යුරල් කඳු වැටිය හා ඉස්ට් ගංගාව අතර ඇති යෙකටරින්බර්ග් Yekaterinburg නැතහොත් Ekaterinburg රුසියාවේ හතරවන විශාලතම නගරයයි. මේ නගරය පිහිටා ඇත්තේ මොස්කව් නගරයට කිලෝ මීටර් 1420 කට පමණ ඈතින් යුරෝපය සහ ආසියාව වෙන් කෙරෙන සීමාවේය. මෙය සංචාරකයන් අතර ජනප්‍රිය ගමනාන්තයකි. රුසියානු විප්ලවයෙන් පසු මේ නගරය Sverdlovsk යනුවෙන් හඳුන්වුවත් 1991 න් පසු රුසියාවේ සිදුවූ පරිවර්තනයෙන් පසු මේ නගරය නැවතත් පැරණි නමින්ම හඳුන්වන්නට වින..
1917 දී සිදුවුණු රුසියානු බෝල්ෂෙවික් (ඔක්තෝබර්) විප්ලවයෙන් පසු රුසියාවේ අවසන් රජුවූ දෙවන නිකොලායි සාර් බලයෙන් පහ කෙරින. පසුව ඔහු, රොමනොෆ් පවුලේ සියලු දෙනා එනම්, රැජින වූ ඇලෙක්සැන්ඩ්රා (Tsarina Alexandra), ඔල්ගා (Olga), තත්යානා (Tatiana), මාරියා (Maria), ඇනාස්ටේෂියා (Anastasia) යන දු වරුන් හා ඇලෙක්සි ( Alexei) නම් පුතු සමග ඔවුන්ගේ වෛද්‍යවරයා, මෙහෙකරුවන් ඇතුළු හැමෝම සයිබීරියාව වෙත පිටත්කර හරින ලදී. 1918 දී මේ යෙකටරින්බර්ග් නගරයේ පිහිටි ඉප්ටියෙෆ් (Ipatiev House) නම් විශේෂිත කාර්යයන් සඳහා යොදවා ගන්නා ලද ගොඩනැගිල්ලක උඩු මහලක මොවුන් රඳවා තිබුණි.
රුසියානු විප්ලවය ජයගත් රතු හමුදාවට එරෙහිව සුදු හමුදාවනම් බෝල්ෂේවික් විරෝධීන්ගේ කටයුතු නිසා සාර් රජ පවුල බෝල්ෂේවික් විරෝධීන්ගේ අතට පත්වේයයි රතු හමුදාව තුල සැකයක් ඇතිව තිබිණ. එසේ වුවහොත් නැවත සාර් රජු බලයට පත්වෙනු ඇතැයිද අනුමාන කෙරින. මෙනිසා බෝල්ෂේවික් වරුන්ගේ තීරණය වූයේ සාර් ඇතුළු රජ පවුලේ සියලු දෙනා මරණයට පත් කළයුතු බවයි.
1918.07.17 දින යෙකටරින්බර්ග් නගරයේ කලබල ඇතිව තිබෙන බැවින් මේ රැඳීවියන් වෙනත් ස්ථානයකට ගෙන යන බව හඟවා ඔවුන් පහල මහලයට ගෙන එන ලදී. එහිදී මේ සියලු දෙනාට වෙඩිතබා කෘර ලෙස මරණයට පත් කරන ලද බව වාර්තාවී ඇත. සමහර තොරතුරු අනුව කියවෙන්නේ රජ කුමාරිකාවන් හා මෙහෙ කාරියන් තම ඇඳුම් තුල දියමන්ති සඟවාගෙන සිටි නිසා වෙඩි පහරවලින් ආරක්ෂාවී ඇති බවයි. එහෙයින් ඔවුන් බයිනෙත්තු වලින් ඇන හා තුවක්කු වලින් පහරදී මරණයට පත් කල බවද කියවේ.
මරණයට පත්කරන ලද අයගේ සිරුරු ක්‍රමවත්ව මිහිදන් කිරීමට හෝ දවාලීමට පියවරක් ගෙන නොමැත. ඒවා නගරයෙන් ඈත පිහිටි Koptyaki නම් ගමේ පතලකට දමා ඇත. ඒ සිරුරු ප්‍රතිවාදීන් හට සොයාගත හැකිවෙතැයි සැක කළ බැවින් ඒවා නැවත ගොඩගෙන වෙනත් ස්ථානයකදී විනාශ කිරීමට උත්සාහ ගෙන ඇත. දින දෙකක් පමණ ගතවීත් ඒවාට සුදුස්සක් කළ නොහැකිවීම නිසා පතල ආසන්නයේම පිළිස්සීමට උත්සාහ ගෙන ඇත. එයද ව්‍යාර්ථවූ විට සිරුරු වලට ඇසිඩ් වත්කොට එහිම වලක් කපා එහි දමා වසා ඇත.
රුසියානු රජ පවුල ඝාතනය කළ බව මිස ඔවුන්ගේ සිරුරු කොතැනක මිහිදන් කළේදැයි ප්‍රකාශ වී තිබුනේ නැත. දශක හයක පමණ කාලයක් මෙය රහසක්ව පවතින. 1976 දී පමණ රුසියානු රජ පවුලේ සිරුරු වල කොටස් බවට සැක කෙරෙන අස්ථි කොටස් ආදිය යෙකටරින්බර්ග් ප්‍රදේශයෙන් සොයාගෙන තිබිණ. එහෙත් එය රහසක් ලෙස පැවතුනා මිස හෙළිදරව් කිරීමක් නොවින. සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසුව ඇමෙරිකානු විද්‍යාඥයන්ගේද සහයෙන් DNA පරීක්ෂණ ආදියෙන් පසු මේ සිරුරු කොටස් නියත වශයෙන්ම රුසියානු රජ පවුලේ සාමාජිකයින්ගේ බව තහවුරු කෙරින. ඇලෙක්සැන්ඩ්රා රැජින මහා බ්‍රිතාන්‍යයේ වික්ටෝරියා මහ රැජිනගේ ඥාති මිනිබිරියක වූ බැවින් DNA පරීක්ෂණ සඳහා පිලිප් කුමරුගේ රුධිර නිදර්ශක ලබාගත් බව පැවසේ.
මේ පරීක්ෂණ වලදී සොයාගෙන තිබුනේ සිරුරු නවයක් පිළිබඳව පමණි. රජුගේ දියණියක වූ ඇනාස්ටේෂියා හෝ මාරියා කුමරියගේ හා ඇලෙක්සි පුතුගේ සිරුරු කොටස් සොයාගෙන නොතිබුණි. එහෙයින් මොවුන් දෙදෙනා එදින මිය නොයන්නට ඇතැයිද සමහරු විශ්වාස කළහ. මෙය 20 වන ශතවර්ෂයේ අභිරහසක් බවට පත්වී තිබුණි. එහෙයින් ඇනාස්ටේෂියා කුමරිය ලෙස බොහෝදෙනා ඉදිරිපත් වූ බවද කියති. ඇනා ඇන්ඩර්සන් නමැත්තියක් ඇනාස්ටේෂියා ලෙස ඉදිරිපත්වූ බව ප්‍රචලිතය. ඇනාස්ටේෂියාගේ කථාව රැගත්ප්රංශ නාට්‍යයක් 1954 දී නිපදවින. 1956 දී ඇනාස්ටේෂියාගේ කථාව ඇමෙරිකානු සිනමා කෘතියක් බවටද පත්විය. මෙහි රඟපෑ ඉන්ග්‍රිඩ් බර්ග්මන් (Ingrid Bergman) ඒ සඳහා ඇකඩමි සම්මානයක්ද දිනා ගත්තාය.
2007 වසරේදී ආධුනික පුරාවිද්‍යාඥයෙක් ලෙස කටයුතුකළ අයෙක් අනෙකුත් සිරුරු සොයාගත් ප්‍රදේශය ආසන්නයේ කළ කැණීමකදී තවත් අස්ථි කොටස් රාශියක්, ඇසිඩ් බඳුනක කොටස් ආදිය සොයා ගන්නා ලදී. පරීක්ෂණ වලදී මේ අස්ථි කොටස් ඇලෙක්සි ගේ හා ඔහුගේ සොහොයුරියකගේ බව තහවුරු කරගෙන ඇත.
අස්ථි කොටස් හමුවූ ස්ථානය
සිරුරු කොටස් සොයා නොගත් රොමනොෆ් පවුලේ කුමරිය, ඇනාස්ටේෂියා කුමරිය ලෙස බොහෝ අය පිළිගෙන තිබුණු නමුත් එය නිවැරදිව තහවුරු කරගෙන නොතිබුණි. 2007 දී සොයාගත් අස්ථි කොටස් ආදිය මාරියාගේ බව දැන් පිළිගෙන ඇති බව පෙනේ. අස්ථි කොටස් හමුවූ ස්ථානයේ පිහිටුවා ඇති දැන්වීම් පුවරුවේද සඳහන් කොට ඇත්තේ ඒ ඇලෙක්සිගේ හා මාරියාගේ අස්ථි හමුවූ ස්ථානය ලෙසයි. ඒ අනුව කලින් සොයාගෙන තිබු සිරුරු කොටස් ඇනාස්ටේෂියාගේ බව පෙනේ.
මේ වන විට රුසියානු රාජකීයයන්ගේ සිරුරුවල කොටස් සොයාගත් යෙකටරින්බර්ග් ප්‍රදේශයේ ස්මාරක ගණනාවක් ඉදිකොට ඇත. රොමනොෆ් පවුල යෙකටරින්බර්ග්හි රඳවා තිබු “ඉප්ටියෙෆ්” ගොඩනැගිල්ල 1977 දී කඩා ඉවත්කර ඇත. ඒමත Church on Blood (Church of All Saints) නම් ඔර්තඩොක්ස් දේවස්ථානයක් ඉදිකර ඇත.
Church on Blood (Church of All Saints)
රාජකීයයන්ගේ සිරුරු කොටස් සොයාගත් ස්ථානයේ කුරුසියක්ද පිහිටුවා ඇත.
රාජකීයයන්ගේ සිරුරු කොටස් සොයාගත් ස්ථානය
1917 රුසියානු විප්ලවයෙන් සියවසක් ගෙවීමත් පෙර ඔක්තෝබර් විප්ලවයේ වීරයෙක් ලෙස සැලකු ලෙනින්ගේ පිළිරූ ඉවත් කරමින් සාර් රජු වෙනුවෙන් ස්මාරක තනන්නට පියවර ගැනීම රුසියාවේ සිදුවුණු දේශපාලන ආකල්පවල වෙනස්වීම පිළිබිඹු කරන සිද්ධියකි. ඒ අනුව බලන විට යෙකටරින්බර්ග්වල පිහිටුවා ඇති ස්මාරක කුඩා වුවත්, ඒවා සැලකිය යුතු ස්මාරක බව පෙනීයයි.
(මේ ලිපිය පළමු වරට “නැණසර” අන්තර්ජාල සඟරාවේ පලකෙරින.)