කුරුල්ලන් පිළිබඳව උනන්දුවක් දක්වන ලංකාවේ සංචාරකයින් නොවරදවාම නරඹන්නට යන අභය භූමියකි බූන්දල ජාතික වනෝද්‍යානය. දකුණු පළාතේ හම්බන්තොට නගරය අවසන්වනවාත් සමගම බුන්දල වනෝද්‍යානය ආරම්භවේ. එය හම්බන්තොට A 2 මාර්ගය හා වැලිගත්ත මංසන්දියෙන් හැරී යන කිරින්ද පාරට දකුණේ සිට මුහුදු වෙරළ තිරය දක්වා විහිදී ඇත.
1969 දෙසැම්බර් 12 වන දින සිට වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හෙක්ටෙයාර 6200 ක් පමණ භුමි ප්‍රමාණයක් බූන්දල අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කළ අතර 1990 දී මෙරට ප්‍රථම රම්සා රක්ෂිත තෙත් බිම ලෙස හා 1993 දී හෙක්ටෙයාර් 3698 ක භුමි ප්‍රමාණයක් බුන්දල ජාතික වනෝද්‍යානය ලෙස ප්‍රකාශයට පත් කෙරින. එමෙන්ම මේ වනෝද්‍යානය 2005.06.29 දින සිට අන්තර් ජාතික මිනිසා සහ ජෛව රක්ෂිතයක් ලෙසද නම් කෙරිණි.
පාරිසරික වශයෙන් මෙතරම් වැදගත් කමක් උසුලන්නේ මේ භුමිය අංශ ගණනාවකින් විශේෂිත භූමියක් වන හෙයිනි. බූන්දල පිහිටා ඇත්තේ අර්ධ ශුෂ්ක පරිසරයක් ඇති ප්‍රදේශයකයි. එහෙයින් එහි කටු පඳුරු සහිත ලඳු කැළෑබිම්වේ. එහෙත් මේ වනෝද්‍යානය තුල පරිසර පද්ධති ගණනාවක් දැකිය හැකිය. ඇඹිලිකල, මලල, බූන්දල, කොහොලන්කල හා මහලේවාය යනුවෙන් කලපු පහක් පිහිටා ඇත. වෙරළාසන්නයේ වැලි කඳු දක්නට ලැබේ. වෙරළාශ්‍රිත ගල්පර වසර මිලියන 600ක් පමණ පැරණි බව කියති. තැනක ලවන වගුරු බිම් හා කඩොලාන ශාඛ තිබේ. කිරිඳි ඔය මුහුදට ගලා බසින්නේ මේ උද්‍යානයේ නැගෙනහිර සිමාවෙනි. ඊට අමතරව ඇඹිලිකල ඔය හා මලල ඔය කලපු වලට ගලා බසී. එහෙයින් මේ උද්‍යානයේ ගංගා ආශ්රිත වනාන්තරද පිහිටා ඇත. තෘණ භුමි සහිත තැනිතලා ප්‍රදේශද මෙහි දක්නට තිබේ.
බූන්දල වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කුරුළු පාරාදීසයකි. පක්ෂීහු 20000 ක් පමණ නිරතුරුව මෙහි වෙසෙති. උත්තරාර්ධ ගෝලයේ සීත සෘතුවේදී උණුසුම සොයා දකුණට එන පර්යටණික (නිහැරි) (migrant) කුරුළු විශේෂ 60 කගේ පමණ ගමනාන්තය බූන්දලයි. මේ බිමෙහිම රැඳී සිටින දේශීය කුරුළු වර්ග 140 ක් පමණ වෙතැයි සඳහන්ය. එහෙයින් දේශීය හා විදේශීය කුරුල්ලන්ගේ පෝෂණය, රැකවරණය මෙන්ම අභිජනනය සඳහාම කැපවුන භූමියක් ලෙස බූන්දල සැලකිය හැකිය.
සාමාන්‍යයෙන් වසරක අගෝස්තු මාසයේ පමණ සිට ඊළඟ වසරේ අප්‍රේල් මාසය පමණ වනතෙක් පර්යටණික (migrant) පක්ෂීන් බොහොමයක් මෙහිදී දැකගත හැකිය. මේ පර්යටණික (නිහැරි) පක්ෂින්ගෙන් විශේෂ 8 ක් දුර්ලභ විශේෂයන්ය. මේ ප්‍රදේශයට එන ඉතා අලංකාර සංචාරක පක්ෂි සමුහයක්වූයේ සියක්කාරයන්ය (Flemingo). එහෙත් සමහර කාලයන්හිදී ඔවුන් බූන්දලට නොපැමිණෙන බව පෙනෙන්නට තිබේ.
බූන්දල ජලාශ්‍රිත උද්‍යානයක් බැවින් බොහෝසෙයින් දක්නට ලැබෙන්නේ ජලාශ්‍රිතව දිවිගෙවන පක්ෂින්ය. බූන්දලදී දක්නට ලැබෙන ලංකාවට ආවේනික එකම පක්ෂියා වළි කුකුලාය. මෙහි වාසය කරන අනෙකුත් කුරුළු වර්ගයන් කීප දෙනෙක් වන්නේ පැස්තුඩුවා, දෑ තුඩුවා, හැඳි ආලාවා, නිල් කිතලා, කොරවක්කා, අහිකාවා, ලතු වැකියා, පාදිලි මානාවා, බහුරු මානාවා, අලි මානාවා, කිරලා, බලල් සේරුවා වැනි ජලාශ්‍රිතව සිටින පක්ෂීන් හා තුරු වදුලු අතර ගැවසෙන ගල් පරවියා, මහා නීල ගොයා, මල් කොහා, කෑඳත්තා, පොරෝලුවා ආදීන්ය. බූන්දලදී මට දකින්නට ලැබුන පක්ෂීන් කීප දෙනෙකුගේ පින්තුර කුරුළු වර්ගීකරණයන් අනුව පහත පලකරමි.
ANSERIFORMES දිය සැවුල් ගෝත්‍රය
තඹ සේරුවා Lesser Whistling – duck, (Dendrocygna javanika)
BUCEROTIFORMES සරඟ ගෝත්‍රය
(පොරෝ කෑඳත්තා – Malabar Pied Hornbill (Anthracoceros coronatus)
CICONOIIFORMES මානා ගෝත්‍රය
රත්පා සිලිබිල්ලා Common Redshank (Tringa totanus)
වගුරු සිලිබිල්ලා Marsh Sandpiper (Tringa stagnatilis)
කලිකයා Eurasian Curlew (Numenius arquata)
පොදු සිලිබිල්ලා Common Sandpiper (Actitis hypoleucos)
සැවුල් පෙඳ දියසනා Pheasant-tailed Jacana (Hydrophasianus chirurgus)
මහ ගොළු කලිකයා Great Thick-knee (Esacus recurvirostris)
ගොළු කිරළුවා Indian Thick-knee (Burhinus indicus)
කළුපිය ඉපල්පාවා Black-winged Stilt (Himantopus himantopus)
රත් තැලි කිරලා Red-wattled Lapwing (Vanellus indicus)
කහ තැලි කිරලා Yellow-wattled Lapwing (Vanellus malabaricus)
කැස්පියානු මුහුදු ලිහිණියා Caspian Tern (Hydroprogne caspia)
මුහුදු රාජාලියා White-bellied Sea-eagle (Haliaeetus leucogaster)
කොණ්ඩ රාජාලියා Crested Hawk-eagle (Spizaetus cirrhatus)
අහිකාවාIndian Darter (Anhinga melanogaster)
දියකාවා Great Cormorant (Phalacrocorax carbo)
කහ මැටි කොකා Yellow Bittern (Ixobrychus sinensis)
පුංචි ඇලි කොකා Little Egret (Egretta garzetta)
අළු කොකා Grey Heron (Ardea cinerea)
කරවැල් කොකා Purple Heron (Ardea purpurea)
ලතුවැකියා Painted Stork (Mycteria leucocephala)
විවර තුඩුවා Asian Openbill (Anastomus oscitana)
කුඩා බහුරු මානාවා Lesser Adjutant (Leptoptilos javanicus)
හැඳි මානාවා Eurasian Spoonbill (Platalealeucorodia)
දෑ තුඩුවා Black-headed Ibis (Threskiornis melanocephalus)
COLUMBIFORMES පරෙවි ගෝත්‍රය
මහ නීල ගොයා Green Imperial-pigeon (Dukula aenea)
CORACIIFORMES බැඳඟිලි ගෝත්‍රය
ළය සුදු පිළිහුඩුවා White-throated Kingfisher (Halcyon smyrnensis)
මල් පිළිහුඩුවා Common Kingfisher (Alcedo atthis)
මහ පිළිහුඩුවා Stork-billed Kingfisher (Pelargopsis capencis)
නිල් පෙඳ බිඟුහරයා Blue-tailed Bee-eater (Merops philippinus)
LittleGreen Bee-eater (Merops orientalis)
GALLIFORMES සරණවි ගෝත්‍රය
වළි කුකුලා Ceylon Junglefowl (Gallus lafayettii)
මොණරා Indian Peafowl (Pavo cristatus)
GRUIFORMES සවිපා ගෝත්‍රය
දම් කිතලා Purple Swamp-hen (Porphyrio porphyrio)
විල් කුකුලා Common Moorhen (Gallinula chloropus)
කොරවක්කා White-breasted Waterhen (Amaurornis phoenicurus)
PASSERIFORMES රිටිලගු ගෝත්‍රය
බොර සබරිත්තා Brown Shrike (Lanius cristatus cristatus)
Indian Paradise-flycatcher (Terpsiphone paradisi paradisi)
බට්ටිච්චා Common Tailorbird (Orthotomus sutrius)
ශ්‍රී ලංකා වැහි ලිහිණියා Ceylon Swallow (Hirundo hyperythra)
UPUPIFORMES පොරෝළු ගෝත්‍රය
පොරෝළුවා Common Hoopoe (Upupa epops)
මේ උද්‍යානය වැදගත් වන්නේ කුරුල්ලන් නිසා පමණක්ම නොවේ. බූන්දල කැස්බෑවන්ටද ප්‍රසිද්ධියක් උසුලයි. පොතු කැස්බෑවා, ඔළු ගෙඩි කැස්බෑවා, බටු කැස්බෑවා, දාර කැස්බෑවා, ගල් කැස්බෑවා යන කැස්බෑ වර්ග පහම මේ භූමියට පැමිණෙන බව කියති.
ක්ෂිරපායි සත්වයන්ගෙන්ද බූන්දල අඩුවක් නොමැත. අලි කිහිප දෙනෙක්, තිත් මුවා, ගෝනා, නරියා, උණහපුලුවා, කොළ දිවියා, වල් ඌරා, ඔලු මුවා, ආදීන් මෙන්ම දිවියන් හා වලසුන් කිහිප දෙනෙක්ද මෙහි වාසය කරන බව කියති. එමෙන්ම රන් මුගටියා, කැබැල්ලෑවා, රිලව් ආදීන්ද මෙහි වෙසේ.
බූන්දල ජාතික වනෝද්‍යානය
හැල කිඹුලා, ගැට කිඹුලා ආදී කිඹුලන් මෙන්ම තාරකා ඉබ්බා වැනි ඉබි වර්ග මෙහිදී දැකිය හැකිය. බූන්දල වැලි පොළඟා, වැලි පිඹුරා ආදී විෂ සහිත සර්ප වර්ග හතරක් සිටී.
මේ වැදගත් වනෝද්‍යානයේ කලපුවල ලවණ ප්‍රමාණය වෙනස්වීම නිසා සියක්කාරයන්ට (Flemingo) ආහාර හිඟවීම නිසා උන්ගේ පැමිණීම සීමාවී ඇති බව කියති. ආගන්තුක ශාඛ වර්ග පැතිරීම, නොයෙක් සංවර්ධන කටයුතු වැනි මිනිස් ක්‍රියාකාරකම් ආදිය මේ උද්‍යානයේ පැවැත්මට අහිතකර ලෙස බලපා ඇත.
Great
කැමතියිLiked by 1 person
කියවූවාට හා අදහස් දැක්වූවාට බොහොම ස්තුතියි.
කැමතියිLiked by 1 person
ගොඩක් ප්‍රයෝජනවත් මෙම ලිපිය බොහොම ස්තුතියි.
කැමතියිLiked by 1 person
කියවූවාට හා අදහස් දැක්වූවාට බොහොම ස්තුතියි. කුමන ගැන ලියූ ලිපියටත් ( https://sarisaraweb.wordpress.com/2019/03/20/%e0%b6%b1%e0%b7%92%e0%b7%84%e0%b7%90%e0%b6%bb%e0%b7%92-%e0%b7%80%e0%b7%92%e0%b7%84%e0%b6%9f%e0%b7%94%e0%b6%b1%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b6%9c%e0%b6%b8%e0%b6%b1%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a/) කැමති වේයයි සිතමි. එයත් කියවන්න.
කැමතියිකැමතියි