සොළොස්මස්ථාන

ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ හතක් ද, ඌව පළාතේ තුනක් ද, සබරගමු පළාතේ දෙකක් ද, උතුර, දකුණ, නැගෙනහිර හා බස්නාහිර පළාත්වල එකක් බැගින් ද ලෙස ලංකාවේ සතර දිග් භාගයේම පිහිටා ඇති   සිද්ධස්ථාන දහසයක් සොළොස්මස්ථාන යනුවෙන් හැඳින්වෙමින් බෞද්ධ සැදැහැතියන්ගේ නිරන්තර වන්දනාවට පාත්‍රවේ. ඒ මේ ස්ථාන ශාසනික හා ඓතිහාසික අතින් වැදගත් කමක් උසුලන බැවිනි.

බුදු රජාණන් වහන්සේ බුද්ධත්වයෙන් නව මසකට පසු දුරුතු පුර පසළොස්වක පොහොය දින දී පළමු වරට ශ්‍රී ලංකාවට වැඩම කළහ. ඒ වාලුකා නදී තෙර පිහිටි මහානාග නම් වනෝද්‍යානයේ සිටි යක්‍ෂ ගෝත්‍රිකයන් දමනය කිරීම සඳහාය. එහිදී දේශනා කරන ලද ධර්මය ශ්‍රවණය කිරීමෙන් සුමන දෙවියන් සෝවාන් ඵලයට පත් වූ බවත්, ඔහුගේ ඉල්ලීම පරිදි වන්දනා කිරීම සඳහා බුදු රජාණන් වහන්සේ කේශ ධාතු ස්වල්පයක් පිරිනැමූ බවත් වංශ කතාවල සඳහන් වේ.   

මහියංගනයේ යකුන් දමනය කිරීම – කැළණි විහාරයේ සිතුවමක්

බුදු රජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පස් වසරකට පසු ජේතවනාරාමයේ වැඩ වසද්දී දෙවන වරට ලක්දිවට වැඩම කළේ නාග දීපයේ චූලෝදර හා මහෝදර නා රජුන් අතර ඇතිවන්නට ගිය සටනක් සංසිඳවීම සඳහාය.    

බුදුරජානන් වහන්සේ ලක්දිවට වැඩම කරවන ලද තුන්වන අවස්ථාව වූයේ බුද්ධත්වයෙන් අටවන වසරේ දී කැළණි පුරවරයට වැඩම වීමයි. මේ අවස්ථාවේ දී බුදු රජාණන් වහන්සේ සමන් දෙවිඳුගේ ආරාධනයෙන් සමන්තකූට පර්වතයටත්, ඒ අවස්ථාවේ දිවා විහරණය සඳහා දිවා ගුහාවටත්, වැඩම කළහ. එමෙන්ම උන් වහන්සේ අනුරාධපුරයට වැඩම කොට මහමෙව්නාව පිහිටන භූමියටත්, ශ්‍රී මහා බෝධීන් වහන්සේ රෝපණය වන ස්ථානයටත්, ලෝවාමහාපාය පිහිටුවන තැනටත්, පිරිත්ලාගෙය, දන්තාදර නම් පොකුණ, ථූපාරාමය, රුවන් වැලි සෑය, මිහින්තලයේ සේල චෛත්‍ය, දිගා නකා වෙහෙර පිහිටන තැන ආදී ස්ථාන වලටත් වැඩි බව වංශ කතාවල කියැවෙයි.  

 මේ අවස්ථාවල දී උන්වහන්සේගේ පාදස්පර්ෂයට හා නිරෝධ සමාපත්ති සුවයෙන් විහරණයට ලක් වූ මෙම ස්ථාන වන්දනීය හා පූජනීය ස්ථාන ලෙස බෞද්ධ සැදැහැවත්හු සලකති. එහෙයින්

“මහියංගනං  නාගදීපං – කළ්‍යාණං  පදලාංඡනං

දිවාගුහං  දීඝවාපී – චේතියංච  මුතිංගනං

තිස්සමහා  විහාරංව – බෝධිං මරිච වට්ටියං

සුවණ්ණමාලී  මහා චේතියං –  ථූපාරාම භයාගිරිං

ජේතවනං සේලචේතියං –  තථා කාචර ගාමකං

ඒතේ සෝළස  ඨානානි –  අහං වන්දාමි සබ්බදා ”

යන ගාථාවෙන් මේ ස්ථාන නිරතුරුවම වන්දනා කිරීමට බෞද්ධ සැදැහැවතුන් පෙළඹී සිටිති.

මහියංගනය

මහියංගන දාගැබ

සොළොස්මස්ථාන අතර පලමු තැනට ගැනෙන්නේ ඌව පළාතේ බදුලු දිස්ත්‍රික්කයේ මහියංගනයේ ඉදිකොට ඇති මහියංගන චෛත්‍යයයි. එය බුදු රජාණන් වහන්සේගේ පළමුවන ලංකා ගමනේ දී සුමන දෙවිඳුන්ට දුන් කේශ ධාතු නිදන් කොට සුමන දෙවිඳුන් සත් රියනක් උසට තැනූ බව වංශ කතාවල සඳහන් වේ. (එකල මහජන ප්‍රසාදය දිනාගත් ප්‍රාදේශීය පාලකයින් දේවත්වයේ ලා බුහුමන් දැක්වූවා විය හැක) එහෙයින් මෙය බුදු රජාණන් වහන්සේ ජීවමාන කාලයේදීම තැනූ ලංකාවේ ප්‍රථම ස්තූපය බවට ද පත්ව ඇත. බුදුරජානන් වහන්සේ පිරිනිවන් පා, උන්වහන්සේගේ දේහය ආදාහනය කරද්දී සුරභූ නම් මහ රහතන් වහන්සේ නමක්  බුදුරජානන් වහන්සේගේ ග්‍රීවා ධාතුව රැගෙන විත් මේ සෑයේ නිධන් කොට සෑය දොළොස් රියන් කොට තැන වූ බව සඳහන් වේ. පසු කලෙක උද්ධ චුලාභය කුමරු මේ සෑය තිස් රියනක් කොට බැඳ වූ බවත්, ඉන් අනතුරුව දුටු ගැමුණු රජතුමා මේ සෑය අසූ රියනක් වනසේ කර වූ බවත් සඳහන් වේ. පසු කාලීනව වෝහාරික තිස්ස රජතුමා මෙයට ඡත්‍රයක් සවි කළ බවත්, චෝල ආක්‍රමණවලින් හානියට පත් මේ චෛත්‍යය පළමුවන පරාක්‍රම බාහු, නිශ්ශංක මල්ල ආදී රජවරු පිළිසකර කර වූ බවත් කියති.

යටත් විජිත සමයේ පසු කාලය වන විට මේ සෑය නටබුන් බවට පත්ව තිබිණ. එහෙයින් අස්ගිරි පාර්ශවයේ මහානායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මහියංගන දාගැබ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා සමිතියක් ආරම්භකොට ප්‍රතිසංස්කරණය  සැලසුම කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් උපදෙස් ඉල්ලා ඇත. ඒ අනුව මේ දාගැබ පිළිබඳව පරීක්ෂණ හා කැනීම් කටයුතු සෙනරත් පරණවිතාන මහතාගේ මූලිකත්වයෙන් සිදුකොට ඇත. මෙහිදී මේ දාගැබ වරින් වර ඉදිකිරීම් හා ප්‍රතිසංස්කරණය කිරීම් සිදු කොට ඇති බව තහවුරු වී ඇත.

ධාතු ගර්භයේ චිත්‍රයක්

මෙහිදී සොයාගෙන ඇති වැදගත්ම අංගය වනුයේ එකොලොස්වන සියවසට අයත්යයි සැලකෙන  එහි ධාතු ගර්භයයි. 1951 ජනවාරි තුන් වැනි දින මෙම ධාතු ගර්භය අස්ගිරි පාර්ශවයේ මහා නායක ස්වාමින් වහන්සේ, අධ්‍යාපන ඇමති, මුදල් ඇමති ආදීන් ඉදිරියේ විවෘත කරන ලදී. එහිදී ධාතු ගර්භයේ බිත්තිවල බිතු සිතුවම් ඇඳ තිබෙන බව දක්නට ලැබී ඇත. ඒ සමහර සිතුවම් හානියට පත්ව තිබුණ ද ඒවායේ කොටස් එකතුකොට පිළිසකර කිරීමට පුරාවිද්‍යා නිලධාරීන් සමත්ව ඇත. මේ සිතුවම් අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. මෙම සිතුවම්වල දක්නට ලැබෙන  බෝ ගසක් මුල වැඩ හිඳින බුදු රුවෙන් බුදු රජාණන්වහන්සේ බුද්ධත්වයට පත්වීම නිරූපනය කොට ඇති බව පෙනේ.   එහි ඇති අනෙක් සිතුවම්වලින් දැක්වෙන්නේ බුදුන් වහන්සේ වැඳ පුදා ගැනීමට පැමිණි දෙව් බඹුන්, විෂ්ණු, ශිව ආදී දෙවි වරුන්, සෘෂි වරුන් ආදීන් හා පරාජයට පත් වූ වසවර්ති මාරයා බවට විශ්වාස කෙරේ. මේ චිත්‍ර පොළොන්නරු යුගයේ පැරණිම චිත්‍ර ලෙස සැලකේ. ගර්භයේ තිබුණු නිදන් වස්තු අනුව මේ චිත්‍ර 11 සියවසට අයත් යයි නිගමනය කළ හැකි බව පරණවිතාන මහතා කියයි.  රතු, තැඹිලි, කහ, කළු හා සුදු පැහැයන්ගෙන් වර්ණවත් කොට ඇති මේ සිතුවම් සෞන්දර්යාත්මක අතින් උසස් නිර්මාණ ලෙස විචාරකයෝ දකිති.

මේ ධාතු ගර්භයේ ධාතු කරඬු,  බුදු පිළිම, තඹ කලස්, පහන්, හක් ගෙඩි, කාසි, ආභරණ, මැණික් ආදිය ද ලෝකඩ අශ්වාරෝහක ප්‍රතිමා හතරක්, යකඩ ත්‍රිශුල,  රන් කොඩි ආදී නිධන් වස්තු තිබී ඇත. මහියංගන දාගැබ අද පවත්නා ආකාරයෙන් ප්‍රතිසංස්කරණය කොට කොත් පළඳවා වැඩ අවසන් කොට ඇත්තේ 1961 දීය.

නාග දීපය

නාගදීපය

බුදු රජාණන් වහන්සේ දෙවන වරට ලක්දිවට වැඩම කළේ නාග දීපයටයි. එකල නාග දීපය පාලනය කළ මහෝදර නම් නා රජු “මිණි පළඟ” නම් පාරම්පරික වශයෙන් වටිනා මැණික් පුටුව තම දියනිය විවාහ කරදුන් චූලෝදර නම් බෑනාට දායාදයක් වශයෙන් දී ඇත. මහෝදරගේ දියනිය හදිසියේ අභාවයට පත් වූ බැවින් ඒ මැණික් පුටුව ආපසු දෙන ලෙස චූලෝදරගෙන් ඉල්ලා ඇත. මෙය ආපසු තම මාමාට දීමට විරුද්ධ වූ බැවින් දෙදෙනා අතර විශාල ගැටීමක් ඇතිවිය. මේ ගැටුමේදී මහෝදර නා රජුගේ මලනුවන් වූ  කැලණියේ මණිඅක්ඛිත නම් නා රජු ද මහෝදරට සහාය දීමට විශාල සේනාවක් සමග සුදානම්ව සිට ඇත. මෙසේ යුද්ධයක් ඇතිවුවහොත් විශාල මනුෂ්‍ය සංහාරයක් වියහැකි බව දුටු බුදු රජාණන් වහන්සේ ඒ ගැටුම වැළක්වීමට නාග දීපයට වැඩම කළහ. ඒ සමගම ජේතවනයේ කිරිපලු වෘක්ෂයකට අධිගෘහිත  සමිද්ධි සුමන නම් වෘක්ෂ දේවතාවා ද කිරි පලු ගස සේසතක් මෙන් රැගෙන පැමිණියේය. බුදු රජාණන් වහන්සේ නාග දීපයට  වැඩම කොට අහසේ සිට ප්‍රාතිහාර්ය දක්වා, ගැටුමට හේතු වූ මැණික් පුටුවේ හිඳ බන දේශනා කොට දෙ පිරිස සංසිඳ වූහ. අනතුරුව බුදු රජාණන් වහන්සේට පූජා කළ එම මැණික් පුටුව හා සමිද්ධි සුමන දේවතාව රැගෙන ආ කිරිපලු රුක ද නාගයින්ට තිළින කොට ඊට වැඳුම් පිදුම් කරන මෙන් දන්වා ඇත. නා රජ වරුන් එම සටන් බිමේ කිරි පලු වෘක්ෂය රෝපණය කොට චෛත්‍යයක් ද සාදා වැඳුම් පිදුම් කළහ. මෙම චෛත්‍යය කිරි පලු හෙවත් රාජායතන චෛත්‍යය ලෙස ප්‍රකට විය.

නාගදීප දාගැබ
නාගදීප පිළිමයක්

එදා යාපනය හඳුන්වා ඇත්තේ “නකදිව” හෙවත් “නාග දීපය” යනුවෙනි. යාපනයේ වල්ලිපුරම් නම් පෙදෙසින් හමුව ඇති රන් සන්නස කින් හෙළිවන්නේ වසභ රජු සමයේ අමාත්‍ය වරයෙකු වූ ඉසිගිරය නකදිව පාලනය කරන කල පියගුකතිස බදකර අතන නම් ස්ථානයේ විහාරයක් කරවන ලද බවයි. එමෙන්ම දෙවන අග්බෝ රජතුමා  නාග දිවයිනේ රාජායතන ධාතු ගෘහය කර වූ බව වංශ කතාවල සඳහන් වේ. යාපනයේ කදුරුගොඩ හෙවත් කන්දරෝඩෙයි යන ස්තානයෙන් ද බෞද්ධ පුරාවස්තු රාශියක් හමු වී ඇත. මේ අනුව බලන විට නාග දීපය යනුවෙන් හඳුන්වා ඇත්තේ මුලු යාපනය අර්ධද්වීපයම විය හැකිය.  

යටත් විජිත පාලන සමයේ උතුරුකරයේ ද වෙහෙර විහාර විනාශයට පත් විය. පසු කාලීනව නාග දීප විහාරය කොතැන පිහිටියේදැයි සොයා ගැනීමට පවා අපහසු විය. 1931 වසරේ දී  අම්බලන්ගොඩ, රන්දොඹේ සෝමසිරි තිස්ස නම් ස්වාමින් වහන්සේ නමක් යාපනයේ නයිනතිව් දුපතේ පිහිටි පුරාණ රජ මහ විහාරය එලි පෙහෙළි කොට බෞද්ධ ජනතාවට වන්දනා මාන කිරීමට ඉඩ සලසා දුන්හ. වර්තමානයේ නාගදීප විහාරස්ථානය යනුවෙන් හඳුන්වනු ලබන්නේ නයිනතිව් දුපතේ පිහිටි එම විහාරස්නථායයි.

කැලණිය

කැළණි විහාරය

බුදු රජාණන් වහන්සේ නාග දීපයට වැඩම කළ අවස්ථාවේ දී කැලණියේ සිටි මණිඅක්ඛිත නම් නා රජු ද නාග දීපයට ගොස් සිටි බැවින් ඔහු ද බුදු රජාණන් වහන්සේ ගෙන් බන අසා බුදුන් සරණ ගිය බව වංශ කතාවල සඳහන් වේ. මෙසේ මණිඅක්ඛිත නා රජුට බුදුන් වහන්සේ හමු වූ අවස්ථාවේදී තමන්ගේ රාජධානියට ද වඩින මෙන් බුදු රජාණන් වහන්සේට ආරාධනය කොට ඇත. මේ ආරාධනය පිළිගෙන උන් වහන්සේ බුද්ධත්වයෙන් වසර අටකට පසු පන් සියයක් මහ රහතන් වහන්සේලා ද සමග කැලණියට වැඩම කළහ. බුදු රදුන් කැළණි සෑය පිහිටි තැන රන් මණ්ඩපයක, මැණික් පුටුවක වැඩ හිඳ නා රජු ඇතුළු දෙව් මිනිස් පිරිවරට දහම් දෙසූහ. උන් වහන්සේ කැළණි ගඟෙන් ජලස්නානය කළ බව ද ප්‍රකටය.  පසුව  බුදු රජාණන් වහන්සේ වැඩ හිඳි මැණික් පුටුව නිධන් කොට කැළණි චෛත්‍යය ඉදි කරන ලදී. කැළණි විහාරය විහාරය යටාල තිස්ස රජු විසින් කරවන ලද බව වංශ කතාවල සඳහන් වන අතර කැළණි ස්තූපය ඉදි කරවන ලද්දේ කාවන් තිස්ස රජු බව පූජාවලියේ සඳහන් වේ. 

ක්‍රිස්තු පුර්ව දෙවන සියවසේ දී කැලණියේ රජ කළ තිස්ස නම් රජෙක් තම මෙහෙසිය සමග රහස් සබඳතාවයක් ඇතැයි සැක කොට රහතන් වහන්සේ නමක් උණු තෙල් කටාරමක ගිල්වා අපවත් කර වූ හෙයින් දෙවියන් කෝප වී මුහුද ගොඩ ගැලු බවත්, මෙයින් රාජ්‍යය බේරා ගැනීම සඳහා තිස්ස රජු තම දියනිය නැවක නංවා මුහුදේ පාකර හැරි බවත් වංශ කතාවල කියවේ. මේ කුමරිය මාගම දී බේරාගෙන කාවන් තිස්ස රජුගේ අග මෙහෙසිය කරගත් බව ද කියවේ.

අනුරාධපුර යුගයේ සිට චෝල ආක්‍රමණ දක්වාම කැලණිය ප්‍රධාන භික්ෂු මධ්‍යස්ථානයක් හා බෞද්ධයන්ගේ ගෞරවාදරයට ලක් වූ ස්ථානයකි. චෝල ආක්‍රමණ වලට පසුව කැළණි විහාරය පළමුවන ජය බාහු, තුන්වන විජය බාහු, දෙ වන පරාක්‍රම බාහු ආදී රජවරු කැලණිය නැවත ගොඩ නැගූහ.

පෘතුගීසි පාලන සමයේ කෝට්ටේ රජ කළ ධර්මපාල කුමරු ක්‍රිස්තු ධර්මය වැළඳගෙන කැළණි විහාරය පූජක වරුන්ට පවරා දී ඇත. ක්‍රි.ව. 1575 දී දියෝගු ද මෙලෝ නම් පෘතුගීසි කපිතාන් වරයෙකු කැළණි විහාරය විනාශ කොට ආගමික කටයුතු ද තහනම් කොට ඇත.  ඉන් ශත වර්ෂ දෙක හමාරකට පමණ පසුව කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ රාජ්‍ය කාලයේ දී වැලිවිට සරණංකර සංඝ රාජ ස්වාමීන් වහන්සේගේ අනුග්‍රහයෙන් දෙහිගස්පේ අත්ථදස්සී ස්වාමීන් වහන්සේවහන්සේ විසින් කැළණි විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන ලදී. මේ ප්‍රතිසංස්කරණවලදී  අඳින ලද නුවර යුගයේ බිතු සිතුවම්    පැරණි  විහාර මන්දිරයේ දක්නට ඇත. වර්තමාන කැළණි විහාරයේ ස්තූපය ධාන්‍යාකාරය. එහි උස අඩි 90 ක් පමණ වන අතර වට ප්‍රමාණය අඩි 180 ක් පමණ වේ.

පසු කාලීනව ගරා වැටෙමින් තිබූ විහාර මන්දිරය ප්‍රතිසංස්කරණය කිරීම හා නව විහාර මන්දිරයක් ඉදිකිරීම හෙලේනා විජේවර්ධන මැතිණිය විසින් කරවන ලදී. 1946 දෙසැම්බර් 28 දින නව විහාර මන්දිරයේ බුද්ධ ප්‍රතිමාවේ නේත්‍ර ප්‍රතිෂ්ඨාපානය කොට වැඩ අවසන් කරන ලදී. විශිෂ්ඨ කලා කරුවෙකු වූ සොයිලියස් මැන්දිස් මහතා පුරා වසර 18 තිස්සේ සිතුවම් කරන ලද නිර්මානාත්මක බිතු සිතුවම් වලින් මෙම විහාරස්ථානයේ වැදගත්කම වැඩි වී ඇත.

ශ්‍රී පාදස්ථානය

සමන්ත කූටයට වැඩම කරවීම – කැළණි විහාරයේ සිතුවමක් – සොයිලියස් මැන්දිස් මහතා

සමන්ත කූටය ලංකාවේ උසම කඳු මුදුන් අතරින් පස් වන තැනට ගැනෙන රත්නපුර දිස්ත්‍රික්කයේ ඇති මීටර් 2243 ක් උස හුදකලා කන්දකි.  බුදු රජාණන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනේදී  මහියංගනයේ දී හමුවී  බන අසා සෝතාපන්න තත්ත්වයට පත් වූ සුමන දෙවිඳුන්ගේ අඩවිය මෙයයි. කැලණියට වැඩම කළ බුදු රජාණන් වහන්සේට සුමන දෙවියන් විසින් තම අඩවියට ද වඩින ලෙස ආරාධනා කර ඇත. මේ ආරාධනය පිළිගත් බුදුන් වහන්සේ පන් සියයක් මහ රහතන් වහන්සේලා සමග සමන්ත කූටයට වැඩම කර ඇත. එහිදී උන් වහන්සේ සමන්ත කූටය මුදුනේ පිහිට වූ ඉන්ද්‍රනීල මාණික්‍යය මතුපිට තම ශ්‍රී පාදය තබා එහි පාද ලාංචනය පිහිට වූ සේක. එහෙයින් ඉන් පසු එය පූජ්‍යත්වයට පත්කොට වන්දනා මාන කරමින් ශ්‍රී පාද කන්ද යනුවෙන් ව්‍යවහාර කරන්නට විය.

සිරිපා පිහිටුවීම – කැළණි විහාරයේ සිතුවමක් – සොයිලියස් මැන්දිස් මහතා
සිරිපා මළුවේ පැරණි පින්තූරයක්

අනුරාධපුර යුගයටත් පෙර සිටම මේ කන්ද තරණය කිරීමේ චාරිත්‍රයක් තිබුණු බව පැවසේ. ක්‍රිස්තු පුර්ව හතරවන සියවසේ මහා ඇලෙක්සැන්ඩර් නම් ග්‍රීක අධිරාජ්‍යයා, කාශ්මීරයේ මේඝවර්ණ රජු ආදීන් ද මේ කන්ද තරණය කළ බව කියති.

ක්‍රි.ව.1055 සිට 1110 දක්වා කාලයේදී කිරුල දැරූ විජයබාහු රජතුමා ශ්‍රී පාදය වන්දනා කිරීමට පැමිණෙන බැතිමතුන්ගේ අවශ්‍යතා සම්පාදනය කිරීම සඳහා ගිලීමලේ ගම්මානය කැප කළ බව වංශ කතාවල සඳහන් වේ. ශ්‍රී පාදය වන්දනා කිරීම සඳහා යාමට හැටන්, දැරණියගල, කුරුවිට හා රත්නපුර යනුවෙන් මාර්ග හතරක් වේ. කාලගුණ හා පරිසර තත්වයන් අනුව වසර පුරාම සිරිපා වන්දනාව සඳහා යාම කළ නොහැකිය. සිරිපා වන්දනා සමය දෙසැම්බර් මස පුර පසළොස්වක පෝය දිනෙන් ආරම්භව අප්‍රේල් මස පුර පසළොස්වක පෝය දිනෙන් අවසන් වේ.

දිවා ගුහාව

දිවා ගුහාව – කැළණි විහාරයේ චිත්‍රයක් – සොයිලියස් මැන්දිස් මහතා

බුදු රජාණන් වහන්සේ සමන්ත කූටයට වැඩම කළ අවස්ථාවේ දිවා විහරණය කළ ස්ථානය  දිවා ගුහාව නමින් හැඳින්වේ.  සිරිපා මලුවේ සි‍ට පැමිණෙන විට මහගිරිදඹයට මඳක් ඈතින්  වම්පසින් දක්නට ලැබෙන භගවාලෙන දිවා ගුහාව බව විශ්වාස කෙරේ. නිශ්ශංක මල්ල රජතුමා ද මේ ගුහාවේ වැඳුම් පිදුම් කළ බව සඳහන් වේ.

දීඝවාපිය

දීඝ වාපී දාගැබ

බුදුන් වහන්සේ දිවා ගුහාවේ සිට දීඝවාපි චෛත්‍යය පිහිටි ස්ථානයට වැඩම කොට ටික වෙලාවක් සමවත් සුවයෙන් වැඩ සිටි බව වංශ කතාවල සඳහන් වේ. දීඝවාපි චෛත්‍යය පිහිටියේ අම්පාර දිස්ත්‍රික්කයේ සමන්තුර හා අක්කරේ පත්තුව අතරයි. මේ චෛත්‍යය ඉදි කරවන ලද්දේ සද්ධාතිස්ස කුමාරයා (ක්‍රි.පූ. 137 –119 ) විසිනි. දීඝවාපියට මේ පෙදෙසේ අක්කර දොළොස් දහසක් පමණ අයත්ව තිබූ බව පැවසේ. එකල මෙය අංග සම්පූර්ණ ආරාමික ප්‍රදේශයක්ව තිබී ඇත.

දීඝවාපි සෑයේ වාහල්කඩ කැටයම්

මේ ප්‍රදේශයේ සිදු කරන ලද පුරාවිද්‍යා ගවේෂණවල දී බුදු පිළිම, බෝධිඝර, ආවාස, ආරෝග්‍ය ශාලා ආදියේ නෂ්ටාවශේෂ සොයාගෙන ඇත.  දීඝවාපී ස්තූපයේ අලංකාර වාහල් කඩ හා ප්‍රාකාර බැමි දෙකක් තිබූ බව හෙළි කරගෙන ඇත. මෙහි බිඳ වැටී තිබු බටහිර වාහල් කඩේ සුන් බුන් අතර තිබී  රන් කරඬු තුනක් සහ රන්පත් ඉරු සන්නසක් ආදී පුරා වස්තු සොයාගෙන ඇත.

මේ භූමිය බුදුන් වහන්සේ ගේ පාදස්පර්ශයෙන් ශුද්ධ භූමියක් වූ බැවින් බෞද්ධ ජනයාගේ ගෞරවාදරයට හා වන්දනාවට පාත්‍ර වී ඇත.

මුතියංගනය

මුතියංගන විහාරය

වර්තමාන බදුල්ල නගර මධ්‍යයේ පහිටි මුතියංගන විහාර පරිශ්‍රය ද බුදු රජාණන් වහන්සේගේ තෙ වැනි ලංකා ගමනේ දී ඌව නමුණුකුලට අධිපති ඉන්දක දෙවියන්ගේ ආරාධනයෙන්  නිරෝධ සමාපත්ති සුවයෙන් වැඩ සිට දහම් දෙසූ ස්ථානයකි. ඉන්දක දෙවියන් බුදු රජාණන් වහන්සේගේ වැඩමවීම සිහිපත් වීම සඳහා යමක් ඉල්ලා සිටි අවස්ථාවේ උන් වහන්සේ මුක්ත ධාතුන් වහන්සේ (ධාතූන් වහන්සේලා බවට පත් කළ දාඩිය බිංදු) හා කේශ ධාතුන් වහන්සේ ඉන්දක දෙවියන්ට දුන්හ. මේ ධාතුන් වහන්සේලා නිධන් කොට ඉන්දක දෙවියෝ මුතියංගන මහ සෑය ඉදි කළහ.  පසු කාලීනව දේවානම් පිය තිස්ස රජ තුමා සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කොට මුතියංගන සෑය ඉදිකළ බවත් පසුව ජෙට්ට තිස්ස රජතුමා එය තවත් විශාල කළ බවත් කියති. පර සතුරු ආක්‍රමණවලින් මේ සෑයට ද හානි පැමිණුනි. එහෙයින් එය දෙ වැනි රාජසිංහ ආදී රජවරුන් විසින් ප්‍රතිසංස්කරණය කරවන ලදී.

මුතියංගන දාගැබ

  තිස්සමහාරාම සෑය

තිස්සමහාරාම දාගැබ

මහානාග, යටාලතිස්ස, ගෝඨාභය ආදී රුහුණේ රජකළ රජවරුන් බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුව වඩා හිඳුවා ධාතු ඝරයක් ගොඩනංවා පුද සත්කාර කල බවත් පසුව ක්‍රිස්තු පූර්ව දෙවන ශතවර්ෂයේදී පමණ රුහුණේ රජකළ කාවන්තිස්ස රජතුමා එම ධාතු ඝරය වටා විෂ්කම්භය තුන්සිය හැට රියනකින් හා රියන් එකසිය විස්සක උසකින් යුක්තව තිස්ස ස්තුපය කරවූ බව වංශ කතාවල කියවේ.

තිස්සමහාරාම දාගැබ

පසු කාලීනව ඉලනාග රජු (ක්‍රි.ව. 38-44) තිස්ස දාගැබ විශාල කරවූ බවත් වෝහාරිකතිස්‌ස රජු (ක්‍රි.ව. 215-237) දාගැබ ප්‍රතිසංස්කරණය කළ බවත් වසභ (ක්‍රි.ව. 66-110) පළමුවැනි  ජෙට්ටතිස්ස  (ක්‍රි.ව. 267-277) ළමැනි මිහිඳු  ආදී රජවරුන් තිස්සමහාරාම විහාරයේ නඩත්තුව සඳහා කෙත් වතු පුජා කළ බවත් කියවේ.  චෝල ආක්‍රමණ නිසා බිඳවැටුණු රජරට සිංහල රාජධානිය නැවත පිහිටුවීමට තිස්සමහාරාමය ආසන්නයේ සිට කටයුතු කළ මහා විජයබාහු රජතුමාද  (ක්‍රි.ව. 1056-1111) තිස්ස ස්තුපය ප්‍රතිසංස්කරණය කොට ඇත. සොලොස්මස්ථාන වන්දනාකරන  බෞද්ධයෝ සොලොස්මස්ථාන අතරින් අටවන ස්ථානයට ගෙන  “සම්පූර්ණයෙන් සඳ මඬලක් වැනි වූ ලළාට ධාතූන් වහන්සේ නිධන්කොට කාවන්තිස්ස රජතුමා විසින් කරවන ලද තිස්සමහාරාම චෛත්‍යයට මම නමස්කාර කරමි” යයි වන්දනා කරති.

වැඩි දුරටත් කියවන්න මෙතැනින් තිස්සමහාරාමයේ ස්ථූප

ශ්‍රී මහා බෝධීන් වහන්සේ

ශ්‍රී මහ බෝධිය

මේ කල්පයේ බුද්ධත්වයට පත් වූ බුදුරජාණන් වහන්සේලා වන කකුසඳ, කෝණාගම, කාශ්‍යප සහ ගෞතම යන බුදුන් වහන්සේලා  නිරෝධ සමාපත්තියෙන් සමවැදී සිටීම නිසා  පූජනීය හා පාරිශුද්ධතත්වයට පාත්‍ර වූ ස්ථානයන් අටමස්ථාන ලෙස හැඳින්වේ. මිහිඳු මහ රහතන් වහන්සේට මහමෙව්නා උයන පූජා කළ අවස්ථාවේ උන් වහන්සේ  මේ අටමස්ථානයන් දෑ සමන් මල් අට මිටක් බැගින් පුදා සනිටුහන් කොට වදාළහ. මේ ශ්‍රී මහ බෝධිය පිහිටි ස්ථානය ද  මෙසේ පුද ලද අටමස්ථානයන්ගෙන් එකකි.

ශ්‍රී මහ බෝධිය

බුදුරජානන් වහන්සේට බුද්ධත්වයට පත්වීමට සෙවන දුන් දඹදිව බුද්ධගයාවේ ශ්‍රී මහා බෝධියේ දකුණු ශාඛාව ක්‍රි.පූ. 246 දී පමණ දේවානම් පියතිස්ස රජතුමාගේ ඉල්ලීම පරිදි අශෝක රජතුමා විසින් මිහිඳු හිමිගේ සොහොයුරිය වූ සංඝමිත්තා මෙහෙණින් වහන්සේ සමගින් වප් මස පුර පසළොස්වක පෝය දිනයකදී ලංකාවට වැඩම කරවන ලදී. ඉන්දියාවේ තාම්රලිප්තියෙන් ශ්‍රී මහා බෝධි අංකුරය සමග නැව් නැගී සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ලංකාවේ දඹකොළ පටුනට ගොඩ බැස තිවක්ක බමුණුගම හරහා අනුරාධපුරයට වැඩම කොට ඇත. ඉන්පසු මහමෙව්නාවේ රාජද්වාරයේ  මේ බෝධිය රෝපණය කර ඇත.

 දේවානම් පියතිස්ස රජු ලංකා රාජ්‍යයෙන් හා විවිධ පුද පුජා කරමින් බෝධියට උපහාර දක්වන ලදී. ඉන් පසුවද රාජ්‍යත්වයට පත්වූ සියලුම රජ වරුන්ද සියලු පූජාවන් කිරීම, ගොඩනැගිලි හා ආරක්ෂාවට ප්‍රාකාර බැඳීම, ආදිය කරවන ලදී. මහානාග රජතුමා වන අලින්ගෙන් ආරක්ෂා කිරීමට දිය අගලක් ද කරවූ බව කියති.බෝධියට ජලය සම්පාදනය කරන ලද්දේ මිරිසවැටිය අසල වූ පොකුණු වලින් බව අනුමාන කෙරේ.

සමස්ත ලෝක වාසීන්ගේම වන්දනාවට බඳුන් වූ මේ ශ්‍රී මහා බෝධිය වසර දෙදහස් තුන්සියයකටත් අධික ලිඛිත ඉතිහාසයක් ඇති ලෝකයේ එකම වෘක්ෂයයි.

වැඩි දුරටත් කියවන්න මෙතැනින් අනුරාධපුරය 1. මහා විහාරය – Maha Viharaya Anuradhapuraya

මිරිසවැටි මහා සෑය

මිරිසවැටි මහා සෑය

සොළොස්මස්ථාන අතරින් දහ වැනියට ගැනෙන මිරිසවැටිය අටමස්ථාන අතරට ද ගැනේ. මිරිසවැටි දාගැබ දුටු ගැමුණු රජතුමා ඉදිකළ පළමු පූජනීය ගොඩනැගිල්ලයි. දුටු ගැමුණු රජතුමා ස්නානය පිණිස තිසාවැවට යද්දී   රජතුමාගේ සධාතුක ජය කුන්තය එක් ස්ථානයක සිටුවා ගොස් නාගෙන ආපසු එද්දී එය  ආපසු ගැනීමට උත්සාහ කළ ද එය සෙලවීමටවත් නොහැකි වී ඇත. මේ ආශ්චර්යය දුටු රජතුමා එම කුන්තය එහිම රඳවා ස්තූපයක් ඉදි කළේය. එය මිරිස වැටි දාගැබයි.  ජනප්‍රවාදයක සඳහන් වන්නේ දුටු ගැමුණු රජතුමා දෙමාපියන්ට වූ පොරොන්දුවක් අමතක වීමකින් කඩ කොට භික්ෂු සංඝයාට නොදී මිරිස් ව්‍යන්ජනයක් අනුභව කළ නිසා ඊට තමන්ම පමුණුවා ගත් දඬුවමක් ලෙස මිරිසවැටි දාගැබ ඉදිකළ බවකි.

පසු කාලීනව පළමුවන ගජ බාහු රජු මේ දාගැබට කොතක් පැළඳු අතර වෝහාරික තිස්ස රජතුමා දාගැබ වටා ප්‍රාකාරයක් බඳවා දාගැබට ඡත්‍රයක් ද නැංවීය. චෝල ආක්‍රමණිකයන්ගෙන් මේ දාගැබට ද හානි පැමිණුන අතර එය පස්වන කාශ්‍යප රජතුමා විසින් ප්‍රතිසංස්කරණය කරන ලදී. ක්‍රි.ව. 1153 සිට 1186 දක්වා කිරුල දැරූ පළමුවන පරාක්‍රම බාහු රජු මේ දාගැබ 80 රියන් කොට බැඳ වීය. අනතුරුව නිශ්ශංක මල්ල රජතුමා ද මෙය පිළිසකර කරවීය.

මිරිසවැටිය උපෝශතාගාර, දාන ශාලා, ආවාස ආදියෙන් සමන්විත විහාර සංකීර්ණයක්ව තිබී ඇත. අනුරාධපුරය ජන ශුන්‍ය වූ විට මේ දාගැබ් සංකීර්ණය ද නටබුන් විය. 1980 දී පමණ මේ ස්තූපය ප්‍රතිසංස්කරණය කිරීමට උත්සාහ ගත්ත ද එය අසාර්ථක වී දාගැබ බිඳ වැටී පැරණි අලංකාර වාහල්කඩ ද විනාශ විය. 1991 දී නැවත ගොඩනැංවීමට පියවර ගෙන උස අඩි 141 ක් උසට බැඳී මේ දාගැබ  1993 පොසොන් පෝය දින විවෘත කෙරින.

ස්වර්ණමාලී මහා සෑය

රුවන්වැලි මහා සෑය

ලංකාවේ ප්‍රධානතම ස්ථූපය ලෙස හැඳින්වෙන්නේ ස්වර්ණමාලී මහා සෑය හෙවත් රුවන් වැලි මහා සෑයයි.  බුදු රජාණන්වහන්සේ පරිභෝග කරන ලද ස්ථානයක් වශයෙන් දක්වා ඇති පැරණි කකුධ නම් වැව කෙළවරක දේවානම් පියතිස්ස රජතුමා සිටුවා තිබු ශිලා ස්ථම්භයක එතුමාගේ මුණුපුරෙකු ස්තූපයක් ඉදිකරන බව සටහන් කොට තිබු බව දුටු, දුටු ගැමුණු රජතුමා ක්‍රි.පූ. 137 දී  එම ස්ථම්භය ඉවත්කර එය තිබු ස්ථානයේ රුවන්වැලි සෑය ඉදිකළ බව වංශ කතාවල සඳහන් වේ. මෙය ඉදිකළ ස්ථානයේ වූ ඉවත් කිරීමට සිදු වූ තෙලඹු ගසක ස්වර්ණමාලි නම් වෘක්ෂ දේවතාවියක් සිටි බැවින් ඇගේ නමින් ස්තූපය නම් කල බවක් ජනප්‍රවාදයේ පවතී. මෙය ඉදි කලේ රුවන් මලුව නම් ස්ථානයක බැවින් රුවන්වැලි සෑය නමින් හැඳින්වූ බවක් ද කියවේ. 

රුවන්වැලි මහා සෑය ඉදිකිරීම පිලිබඳ කතා පුවත මහා වංශය, ථුප වංශය ආදී වංශ කතා පොත්වල ඉතා විස්තරාත්මකව හා වර්ණනාත්මකව සඳහන් කොට ඇත. මේ ථුපයේ විෂ්කම්භය අඩි 370 කි. ප්‍රතිසංස්කරණය කරන ලද තූපයේ උස අඩි 338 කි. අත්තිවාරම රියන් 7 ක් ගැඹුරට කපා ගල් දමා ඇත. ස්තූපය නිර්මාණයට යොදා ගන්න ගාඩොල් සඳහා යොදාගත් මැටි වල් පැල හට නොගන්නාසේ ඉතා හොඳ තත්ත්ව පාලනයකින් නිමවා ඇත.

රුවන්වැලි මහා සෑය

දුටු ගැමුණු රජතුමාගේ අභාවයට පෙර මෙම ස්තූපයේ වැඩ අවසන් කරන්නට නොහැකි වූ බැවින් සද්ධාතිස්ස රජතුමා විසින් මෙහි වැඩ නිම කරන ලදී. ඉන් පසුව ද නොයෙකුත් රජවරුන් විසින් මෙහි සංවර්ධන කටයුතු හා ප්‍රතිසංස්කරණ කටයුතු කර ඇත.

වැඩි දුරටත් කියවන්න මෙතැනින් අනුරාධපුරය 1. මහා විහාරය – Maha Viharaya Anuradhapuraya

ථූපාරාමය

ථූපාරාමය

මහාවංශයේ දැක්වෙන්නේ මිහිඳු මාහිමියන් ලක්දිවට වැඩමවීමෙන් පසු උන්වහන්සේට වන්දනා කිරීම සඳහා පුජා වස්තුවක් නොමැති වීම නිසා බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේනමක් වැඩමවා ස්තූපයක් කරවීමට අදහස් කළ බවයි. දෙවන පෑතිස් රජතුමා ස්තූපය කරවීමට භාරගත් අතර මිහිඳු හිමියන් සුමන සාමනේරයන් වහන්සේ ලවා සක්දෙව්පුර සිළුමිණි සෑයෙන් බුදුරජානන් වහන්සේගේ දකුණු අකු ධාතුව වැඩමවා ගත්තේය. රජතුමාගේ ධවල ඡත්රය ධාතුන් දෙසට නැමීම, මගුල් ඇතා දණින් සිටීම, ධාතු කරඬුව හිස මත පිහිටීම ආදී රජතුමාගේ අධිෂ්ඨානයන් සඵලවිමෙන් සර්වඥ ධාතුව බව පසක් කර ගැනිණ. පෙරහරින් මගුල් ඇතුපිටින් වැඩම වූ ධාතුන් වහන්සේ ඇතුගේ කුම්භස්තලයට වඩා පහත ස්ථානයක තැන්පත් කිරීමට මගුල් ඇතු ඉඩ නොදුන් බැවින් අබා වැවෙන් වියලි මැටි ගෙන්වා ඇතුගේ උසට සරිලන තූපයක් කරවා එය සරසා ධාතුන් වහන්සේ එහි තැන්පත් කළේය. පසුව ථූපාරාම ස්තූපය කරවා ධාතුන් එහි තැන්පත් කරන්නට කටයුතු කෙරිණ.  ස්තූපයේ ධාතුන්වහන්සේලා තැන්පත් කිරීමේ දී බුදුරජානන් වහන්සේගේ අධිෂ්ඨානය අනුව පෙළහර පෑබව මහා වංශයේ සඳහන්වේ.

ථූපාරාමය ඉදිකරන ලද භූමිය කකුසඳ, කෝනාගම, කාශ්‍යප හා ගෞතම යන සිව් බුදුරජානන් වහන්සේලාගේ පාද ස්පර්ශයෙන් පවිත්‍ර වූ පුණ්‍ය භුමියක් බවත්, කකුසඳ බුදු හිමියන්ගේ පැන් ගෙනගිය භාජනයක් , කෝනාගම බුදු හිමියන්ගේ පටි ධාතුව හා කාශ්‍යප බුදු හිමියන්ගේ නාන කඩය තැන්පත් කොට තිබු බවත් බෞද්ධ සාහිත්‍යයේ සඳහන්වේ. ගෞතම බුදුරජානන් වහන්සේගේ තෙවන ලංකා ගමනේ දී මේ ස්ථානයේ මඳ වෙලාවක් සමාධි සුවයෙන් වැඩහිඳි බව කියවේ. එහෙයින් මේ භුමිය බෞද්ධයනට ඉතා වැදගත් පුජනීය බිමකි.

වැඩි දුරටත් කියවන්න මෙතැනින්ථූපාරාමය – අනුරාධපුර THUPARAMAYA

අභයගිරිය

අභයගිරි දාගැබ

අභයගිරි දාගැබ  ශ්‍රී ලංකාවේ ඉදිවුණු දෙවන විශාලතම දාගැබයි. ක්‍රිස්තු පුර්ව පළමුවන සියවසේ වට්ට ගාමිණි අභය (වළගම්බා) රජු විසින් ඇතුළු නුවරට උතුරින් පිහිටා තිබු සිරි පතුල් ලකුණක් මත මෙය ඉදිකල බව ෆාහියන් හිමිගේ දේශාටන වාර්තාවේ දැක්වේ.

අභයගිරි චෛත්‍යය ඉදිකරවන ලද්දේ  පළමුවන ගජබාහු රජතුමා බවටත්, එසේම වට්ටගාමිණි අභය ඉදිකළ චෛත්‍යය පළමුවන ගජබාහු රජතුමා විශාල කර තැන වූ බවටත් මත දෙකක් පලවී ඇත. 12 වන සියවසේ මහා පරාක්‍රම බාහු රජතුමා ද මෙය ප්‍රතිසංස්කරණය කල බව කියති.

අභයගිරි දාගැබේ නිධන් කොට ඇත්තේ ධාරණී මන්ත්‍ර හෝ සුත්‍ර කොටස් හෝ බුදු පිළිම ආදී ධර්ම ධාතු බවට මතයකි.  (අභයගිරි පරිශ්‍රයෙන් හමුවී ඇති ක්‍රි.ව 9 සියවසට අයත්යැයි සැලකෙන මහායාන මන්ත්‍ර සහිත ඊයම් ඵලක කීපයක් කොළඹ ජාතික කෞතුකාගාරයේ ඇත.)

දාගැබ් ගර්භයේ විෂ්කම්භය අඩි 310 කි. උස ප්‍රමාණය නිශ්චිතව  නැත. එය රියන් 180ක් වූ බව කෙනෙක් කියයි. පාහියන් හිමිගේ වාර්තාවල සඳහන් වන්නේ අඩි 400 ක් කියායි. මුල් කාලයේ දාගැබේ නංවා තිබුනේ යූප ගලක් හා ඡත්රයකි. හත්වන සියවසට පසුව කරන ලද ප්‍රතිසංස්කරණ වලින් පසුව දාගැබ කුඩා වූ බවක් පෙනේ. මේ ප්‍රතිසංස්කරණ වල දී යුපය හා ඡත්රය වෙනුවට දේවතා කොටුව, කොත් කැරැල්ල හා කොත එක්වී ඇත. දැනට මේ ස්තුපයේ උස අඩි 245 ක් පමණ වන බව කියති.  මෙහි සල පතල මලුව එක පැත්තක දිග අඩි 585ක් පමණ වේ. එනම් අක්කර 8 ක් පමණවේ. මෙතරම් විශාල මළුවකට ඇදහැලෙන ජලය බැස යාමට පිළියෙල කළ පොකුණු හා ජලනිග්ගම නාල තවම දැකිය හැකිය. සල පතල මලුවට පිටින් ඇත් පවුරකි. සිව් දිශාවට දොරටු 4 කි. බටහිර දොරටුවට වම් පසින් ශෛලමය පා ධෝවනයකි. අඩි 95ක් පමණ පළල වැලි මළුවකි. දාගැබේ සතර දිගින් වාහල්කඩ සතරකි. මේවා දේව රුප, සත්ව රුප මල් කැටයම් ආදී  ගල් කැටයම් වලින් අලංකෘතය. මුල් යුගයේ දාගැබේ නංවා තිබූ යූප ගලේ කොටස් මළුවේ තවම ඇත. මළුවේ සෙල් ලිපියක් හා නෙලුම් මලක් සේ නිර්මාණය කරන ලද මල් ආසනයක් ආදියද වේ.

වැඩි දුරටත් කියවන්න මෙතැනින්.. අභයගිරිය අනුරාධපුරය – ABHAYAGIRIYA – ANURADHAPURA

ජේතවනාරාමය

ජේතවනාරාම දාගැබ

මිහිඳු හිමියන් ලංකාවට පැමිණ ලක්වැසියනට දහම් දෙසන ලද්දේ නන්දන උයනේ සිටයි. එහි සිට දෙසු දහම සිරිලක පුරා වේගයෙන් පැතිරිණ. දහම පැතිරුනේ නන්දන උයනේ සිට බැවින් එය “ආලෝකය විහිදුවන උයන” යන අරුතෙන් එය “ජෝතිවනය” නමින් පතලව පසුව ජේතවනය නම් විය.

ජේතවන ආරාම සංකීර්ණය හාල්පාන් ඇල හා මල්වතු ඔය අතර හෙක්ටයාර 80 ක පමණ භුමි භාගයක පැතිර පවතී. මෙහි ජේතවනයේ ප්‍රධානතම ඉදිකිරිම වන ජේතවන ස්තුපය හා ආරාම, ප්‍රතිමා ගෘහ, පිරිවෙන් ආදියේ නටබුන් දැකිය හැකිය.

මහසෙන් රජුගේ සිට මහා පැරකුම්බා රජු දක්වා බොහෝ රජවරුන් මෙහි සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකොට ඇත. 1215 දී පමණ අනුරාධපුරය මාඝ ට යටත්වීම නිසා ජේතවනයද පසුව වල් බිහි විය. 1890 දී පමණ ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස් වරයා වූ බෙල් මහතා මෙහි ගවේෂණ කටයුතු ආරම්භකර ඇත.

1981 පසුව මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ජේතවන සංරක්ෂණ කටයුතු ආරම්භකරන ලදී. මෙහි කැනීම් ආදියෙන් සොයාගත් ශෛලමය කැටයම් ආදිය, පිඟන් හා මැටි භාණ්ඩ, ලෝහ උපකරණ, රන් රිදී ආභරණ, කාසි වර්ග, මුතු, පබළු, ආදී බොහෝ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති භාණ්ඩ ජේතවන කෞතුකාගාරයේ තැන්පත් කොට ඇත.

වැඩි දුරටත් කියවන්න මෙතැනින්.. ජේතවනය – අනුරාධපුරය Jetavana Stupa & Monastery complex – Anuradhapura

සේල චෛත්‍යය

සේල චෛත්‍යය

අම්භස්තල දාගැබ නැතහොත් සේල චෛත්‍යය ලෙස හැඳින්වෙන වටදාගෙය මිහිඳු මාහිමියන්ට දේවානම්පියතිස්ස රජු මුලින්ම මුණගැසුන ස්ථානයේ හා බුදුරජානන් වහන්සේ තුන්වැනි වර මෙහි වැඩම කල අවස්ථාවේ පන්සියයක් මහා රහතන් වහන්සේලා සමග ටික වෙලාවක් සමවත් සුවයෙන් වැඩ සිටි ස්ථානයේ  ඉදිකර ඇති බවට බවට විශ්වාස කෙරේ. මහා දාඨික මහා නාග රජු විසින් පළමුවන සියවසේ මෙය කරවන ලදැයි සැලකේ.  දෙවන සියවසේදී කනිට්ඨතිස්ස රජතුමා වටදා ගෙය කරවූ බවටත් පසු කාලයන්හි දී තවත් රජවරුන් එය ප්‍රති සංස්කරණය කළ බවත් සඳහන්වේ.  මෙහි සිරිපතුලක් සහිත චන්ද්‍රකාන්ති පාෂාණය පිහිටුවා  තිබේ.

වැඩි දුරටත් කියවන්න මෙතැනින්.. මිහින්තලේ – Mihinthale

කතරගම කිරි වෙහෙර

කිරි වෙහෙර

සොළොස්මස්ථාන ලෙස නම් කොට ඇති සිද්ධස්ථාන අතරින් අවසන් සිද්ධස්ථානය මොනරාගල දිස්ත්‍රික්කයේ කතරගම පිහිටි කිරි වෙහෙරයි. බුදු රජාණන් වහන්සේගේ තෙ වැනි ලංකා ගමනේ දී දැනට කතරගම කිරි වෙහෙර ඉදිකොට ඇති කිහිරි වනය නමින් හැඳින්වූ පරිශ්‍රයට ද උන් වහන්සේ වැඩම කොට එහි සමවත් සුවයෙන් වැඩ සිටි හෙයින් එය ද  සොළොස්මස්ථාන අතරට ගැනේ.

බුදු රජාණන් වහන්සේ මේ ස්ථානයේ වැඩසිටි රන් ආසනය, කේශ ධාතුන් හා සිද්ධාර්ථ කුමරුන් ගිහිගෙය හැර යද්දී කේෂඡේදනය කළ කඩුව නිදන් කොට කිරි වෙහෙර ඉදිකළේ බුදු රජාණන් වහන්සේ මේ ස්ථානයට වැඩමවද්දී කතරගම පාලනය කළ  මහාසේන රජු විසිනි. මේ චෛත්‍යය කිහිරි වනයේ ඉදිකළ බැවින් කිරි වෙහෙර ලෙස භාවිතා වූවා විය හැකිය.

ක්‍රි.පූ. 1 වන සියවසේදී පමණ කිරි වෙහෙර ඉදිකරන්නට ඇති බවත් පසුව මහාසේන රජතුමා විසින් දැනට පවතින තත්වයට ප්‍රතිසංස්කරණය කරන්නට ඇති බවත් සොයාගෙන ඇති පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව විශ්වාස කෙරේ. වර්තමාන කිරි වෙහෙරේ උස අඩි  95 ක් පමණ වන අතර වට ප්‍රමාණය අඩි 280 ක් පමණ වේ.

මෙසේ  වන්දනා කෙරෙන මෙම සොළොස්මස්ථාන නම් කිරීම හා ඒවා වන්දනා කිරීමට ගාථාවක් නිර්මාණය කිරීම  දඹදෙණි හෝ මුල් නුවර යුගයේ සිදු කරන්නට ඇතැයි විශ්වාස කෙරේ. මෙසේ නම් කිරීම සඳහා කිසියම් නිශ්චිත ක්‍රමවේදයක් අනුගමනය නොකොට බෞද්ධ සාහිත්‍යයේ හා එකල බෞද්ධ සැදැහැතියන්ගේ විශේෂ අවධානයට යොමුවූ ස්ථාන නම් කරන්නට ඇති බවට සමහරු විශ්වාස කරති.

එන්. එච්. සමරසිංහ.

2021. 07. 30.  

3 Comments

  1. ඉාතාම හරවත් සම්පිණ්ඩනයක්. ලංකා ඉතිහාසය හදාරන්න පිවිසෙන අයකුට මේ දැනුම ඉතාම වටිනවා..’ලංකා බුදුසසුනේ ඉතිහාසය ‘ ඔස්සේ හදාරන්නට තැත් කරන්නකුට මේ ලිපියත් ලිපිය අතරතුර මග පෙන්වන සබැඳිත් විපුල ප්‍රයෝජන සලසාවි. ඔබතුමාට කාලවේලාව හා අවස්ථාව ඇතිනම් මුද්‍රිත පොතක් සේ පළකරන ලෙස ආයාචනා කරමි.

    Liked by 1 person

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.