මචු පික්චු Machu Picchu

පේරුහි ඇන්ඩීස් කඳු වැටියේ ඇමේසන් ද්‍රෝණියේ නිවර්තන කදුකර වනාන්තරයේ  මුහුදු මට්ටමේ සිට අඩි 8000 ක් පමණ ඉහලින් ( මීටර් 2430), කුස්කෝ නගරට කිලෝ මීටර් 80 ක් පමණ වයඹ දෙසින් පිහිටි මචු පික්චු ඉන්කා වරුන්ගේ අත්හැර දමන ලද රජ මැදුරු, නේවාසික හා ආගමික ගොඩනැගිලි සංකීර්ණයකි. උරුබම්බා ගඟ මචු පික්චු පිහිටි කඳු වැටියේ පැති තුනක් වටා ගලා බසී. මචු පික්චු  හා හුවානා පික්චු යන කඳු දෙක අතර නිම්නයේ පිහිටි මේ නගරය සංවර්ධිත සමයේ 1200 ක පමණ ජනතාවක් වාසය කොට ඇති අතර ආගමික හා නේවාසික ගොඩනැගිලි 200 ක් පමණ තිබී ඇත. ක්‍රිස්තු වර්ෂ 1460-70 පමණ කාලයේ පචාකුතෙක් නම් ඉන්කා රජ සමයේ සංවර්ධනය කෙරුණු මේ භූමිය පේරු රාජධානිය 1532 දී ස්පාඥ්ඥය විසින් ආක්‍රමණය කිරීමෙන් ටික කලකට පසු පරිහානියට පත් විය. පසුව මිනිස් පහසින් ගිලිහී ගිය මේ භූමිය නැවත 1911 දී අනාවරණය කර ගන්නා ලද්දේ යේල් විශ්ව විද්‍යාලයේ දකුණු ඇමරිකානු ඉතිහාසය පිළිබඳ මහාචාර්ය වරයෙකු හා ගවේශකයෙකු වන හිරාම් බින්හැම් විසිනි.

ස්වාභාවික පරිසරය සමග කදිමට ගැලපී යනසේ දැඩි කඳු බෑවුමක ඉහල හා පහල යනුවෙන් වෙන් කළ කොටස් දෙකක පුළුල් මාර්ග, පිය ගැට පෙළ සහිතව රාජකීය, ආගමික ගොඩනැගිලි හා නේවාසික ගොඩනැගිලි සහිත නාගරික කලාපයක් හා ගබඩා ආදිය සහිත ගොවිබිම් කලාපයක් ගොඩ නගා  තිබී ඇත. මෙහි ගොඩනැගිලි ඉදිකොට ඇත්තේ විශාල ගල් කුට්ටි වලිනි. භුමි කම්පා වලට ඔරොත්තු දෙන ශිල්පීය ක්‍රම භාවිතයෙන් පිරිමි හා ගැහැණු ගල් ලෙස ගලපා බදාම භාවිතයෙන් තොරව හා සුවිශේෂී බදාම වර්ගයක් භාවිතා කොට ගොඩනැගිලි ඉදිකර ඇත. මේ ගල් කොතරම් සුක්ෂම ලෙස පිරිවද්දා ඇද්දැයි කිවහොත් මේ ගල් දෙකක් අතරින් ඉතා සියුම් පිහිතලයක් වුව ඇතුළු කළ නොහැකිය.

හිරු දෙවියන් සඳහා ඉදිකළ ගොඩනැගිලි මේ පරිශ්‍රයේ වැදගත් තැනක් උසුලයි. සූර්ය නිවෘත්තියේදී මධ්‍ය දේවාලය    ආලෝකමත් වීමට හිරු කිරණ හරියටම ඊට එල්ල වන ආකාරයට ජනෙල් තුනක් සහිතව ඉදිකොට ඇති අර්ධ කවාකාර ගොඩනැගිල්ල හා  ශීත සෘතුවේ සූර්ය නිවෘත්තියේදී හිරු ඔවුන් අතහැර යනවාට හිරු බැඳ තබන Intihuatana නම් ශෛලමය නිමවුමක් ඒ අතර කැපී පෙනේ. නොවැම්බර් 11 වෙනිදා හා ජනවාරි 30 වනදා මද්දහනේ හිරු මුදුන්වූවිට  මෙහි සෙවනැල්ල නොපෙනී යන බවත් ජුනි 21 වනදා හා දෙසැම්බර් 21 වනදා මෙහි දිගම සෙවනැල්ල දැකිය හැකි බවත් කියති. මෙය තාරකා විද්‍යාත්මක ඔරලෝසුවක් හා දින දර්ශනයක් බවට විශ්වාස කෙරේ.



Intihuatana
Funerary Stone

Temple of the Condor යනුවෙන් හැඳින්වෙන ස්ථානයේ බිම ත්‍රිමාන කුරුල්ලෙකුගේ හිස සහ බෙල්ලේ පිහාටු හැඩයෙන් කැටයම් කළ ගලක් වෙයි. එය පූජාසනයක් (sacrificial altar) ලෙසට භාවිතා කරන්නට ඇතැයි ඉතිහාසඥයෝ විස්වාස කරති. මේ දේවස්ථානය යට ඇත්තේ සිර මැදිරි බවට අනුමාන කෙරේ.

Temple of the Condor

මේ භුමියේ අර්තාපල් හා තිරිඟු වගාකොට තිබී ඇත. මේ වගාවන්ගෙන් උපරිම ඵල නෙළා ගැනීම සඳහා සුක්ෂම ලෙස නිමකළ වාරි මාර්ග ක්‍රමයක් හා පස සෝදා යාම වැලැක්වීමට සමෝච්ඡ රේඛා අනුව ගල් බැමි යොදා සංරක්ෂණය කළ තට්ටු ආකාරයේ ලියදිවල වගා කිරීමේ තාක්ෂනය යොදාගෙන ඇත.

තට්ටු ආකාරයේ ලියදි

නව පුදුම හතෙන් එකක් ලෙස හඳුන්වන, හෙක්ටෙයාර් 32,592 පුරා පැතිරුණ මේ භුමිය 1983 සිට යුනෙස්කෝව මගින් ලෝක උරුමයක් ලෙස නම් කොට ඇත. මෙහි ජෛව විවිධත්වයද ඉහලය. Alpaca නම් සත්වයා මේ ප්‍රදේශයේ වාසය කරන විශේෂිත සත්වයෙකි. Llama සත්වයාද නිතර දැකිය හැකිය.

Llama

මේ ස්ථානයේ මේ නගරය පිහිටවීමට හේතුව මෙතෙක් නිශ්චිතව නිගමනය කොට නොමැත. රජුට විවේකය ගත කිරීමට, තාරකා විද්‍යාත්මක පරීක්ෂණ කිරීමට, කෘෂි පර්යේෂණ කිරීමට හා සිර කඳවුරක් ලෙස භවිතා කිරීමට ආදී නොයෙක් හේතු මෙය ඉදිකිරීමට හේතුවූවා විය හැකිය.   

එන්.එච්. සමරසිංහ.  2021. 01. 15

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.