සිරි දළදා වත

ශ්‍රී ලංකාවට  වැඩම වූ දළදා වහන්සේ රාජ්‍ය උරුමයේ, පාලකයන්ගේ ධාර්මිකත්වයේ හා ශ්‍රී ලංකාවේ සෞභාග්‍යයේ සංකේතය, බවට පත්විය. දළදා වහන්සේ    ශ්‍රී ලංකාවේ පොදු ජනයාගේ  මෙන්ම පාලකයන්ගේ ද   ඉමහත් ගෞරවයට හා භක්තියට පාත්‍රවිය. එය ලාංකික දේශපාලනයට  හා සංස්කෘතියට ඉමහත් බලපෑමක් කළා පමණක් නොව  එය යුනෙස්කෝව මගින් ලෝක උරුමයන් ලෙස නම් කිරීමට තරම් වන විශ්වීය වැදගත් කමකින් යුත් පරිසරයන් නිර්මාණය කළේය.  දළදා වහන්සේ ශ්‍රී ලාංකික ජනතාවගේ ජීවිතයට කොපමණ බලපෑමක් කළාදයන්න   ශ්‍රී ලංකාවේ සිදුවූ නොයෙක් දේශපාලනික අරගල නිසා පොළොන්නරුව, රුහුණ, මායා රට, කොත්මලේ, දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, ගම්පොල, කෝට්ටේ, සිතාවක, මහනුවර සෙංකඩගල, දුම්බර, මැදමහනුවර, කුණ්ඩසාලේ, හඟුරන්කෙත, හිඳගල, ආදී ලංකාවේ නොයෙක් ප්‍රදේශයන්හි ස්ථාන අසූවකට පමණ වැඩමවා දළදා වහන්සේ  ආරක්ෂා කරගත් ආකාරය හෙලිකෙරෙන පුරාවිද්‍යාත්මක තොරතුරු හා ජනප්‍රවාද ආදිය විමසා බැලීමේ දී  හෙළිවේ.

පිදිය යුත්තන් පිදීම බුද්ධ ධර්මය අනුගමනය කරන පුද්ගලයන් විසින් කරනු ලබන උතුම් ක්‍රියාවකි.  සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු ශ්‍රී දේහය ආදාහනය කොට ඉතිරිවූ ධාතූන් වහන්සේලා මහත් භක්තියෙන්  වන්දනා කිරීම  උතුම් බුද්ධ ධර්මය දේශනා කළ බුදු රජානන්වහන්සේ පිදීමකි.

ක්‍රිස්තු පූර්ව 566 දී ලුම්බිණි සල් උයනේදී උපත ලද සිදුහත් බෝසතානන් වහන්සේ ක්‍රිස්තු පූර්ව 531 දී බුද්ධගයාවේදී සම්මා සම් බුද්ධත්වය ලබා වසර හතලිස් පහක් තිස්සේ සියලු ලෝ වාසීන්ගේ හිත සුව පිණිස ධර්මය දේශනා කළහ. බුදුරජානන් වහන්සේ වසර අසූවක් ආයු වළඳා කුසිනාරා නුවර උපවත්තන සල් උයනේදී අපවත්වූ සේක.  කුසිනාරාවේ මල්ල රජ දරුවෝ සත් දිනක් තිස්සේ බුදුරජානන් වහන්සේගේ ශ්‍රී දේහය සුවඳ මලින් පුදමින් ගරු බුහුමන් දක්වා සුවඳ දර වලින් ආදාහනය කළහ

පරිනිර්වාණ විහාරය හා ස්තුපය
පරිනිර්වාණ පිළිමය

සල් උයන
ආදාහනය මුල්ගිරිගල සිතුවමක්
ධාතු බෙදීම මුල්ගිරිගල සිතුවමක්

ආදාහනයෙන් පසු නැලි 16 පමණවූ ධාතූන් වහන්සේලා හා  ලලාඨ ධාතූන් වහන්සේ, අකු ධාතූන් වහන්සේලා දෙනම හා සම සතලිස් දළදා වහන්සේලා අතරින් සිව් නමක් ඉතිරිවූ බව මහා පරිනිර්වාණ සූත්‍රයේ  සඳහන් වෙයි. මේ ධාතූන් වහන්සේලා අතරින් දන්ත ධාතූන් වහන්සේලා විශේෂිත වෙයි.  ඒ බුදුරජාණන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් එකක් වන උඩු ඇන්දේ හා යටි ඇන්දේ විස්සක් බැගින් එකහා සමානව පිහිටියා වූ දන්තයන් පන් සාලිස් වසරක් තිස්සේ දේශනා කරන ලද සුවාසූ දහසක් ධර්මස්කන්ධයන් ස්පර්ශ කරන ලද බැවිනි.

බුදු රජාණන් වහන්සේ ආදාහනය කළ ස්ථානයේ ඉදිකළ අංගාර (ආලාහන/මකුටබන්ධන ) චෛත්‍යය කුසිනාරා ඉන්දියාව

බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනයෙන් පසු ශේෂවූ දන්ත ධාතූන් සිව් නම අතරින් වාම ශ්‍රී දළදාව කලිඟු රට ඛේම මහ රහතන් වහන්සේ රැගෙන කලිඟු රටේ බ්‍රහ්මදත්ත රජු තිසරණයෙහි පහදවා ඔහුට භාරදී, මුතු මැණික් ආදියෙන් සැරසූ දළදා මාලිගාවක තැන්පත් කොට පුද සත්කාර කළ බව දාඨාවංශ ආදී වංශ කථාවන්හි සඳහන්වේ. ගුහසීව රජ දවස මිථ්‍යාදෘෂ්ටික පඬි රජු චිත්‍රයාන නම් සෙනෙවියෙකු ලවා කාලිංග රාජ්‍යය ආක්‍රමණය කළේ ය. ඉන් පසු ඔහු කලිඟු රජුගෙන් අත්පත් කර ගත්  දළදා වහන්සේ  පඬි රජුට භාර දෙන ලදී. පඬි රජු මිථ්‍යාදෘෂ්ටිකයන්ගේ කීම අනුව දළදා වහන්සේ  විනාශ කිරීමට උත්සාහ ගත්තේය. පඬි රජු වරෙක දළදා වහන්සේ ගිනි වළක හොවා විනාශ කිරීමට උත්සාහ කළේය. තවත් වරෙක කිණිහිරියක් මත තබා කුළු පහර දී කුඩු කිරීමට උත්සාහ ගත්තේය. තවත් වරෙක වලක බහා පස් පුරවා ඇතුන් ලවා පෑගවීමට ද, අවසානයෙහි මල මූත්‍රාදියෙන් පිරුණු අගලකට හෙළීමට නියම කළේය. එහෙත් ඒ කිසිවකින් දන්ත ධාතුන් වහන්සේ විනාශ කිරීමට පඬි රජුට නොහැකි විය. පසුව කරුණු තේරුම් ගත් ඒ පඬි රජු දන්ත ධාතුන් වහන්සේට නමස්කාර කොට කළ වැරදි වලට සමා අයැද තම හිස මතට වඩින ලෙස අයැදීය.

එවිට පඬි රජු හිස මතට වැඩි දළදා වහන්සේ පිළිගත් රජු මිථ්‍යාදෘෂ්ටිය අතහැර තෙරුවන් කෙරෙහි සිත් පහදවා  පාටලී පුත්ත නුවර  දළදා මාලිගාවක් තනවා, දන්ත ධාතුන් වහන්සේට  පුද සත්කාර කළ බවත් මුළු දඹදිවින් පුදන ලද බවත් බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ. සටන් නිමවීමෙන් පසු පඬි රජු සමග හිතවත් වූ ගුහසීව රජුට දළදා වහන්සේ නැවත ලබාගෙන කලිඟු රටට (වර්තමාන අන්ද්‍රා ප්‍රදේශ්) වැඩමවීමට හැකිවිය.  ඉන්පසු වීරධර් නම් සෙනෙවියෙකු දළදා වහන්සේ අත්කර ගැනීමට උත්සාහ කළේය. ගුහසීව රජුට සටන් වලින් ජය ගත නොහැකි වුවහොත් දළදා වහන්සේ ආරක්ෂා කර ගැනීම සඳහා දළදා වහන්සේ රැගෙන සිංහල දීපයට (අපගේ ශ්‍රී ලංකාවට) යන ලෙස ගුහසීව රජු තම දියණිය වූ හේමමාලා කුමරියට හා බෑනා වූ දන්ත කුමරුන්ට උපදෙස් දී තිබිණ. සිංහල දීපයේ  මහසෙන් රජු දළදා වහන්සේ පිළිබඳව මහත් භක්තියෙන් සිටි බව ගුහසීව රජු දැන සිටියේය. මේ කාලය වන විට සිංහල දීපයේ රජකමට මහසෙන් රජුගේ පුත්  කීර්ති ශ්‍රී මේඝවර්ණ රජතුමා පත්වී වසර නමයක් පමණ ගතවී තිබිණ.  දළදා වහන්සේ ආරක්ෂා කරගැනීමට කළ හැකි හොඳම දෙය සිංහල දීපයට දළදා වහන්සේ වැඩමවීම බව එතුමාට වැටහී තිබිණ.

දන්ත කුමරු හා හේමමාලා කුමරිය දළදාව වැඩමවීම කැළණි විහාරයේ සිතුවමක්

එකල පැවති අවිනිශ්චිත තත්ත්වය හේතුවෙන් ගුහසීව රජුගේ උපදෙස් අනුව දන්ත ධාතූන් වහන්සේ ආරක්ෂා කරගැනීම සඳහා දන්ත කුමරු හා එක්වූ හේමමාලා කුමරිය බමුණු  වෙස්ගෙන  රහසිගතව දන්ත ධාතූන් වහන්සේ සිය කෙස් කළඹේ සඟවාගෙන ලංකාව බලා දකුණු ඉන්දියාවේ තාම්ලිප්ත (වර්තමාන තූත්තුකුඩි) වරායෙන් නැව් නගින ලදී. මොවුන් දෙදෙනාට මේ ගමනේදී නොයෙක් හිරිහැර බාධක වලට මුහුණ දෙන්නට සිදුවුවත් සියලු බාධක මැඩ නිරුපද්‍රිතව ලංකාවේ මහා පට්ටනය (වර්තමාන  ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සේරුවිලට නැගෙනහිරින් පිහිටි ලංකාපටුන)  වෙත ළඟාවීමට හැකිවිය.

ලංකා පටුන – ත්‍රිකුණාමලය (පින්තුරය අන්තර්ජාලයෙනි)

ලංකාවට ළඟාවූ දන්ත කුමරු හා හේමමාලා කුමරිය ඇතුළු පිරිස මහත් හරසරින් පිළිගෙන  දළදා වහන්සේ එවකට ලංකාවේ අගනුවර වූ අනුරාධපුරයට වැඩමවීමට කීර්ති ශ්‍රී මේඝවර්ණ රජතුමා (ක්‍රි.ව. 303-331) සියලු විධි විධාන යොදවා ඇත.  

අනුරාධපුරයට වැඩමවූ දළදා වහන්සේ මහත් ගෞරවයෙන් අනුරාධපුරයේ මහමෙව්නා උද්‍යානයේ මේඝගිරි විහාරයේ තැන්පත් කළ බව කියවේ.  දාඨාවංසයේ සඳහන් වන්නේ කීර්ති ශ්‍රී මේඝවර්ණ රජතුමා මේඝගිරි විහාරයට පැමිණ දළදා වහන්සේට නොයෙක් පුද පූජා කොට ලක්රජයෙන් ද පිදුම් කළ බවයි. එහි තවදුරටත් සඳහන් වන්නේ රජතුමා සිංහාසනය සුදු වතින් සරසා ඒ මත දළදා වහන්සේ වඩා හිඳුවා දෑසමන් මලින් පුදා ලංකා රාජ්‍යයේ උරුමකාරිත්වය ද දළදා වහන්සේට පිදූ බවයි.

ඉසුරුමුණි විහාරය – අනුරාධපුරය

මේඝගිරි යනු ඉසුරුමුණි විහාරය බවට සමහරු අනුමාන කරති. අනුරාධපුරයේ ඉසුරුමුණි විහාරය එකල මහා විහාරයට අයත්ව තිබූ බවත්, ඒ ඉසුරුමුනියට දළදා වහන්සේ වැඩමකරවූ බව මහාචාර්ය පරණවිතාන මහතා අදහස් කරයි.  එකල ඉසුරුමුණිය ලෙස හැඳින්වුයේ වර්තමාන වෙස්සගිරිය බවට ද මතයකි.

මඩු කන්ද රජ මහා විහාරය (පින්තුරය අන්තර්ජාලයෙනි)

දළදා වහන්සේ වැඩමවූ මේඝගිරි විහාරය වර්තමාන වවුනියාවේ මඩු කන්ද රජ මහා විහාරය බවට ඇතැම්හු විශ්වාස කරති.

ධම්මචක්ක ගෘහය – අනුරාධපුරය

පසුව රජතුමා රජ මාලිගා පරිශ්‍රයේම මැණික් කොතක් පළඳවා සරසන ලද ධම්මචකඛ ගෘහය නමින්  දළදා මාලිගයක් ඉදිකරවා  දළදා වහන්සේ එහි වඩා හිඳුවා දිනපතා නොයෙක් පුද පූජාවන්ගෙන් දළදා වහන්සේ පිදූහ. වසරක් පාසා මහ පෙරහරින් දළදා වහන්සේ අභයගිරි විහාරයට වැඩමවා ජනතාවට දළදා වහන්සේ දැකබලා ගැනීමට හා පුද පූජා කිරීමට අවස්ථාව සලසා දුනි. එමෙන්ම ඉදිරියේදීත් සිරිතක් ලෙස  වාර්ෂිකව නව ලක්ෂයක් වැයකොට මෙසේ පෙරහැර හා පුද පූජා කළ යුතු බව සටහන් කොට තැබූ බවද කියවේ.

අභයගිරි දළදා මැදුර (පින්තුරය අන්තර්ජාලයෙනි)

සියවස් හතක පමණ කාලයක් දළදා වහන්සේ ප්‍රධාන වශයෙන් අනුරාධපුරයේ වැඩ සිටියද අනුරාධපුර යුගයේ අවසාන කාලයේදී දකුණු ඉන්දියාවෙන් එල්ලවූ ආක්‍රමණ නිසා උත්තරමූලයේ භික්ෂුන් වහන්සේලා දළදා වහන්සේ  රුහුනට වැඩමවා ආරක්ෂා කිරීමට පියවර ගත්හ.

අනුරාධපුරය ක්‍රිස්තු වර්ෂ පස්වන සියවසේ මැද භාගයේදී චෝල ආක්‍රමණයන්ට මුහුණදුන්නෙන් වසර විසි හතක පමණ කාලයක් චෝල පාලනයට නතුවිය. එහෙයින් දළදා වහන්සේ චෝල දේශයට ගෙනගිය බවත් පසුව එය සුළු සිරිසඟබෝ රජතුමා චෝල දේශය ආක්‍රමණය කොට දළදා වහන්සේ ආපසු ලංකාවට වැඩමකරවූ බවත් චූලවංශයේ හා එළු දළදා වංශයේ කියවේ.  එමෙන්ම කිරින්දේ ශිලා ලේඛනයක රුහුණේ දළදා වහන්සේ වෙනුවෙන් ස්ථූපයක් කරවූ බව සඳහන්වේ. මේ දාගැබ යටාල දාගැබ බවට විශ්වාසයක් පවතී. හතරවන  උදය රජුගේ (ක්‍රි.ව.946-954) සමයේ පරන්තක නම් ඉන්දියානුවෙකුගේ ආක්‍රමණයක් නිසා උදය රජු රුහුණට පලා ගිය බව කියවේ. එහිදී ඔහු දළදා වහන්සේද රුහුණට ගෙන ගියා විය හැකිය. හතරවන මිහිඳු රජු (ක්‍රි.ව.956-972)  දළදා වහන්සේ නැවත අනුරාධපුරයට වැඩමවූ බව කියවේ.

යටාල දාගැබ- තිස්සමහාරාමය
විජයබාහු රජ මාලිගය අනුරාධපුරය

ක්‍රිස්තු වර්ෂ 1055 දී පළමුවන විජයබාහු (1055-1110) රජු සොලී ආක්‍රමණ මැඩපවත්වා අනුරාධපුරයේදී රාජාභිෂේක ලද්දේ වී නමුත් ඔහු  පොළොන්නරුව තම රාජධානිය කරගත්තෙන් දළදා වහන්සේ පොළොන්නරුවට වැඩම කරවීය. දළදා වහන්සේ වඩා හිඳුවීම සඳහා ඔහු පොළොන්නරුවේ අටදාගේ නමින් දළදා මාලිගාවක් කරවීය. එමෙන්ම ඔහු දළදා වහන්සේගේ ආරක්ෂාව වේලක්කාර හමුදාවට පැවරීය.

අටදාගේ පොළොන්නරුව

දෙවන වික්‍රමබාහු රජ සමයේ (ක්‍රි.ව.1111 – 1132) ඇතිවූ ආක්‍රමණ හා වික්‍රමබාහු රජුගේ දුෂ්ට ක්‍රියා නිසා රටේ සිටි සිල්වත් භික්ෂූන් වහන්සේලා දන්ත ධාතුන් වහන්සේ හා පාත්‍රා ධාතුව රැගෙන රුහුණට පලා ගියහ. දළදා වහන්සේ රුහුණේ මානාභරණ රජතුමා භාරයේ පැවති අවධියේ එය රුහුණේ රම්බා විහාරයේ තැන්පත් කොට තිබූ බව කියවේ.

රම්බා විහාරය අම්බලන්තොට (පින්තුරය අන්තර්ජාලයෙනි)

මානාභරණ රජු භාරයේ තිබුණු දළදා වහන්සේ හා පාත්‍රා ධාතුව ඔහුගේ මවවූ  සුගලා දේවියට භාරදී තිබිණ. ඇය එම ධාතුන් වහන්සේලා වර්තමාන මොනරාගල ප්‍රදේශයේ සඟවා තැබූ බවක් කියවේ. මහා පරාක්‍රමබාහු රජතුමා (ක්‍රි.ව.1153-1186) පොළොන්නරුවේ රජවූ පසු ඔහු එම ධාතූන් වහන්සේලා රැගෙන එන ලෙස රක්ඛ සෙනෙවියා පිටත් කළේය. සුගලා දේවිය එම ධාතූන් වහන්සේලා රැගෙන පලා යාමට උත්සාහ කළත් පරාක්‍රමබාහු රජුගේ සේනාව එම ධාතූන් වහන්සේලා අත්පත් කරගෙන පොළොන්නරුවට පැමිණියහ.  පොළොන්නරුවේදී මහා පරාක්‍රමබාහු රජතුමා පෙර ගමන් කොට  ධාතූන් වහන්සේලා පිළිගෙන රජතුමා පැළඳ සිටි ආභරණ මුතු මැණික්, සුවඳ දුම් ආදියෙන් පූජා පැවැත්වීය.

මහා පරාක්‍රමබාහු රජතුමාද දළදා වහන්සේ වෙනුවෙන් දළදා මාලිගයක් මහේන්ද්‍ර නම් ඇමතිවරයා ලවා  කරවූ බව වංශ කතාවල සඳහන් වෙතත් එය කුමක් දැයි මෙතෙක් හෙළිව ඇති බවක් නොපෙනේ.

මහා පරාක්‍රමබාහු රජතුමාගෙන් පසු රාජ්‍යත්වයට පත් නිශ්ශංකමල්ල රජතුමාද (ක්‍රි.ව.1187-1196) පොළොන්නරුවේ අටදාගෙය ආසන්නයේ හැටදාගේ නමින් දළදා මාලිගාවක් ඉදි කළේය.

හැටදාගේ – පොළොන්නරුව

පොළොන්නරු යුගයේදී කාලිංග දේශයෙන් පැමිණි මාඝ (ක්‍රි.ව.1215-1236) නම් රජෙක් ලංකාව ආක්‍රමණය කොට රට වනසමින් වසර විසි එකක් ලංකාව යටත් කරගෙන සිටියේය. මේ අවධියේදී පූජ්‍ය කොත්මලේ වාගීශ්වර නම්  ස්වාමින් වහන්සේනමක් ප්‍රමුඛ සංඝයා වහන්සේලා  පාත්‍රා හා  දන්ත යන ධාතූන්වහන්සේලාගේ ආරක්ෂාව සඳහා ඒවා කොත්මලේ පුසුල්පිටිය විහාරය ආසන්නයේ කන්දක  රහසිගතව නිධන්කොට පඬි රටටත් සොලී රටටත් පලාගොස් තිබිණ.

පුසුල්පිටිය විහාරය – කොත්මලේ (පින්තුරය අන්තර්ජාලයෙනි)

ආක්‍රමණිකයන් පරදවා ජයගෙන දඹදෙණිය තම රාජධානිය කරගත් තුන්වන   විජයබාහු රජතුමාට (ක්‍රි.ව.1232-1236) දළදා වහන්සේ හා පාත්‍රා ධාතුව කොත්මලේ සඟවා ඇති බව දැන ගන්නට ලැබිණ. එතුමා  ලංකාවෙන් පලාගිය පූජ්‍ය කොත්මලේ වාගීශ්වර ආදී ස්වාමින්වහන්සේලා ආපසු වැඩමවාගෙන දන්ත ධාතුව හා පාත්‍රා ධාතුව ලබාගෙන  පෙරහරින් දඹදෙණියට වැඩම කරවිය. ඒවා ආරක්ෂා කරගෙන පුද පුජා පැවැත්වීම සඳහා බෙලිගල පර්වත මස්තකයේ දළදා මාලිගාවක් ඉදිකරවා ඇත. එමෙන්ම එතුමාගේ නමින් විජයසුන්දරාරාමය නමින් විහාරයක්ද කරවිය.

විජයසුන්දරාරාමය – දඹදෙණිය

විජයබාහු රජතුමා පොළොන්නරුව ප්‍රතිසංස්කරණය කොට රාජාභිෂේක උත්සවය එහිදී පවත්වනු ලදී. මේ උත්සව සමයේ දඹදෙණියේ සිට පොළොන්නරුවට ධාතු පෙරහරක් පැවැත්වීය. තැන තැන නැවතෙමින් ගමන්ගත් මේ පෙරහැරේදී ජනතාවට ධාතු වන්දනාවට ඉඩ සැලසීය. පොළොන්නරුවට වැඩමවන ලද ධාතූන් වහන්සේලා පැරණි දළදා මාලිගාවේ තැන්පත් කොට තුන් මසක් තිස්සේ පූජාවන් පවත්වනු ලැබිණ.

යාපහුව දළදා මැදුර

දඹදෙණි සමයේ සිදුවූ කුමන්ත්‍රණයක් හේතුවෙන් පණ්ඩිත පරාක්‍රමබාහු රජුගෙන් පසු රජවූ බෝසත් (4වන) විජයබාහු රජතුමාට (ක්‍රි.ව.1270-1272) රාජ්‍ය කළ හැකිවූයේ දෙවසරක් පමණි. මිත්‍ර නම් ඇමතියෙක් රජු ඝාතනය කොට සිංහාසනාරූඩවූ  බැවින් රජුගේ සොහොයුරු බුවනෙකබාහු යාපහුවට පලාගියේය. පසුව උපක්‍රමයෙන් මිත්‍ර නම් ඇමති ඝාතනය කොට බුවනෙකබාහු (ක්‍රි.ව.1272-1284) රාජ්‍යත්වයට පත්ව යාපහුව සිය රාජධානිය කරගත් බැවින් ධාතූන්  වහන්සේලා යාපහුවට වැඩමවන ලදී. දළදා වහන්සේ යාපහුවේ වැඩ සිටියේ වසර එකොළහක කාලයක් පමණි. ඉන්පසු පඬි රට ආර්ය චක්‍රවර්ති නම් ද්‍රවිඩ සෙන්පතියෙක් විශාල සේනාවක් කැටිව පැමිණ යාපහුවට කඩාවැදී දළදාවහන්සේ ඇතුළු බොහෝ වස්තුව පැහැරගෙන පඬි රටට ගියේය. එහිදී දළදා වහන්සේ කුලසේකර නම් රජෙකුට භාරදී ඇත.

පසුව තුන්වන පරාක්‍රමබාහු (ක්‍රි.ව.1287-1293) රජවීමෙන් පසු දක්ෂ යෝධයන් කීපදෙනෙක් කැටුව පඬි රටට ගොස් පඬි රජු සමග මිත්‍රත්වයෙන් සාකච්ඡා කොට දළදා වහන්සේ ආපසු ලංකාවට වැඩම කරවා එය පොළොන්නරු දළදා මාලිගාවේ තැන්පත් කොට පොළොන්නරුවේ වාසය කරමින් දළදා වහන්සේට පුද පූජා කළේය.

තුන්වන පරාක්‍රමබාහු රජුගෙන් පසු රාජ්‍යත්වයට පත්වූ දෙවන බුවනෙකබාහු (ක්‍රි.ව.1293-1302) කුරුණෑගල සිට දෙවසරක් රජකම් කොට අභාවයට පත්වූයෙන් ඔහුගේ පුත් පණ්ඩිත පරාක්‍රමබාහු (ක්‍රි.ව.1302-1326) රජතුමාද කුරුණෑගල සිය රාජධානිය කර ගත්තේය. ඔහු තුන් මහල් දළදා මන්දිරයක් කරවා එහි දළදාව වඩා හිඳු වීය. ඔහු දළදා සිරිත නම් පොතක් ලියා ඒ අනුව නීති පතා දළදා තේවාව කළේය.  පන්සිය පනස් ජාතක පොත රචනා කළේද මෙතුමාය.

හතරවන බුවනෙකබාහු රජතුමා (ක්‍රි.ව.1341–1351) ගම්පොල සිය රාජධානිය කරගත් අතර කොත්මලේ පුසුල්පිටිය විහාරස්ථානයේ ටැම්පිට විහාරයක් තනවා එහි  දළදා වහන්සේ තැන්පත් කොට තේවාවන් ඉටුකල බව හා ඉන්පසු එම ගම්පොල නගරයම  තම රාජධානිය කොටගෙන  රාජ්‍යත්වයට පත් පස්වන පරාක්‍රමබාහු (ක්‍රි.ව.1351-1359) හා පණ්ඩිත වික්‍රමබාහු (ක්‍රි.ව.1359-1374) යන රජවරුන් එකල දළදා වහන්සේ ගම්පොල නියම්ගම්පාය විහාරස්ථානයට වැඩමවූ බවකුත්  පැවසේ.

නියම්ගම්පාය විහාරය – ගම්පොල (පින්තුරය අන්තර්ජාලයෙනි)

පණ්ඩිත වික්‍රමබාහුගෙන් පසුව රජවූ භුවනෙකබාහු (ක්‍රි.ව.1372-1408) රජු තම රාජධානිය කරගත්තේ කෝට්ටේය. එතුමාද රිදී හත් දහසකින් දළදා කරඬුවක් කරවා දළදාව එහි තැන්පත් කළේය. ඉන් පසු රජවූ වීරබාහු දළදා වහන්සේ ගම්පොල සිට  කෝට්ටේ නගරයට වැඩම කරවූ බව පෙනේ.  හතරවන පරාක්‍රමබාහු රජතුමා දළදා වහන්සේ වෙනුවෙන් තුන් මහල් දළදා මන්දිරයක් කෝට්ටේ ඉදි කළේය.

කෝට්ටේ දළදා මැදුර (පින්තුරය අන්තර්ජාලයෙනි)

ක්‍රිස්තු වර්ෂ 1505 නොවැම්බර් 15 වනදා පෘතුගීසීහු  ලංකාවට පැමිණියහ. ඉන් පසු ක්‍රමයෙන් කෝට්ටේ රාජධානියේ අවුල් වියවුල් ඇතිවන්නට විය. කෝට්ටේ හත්වන බුවනෙකබාහු (ක්‍රි.ව.1521-1551) රජතුමා ලංකාවේ ආරක්ෂාව පෘතුගීසීන්ට භාරදුනි. හත්වන බුවනෙකබාහු රජුට පුතුන් නොසිටියෙන් ඔහුගේ අභාවයෙන් පසු කෝට්ටේ රජ බවට පත්කර ගත්  ධර්මපාල (ක්‍රි.ව.1551-1597) කුමරු පෘතුගීසීන්ගේ රූකඩ රජෙක් බවට පත්විය. ඔහු  ක්‍රි.ව. 1557 දී දොන් ජුවන් ධර්මපාල නමින්   ක්‍රිස්තියානි ආගම වැළඳ ගති. ඔහු කෝට්ටේ දළදා මාලිගාවේ තිබුණු වස්තුව ක්‍රිස්තියානි පල්ලිවලට  බෙදා දී ඇත. මෙකල බුදුදහම අදහන්නවුනට ඉතා අභාග්‍යසම්පන්න කාලයක් වූ බැවින් දළදා වහන්සේගේ ආරක්ෂාව පිළිබඳව ගැටළු ඇතිවිය. මෙකල දළදා වාහන්සේ වරක් කුරුනෑගල රිදී විහාරයටද වැඩමවූ බව සඳහන්වේ.

එකල දියවඩන නිලමේ වූ කීරවැල්ලේ හිරිපිටියේ නිලමෙ තුමාට  මහලු පුද්ගලයෙක් සිහිනෙන් පෙනී සිට

“කෝට්ටේ කලාලේ කිසිල්ලේ – දත මැදගන්න රාලේ”  යයි කීවේලු. ඔහු එය   දළදා වහන්සේගේ ආරක්ෂාව සඳහා දළදාව රට මැදට ගෙනයන ලෙස දුන් උපදෙසක් බව  වටහාගෙන ඇත් දැලින් කළ කෘතීම දළදා අනුරුවක් දළදා කරඬුවේ තැන්පත් කොට නියම දළදා වහන්සේ කොපුවක බහා තම සිරියේ  කොපුවේ සඟවාගෙන   පූජ්‍ය, දෙවනගල රතනාලංකාර ස්වාමින්වහන්සේ සමග සීතාවකට වැඩමවා සීතාවක මායාදුන්නේ රජුට (ක්‍රි.ව.1521-1581) බාර දුන්නේය.  කෝට්ටේ දළදා කරඬුවේ තිබුණු කෘතිම දළදාව පෘතුගීසීන් විසින් නියම දළදා වහන්සේයයි සිතා  විනාශ කොට ඇත.

මායාදුන්නේ රජු තම අතට පත්වූ නියම දළදා වහන්සේ සීතාවක රාජධානියට අයත් දෙල්ගමුව විහාරයේ වැඩසිටි ෂට් භාෂා පරමේශ්වර පූජ්‍ය මහින්දාලංකාර නාහිමියන්ට භාරදී තිබේ.  මහින්දාලංකාර නාහිමියෝ දළදා වහන්සේ විහාරගෙයි ප්‍රතිමා සඳහා ගල් වැලි ආදිය අඹරා ගැනීමට යොදා ගන්න යෝධ  කුරහන් (ඇඹරුම්) ගලක් තුල සඟවා කීරවැල්ලේ හිරිපිටියේ නිලමෙ තුමා සමග තේවා හා පූජා කටයුතු ඉටු කොට ඇත. වසර හතලිස් තුනක් තිස්සේ දළදා වහන්සේ දෙල්ගමුව විහාරය භාරයේ තිබුණි.

කුරුවිට දෙල්ගමුව විහාරය
කුරුවිට දෙල්ගමුව විහාරයේ සිතුවමක්
දෙල්ගමුව විහාරයේ දළදාව සඟවා තිබූ කුරහන් ගල

කලක් යත්ම දෙල්ගමු විහාරයේ දළදා වහන්සේ වැඩ සිටින බව සතුරන් විසින්ද දැනගනු ලැබූවෙන් දළදාවේ ආරක්ෂාව සඳහා තවත් කෘතීම දළදා තනා තිබේ. ආරක්ෂාව පිළිබඳව සැක ඇතිවූ විට  දළදා අනුරුව විහාරයේ තැන්පත් කොට  නියම දළදා වහන්සේ රැගෙන පූජ්‍ය මහින්දාලංකාර නාහිමියෝ පලාබද්දල වැනි පෙදෙස් වලට  වැඩම කොට ඇත. සීතාවක රාජසිංහ (ක්‍රි.ව.1581-1592) රජු හින්දු ආගම වැළඳගෙන බෞද්ධ උරුමයන් විනාශ කරමින් කටයුතු කළත්, දළදා වහන්සේගේ භාරකාරත්වය හිමි තැනැත්තා ලංකාවේ රජු වශයෙන් පිළිගැනීමක් තිබුණු නිසාදෝ සීතාවක රාජසිංහ රාජ්‍යත්වය දැරූ එකොලොස් වසර තුල ඔහුගේ අනුග්‍රහයෙන්  එකොලොස් වසරක්ම දළදා වහන්සේ රත්නපුර සමන් දේවාලයට වැඩමවා දළදා පෙරහරද පවත්වා තිබේ. එමෙන්ම ඔහු දෙල්ගමුව, කුට්ටාපිටිය, පැල්මඩුල්ල, ගනේගොඩ, හඳගිරිය, මස් ඉඹුල ආදී ගම් දළදා වහන්සේට පිදූ බව සඳහන්වේ.

මහනුවර රාජධානිය කොටගෙන පළමුවන විමලධර්මසූරිය (ක්‍රි.ව.1592-1604) රාජ්‍යත්වයට පත්වූ පසු එතුමා දළදා වහන්සේ මහනුවරට වැඩමවීමට කටයුතු කළේය. සීතාවක රාජ්‍යයට අයත්ව තිබූ දළදා වහන්සේ මහනුවර රාජධනියට වැඩමවීම රහසිගතව සිදුකළ යුත්තක් විය. එහෙයින් එය ඌව ප්‍රදේශය හරහා මහනුවරට වැඩමවා මහනුවර දළදා මාලිගයක් ඉදිකරන තෙක් අස්ගිරි ආදාහන මලුව ගෙඩිගේ  විහාරයේ තැන්පත් කළ බව කියති. පළමුවන විමලධර්මසූරිය රජතුමා මහනුවර තෙමහල් දළදා මැදුරක් රජ මාලිගාව සමීපයේම ඉදිකොට දළදා වහන්සේ ඊට වැඩමවා පූජා සත්කාර කළේය.

පසුව පෘතුගීසීන්ගෙන් එල්ලවුණු ප්‍රහාරයන්ගෙන් දළදා වහන්සේ ආරක්ෂා කර ගැනීමට එය මැද මහනුවර විහාරයට වැඩමවන ලදී.  විමලධර්මසූරිය රජතුමා ඉදිකළ දළදා මාලිගය පෘතුගීසීන් විසින් විනාශ කරන ලද බැවින් පසුව රජවූ දෙවන රාජසිංහ රජතුමා (ක්‍රි.ව.1635-1687) දෙමහල් දළදා මාලිගාවක් තනා දළදා වහන්සේ එහි තැන්පත් කොට පූජා කටයුතු කළේය.

ලන්දේසීන් ක්‍රි.ව. 1765 දී මහනුවර ආක්‍රමණය කළ බැවින් කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා  දළදා වහන්සේ හඟුරන්කෙතට සහ බදුල්ලට වැඩමවා ආරක්ෂා කළේය. ලන්දේසීන් විසින් මෙම  දළදා මාලිගාවද විනාශ කරන ලදී. දෙවන විමලධර්මසූර්ය රජතුමා නැවත දළදා මාලිගාව තෙමල් කොට ඉදිකර දළදා වහන්සේ නැවත තැන්පත් කොට පූජා හා තේවාවන් කරන ලදී. වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා දළදා  මාලිගාව නැවතත් දෙමහල් කොට ඉදිකරන ලදුව  එය තුල  අද දක්වාම දළදා වහන්සේ වැඩ වසති.

1802 දී ඉංග්‍රීසීන් මහනුවර ආක්‍රමණය කළ විට ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා දළදා වහන්සේ උඩ හේවාහැට කිතුල්පේ රන්පත්ගේ විහාරයේ  හා වෑගම ලෙන් විහාරය  යන විහාරස්ථානවල සඟවා ආරක්ෂා කළේය. පසුව නැවත දළදාව හඟුරන්කෙත, අරක්කන, මැදපිටිය, වල්ලිවල සහ කුන්ඩසාලේ ආදී ස්ථානවලද තැන්පත්කොට තබා දළදා මාලිගාවට වැඩමවා ඇත.

1811 අග භාගයේදී ඇතිවූ කලබල නිසා රඹුක්වැල්ලේ නම් ස්වාමින්වහන්සේ  නමක් දළදාව බඹරගල, තලගුනේ, මැදිවක විහාරය, ගම්පහ, ගම් දෙක, ප්‍රදේශ වලට හා බිම්තැන්නේ වනය තුලටද රැගෙන ගොස් දළදා වහන්සේට ආරක්ෂාව සලසන ලදී.

1815 මාර්තු දෙවන දා දළදා වහන්සේගේ අයිතිය ඉංග්‍රීසීන්ට පැවරිණ. ඒ වන විට දළදාව කොත්මලේ ප්‍රදේශයේ සඟවා තිබිණ. 1815.04.06 දින සිට 22 දින දක්වා දළදා වහන්සේ කරඬුවක බහා කොත්මලේ පුසුල්පිටිය විහාරයේ සපු ගසක බෙනයක් තුල සඟවා තිබිණ.  1815.03.27 දින  බ්‍රිතාන්‍ය පාලකයන් අධිකාරම්වරුන් සමග සිදු කරන ලද සාකච්ඡාවලින් පසු සඟවා තිබූ දළදා වහන්සේ නැවත මහනුවර දළදා මාලිගාවට වැඩමවීමට එකඟවී ඇත. ඒ අනුව කොත්මලේ සිට දළදා වහන්සේ මහනුවර හිඳගල විහාරයට වැඩමවා ඇත. ඉන්පසු 1815.04.24 දින බ්‍රිතාන්‍යයන්ගේ තුර්යනාද සහිත පෙරහරින් ඇතු පිටින් දළදාව මහනුවර දළදා මාලිගාවට වැඩමවා ඇත.

දළදාව සඟවා තැබූ සපු ගස – දළදා සපුව පුසුල්පිටිය විහාරය
හිඳගල විහාරය
දළදා වහන්සේ වැඩසිටින මාලිගය
දළදා අසල පෙරහරේ අතු පිට ගෙනයන දළදා කරඬුව
දළදා  පෙරහැරේ ඇතු පිට ගෙනයන දළදා කරඬුව

මෙසේ 1815 සිට 1847 දක්වා ඉංග්‍රීසීන්ගේ භාරයට පත්ව තිබූ දළදා වහන්සේ 1853.04.07  දින රාජ ආඥා පත්‍රයෙන් මල්වතු හා අස්ගිරි උභය මහා විහාරයේ ගෞරවනීය මහානායක ස්වාමීන්වහන්සේලාට හා දියවඩන නිලමේට භාරකරන ලදුව එතැන් සිට අද දක්වාම එතුමන්ලාගේ ගෞරවනීය සංඝ පරම්පරාවේ හා දියවඩන නිලමේලාගේ භාරකාරත්වය යටතේ සකල ලෝ වාසීන්ගේ ගෞරව බහුමානයට හා වන්දනාවට පාත්‍ර වෙමින් මහනුවර දළදා මාලිගාවේ වැඩ වෙසෙති.

පහත මාලය දළදා මාලිගාව
Dalada Maligawa

එන්.එච්. සමරසිංහ.  2020. 11. 23.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.