පොළොන්නරු යුගයෙන් පසු බෞද්ධ සිද්ධස්ථාන වලට හින්දු ආගමෙන් කිසියම් බලපෑමක් ලැබී ඇති බවක් මෙන්ම පසු කාලීනව බෞද්ධ සිද්ධස්ථාන පිහිටි පරිශ්‍රය තුලම හින්දු ආගමික වතාවත් පැවැත්වීම සඳහාද පහසුකම් සැලසූ බවක්ද දැකගත හැකිය. 14 වන සියවසේදී ඉදිවූ උඩුනුවර ලංකා තිලක රජ මහා විහාරය බෞද්ධ හා හින්දු ආගම් වලට එකසේ ගෞරවය පුදකළ සිද්ධස්ථානයකට කදිම නිදසුනකි.
මාර්ග කීපයකින්ම පිවිසිය හැකි ලංකා තිලක රජ මහා විහාරස්ථානය මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර හියාරපිටිය නමැති ගමේ පැන්හල්ගල නම් පර්වතයක් මත ඉදිකොට ඇත. ගම්පොල රාජධානි සමයේ ක්‍රි.වර්ෂ 1344 දී හතරවන බුවනෙකබා රජතුමාගේ අනුග්‍රහයෙන් එතුමාගේ ඇමතිකෙනෙකුවූ සේනාධිලංකාර නම් ඇමති වරයා විසින් මෙය කරවූ බව සඳහන්වේ. සේනාධිලංකාර ඇමති ස්ථපති රායර් නම් දකුණු ඉන්දීය ශිල්පියකුගේ සහාය මේ සඳහා ලබාගෙන ඇත. ස්ථපති රායර් මේ ඉදිකිරිම සඳහා පොළොන්නරු යුගයේ සිංහල හා හින්දු වාස්තු විද්යාශිල්පය මෙන්ම ඉන්දු චීන වාස්තු විද්යාශිල්පයද උපයෝගී කරගෙන ඇතිබව සෙනරත් පරණවිතාන මහතාගේ අදහස වී ඇත.
මේ විහාරස්ථානය ඉදි කිරීම සඳහා භුමිය තෝරා ගැනීම පිළිබඳව පුරාවෘතයක්ද අසන්නට ලැබේ. ඒ පුරාවෘතයෙන් කියවෙන පරිදි, මේ පැන්හල්ගල පාමුල පිහිටා තිබුණු සංඝාවාසයක භික්ෂුන් වහන්සේනමක් සිය ගුරුවරයා සමග ඇතිවූ සිත් අමනාපයක් නිසා පැන්හල්ගල පර්වතයට පිවිස ඇත. උන්වහන්සේ පර්වතය මතවූ පොකුණේ රන් කලයක් පාවෙමින් තිබෙනු දැක එය ගන්නට උත්සාහ කළවිට එය දියේ ගිලී වෙනත් තැනකින් මතුවී තිබේ. මේ අද්භූත සිද්ධිය තම ගුරුවර ස්වාමින්වහන්සේට දැන්වූ විට ඒ ගැන සොයාබලා ඒ සිද්ධිය පිළිබඳව රජතුමාට දන්වා ඇත. රජතුමාගේ නියෝගයෙන් මේ ගැන සොයා බැලූ ඇමතිවරයෙකු මේ සිද්ධිය සත්‍ය බවත් ඒ ස්ථානය ජය භූමියක් ලෙස සලකා රජ මාලිගයක් ඉදිකිරිම මැනවයි යෝජනා කර ඇත. එහෙත් රජතුමා එහි දේවාලයක් හා විහාරයක් කරවා සංඝයා වහන්සේලාට පුජා කරන්නට පියවර ගෙන ඇත.
බෝධිය
ලංකා තිලක රජ මහා විහාරය, දේවාල සහිත ප්‍රථිමා ගෘහයක්, ස්ථුපයක්, බෝධියක්, ධර්ම ශාලාවක්, දේවාල හා දෙවියන්ට පුජා කෙරෙන දානය පිළියෙළ කෙරෙන මුළුතැන් ගෙයක්, වී අටුවක් හා සංඝාවාස ආදී සියලු අංග වලින් පරිපුර්ණ සිද්ධස්ථානයකි.
ස්ථුපය
මේ සියල්ල අතරින් වැදගත්ම ගොඩනැගිල්ල වන්නේ දේවාල සහිත ප්‍රථිමා ගෘහයයි. අක්‍රමවත් බෑවුමක් සහිත ගල් කුලක් මත කළුගල් අත්තිවාරමක් සහිතව ගඩොලින් ඉදිවූ මේ ගොඩනැගිල්ලේ නැගෙනහිරට මුහුණලා ඇති කොටස බුදු පිළිම සහිත විහාරගෙය වන අතර බටහිරට මුහුණපා ඇති කොටස හින්දු ආගමික දේවාල වෙයි.
මේ පුජනිය භූමියට පිවිසීම සඳහා මං පෙත් දෙකක් වෙයි. ගිරිකුල පාමුල පිහිටි සංඝාවාසය අසලින් ඇරඹෙන 14 වන සියවසේදී ඉදිකළ පියගැට පෙළ ඔස්සේ මීටර් 45 ක් පමණ ඉහලට නැගීමෙන් හෝ 1913 දී පමණ පිළියෙළ කරන ලද පිය ගැට පෙළ ඔස්සේ බටහිර පිවිසුම වෙත ලඟා විය හැකිය.
ලංකාතිලක විහාරයට හා දේවාල වලට පුජාකළ දේපල හා වත්කම් ගැන සඳහන්කොට ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා තඹ ලෝහයෙන් පොතක් ආකාරයෙන් පිළියෙළ කොට සිංහලෙන් කළ තඹ සන්නසක් විහාරයට ප්‍රධානය කොට ඇත. මේ සන්නසෙහි දැක්වෙන පරිදි මේ ගොඩනැගිල්ල සිව් මහලකින් යුක්තව අඩි 80 ක් උසට තිබී ඇත. මුල් කාලයේදී ප්‍රථිමා ගෘහයේ පිටත බිත්ති තුනක මැද කොටසේ හා ඉදිරිපස බිත්තිය දෙපස පිළියෙළ කළ මණ්ඩප වල දේව ප්‍රතිමා තැන්පත් කොට තිබී ඇත. පසු කාලීනව පිටත බිත්ති ආවරණය කොට ප්රදක්ෂිණා පථයක් නිර්මාණය කොට දේවාල වල ඉදිරිපස දොරටු පහක් හා බටහිරින් වූ ප්‍රධාන දොරටුව අභියස මණ්ඩපයක් සහිත අන්තරාලයක් තනවා තිබේ.
බටහිරින් වූ ප්‍රධාන දොරටුව
අනුරාධපුර යුගයේ සිටම ශ්‍රී ලංකාවේ බෞද්ධ සිද්ධස්ථාන ශ්‍රී ලාංකික කලාකරුවන්ගේ හා ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ නිර්මාණ කෞශල්‍යය විදහා දක්වන ස්ථාන බවට පත්ව තිබිණ. එමෙන්ම ලංකා තිලක රජ මහා විහාරයද ගම්පොළ යුගයේ ශිල්පීන්ගේ කලා කුසලතාවයන් හෙලිදැක්වූ ස්ථානයකි.
නැගෙනහිර ප්‍රධාන දොරටුව හා මකර තොරණ
සඳකඩ පහන
ගජ සිංහ රූප කැටයම් කළ කොරවක් ගල්
විහාර ගෙයට ඇතුළුවන දොරටුව ඉදිරියේ සඳකඩ පහනක්, ගජ සිංහ රූප කැටයම් කළ කොරවක් ගල් සහිත පිය ගැට පෙළක්, මකර තොරණක් ආදිය දක්නට හැකිය. මකර තොරනෙහි ගජ ලක්ෂ්මි හා ගාන්ධර්ව රුප සිත් ගන්නා සුලුය. ප්‍රධාන දොරටුවෙන් ඇතුළුවූ පසු චිත්රවලින් සැරසු කුඩා දොරටුවක් ඇත. විහාර ගෙයට ඇතුළු වූ පසු දෙපස බිත්තිවල සිංහ රුප දෙකක් හා සුවිසි විවරණ සිතුවම් දක්නට ඇත.
සිංහ රුප දෙක
විහාර ගෙය තුල මකර තොරණක් යට විශාල හිඳී පිළිමයක් හා දෙපස හිටි පිළිම දෙකක් පිහිටුවා තිබේ. මේ පිළිමවලින් බුදුරජානන් වහන්සේගේ අධ්‍යාත්මික ගුණය ඉස්මතු කිරීමට වඩා උන්වහන්සේගේ බාහිර ලක්ෂණ පෙන්වීමට උත්සාහ ගෙන ඇත. දැඩි කාය ස්වරුපය හා විවෘත දෙනෙත් කැපී පෙනෙයි. සිවුරේ රැලි දක්වා ඇති ආකාරයද විශේෂිතය. උෂ්නිය මත සිරස් පතක්ද දැකිය හැකිය. බුදු පිළිම වෘතාකාර පළල් මුහුණකින් සහ පටු නළලතකින් යුක්තවීමද විශේෂ ලක්ෂණයකි මේ පිළිම නිර්මාණයේදී දකුණු ඉන්දීය අභාෂය ලැබී ඇති බවක් පෙනේ.
පිළිම
මේ මකර තොරණ වෙනත් ස්ථානයක දක්නට නොලැබෙන ආකාරයේ විශේෂිත වුවකි. මේ මකර තොරණේ ආරුක්කුව කිඹිසි මුහුණකින්, අලංකාර මල් ලියකමින් හා සිංහ රූප වලින් අලංකාර කොට ඇත. ඒ පිටුපසින් ශුද්ධාවාස බ්‍රහ්මයින් සිව්දෙනා, පාර්වතී දෙවඟන, හින්දු ආගමේ දෙවිවරුන් ලෙස පිළිගත් දෙවි වරුන් තම භාර්යාවන් හා අර්ධ මානව ස්වරුපයෙන් දැක්වෙන ඔවුන්ගේ වාහනය ලෙස සැලකෙන සත්වයන්ගේ රූප ආදිය නිර්මාණයකොට ඇත.
මකර තොරණ
මේ විහාරස්ථානය ඇතුලත සිතුවම් කොට ඇත්තේ රහතන් වහන්සේලා හා සූවිසි විවරණ දැක්වෙන සිතුවම්, සොලොස්මස්ථානය හා අන්තරාලයේ සත් සතිය දැක්වෙන සිතුවම් ආදියයි.
සූවිසි විවරණ
ඒ සිතුවම් වලට වෙන්කළ ඉඩ ප්‍රමාණය හා සමාන ඉඩ ප්‍රමාණයක් වෙන් කොට ඇත්තේ තවත් ආකර්ශනීය සිතුවම් සමුදායක් වන අලංකාර මල් මෝස්තර සඳහාය. ආරුක්කු වියන් ආදිය ලියවැල්, නාරිලතා මල්, හංස පුට්ටුව, පත්‍ර මෝස්තර ආදියෙන් අලංකාර කොට තිබේ.
මල් මෝස්තර
මෙහි කිර්ති ශ්‍රී රාජසිංහ රජතුමා, සේනාධිලංකාර ඇමති, පිරිවෙන් හා විහාරාධිපති හිමිවරුන් ආදීන්ගේ රූප සිතුවම් කොට ඇත. සත් සතිය හැරුණු විට බුද්ධ චරිතයේ වෙනත් අවස්තාවන් හෝ ජාතක කථා ආදිය මෙහි සිතුවම් කොට තිබෙනු දක්නට නැත.
මේ ගොඩනැගිල්ලේ ප්‍රතිමා ගෘහය බිත්තිවලින් වෙන් කොට ඇති නිසා බටහිර දොරටුවෙන් ඇතුළු වන්නේ දේවාල වලටය. ගොඩනැගිල්ල දෙපස ඇති දොරටු වලින්ද දේවාල වලට පිවිසිය හැකිය.
දෙපස ඇති දොරටු
මෙහි විෂ්ණු, උපුල්වන්, සුමන සමන්, විභිෂණ, ගණදෙවි, ස්කන්ධ කුමාර ආදී දේව ප්‍රථිමා තැන්පත් කර ඇත. ඊට අමතරව ලංකාතිලකයට අධිපති දෙවියන් ලෙස සැලකෙන කුමාර බණ්ඩාර නමැති දෙවියන්ගේ ප්රථිමාවක්ද වේ.
බටහිර වාහල්කඩ
ලංකා තිලක රජ මහා විහාරයට හා දේවාලවලට පූජා කළ ගම්වරයන් පිලිබඳ විස්තර අඩංගු සිංහල හා දෙමළ භාෂා වලින් ලියන ලද සෙල් ලිපි දෙකක් මේ විහාර පරිශ්‍රයේ ඇත.
සෙල් ලිපි
මේ විහාරය සතුව පවතින කෞතුක භාණ්ඩ අතර ක්‍රි.ව.1765 දී හඟුරන්කෙත සටනින් පරද පලාගිය ලන්දේසින්ගෙන් අත්පත් කරගත් ඕලන්ද රාජකීය කොඩියක්, මැණික් පිළිමයක්, ඇත්දත් ධාතු කරඬුවක්, ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ සළු පිළි කීපයක්, කඟවේන් අඟකින් කළ වටාපත් මිටක් ආදිය ඇති බව කියති.
දේවාල ගොඩනැගිල්ලක්
මහනුවර දළදා මාලිගාවේ ඇසල පෙරහරට පසුව සම්ප්‍රදායානුකුලව ලංකා තිලක රජ මහා විහාරයේද වාර්ෂික පෙරහර පැවැත්වේ. එමෙන්ම දිනපතා කෙරෙන තේවාවන් වලට අමතරව වාර්ෂිකව අලුත් සහල් මංගල්‍යය, කාර්තිකමංගල්යය, ආදී උත්සවයන්ද සිදුකෙරේ.
ලංකාතිලකය ගැන වටිනා පහදා දීමක්! ඔබතුමාට ස්තුතියි
කැමතියිLiked by 1 person