් ආකෘති දෙකක්, ඉබ්බෙකුගේ ආකෘතියක්, හක් ගෙඩියක්, දල මැණික් ගල් කීපයක්, රන් ආභරණයක්, මැටි භාජන ආදිය හමුව ඇත. මේවා දක්ෂ ශිල්පින් විසින් කරන ලද කලාත්මක නිර්මාණ නොවන බව පෙනෙන බැවින් ඒවා නිදන් කිරීම සඳහාම පිළියෙළ කරන ලද ඒවා සේ සැලකේ.

දෙමටමල් විහාරයේ පිළිම ගෙය දාගැබට හා බෝධි ඝරයට නිරිත දෙසින් ඇත. සෙ.මී. 85ක් උස පාදමක් මත එය ඉදිකර ඇත. එහි මීටර් 13 X 10 පමණ ගර්භ ගෘහයක් හා මීටර් 9.25 X 8.25 ප්‍රමාණයේ ඉදිරි ගෘහයකින් සමන්විතය. නැගෙනහිරින් මීටර් 1.75 ක් පළල දොරටුවක් හා උතුරින් ඊට වඩා තරමක් කුඩා දොරටුවක් වේ. නෂ්ටාවශේෂයන් අතර තිබුණු විශාල ගල් කුළුණක් හා කණු මුල් පිහිටි තැන් හා පැතලි උළු ආදිය අනුව ගොඩනැගිල්ලේ උස, හැඩය ආදිය නිර්ණය කොට අලුතෙන් පිළිමගෙයක් ගොඩනගා ඇත. මෙහි බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කොට තිබුණු බවට සාධක ලෙස මීටර් 1.05 විෂ්කම්භයකින් යුත් පද්මාසනයක් තිබී ඇති නමුත් ප්‍රතිමාවක් හමුවී නොමැත. එහෙයින් දැනට මෙම පද්මාසනයේ අම්බලම්තොට හිටි බුදු පිළිමයේ ආකෘතියක් තැන්පත් කොට ඇත.

ගොඩනැගිල්ලට ඇතුළුවීමට හා පිටවීමට ඇති දොරටු දෙකේ තිබුණු පියගැට, කොරවක් ගල්, මුරගල් ආදිය හමුවී නොමැති බැවින් අනුමාන කොට පිළියෙළ කළ පියගැට ආදිය තනා ඇත.
දෙමටමල් විහාර පරිශ්‍රයේ මැද පංචාවාස පිහිටි චතුරශ්රාකාර උස් බිම වටා පහල මට්ටමේ භික්ෂු ආවාස කුටි 44 ක් තිබී ඇත. එහෙත් කැනීම් වලින් තොරතුරු හෙළිව ඇත්තේ කුටි 11 ක පමණි. මේ සියලු කුටි පංචාවාස පිහිටි චතුරශ්‍රයට මුහුණලා ඉදිකොට තිබේ.
මේ කුටි විවිධ ප්‍රමාණයෙන් යුත් සම චතුරශ්රාකාර ඒවාය. පිළිම ගෙයට නිරිත දෙසින් පිහිටි කුටිය විශේෂිත එකකි. එහි කුටියක් හා ධර්ම ශාලාවක් යයි අනුමාන කෙරෙන ආලින්දයක් ඇත. එමෙන්ම නිරිත දිග කෙලවරෙන්ම ඇති කුටියද විශේෂිතය. අනෙක් කුටිවල කොරවක් ගල් හා මුරගල් ආදිය කැටයම් රහිත ඒවා වුවත් මෙහි මුරගල වෙනත් කිසිම ස්ථානයක නොවූ ආකාරයේ එකකි.මේ මුරගලේ මකර තොරණ යට තිවංක ලෙස දක්වා ඇති නා රජුගේ හිස වටා නයි පෙන හතක් මෙන්ම උර පළඳනා, කුණ්ඩලාභරණ, ශිර්ෂ පළඳනා ආදියෙන් පරිපුර්ණය. උඩුකය නිරුවත් වන අතර වම් අත ඉනට තබාගෙන සිටියි. නා රජු සමීපයේ ඊට කුඩාවට කැටයම් කල නාගිනි රුපයක් විය හැකි කාන්තා රුපයක් දක්නට ඇත. නා රජුගේ දකුණු අත ඇයගේ ගෙල වටා ඇති අතර ඇයගේ වම් අත නා රජුගේ ඉන වටා දැවටී ඇත. දකුණත ඉනට තබාගෙන සිටින අතර දකුණු කකුල පසු පසට තබා මඳක් හැරී සිටී.

දෙමටමල් විහාරය ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේදී ඉදිකරනු ලැබුවද ක්‍රි.ව. 8 – 10 සියවස් වලදීද මෙහි සංවර්ධන කටයුතු කෙරී ඇති බව පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව පෙනේ. බෝධි මාලකයේ තිබී හමුවූ එක් ප්‍රතිමාවක් ත්රිශුලයක් දරා සිටිනසේ නිමවුවක් බැවින් එය ද්‍රවිඩ බලපෑම් ඇතිවූවාට පසුව කරන ලද්දක් බව පෙනේ.