පොත්ගුල් වෙහෙර නමින් හැඳින්වෙන සිද්ධස්ථාන කීපයක්ම ලංකාවේ ඇති නමුත් අපට ඒ නම ඇසූ පමණින්ම සිහිපත් වන්නේ පොළොන්නරුවේ පොත්ගුල් වෙහෙරයි. එහෙත් පොළොන්නරු සංචාරයේ යෙදෙන හැමදෙනාම මේ පොත්ගුල් වෙහෙරට යනවාදැයි සැක සහිතය. පොළොන්නරුවේ ඓතිහාසික ස්මාරක බොහොමයක් පිහිටි පැරණි නගරයට දකුණට වන්නට පරාක්‍රම සමුද්‍රය ඉස්මත්තේ හුදකලාව පිහිටා තිබීම එහි ආකර්ෂණය අඩුවීමට හේතුවී ඇතැයි සිතිය හැකිය. පොලොන්නරුව පුරාවිද්‍යා කෞතුකාගාරයේ සිට වැව් බැම්ම මාර්ගයේ කිලෝමීටර් දෙකක් පමණ දකුණට ගියවිට පොත්ගුල් වෙහෙර පරිශ්‍රයට ලඟා විය හැකිය.
පොත්ගුල් විහාර සංකීර්ණය බෞද්ධාරාම සංකීර්ණයකි. මෙය පළමුවන පරාක්‍රමබාහු රජතුමා (ක්‍රි. ව. 1153-1186) විසින් ඉදිකරවන ලද්දක් ලෙස සැලකේ. මෙය පොළොන්නරු යුගයේදී කිනම් නමකින් හැඳින්වූයේදැයි නොදන්නා අතර වංශ කථාවන්හි සඳහන් වන පළමුවන පරාක්‍රමබාහු රජතුමා කරවූ කපිල විහාරය මෙය විය හැකි බවට සමහර විද්වත්හු විශ්වාස කරති. ලංකාවේ අග නගරය පොළොන්නරුවෙන් විතැන් වීමෙන් පසුව සියවස් ගණනාවක් තිස්සේ වල්බිහිව නටබුන් බවට පත්ව තිබූ මේ භුමිය 1904 දී පමණ එළිපෙහෙළි කරවා කැනීම් සිදු කරන ලද්දේ 1906 දී බෙල් මහතා ප්‍රමුඛ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගිනි.
පොත්ගුල් විහාර පෙදෙස තුල ප්‍රධාන ස්මාරක දෙකක් දැකිය හැකිය. ඉන් එකක් වනුයේ මේ පරිශ්‍රයට ඇතුළුවූ පසු වම්පසින් ගල් කුලක ද්විභංග ආකාරයෙන් බහු උන්නතව 12 වන සියවසේදී පමණ නිමකරන්නට ඇතැයි සැලකෙන තේජාන්විත පුරුෂයෙකුගේ පිළිමයයි.
පොත්ගුල් විහාර ප්‍රථිමාව
මේ පිළිමය අඩි 11 අඟල් 6 ක් පමණ උසකින් යුක්තය. බොකුටු කොණ්ඩය හිස මුදුන් කොට බැඳි කේතු රූපාකාර ජටා මකුටයකි. දිගු උඩු රැවුල හා යටි රැවුල මනාව සකස් කොට ඇත. පැතලි නාසයකින්, පළල් තොල් සඟලකින් හා දිගු කන් සහිතව සිරස නෙලා ඇත. ශරීරය මඳක් ස්‌ථුලය. ළැම සහ උදරය පිටතට නෙර ඇත. පිරිපුන් බාහු වලින් යුත් වැලමිටින් ඉදිරියට යොමුවූ දෙඅත් වලින් යමක් දරා සිටී. උඩුකය නිරුවත්ය. පිරිමි ගැටයක් යෙදු පටියකින් රඳවා ඇති අලංකාර දුහුල් දෝතියකින් යටිකය සරසා ඇත. වම් කකුලට බරදී දකුණු කකුල නිදහස්ව ද්විභංග ආකාරයෙන් සිටී. සමස්තයක් ලෙස සලකා බලන විට ප්‍රතිමාව මැදිවිය ඉක්‌මවූ ශාන්ත හා තේජාන්විත පුද්ගලයෙකු නිරුපනය කෙරෙන බව පෙනේ. මේ ආකාරයේ නෙලා ඇති ලංකාවේ දක්නට ලැබෙන එකම ප්‍රතිමාව මෙයයි. මෙය අග්නිදිග ආසියාවෙන්ම දක්නට ලැබෙන ව්ශිෂ්ඨ ප්‍රතිමා නිර්මාණයක් බව සෙනරත් පරණවිතාන මහතාගේ අදහස් කරයි.
පොත්ගුල් විහාර ප්‍රථිමාව
මේ ප්‍රතිමාව කාගේද යන්න හා කුමක් සඳහා නෙලුවේද යන්න පිළිබඳව ස්ථිර නිගමනයක් නැත. එමෙන්ම ප්‍රතිමාව අත දරා සිටින වස්තුවද හරියාකාරව හඳුනාගෙන නැත. එය පුස්කොල පොතක් බව සමහරෙකුගේ මතය වන අතර පරණවිතාන මහතාගේ මතය වී ඇත්තේ එය රාජ්‍යත්වයේ සංකේතයවූ වියගස බවයි. මෙය තුලාවක හරස් දණ්ඩක් වියහැකි බවටද ඇතැම්හු කරුණු දක්වති. මේ ප්‍රතිමාවේ රාජාභරණ හෝ සෘෂි වරුන් භාවිතා කරන පූන නූල, පැන් කෙණ්ඩිය හා ඇට මාල ආදිය නොමැතිවීම නිශ්චිතව ප්‍රතිමාව හඳුනා ගැනීමට බාධාවක් වී ඇත.
මේ ප්‍රතිමාව රජෙකුගේ හෝ බෞද්ධ යතිවරයෙකුගේ නොව ප්‍රසිද්ධ ගුරුවරයෙකුගේ ප්‍රතිමාවක් විය හැකිබව එච්. සී. පී. බෙල් මහතාගේ අදහසයි. සෙනරත් පරණවිතාන මහතා මේ ප්‍රතිමාව සෘෂි වරයෙක් හෝ තාපසයෙකු පිළිබිඹු කෙරෙතැයි මුලින් විශ්වාස කළද පසුව එය පරාක්‍රමබාහු රජතුමාගේ බව ප්‍රකාශ කළේය. බරෝස් මහතාගේ මතය වන්නේ නීති ග්‍රන්ථයක් අතැතිව සිටින පරාක්‍රමබාහු රජතුමාගේ ප්‍රතිමාවක් බවයි. ප්‍රතිමාවේ හිස පිටුපස කොටා ඇති පුල-ස-ත ලෙස හඳුනාගෙන ඇති අක්ෂර අනුව මේ ප්‍රතිමාව පුලස්ති සෘෂි වරයාගේ බව සමහරු කියති. එය කපිල සෘෂි වරයාගේ හෝ අගස්ත්‍ය සෘෂි වරයාගේ බව තවත් සමහරු කියති. මෙය පැරකුම්බා රජ සමයේදී ඉන්දියාවෙන් පැමිණ මෙහි අධ්‍යාපනය ප්‍රචලිත කල බ්‍රාහ්මණ පුජකවරයෙකුගේ බව අනුරාධ සෙනෙවිරත්න මහතාගේ අදහස වී තිබේ. තවත් කෙනෙකුගේ අදහස වී ඇත්තේ මෙය නිශ්ශංකමල්ල රජතුමාගේ ප්‍රතිමාවක් බවයි. මහාචාර්ය අනුර මනතුංග මහතාගේ මතය වී ඇත්තේ මෙම ප්‍රතිමාවේ අත දරා සිටින්නේ රෙදි කඩක් (පාශයක්) බවයි. බෞද්ධ විහාර පරිශ්‍රයක ඉදිකරනුයේ බුද්ධ ප්‍රථිමා, රහතන් වහන්සේලා වැනි සංඝයා වහන්සේලාගේ ප්‍රථිමා හා බෝධිසත්ව ප්‍රථිමා පමණක් වන බැවින් මේ ප්‍රතිමාව බෞද්ධ ප්‍රථිමා ලක්ෂණ අනුව පාශයක් අත දරා සිටින අමෝඝපාශ බෝධිසත්ත්වයන්ගේ බව මනතුංග මහතාගේ අදහසයි.
පුස්තකයක් දෑතින් දරා ඉදිරිපස තිබෙන පුස්තකාලය දෙස බලාසිටින ප්‍රතිමාවේ කැටයම බුද්ධියේ අග්‍රඵලය සංකේතාත්මකව ඉදිරිපත් කිරීමට ප්‍රවීන කලාකරුවකු විසින් කළ ප්‍රතිභාපුර්ණ නිර්මාණයක් මිස ඉන් කිසියම් නිශ්චිත පුද්ගලයෙකු නිරූපනය නොකරන බව ප්‍රතිමාව පිළිබඳව තවත් අදහසක් වී ඇත. කෙසේ වෙතත් මේ පිළිබඳව අවසන් නිගමනයකට මෙතෙක් එළඹී නොමැති බැවින් ඉදිරියේදී සොයා ගන්නා කරුණු අනුව තවත් අදහස් ඉදිරිපත් විය හැකිබවට විශ්වාස කළ හැකිය.
මේ ප්‍රතිමාව අසල ඇති භුමියේ කුඩා කන්දක් සේ පෙනෙන භුමිය පැරකුම්බා රජතුමා ආදාහනය කල ස්ථානයේ ඉදිකළ දාගැබ ලෙස විශ්වාස කෙරේ.
පැරකුම්බා රජතුමා ආදාහනය කල ස්ථානය
පොත්ගුල් විහාර ප්‍රතිමාවේ සිට මීටර් 200 ක් පමණ දකුණු දෙසින් පිහිටි ගොඩනැගිලි සංකීර්ණය පොත්ගුල් විහාරය ලෙස හැඳින්වෙයි.
පොත්ගුල් විහාරය
මාලක හතරකින් සමන්විත මේ ගොඩනැගිලි සංකීර්ණය ප්‍රාකාරයකින් වටවී තිබී ඇත. ප්‍රවේශ දොරටු නැගෙනහිර, බටහිර හා දකුණු දිසා වලට මුහුණ ලා ඇත.
පහළින් වන මාලක සක්මන් මළු විය හැකිය. තුන්වන මාලයේ ගොඩනැගිලි නවයක නෂ්ඨාවශේෂ දැකිය හැක. මේවා භික්ෂුන් වහන්සේලා වැඩසිටි කුටි විය හැකිය.
භික්ෂුන් වහන්සේලා වැඩසිටි කුටි
භික්ෂුන් වහන්සේලා වැඩසිටි කුටි
මේ ගොඩනැගිලි ඉහල මාලකයට මුහුණ ලා ඇත. ඉහලම මාලකයට පිවිසීම සඳහා නැගෙනහිර පැත්තේ පඩි පෙළකි. ඉහළ මාලකයට එකතුවන වැසි ජලය බැහැර කිරීම සඳහා සිව් දෙසින්ම ශිලාමය ජල නල දෙකක් බැගින් පිහිටුවා තිබීමද විශේෂත්වයකි.
පඩි පෙළ හා ජල නල
ඉහළ මාලකය මධ්‍යයේ ඇති ගොඩනැගිල්ල විශේෂිත ඉදිකිරීමකි. එය වට ප්‍රමාණය අඩි 157 ක් වන ගෝලාකාර ගොඩනැගිල්ලකි.
ගෝලාකාර ගොඩනැගිල්ල
ඊට කවුළු කිසිවක් තබා නැත. ගඩොල් වලින් නිමකොට තිබූ අර්ධ ගෝලාකාර වහලය බිඳවැටී තිබේ. ඇතුළුවන ශිලාමය උළුවස්ස ගොඩනැගිල්ලට මනාව ගැලපි ඇත.
ශිලාමය උළුවස්ස
ශිලාමය උළුවස්ස
අභ්‍යන්තර බිත්තිවල සිතුවම් ඇඳ තිබී ඇත. ඒවායේ ශේෂයන් තවමත් දැකිය හැක.
සිතුවම් ශේෂ
සිතුවම් ශේෂ
නැගෙනහිර පැත්තේ ආයත චතුරශ්‍රාකාර අන්තරාලයක් හා තවත් අන්තරාලයක පාදමක නටබුන් තිබේ.
අන්තරාලයක පාදම
ගොඩනැගිල්ලේ පිටත බිත්ති පේකඩ ආදියෙන් අලංකාර කර තිබෙන්නට ඇත. ශේෂවී ඇති පේකඩ කොටස් තවම දැකිය හැකිය. පිටත බිත්තිවල දක්නට ලැබෙන කවුළුවල පිළිම අඹා තිබෙන්නට ඇත.
පේකඩ
මේ ගොඩනැගිල්ල පළමුවන පරාක්‍රමබාහු රජතුමා ජාතක කතා ශ්‍රවනය කිරීම සඳහා ඉදිකළ මණ්ඩල මන්දිරය විය හැකිබව බෙල් මහතා අදහස් කර ඇත. මේ ගොඩනැගිල්ලේ උළුවස්සේ ඇති පාලි භාෂාවෙන් සටහන්කොට ඇති සෙල් ලිපියේ මේ ගොඩනැගිල්ල මුලින්ම පරාක්‍රමබාහු රජතුමා ඉදිකළ බවත් පසුව එතුමාගේ දෙවැනි මෙහෙසිය වූ චන්ද්‍රාවතී රැජින ඊට මණ්ඩපයක් එක කළ බවත් සඳහන්වේ. මෙවන් ගොඩනැගිල්ලක් ලංකාවේ වෙනත් කිසිම තැනකින් හමුවී නොමැත. බෙල් මහතා පවසා ඇත්තේ මෙය බෞද්ධ වාස්තු විද්‍යාවේ අනගි නිර්මාණයක් බවයි. කාම්බෝජයේ මින්බියන් විහාරයේ ගොඩනැගිලිද මේ හා සමාන බව කියනු ලැබේ.
මේ ගොඩනැගිල්ල ඇතුලත ඇති ඉඩ ප්‍රමාණය ගැන සලකා බලන විට මෙය ජාතක කතා ශ්‍රවනය කිරීම සඳහා ඉදිකළ ගොඩනැගිල්ලක්දැයි සැක ඇතිවේ. නිදන් හොරුන්ගෙන් මේ ගොඩනැගිල්ලට විශාල ලෙස හානි පැමිණී ඇති බැවින් මේ ගොඩනැගිල්ල තුල කිනම් පූජණීය භාණ්ඩයක් විනිදැයි හෙළිවී නොමැත. ධර්ම ග්‍රන්ථ වලට වැඳුම් පිදුම් කිරීම මහායානයේ සිරිතක්ව තිබී ඇත. ක්‍රි.ව.522 – 535 සිලාකාල රජ සමයේ වාර්ෂිකව ඇතුළු නුවර සිට ජේතවනාරාමයට ගෙනෙන ලද දහම් පුස්තකයක් ශාලාවක තබා පුද පුජා කිරීමේ සිරිතක් තිබී ඇත. ජේතවන භික්ෂුන්වහන්සේලාගේ පුජාවන්ට භාජනය වූවාසේ සැලකෙන පංච විංසතිසාහශ්‍රිකා නම් දෙවන සියවසට පමණ අයත් හා හයවන සියවසේදී පමණ මහායානිකයන් විසින් ලංකාවට ගෙනෙන ලදැයි සැලකෙන ධර්ම ධාතු රන්පොතෙහි පත්‍රිකා කීපයක් කොළඹ ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරේ. ඒ අනුව මෙහිද ධර්ම ධාතූන් සේ සැලකෙන ග්‍රන්ථ තැන්පත්කර තිබෙන්නට ඇත. මෙය මේ ආරාමයේ පුස්තකාලය වූවාද විය හැකිය. එසේ වූවානම් මෙය ලෝකයේ පළමුවන පුස්තකාලයයි. එහෙයින් මිට පොත්ගුල් වෙහෙර ලෙස හැඳින්වූවා විය හැකිය. මෙය පුස්තකාලයක් විය නොහැකිබව පරණවිතාන මහතාගේ අදහසයි. සේනක බණ්ඩාරනායක මහතා මෙය චේතිය ඝරයක් වියහැකි බවත් එච්. ටී. බස්නායක මහතා මෙය ප්‍රථිමා ඝරයක් වියහැකි බවත් ප්‍රකාශ කොට ඇත.
දාගැබ්
මේ ඉහල මාලකය සිව්කොන වට ප්‍රමාණය අඩි 18 ක් පමණ වන දාගැබ් හතරක් තනවා ඇත. මහායානයේ ස්තුපද ධර්ම ධාතු ලෙස සැලකූ බව පෙනේ. එහෙයින් පළමුවන පරාක්‍රමබාහු රජතුමා ඉදිකළ ධම්මාගාරය මෙය විය හැකිය.
මේ පොත්ගුල් විහාර පරිශ්‍රය තහවුරු කොට පවත්වාගෙන යාම පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට හා මධ්‍යම සංස්කෘතික අරමුදලට කෘතඥ වෙමු. ඉදිරියේදීත් ගවේෂණ කටයුතු සිදුකොට සැඟවී ඇති තොරතුරු හෙළිදරව් කරණු ඇතැයි විශ්වාස කරමු.