ලියනාඩෝ ඩා වින්සිගේ පර්වත මස්තකයේ දේව මෑණියෝ – Vergin of the rocks

පුනරුද යුගයේ මුලාකෘතික මිනිසා ලෙස සලකනු ලබන  ලියනාඩෝ ඩා වින්සි (1452 – 1519), සිත්තරෙක්, මූර්ති ශිල්පියෙක්, ව්‍යවච්ඡේදකයෙක්, ගෘහ නිර්මාණ ශිල්පියෙක්, ඉංජිනේරුවෙක්, ගණිතඥයෙක්,  විද්‍යාඥයෙක්, නව නිර්මාණකරුවෙක් මෙන්ම උද්භිද විද්‍යාඥයෙක්, සංගීතඥයෙක් සහ ලේඛකයෙක්ද විය. ඔහුගේ දක්ෂතාවය මේ සෑම අතකටම පැතිරගොස් ඇතත් බොහෝ අය ඔහු වඩාත් හොඳින් හඳුනන්නේ පුනරුද සමයේ බිහිවූ  විශිෂ්ඨතම චිත්‍ර ශිල්පියා ලෙසයි. ඔහු සිතුවම් බොහෝ ගණනක්නිර්මාණය කොට නැතත් ඔහුගේ “මොනාලිසා” නම් ආලේඛ්‍ය සිතුවම හා “අවසාන භෝජන සංග්‍රහය” යන ආගමික සිතුවම පිළිබඳව නොදන්නා කෙනෙක් නැත.

සීමිත සිතුවම් ගණනක් පමණක් නිර්මාණය කළ මේ විශිෂ්ඨ ශිල්පියා එකම නමකින් හැඳින්වෙන සිතුවම් දෙකක් නිර්මාණය කර තිබීම කුතුහලය දනවන්නකි. පැරිසියේ ලූව කෞතුකාගාරයේදී හා ලන්ඩනයේ ජාතික කලාගාරයේදී “Virgin of the Rocks” නැතහොත්   “Madonna of the Rocks ”  (The Virgin with Christ and St. John)නමින් වන මේ සිතුවම් දෙක මට දැකගන්නට ලැබිණ. මේ සිතුවම් දෙකේ යම් වෙනස්කම් දක්නට ලැබුනද, සිතුවම් දෙකම එකම ආකෘතියේ නිර්මාණය වී ඇත.

Virgin of the Rocks

ලන්ඩන් සිතුවම හා පැරිස් සිතුවම

හෙරොද් රජුගෙන් බේරී සිටීමට ශුද්ධවූ පවුලේ අය ඊජිප්තුව බලා යන කතාවේ එක අවස්ථාවක් මෙයින් නිරුපනය කර ඇත. ගල් ලෙනක් වැනි පරිසරයක මරිය මව්තුමිය නැතහොත් මැඩොනා දණගසාගෙන සිටින්නීය. කඳුකර පසු බිමෙහි දිය දහරක්ද වේ. ඇය ඉදිරියේ නිරුවත් ළදරුවන් දෙදෙනෙකි. ඇගේ දකුණු පසින් සිටින්නේ  ක්‍රිස්තුස් වහන්සේ වන අතර වම් පසින් සිටින්නේ සාන්ත ජෝන් බැප්ටිස් ය. ඊට අමතරව ඇගේ වම් පසින් ගේබ්‍රියල් නම් දේව දුතයාද සිතුවම් කොට ඇත. මව්තුමිය ක්‍රිස්තුස් වහන්සේ දකුණතින් වැළඳගෙන සිටින අතර වම් අත අනෙක් ළදරුවාගේ හිස මතින් ඔසවාගෙන ඇත. දේව දුතයා එක් ළදරුවෙකුගේ පිටුපස ආරක්ෂාකාරී ලෙස අල්ලාගෙන සිටී. කුඩා යේසුස් ඔහුගේ දකුණත ඔසවාගෙන සාන්ත ජෝන්ට  ආශිර්වාද කරන ආකාරයක් නිරුපනය කර ඇත. ත්‍රිකෝණාකාර ආකෘතියක් තුල මේ රුප සම්පිණ්ඩනය කර තිබේ. පසුබිමෙහි මල්, පැළෑටි හා ගල්කුළු ඇත. භුමි දර්ශනය ඈතට විහිදී ගිය බවක් පෙන්වයි. මුහුණු වල හැඟීම් පෙන්වා ඇති ආකාරයෙන් හා ඉරියව් වලින් මව්තුමියගේ කරුණා භරිත බව හා ළදරුවන් ඇඳ ඇති ආකාරයෙන් ඔවුන්ගේ මොළකැටි බව ඉස්මතුකර පෙන්වා ඇත.  සිතුවම නිම කිරීම සඳහා අඳුරු වර්ණ තෝරාගෙන ඇත. කියරොස්කූරෝ (Chiaroscuro) ක්‍රමය අනුව අඳුර හා ආලෝකය අතර වෙනස තදින් ඉස්මතු කරවමින් මුහුණු ආදිය වඩාත් කැපී පෙනෙන ලෙස නිමවා ඇත.

ලියනාඩෝ ඩා වින්සි විසින් Virgin of the rocks සිතුවම නිර්මාණය කොට ඇත්තේ මිලාන් සැන් ෆ්රැන්සිස්කෝ ග්රෑන්ඩ් හි දේවස්ථානයේ පුජාසනය සඳහාය. පහලින් දල්වනු ලබන ඉටිපන්දම් එළියෙන් ආලෝකමත්වන සිතුවම නරඹන්නාද සිතුවමේ කොටස්කරුවකු කරගන්නා ආකාරයෙන් නිමවා ඇති ආකාරය අපුරුය.

සිතුවම් දෙකම ප්‍රමාණයෙන් බොහෝ දුරට එක හා  සමානය. පැරිස් සිතුවම සෙ.මි. 199 X 122 පමණ වන අතර ලන්ඩන් සිතුවම සෙ.මි. 189.5 X 120 පමණ වේ. සිතුවම් දෙකම ලි  මත තෙල් සායමෙන් නිමකර ඇතත් පැරිස් සිතුවම කැන්වසයක් මතට මාරුකර තිබේ. පැරිස් සිතුවම ක්‍රි.ව.1483-86 අතර කාලයේ නිර්මාණය කොට ඇති අතර ලන්ඩන් සිතුවම ක්‍රි.ව. 1495-1508 අතර කාලයේ නිමවා ඇත.

_DSC5884-001
The Virgin with the Infant Saint John the Baptist adoring the Christ Child accompanied by an Angel (‘The Virgin of the Rocks’)
ලන්ඩන් සිතුවම

මේ සිතුවම් දෙක අතර වෙනස්කම් කීපයක් දැකිය හැකිය. ඒ අතරින් කැපී පෙනෙන්නේ දේව දුතයාගේ සිතුවමයි. පැරිස් සිතුවමේ දේව දුතයා දකුණත ඔසවා දබරැඟිල්ල ඉදිරිපසට යොමුකරගෙන සිටින ලෙස හා දෙඇස් ප්‍රේක්ෂකයා වෙත යොමුවනසේ  ඇඳ ඇති අතර ලන්ඩන් සිතුවමේ දේව දුතයගේ දකුණත උකුල මත සිටින සේ හා දෙ ඇස් වෙනතක යොමාගෙන සිටිනසේ ඇඳ ඇත. එමෙන්ම ලන්ඩන් සිතුවමේ මරිය මව්තුමියගේ හා ළදරුවන්ගේ හිස මත දක්නට ලැබෙන රැස් වළලු (Halo) හා ලදරු ජේසුස්ගේ කර මත ඇති කුරුසය පැරිස් සිතුවමේ දක්නට නැත. සිතුවම් දෙක අතර වර්ණ සංකලනයේද වෙනස්කමක් දැකිය හැකිය.

_DSC5884-002

ගේබ්‍රියල් නම් දේව දුතයා

_DSC5884-003

ක්‍රිස්තුස් වහන්සේ

_DSC5884-004

මරිය මව්තුමියගේ රැස් වළලු (Halo)

එකම තේමාවෙන් සිතුවම්  දෙකක් පිළියෙළ කිරීමට හේතු වූ කරුණ.

මිලාන් සැන් ෆ්රැන්සිස්කෝ ග්රෑන්ඩ් හි දේවස්ථානයේ පුජාසනය සඳහා Virgin of the rocks නමින් සිතුවමක්, ඒ සඳහා වන ලි පනේල, කැටයම් හා අතිරේක සිතුවම් නිර්මාණය කිරීම සඳහා  Leonardo da Vinci, Giovanni Ambrogio de Predis හා ඔහුගේ සොහොයුරු Evangelista 1483 අප්‍රේල් 25 වන දින ගිවිසුමක් අතත්සන්කොට ඇත. මේ තිදෙනාගේ සාමුහික නිර්මාණයක් වන මෙය 1483 දෙසැම්බර් 8 වන දින වන විට නිම කළ යුතු වින. මේ සඳහා මුදල් ගෙවීමේ ගැටළුවක් උද්ගතවීම නිසා 1499 දී ලියනාඩෝ මිලාන් නගරයෙන් නික්ම යනතුරුත් කාර්යය අවසන් නොකෙරිණ.

ගිවිසුමේ අනෙක් පාර්ශව කරුවන් වූ  Giovanni Ambrogio de Predis හා Evangelista ගේ වැඩ නිම කොට තිබු හෙයින් ඔවුන්ගේ මුදල් ලබාදෙන ලෙස දේවස්ථාන බලධාරීන්ගෙන් ඔවුන් ඉල්ලා සිටියද ඔවුනට මුදල් නොලැබිණ. පසුව දේවස්ථාන බලධාරීන්ගේ යෝජනාව වුයේ ලියනාඩෝ නැවත මිලාන් වෙත ගෙන්වාගෙන නැවත සිතුවමක් ඇඳ දෙන්නේ නම් එතෙක් වැය කොට ඇති මුදල ලබාදෙන බවයි. ලියනාඩෝ විසින් අඳින ලද සිතුවම දේවස්ථාන බලධාරීන්ගේ අභිමතාර්ථයන් සමග නොගැලපුන නිසාදෝ එය දේවස්ථානයේ පිහිටුවා නැත. එහෙයින් ලියනාඩෝ විසින් අඳින ලද මුල් සිතුවම වෙනත් පක්ෂයකට  විකුණා දමා ඇත. පසුව එය ප්‍රංශ රාජකීයයන් අත්පත් කරගන්නා ලදුව දැන් ලූව කෞතුකාගාරයේ ප්‍රදර්ශනට තබා ඇත.

_DSC4871

ලූව කෞතුකාගාරය

ඉන්පසු ලියනාඩෝ දෙවැනි සිතුවම ක්‍රි.ව 1508 දී පමණ   නිර්මාණය කළේය. එය මිලාන් සැන් ෆ්රැන්සිස්කෝ ග්රෑන්ඩ් හි දේවස්ථානයේ ස්ථාපනය කෙරින. 1880 දී පමණ මේ සිතුවම ලන්ඩනයේ ජාතික කලාගාරය සතුකරගත් අතර දැන් එය එහි ප්‍රදර්ශනය කෙරේ.

_DSC5923

ලන්ඩන් ජාතික කලාගාරය

2011 නොවැම්බර් මාසයේ සිට 2012 පෙබරවාරි දක්වා  මුල් වරට මේ සිතුවම් දෙකම එකම ස්ථානයකදී එනම් ලන්ඩන් ජාතික කලාගාරයේදී ප්‍රදර්ශනය කෙරින.

එන්.එච්. සමරසිංහ  2018.07.18

Protected by Copyscape

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.