පබළු මැණික් හා රන් යයි කියවෙද්දී අපට නිතැතින්ම සිහිවන්නේ ගත අලංකාර කෙරෙන ආභරණයි. පබළු වෙහෙර, මැණික් වෙහෙර හා රන්කොත් වෙහෙර යනුවෙන් හැඳින්වෙන පොලොන්නරුව උතුරු පිට නගරයේ පිහිටි දාගැබ් තුන පොළොන්නරුව පමණක් නොව රටම සරසන ආභරණ වී ඇත.
පබළු වෙහෙර
දළදා මලුව පසුකොට ප්‍රධාන පාර දිගේ මඳ දුරක් ගොස් දකුණට හැරි ගියවිට පබළු වෙහෙරට ලඟාවිය හැකිය. පොළොන්නරුවේ විශාල දාගැබ් තුනෙන් එකක් වන මෙහි පැරණි නම කුමක්දැයි නිශ්චිත අදහසක් නැත. මේ භූමියෙන් පබළු හමුවීම නිසා මෙයට පබළු වෙහෙර යයි ව්‍යවහාර කරන බව පෙනේ. චුල වංශයේ පරාක්‍රමබාහු රජුගේ බිසවක්වූ රුපවති දේවිය විසින් නගරය මැද රන්මුවා නැවක් බඳු රන්මුවා මහා සෑයක් ඉදි කරවූ බව සඳහන් වෙයි. එය ගඩොලින් කළ කොට වෙහෙර වර්ගයේ මේ විශාල ස්ථූපයයි. මේ දාගැබ පද්මාකාර දාගැබකි. මේ ස්ථූපය ආරාම සංකීර්ණයක අංගයක් ලෙස නිර්මාණය කරන ලද්දක් නොවේ. ස්ථූපයේ දකුණු දෙසින් පේසා වලට නැගීමට පඩි පෙළක් නිමවා තිබීම විශේෂ ලක්ෂණයකි.
දාගැබ වටා ශෛලමය හිටි පිළිම, හිඳී පිළිම, සැතපෙන පිළිම ආදී පිළිම හා මල් ආසන වලින් යුතු පිළිම ගෙවල් දහයක් පමණ ඉදිකොට තිබී ඇත.




මේ ස්ථූපයේ වාහල්කඩ දක්නට නොලැබේ. පිළිම ගෙවල් වුවද වරින් වර ඉදිකරන ලද ඒවා මිස පූර්ව සැලැස්මකට අනුව ගොඩ නගන ලද ඒවා නොවන බව පෙනේ. කළුගල් ප්රාකාරයකින් මලුව සලකුණු කොට ඇති මෙහි මළුවට ඇතුළු වන ස්ථානයේ ගල් උළුවස්සක් පිහිටුවා ඇත.
මැණික් වෙහෙර
නැවත ප්‍රධාන පාර දිගේ තවදුරටත් උතුරු දෙසට යනවිට උතුරු පිට නගර ප්‍රාකාරය ආසන්නයේ වම් පස ඇත්තේ මැණික් වෙහෙර ආරාම සංකීර්ණයයි. මෙහි ස්ථුපයක්, ප්‍රතිමා ගෘහයක්, බෝධි ඝරයක් ආදී සිද්ධස්ථාන වලින් සමන්විතය. එමෙන්ම වෙද හලක්, දාන ශාලාවක්, භික්ෂු කුටි ආදී ගොඩනැගිලි වලින් සමන්විත සංවිධිත ආරාමයක ලක්ෂණ මෙහි දැකිය හැකිය. මෙම විහාර සංකීර්ණය 8 හෝ 9 වන සියවසේ මෙය ආරම්භ කරන්නට ඇතැයි විශ්වාස කෙරේ. මෙහි ගොඩනැගිලි යුග දෙකකට අයත් වන බව නිරීක්ෂණය කොට ඇත. මෙහි තිබී හමුව ඇති පැති අටක් සහිත ගල් කණුවේ ඇති පළමු වික්‍රමබාහු රජුගේ සෙල් ලිපිය, නිශ්ශංකමල්ල රජුගේ සෙල් ලිපිය හා කැනීම් වලදී හමුව ඇති පළමුවන වික්‍රමබාහු රජ සමයේ තඹ කාසි අනුවත් මෙය පොළොන්නරු යුගයටද අයත් වන බව පැහැදිලිවේ.

මෙහි ස්තුපය විශේෂිත වාස්තු විද්‍යාත්මක නිර්මාණයකි. එය උස් ප්රාකාරයකින් වටවූ ගඩොල් අතුරන ලද මළුවක් මධ්‍යයේ පියුමක හැඩයෙන් ගොඩ නගන ලද්දකි. මේ කුඩා දාගැබේ විෂ්කම්භය අඩි 30 ක් පමණ වේ. වාහල්කඩ ආදිය නොමැත. ස්ථූපය තනා ඇති වේදිකාවේ පාදම මැටි වලින් සාදන ලද සිංහ රුප වලින් අලංකාර කොට ඇත.

මළුවට පිවිසීම සඳහා දෙපස මුරගල් දෙකකින් සමන්විත ශෛලමය පියගැට පෙළක් තනා ඇත. ඉදිරිපස සඳකඩ පහනේ ඇත් රුපය නොමැති අතර මුරගල දෙපස ඇත් රුප දක්නට ඇත.

පියගැට පෙළින් ද්වාර මණ්ඩප වේදිකාවට ගොඩ නගිනුයේ කැටයම් කරන ලද ගල් උළුවස්සක් තුලිනි. මේ ද්වාර මණ්ඩපය වහලකින් ආවරනය කොට තිබෙන්නට ඇත.
ස්තුපයට ඊසාන දෙසින් ප්‍රතිමා ගෘහ දෙකක නටබුන් දක්නට ලැබේ. ප්‍රවේශ ශාලාවක් සහිත චතුරශ්රාකාර එක් ප්‍රතිමා ගෘහයක හිටි පිළිම තුනක් වෙයි. එහි ගල් කණු 12 ක් මත දැවයෙන් කල වහලක් තිබෙන්නට ඇති බව ශේෂවී ඇති නටබුන් වලින් පැහැදිලිවේ.

ප්‍රතිමා ගෘහයේ ප්‍රවේශ දොරටුව දෙපස නාගරාජ මුරගල් දෙකකි.
අනෙක් ප්‍රතිමා ගෘහයේ එක් හිටි පිළිමයක් ඇත. මේ පිළිම අනුරාධපුර යුගයේ අවසාන කාලයට අයත් සේ සැලකේ.

බටහිර දෙසින් බෝධි ඝරයක නටබුන් දැකිය හැකිය.

දාගැබ පිහිටි මළුවට පිටතින් උතුරු දෙසින් භික්ෂු කුටි දක්නට තිබේ.


රන් කොත් වෙහෙර
ප්‍රධාන පාර ඔස්සේ තව දුරටත් උතුරු දෙසට යනවිට වම්පස පංචාවාසයන්ගෙන් සමන්විත බෞද්ධ විහාරාරාම සංකීර්ණයක් ලෙස හඳුනාගෙන ඇති භුමිය මධ්‍යයේ පිහිටි විශාල දාගැබ රන්කොත් වෙහෙරයි. මෙය පොළොන්නරුවේ ඇති විශාලතම දාගැබයි. මෙහි පාදමෙහි වට ප්‍රමාණය අඩි 550 ක් පමණ වන අතර උස අඩි 180 ක් පමණ වෙයි. දුටුගැමුණු රජතුමා අනුරාධපුරයේ රුවන්වැලි සෑය ඉදිකිරිම අනුගමනය කරමින් නිශ්ශංකමල්ල රජතුමා පොළොන්නරුවේ ඉදිකළ රුවන්වැලි සෑය ලෙස මෙය හඳුන්වා ඇත. රන් කොතක් පළඳා තිබුණු නිසා මෙය රන්කොත් වෙහෙර ලෙස හඳුන්වනවා වියහැකිය. මෙය තුන්වන සියවසෙන් පසු ඉදිකළ විශාලතම ස්ථූපය වන අතර එය සිංහල රජකෙනෙකු අවසාන වරට කළ විශාලතම ස්ථූපයයි. එය ගඩොලින් කළ විශාල ප්‍රාකාර බැම්මකින් වටවූ වේදිකාවක් මත ඉදිකර තිබේ.
මුලික වශයෙන් අනුරාධපුර දාගැබ්වල ආකෘතිය ගත්තේ වුවද, වස්තු විද්‍යාත්මක ලක්ෂණ අනුව සසඳා බලන විට මෙහි සමහර නිමවුම් අනුරාධපුර යුගයේ නිමවූ දාගැබ් වලට වඩා වෙනස්ය.
අනුරාධපුර දාගැබ්වල හතරැස් කොටුවේ සුර්යයා දැක්වුවද මෙහි ඇත්තේ පියුමකි. වාහල් කඩ ගඩොලින් බැඳ බදාම වලින් කැටයම් නිමවා ඇත.


එමෙන්ම ඒ දෙපස ප්‍රතිමා ගෘහ 12 ක් හා මල් ආසනද තනා තිබේ. එක ප්‍රතිමා ගෘහයක සැතපෙන පිළිමයකි.






රන්කොත් වෙහෙර පරිශ්‍රයේ ගල් ආසනයක හා ප්‍රතිමා ගෘහයක උළුවස්සේ ශිලා ලේඛණ දක්නට ලැබේ. ගල් ආසන ලිපියයේ රජතුමා එහි වාඩිවී රන්කොත් වෙහෙරේ හා දෙමල මහා සෑයේ ඉදිකිරීම් නැරඹු බව සඳහන් වේ. අනෙක් ලිපියේ භික්ෂුන් වහන්සේලා හා රාජකීයයන් දාගැබ වන්දනාකර පින්රැස් කරගත යුතු බව සඳහන් වේ.


අනුරාධපුර මහා විහාර සම්ප්රදායේ විහාරාරාම සංකීර්ණයක් රන්කොත් වෙහෙර කේන්ද්‍රකොටගෙන පිහිටුවා තිබුණු බව අවට දක්නට ලැබී ඇති නෂ්ටාවශේෂයන් අනුව හඳුනාගෙන ඇත. නිශ්ශංකමල්ල රජතුමාගේ සෙල් ලිපියක රන්කොත් වෙහෙර ස්තුපය වටා ප්‍රාසාද සියයක් ඉදිකළ බව සටහන්ව ඇති බවද පැවසේ.
මානව නිර්මාණ ශිල්පීය දක්ෂතා, හෙළිවන සංස්කෘතික සාම්ප්‍රදාය හා කැපී පෙනෙන විශ්වීය වැදගත්කම ආදී කරුණු සලකා 1982 සිටම UNESCO සංවිධානය විසින් මේ ස්මාරකද ඇතුළු පොළොන්නරුව ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත.