නාලන්ද ගෙඩිගේ

මහනුවර, අනුරාධපුරය හා පොළොන්නරුව ඓතිහාසික රාජධානි තුනට මැදිව පිහිටි නාලන්ද අතීතයේ සිටම ආරක්ෂක සංවිධාන කටයුතු අතින් වැදගත් ප්‍රදේශයක්ව පැවතුනි. පළමුවන පරාක්‍රමබාහු රජතුමා රාජ්‍යත්වය ලැබීමට පෙර රුහුණේ මානාභරණ හා පොළොන්නරුවේ ගජබාහු සමග සටන් කරද්දී නාලන්දෙහි බලකොටුවක් තනාගෙන තිබුණු බව කියවේ. 1818 උඩරට මහ කැරැල්ල සිදුවූ කාලයේ බිතාන්‍ය හමුදාව නාලන්දේ හමුදා මුලස්ථානයක් පවත්වාගෙන ගොස් ඇත. එහෙත් ඊට වඩා නාලන්ද ශ්‍රී ලාංකික ජනතාවට වැදගත් වන්නේ එහි සුවිශේෂී ආගමික මධ්‍යස්ථානයක්  ඉදිකර තිබුණු නිසාය. ඒ ආගමික මධ්‍යස්ථානයේ ගොඩනැගිලි අතර   නාලන්ද  ගෙඩි ගෙය නම් ප්‍රතිමා ගෘහය ප්‍රමුඛවේ.

මහනුවර සිට යාපනය බලා දිවෙන A 9 පාරේ මහනුවර සිට කිලෝ මීටර් 48 ක් පමණ ගොස් නාලන්ද ගෙඩිගේ පාරේ කිලෝ මීටර් 1.2 පමණ ගිය විට ගඩොල් ප්‍රාකාරයකින් වටවූ  ස්ථුපයක් හා බෝධියක් සහිත  පරිශ්‍රයක පිහිටි නාලන්ද ගෙඩිගෙය හමුවේ.

නාලන්ද ගෙඩි ගෙය ශෛලමය නිර්මාණයකි.  දිගින් මීටර් 15  පමණ ද පළලින්  මීටර් 11  ක් පමණ ද වන පාදමක් සහිත වේදිකාවක්  මත මීටර් 10 පමණ උසට මේ ගොඩනැගිල්ල නිමවා ඇත. මේ පාදම කැටයම් සහිත ගල් වලින් නිමවා තිබේ. වේදිකාවට වැටෙන ජලය පිට කිරීමට වන පීලි ද සිංහ කැටයමින් අලංකාර කර ඇත.  

පාදමේ කැටයම්

දකුණු දෙස පාදමේ ඇති මිථුන කැටයම අන් කිසිදු බෞද්ධ පරිශ්‍රයක දක්නට නොමැති ආකාරයේ කැටයමකි. (තවත් මේ පරිශ්‍රයෙන් සොයාගත්  මිථුන කැටයමක් සහිත ශෛලමය කුළුණක් නාලන්ද කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරේ)

ගොඩනැගිල්ලට ප්‍රවේශ දොරටුව නැගෙනහිරට මුහුණලා ඇත. ප්‍රවේශ දොරටුව ඉදිරිපිට කුඩා වේදිකාවක් වෙයි. ඊට ගොඩවීමට සරල සඳකඩ පහනක් හා  සරල කොරවක් ගල් දෙකකින් යුක්ත පියගැට කීපයක් ඇත. දොරටුව දෙපස ඇත් රූ කැටයම් දෙකකි. දොරටුවට ඉහලින් ගජ ලක්ෂ්මි කැටයමක් දක්නට ඇත.

ගජ ලක්‍ෂ්මි කැටයම

දොරටුවෙන් ඇතුල්වනුයේ ගර්භ ගෘහය ඉදිරිපස වන මණ්ඩපයටයි. මේ මණ්ඩපයේ එක පෙළකට හතරක් බැගින් වන  කුළුණු පෙළකි. ඒ කුළුණුවල සතර පැත්ත  හා හිස කැටයම් සහිතය. මේ කුළුණු මණ්ඩපයේ වහල දරා සිටින්නට ඇත.

මණ්ඩපය

මේ ගොඩනැගිල්ලේ ප්‍රධානතම අංගය වන ගර්භ ගෘහය, ඒ වටා පැදකුණු කිරීමට හැකි වන ආකාරයට නිමවා ඇත. ගර්භ ගෘහයට පිවිසෙන කැටයම් කළ ශෛලමය දොරටුවට ඉහලින් විමාන පහක් හා ධ්‍යාන ඉරියව්වෙන් සිටින බුදුන් වහන්සේලා යයි සිතිය හැකි රූ දෙකකි.

දොරටුවට ඉහල කැටයම්

ගර්භ ගෘහය වර්ග මීටර් 8ක් 10 ක් පමණ වන කුඩා එකකි. එහි මැද  පද්මාසනයක් මත වැඩ හිඳින හිටි බුදු පිළිමයක්, පසෙකින් ඉහල කොටස හානියට පත්ව ඇති තවත් හිටි පිළිමයක කොටසක් හා අනෙක් පසින් හානියට පත්වූ තවත් පිළිමයක කොට කීපයක් දැකගත හැකිය. මේ බෞද්ධ ප්‍රතිමා වලට අතිරේකව ගණ දෙවි පිළිමයක් හා අවලෝකිතේශ්වර බෝධිසත්ව පිළිමයක් ද මේ කුටිය තුල තැන්පත් කොට ඇත.

බුද්ධ ප්‍රතිමාව
බෝධිසත්ව ප්‍රතිමාව

ගර්භ ගෘහයේ පිටත බිත්ති ද කැටයම් වලින් යුක්තය. ගෝ පුරක් වැනි වහල කොටස ද ගල් වලින්ම නිර්මාණය කොට ඇත. වහල කොටසේ දෙපස ඉහලින් කැටයම් සහිත උල් හැඩයේ ගල් දෙකක් පිහිටුවා තිබේ.  බිත්තිවල ද විවිධ කැටයම් ඇති අතර එක් කැටයමක් කුවේරගේ රුවක් යයි  සිතති. අනෙක් පස කැටයම හඳුනා ගත නොහැක.     

වහලේ කැටයම්

මේ සමස්ත ගොඩනැගිල්ළේ ආකෘතිය හා කැටයම් පිළිබඳව සලකා බලද්දී මෙය හින්දු පල්ලව ගෘහනිර්මාණ ශිල්පයේ අභාෂයෙන් ඉදිකරන ලද ගොඩනැගිල්ලක් බව පෙනී යයි. එමෙන්ම එය ඉන්දියාවේ මහබලිපුරම්හි ගනේශ රත්න වැනි පල්ලව ගොඩනැගිලි වලට නෑකම් කියයි.

මේ ගොඩනැගිල්ලට උතුරින් කුඩා ස්ථුපයක් හා වයඹ දෙසින් බෝධියක් තිබේ.

බෝධිය
ස්ථූපය

අද මේ ආකාරයෙන් මේ ස්මාරක මෙහි දැකගත හැකිව ඇත්තේ 1977 දී පමණ බෝවතැන්න ජලාශය ඉදිකිරීමට කටයුතු කළ බැවිනි. බෝවතැන්න ජලාශය ඉදිකිරීමේදී වෙල් යායක් සමීපයේ තිබුණු මේ ස්මාරක පිහිටි භුමිය  ජලයට යටවීමට නියමිතව තිබුණි. එහෙයින් එය එතැනින් ඉවත්කොට බෝවතැන්න ජල විදුලි යෝජනා ක්‍රමය පිහිටුවන ස්ථානයේ කඳු මුදුනක  ස්ථාපනය කරන්නට යෝජනා කොට තිබී ඇත. (මේ කාර්යය  ඊජිප්තුව අස්වාන් වේල්ල තැනීමේදී අබු සිම්බල් දේවාලය ගලවා වෙනත් තැනක නැවත ඉදිකිරීමේ කටයුත්ත හා සමාන කටයුත්තකි.) එහෙත් බොහෝදෙනාගේ ඉල්ලීම අනුව එය පිහිටි භූමියම උස්කොට එහිම නැවත ඉදිකරන්නට පියවර ගෙන ඇත. ඒ අනුව පහත් බිමේ තිබුණු ගොඩනැගිල්ල ක්‍රමානුකූලව ගලින් ගල ගලවා නැවත ගොඩනැගීමට හැකිවන පරිදි අංකනය කොට පුරාවිද්‍යා භූමියේ තැන්පත් කරනු ලැබිණ. මෙසේ ගලවනු ලැබීමේදී කලින් කරන ලද ගවේෂණවලදී මතුකර නොගත් ගොඩනැගිල්ලේ පදනමද අනාවරණය කර ගෙන ඇත.

ඉන් අනතුරුව ගෙඩිගේ ඇතුළු ස්මාරක පිහිටා තිබුණු චතුරශ්‍රාකාර භූමිය හා එහි ප්‍රවේශ මාර්ගය බෝවතැන්න ජලාශයට යට නොවන සේ  අඩි 23 ක් පමණ උස්වනසේ ගොඩකරනු ලැබිණ. පසුව 1980 දී පමණ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අංශ භාර මහාචාර්ය පී. එල්. ප්‍රේමතිලක මහතාවෙත පැවරී තිබූ කටයුතු අනුව ඒ මහතාගේ උපදෙස් හා මග පෙන්වීම් මත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රවීණ ශිල්පියෙකු වූ එම්. විමලදාස මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ ධෛර්යයෙන් මේ ගොඩනැගිල්ල ප්‍රතිනිර්මාණය විය. එය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලැබූ විශිෂ්ඨ සංරක්ෂණ කාර්යයකි. මේ කාර්යය ඉටු කිරීමේදී කලින් මේ ගොඩනැගිල්ල පාදාගෙන සංරක්ෂණය කිරීමේදී සිදුව ඇති අතපසුවීම් නිවැරදි කිරීමයට ද පියවර ගෙන ඇත. උස් කොට තැනූ භූමියේ ස්තූපය ද නැවත ඉදිකොට බෝධි වෘක්ෂයක් ද රෝපණය කර ඇත   මෙසේ නැවත ගොඩනැගූ නාලන්ද 1985 ජුනි මස 13 දින සිට මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත විය.

නාලන්ද ගෙඩි ගෙය  කුමන රාජ්‍ය කාලයක ඉදිකරන ලද්දේ දැයි අවිනිශ්චිතය. මෙම ස්ථානයේ තිබී සොයාගෙන ඇති, දැනට නාලන්ද කෞතුකාරයේ ඇති ටැම් ලිපියේ, අනිසි ලෙස හැසිරෙන විහාර කාර්මිකයින් විහාර භූමියෙන් නෙරපිය යුතු බවටත්, සොරුන්, මිනී මරුවන් වැන්නවුන් විහාරයට ඇතුළු නොවිය යුතු බවටත්, ආරාමය පිලිබඳ සියලු කටයුතු සංඝ සම්මුතියෙන් කළ යුතු බවටත් සඳහන්වේ. මේ ලිපියේ අක්ෂරවල ස්වරූපය අනුව එය 9 හෝ  10 සියවස්වල සටහන් කරන්නට ඇතැයි සැලකේ.  මේ කරුණු අනුව පැහැදිලි වන්නේ ඒ කාලය වන විට නාලන්ද දියුණු බෞද්ධ සිද්ධස්ථානයක්ව තිබී ඇති බවයි. මේ ගොඩනැගිල්ලේ දක්නට ලැබෙන පල්ලව ගෘහනිර්මාණ ශිල්පයේ දියුණුතම අවධිය හත්වන සියවස පමණ කාලය බව සැලකේ. ඒ අනුව මේ ගොඩනැගිල්ල හත්වන සියවසේ පමණ ඉදි කරන්නට ඇතැයි සැලකේ. මීට අමතරව තවත් ගොඩනැගිලි මේ පරිශ්‍රයේ තිබෙන්නට ඇති බව මෙහි අවට හා පිවිසුම් මාර්ගය දෙපස  දක්නට ලැබෙන නෂ්ඨාවශේෂවලින් පැහැදිලිවේ.

කාලයාගේ අවෑමෙන් වල්බිහිව ගිය මේ භූමිය 1853 ජුනි 24 දින බ්‍රිතාන්‍ය නිලධාරියෙකු විසින් නිරීක්ෂණය කර ඇත. පසුව 1893 දී එච්. සී. පී. බෙල් මහතා, ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුව මගින් ගෙඩි ගෙය තහවුරු කිරීමේ කටයුතු අරඹා ඇත. එහෙත් ඒ මහතා 1911 දී විශ්‍රාම ගියෙන්, ඉන් පසු එහි  වැඩ කටයුතු අඩාළ වී ඇත. 1953 දී සෙනරත් පරණවිතාන මහතා මෙහි මළුවේ පනා බැමි පාදාගෙන  නිධන් හොරුන් විසින් විනාශ කොට තිබූ  ස්තූපයේ ගවේෂණ කටයුතු කරන ලදී.   

 නාලන්ද  ථෙරවාද හෝ මහායාන බුදු දහම සරණ ගිය බැති මතුන්ට මෙන්ම හින්දු ආගම  අදහන බැතිමතුන්ට ද පොදුවේ වන්දනා මාන කළහැකිව තිබූ ආගමික මධ්‍යස්ථානයක්ව තිබෙන්නට ඇතැයි මෙහි දක්නට ලැබෙන කැටයම් හා ප්‍රතිමා අනුව විශ්වාස කළ හැකිය.

ලංකාවේ   උතුරු කෙලවරේ සිට පැමිණෙන බැතිමතුන්ටත් දකුණු කෙලවරේ සිට පැමිණෙන බැතිමතුන්ටත් නාලන්දාවට ළඟාවීමට එක හා සමාන කාලයක් ගතවිය හැකි වීම හා නැගෙනහිර මායිමේ සිට හා බටහිර මායිමේ සිට පැමිණෙන බැතිමතුන්ටත් නාලන්දාවට ලඟාවීමට එක හා සමාන කාලයක් ගතවිය හැකි වීම නිසා මෙය ලංකාවේ හරි මැද පිහිටි ලෙසත්, මේ පූජා භූමිය සියලු ආගම් අදහන  බැතිමතුන්ගේ ගරු බුහුමනට පාත්‍රවූ ස්ථානයක් නිසා අනුහස් ඇති බලවත් ස්ථානයක් ලෙසත් බොහෝදෙනා සලකන්නට ඇත. 

එන්. එච්, සමරසිංහ

2021.06.04

මුල් ඡායාරූපය හා දොරටුවට ඉහල කැටයම් ඡායාරූපය http://www.lankatraveldirectory.com වෙතිනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.