ශ්‍රී ලංකාවේ පළමුවන දේශපාලන හා ආගමික අගනුවර අනුරාධපුරයයි. මල්වතු ඔය ඉවුරේ ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ පමණ ඇරඹුණු සේ සැලකෙන, වසර 1500කට වැඩි කාලයක් තිස්සේ ක්‍රමයෙන් වර්ධනය වූ මේ නගරය විශිෂ්ට සභ්‍යත්වයක කෙන්ද්‍රස්ථානයයි. ලංකාවට බුදු දහම පැමිණ ව්‍යාප්ත වීම හේතුවෙන් මේ නගරය පුරා ඉතා විශාල ආගමික සිද්ධස්ථාන බිහිවිය. දෙස් විදෙස් පතල අධ්‍යාපන මධ්‍යස්ථාන බිහිවිය. බෞද්ධ සංස්කෘතිය දස දෙස පතල විය 12 වන සියවසේ ආක්‍රමණ හේතුවෙන් අගනුවර පොළොන්නරුවට සංක්‍රමණය වුයෙන් මේ අලංකාර නගරය වල්බිහිවන්නට විය.
ඝන කැලෑවෙන් වැසී තිබුණු මේ පුරවරය බෙල්, සෙනරත් පරණවිතාන ආදී පුරාවිද්‍යා කොමසාරිස් වරුන්ගේ කැපවීම නිසා කටු කොහොල් හෙලිකොට පැරණි ශ්‍රී විභූතිය හෙළිකරගන්නට හැකිවි තිබේ.සංස්කෘතික ත්‍රිකෝණ වැඩ සටහන අනුවද අනුරාධපුරයේ ආගමික ස්මාරක සංරක්ෂණය කොට තිබේ. සාරධර්ම හුවමාරුව,සංස්කෘතික සම්ප්‍රදායන් හා විශ්වීය වැදගත් කමක් ඇති සිද්ධි වලට උරුමකම් කියන බැවින් 1982 සිට යුනෙස්කෝ සංවිධානය අනුරාධපුරය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කොට තිබේ.
අනුරාධපුරයේ පැරණි සිද්ධස්ථාන හා ඓතිහාසික ස්මාරක පිහිටි ප්‍රදේශ පහත සඳහන් පරිදි කලාප කිහිපයකට වෙන් කල හැකිය.
- මහා විහාරය
- අභයගිරිය
- ජේතවනාරාමය
- ඇතුල් නුවර
- දක්ෂිණ විහාරය
- පශ්චිමාරාමය
- පාචීන තිස්ස පබ්බත විහාරය
අභයගිරිය – උත්තරාරාමය
මේ අතර පුජාභූමි ප්‍රදේශයේ පිහිටි අභයගිරි විහාර සංකීර්ණයට හිමිවන්නේ ඉතා වැදගත් තැනකි. එය අනුරාධපුරයේ පැවති විහාරාම අතරින් විශාලතම ආරාම සංකීර්ණයයි. කලාත්මක වාස්තු විද්‍යාත්මක ආදී විවිධ මානයන්ගෙන් බලනවිට අනුරාධපුරයේ පිහිටි ආකර්ශනීය ස්මාරකයන් බොහොමයක් අයත්වන්නේ අභයගිරි සංකීර්ණයට බව පෙනේ.
අභයගිරි විහාර සංකීර්ණය අක්කර 500ක පමණ භූමි භාගයක පැතිර පවතී. ක්‍රි.පු.109 හා 89 – 77 පමණ කාලයේ රජකම් කල වට්ටගාමිණි අභය (වළගම්බා)රජතුමා අභයගිරියේ නිර්මාතෘවරයා ලෙස පිළිගැනේ. මේ භුමියේ කලින් සිටි ගිරි නම් ජයින තවුසා, ආක්‍රමණිකයින්ගේ තර්ජන හේතුවෙන් නුවරින් පලායන වට්ටගාමිණි අභය (වළගම්බා)රජතුමාට “මහා කළු සිංහළයා පලායන්නේ”යැයි අවමන් කල බව වංශ කතාවල සඳහන් වේ. පසුව නැවත බලයට පත් වට්ටගාමිණි අභය රජතුමා තමාට අවමන් කළ ගිරි නිගන්ඨයාගේ අසපුව විනාශ කොට, රජුට නැවත බලයට ඒමට උදව් කළ මහාවිහාරික කුපික්කල මහා තිස්ස නම් ස්වාමින්වහන්සේ නමකට පිරිනැමීම සඳහා මෙය ඉදිකොට ඇත. උන් වහන්සේ මේ ආරාමය පිළිගෙන ඇත. තිස්ස ස්වාමින්වහන්සේ පෞද්ගලිකව මෙය පිළිගැනිම නිසා මහා විහාරයේ භික්ෂුන් වහන්සේලා ඔහුට කුල දුෂක ලෙස චෝදනා කොට මහා විහාරයෙන් නෙරපා ඇත. එහෙයින් තිස්ස ස්වාමින්වහන්සේගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ නමක් විශාල අනුගාමිකයන් රැසක් සමග මහා විහාරයෙන් ඉවත්ව අභයගිරියට ගොස් ඇත. මෙය ශ්‍රී ලංකාවේ ඇතිවුණු පළමු සංඝ භේදය ලෙස සැලකේ.
ථේර වාදයට නොගැලපෙන බව සැලකෙන දහමක් දේශනා කරන ඉන්දියාවේ සිට පැමිණි ධම්මරුචි නම් භික්ෂුව ප්‍රමුඛ භික්ෂුන්වහන්සේලා පිරිසක් අභයගිරියට පැමිණ ඇත. ඔවුන්ගේ දහම අභයගිරි වාසි භික්ෂුන් පිළිගැනිම නිසා ඔවුන් දම්මරුචි නිකාය වශයෙන් ප්‍රකට වින. අභයගිරි විහාරය ලංකාවේ මහායාන බුදු දහමේ කෙන්ද්‍රස්ථානය විය. සිව්වන ශතවර්ෂයේදී පමණ මහසෙන් රජු විසින් මහා විහාරය විනාශ කොට අභය ගිරිය නගා සිටුවන ලදී. ඒ අනුව, පස්වන සියවස පමණ වන විට අභයගිරි පාර්ශවය භික්ෂුන් වහන්සේලා 5000 ක් පමණ සිටි බව කියවේ. දන්ත ධාතු වහන්සේ හා පාත්‍රා ධාතුවද මෙම විහාරය සන්තකයේ තිබුණු බැවින් අභයගිරිය ඉතා ප්‍රබල ස්ථානයක තිබුණු බව පෙනේ.
ස්තුපය,බෝධිඝරය,පොහොය ගෙය, පදාන ඝරය,පිරිවෙන් නේවාසිකාරාම,ළිං ,පොකුණු,ඡන්තාගාර, ආදී ප්‍රධාන විහාරාමයකට අවශ්‍ය සියලු අංග වලින් මෙය පරිපුර්ණය. මෙය උත්තර මූල, වහදු මූල, කපාරා මූල හා මහනෙත්පාමුල යනුවෙන් මූල හතරකින් සමන්විතව තිබී ඇත.
(අභයගිරි විහාර සංකීර්ණය පිළිබඳව ලියවී ඇති ශාස්ත්‍රීය පොත පත බොහෝය. මෙහිදී මා උත්සාහ කරන්නේ අභයගිරි විහාර සංකීර්ණය තුල දැකිය හැකි ස්ථාන පිළිබඳව කෙටි හැඳින්වීමක් කිරීමටයි.)
අභයගිරිය නැරඹීම
ඉතා විශාල භුමි ප්‍රදේශයක පැතිරී ඇති අභයගිරි විහාර සංකීර්ණය නැරඹීමට පෙර අභයගිරි කෞතුකාගාරය නැරඹීම වැදගත්ය. අභයගිරි සංකීර්ණය ගවේෂනයකිරිමේදී සොයාගන්නට ලැබුණු කෞතුක භාණ්ඩ රැසක් මෙහි ප්‍රදර්ශනයට තබා ඇත. එසේම එහිදී නැරඹිය යුතු ස්ථාන පිලිබඳ දල අවබෝධයක් ලබා ගත හැකිය.
අභයගිරි සංකීර්ණය ස්මාරක පිහිටීම
(දලවශයෙන් )
අභයගිරි දාගැබ
අභයගිරි සංකීර්ණයේ විශාලතම ඉදීකිරීමයි අභයගිරි දාගැබ. එය ශ්‍රී ලංකාවේ ඉදිවුණු දෙවන විශාලතම දාගැබයි. ක්‍රිස්තු පුර්ව පළමුවන සියවසේ වට්ට ගාමිණි අභය (වළගම්බා) රජු විසින් ඇතුළු නුවරට උතුරින් පිහිටා තිබු සිරි පතුල් ලකුණක් මත මෙය ඉදිකල බව ෆාහියන් හිමිගේ දේශාටන වාර්තාවේ දැක්වේ.
අභයගිරි චෛත්‍යය ඉදිකරවන ලද්දේ පළමුවන ගජබාහු රජතුමා බවටත්, එසේම වට්ටගාමිණි අභය ඉදිකළ චෛත්‍යය පළමුවන ගජබාහු රජතුමා විශාල කර තැනවූ බවටත් මත දෙකක් පලවී ඇත. 12 වන සියවසේ මහා පරාක්‍රම බාහු රජතුමාද මෙය ප්‍රතිසංස්කරණය කල බව කියති.
අභයගිරි දාගැබේ නිධන් කොට ඇත්තේ ධාරණී මන්ත්‍ර හෝ සුත්‍ර කොටස් හෝ බුදු පිළිම ආදී ධර්ම ධාතු බවට මතයකි. (අභයගිරි පරිශ්‍රයෙන් හමුවී ඇති ක්‍රි.ව 9 සියවසට අයත්යැයි සැලකෙන මහායාන මන්ත්‍ර සහිත ඊයම් ඵලක කීපයක් කොළඹ ජාතික කෞතුකාගාරයේ ඇත.)
දාගැබ් ගර්භයේ විෂ්කම්භය අඩි 310 කි. උස ප්‍රමාණය නිශ්චිතව නැත. එය රියන් 180ක් වූ බව කෙනෙක් කියයි. පාහියන් හිමිගේ වාර්තාවල සඳහන් වන්නේ අඩි 400 ක් කියායි. මුල් කාලයේ දාගැබේ නංවා තිබුනේ යූප ගලක් හා ඡත්රයකි. හත්වන සියවසට පසුව කරන ලද ප්‍රතිසංස්කරණ වලින් පසුව දාගැබ කුඩාවූ බවක් පෙනේ. මේ ප්‍රතිසංස්කරණ වලදී යුපය හා ඡත්රය වෙනුවට දේවතා කොටුව, කොත් කැරැල්ල හා කොත එක්වී ඇත. දැනට මේ ස්තුපයේ උස අඩි 245 ක් පමණ වන බව කියති. මෙහි සල පතල මලුව එක පැත්තක දිග අඩි 585ක් පමණ වේ. එනම් අක්කර 8 ක් පමණවේ. මෙතරම් විශාල මළුවකට ඇදහැලෙන ජලය බැස යාමට පිලියෙලකළ පොකුණු හා ජලනිග්ගම නාල තවම දැකිය හැකිය. සල පතල මලුවට පිටින් ඇත් පවුරකි. සිව් දිශාවට දොරටු 4 කි. බටහිර දොරටුවට වම් පසින් ශෛලමය පා ධෝවනයකි. අඩි 95ක් පමණ පළල වැලි මළුවකි. දාගැබේ සතර දිගින් වාහල්කඩ සතරකි. මේවා දේව රුප, සත්ව රුප මල් කැටයම් ආදී ගල් කැටයම් වලින් අලංකෘතය. මුල් යුගයේ දාගැබේ නංවා තිබූ යූප ගලේ කොටස් මළුවේ තවම ඇත. මළුවේ සෙල් ලිපියක් හා නෙලුම් මලක් සේ නිර්මාණය කරන ලද මල් ආසනයක් ආදියද වේ.
බහිරව රූප.
දාගැබ දකුණු දොරටුව දෙපස තනා ඇති කුඩා කුටි දෙක තුල සංඛ හා පද්ම බහිරව පිළිම තැනපත් කර ඇත.මේවා මුර්ති ශිල්පයේ වැදගත් නිර්මානවේ. කුවේරයාගේ ආරක්ෂකයින් වන සංඛ හා පද්ම ආරක්ෂාවේ හා සෞභාග්‍යයේ සංකේත ලෙස පිළිගැනේ. මේ බහිරව පිළිම වල බොහෝ අනුහස් ඇතැයි ප්‍රචලිතය. මේ පිළිම ඉදිරිපිට අපල උපද්‍රව වලට බාරහාර වීම හා විසඳා ගත නොහැකි නඩු හබ ආදියට සාක්ෂි වශයෙන් දිවිරිමද කරනු ලැබේ. බොරු දිවුරුම් දුනහොත් අනිටු විපාක ලැබෙනු ඇති බවට විස්වාස කෙරේ. එහෙයින් මේ පිළිම ඉදිරිදී බොහෝ දෙන වරද පිළිගන්න බව කියති.
අභිෂේක මණ්ඩපය.
බෝසත් පිළිම හා බුදු පිළිම සුවඳ පැනින් නැහැවීමේ හා අභිෂේක කිරීමේ මහායාන චාරිත්‍රය සිදුකල ස්ථානය ලෙස හඳුනාගෙන ඇත.අනුරාධපුර අවසන් කාලයේදී තනනලද මෙහි ජලය රඳවා තබා ගන්න කානු හා අභිෂේක කිරීමේ වේදිකා දක්නට ඇත.
සන්නිපාත ශාලාව
දාගැබ ඉදිරිපිට (තාවකාලික කඩ පිටුපස) අභයගිරි සන්නිපාත ශාලාවේ නටබුන් දැකිය හැකිය. අභයගිරි භික්ෂුන් රැස්වී සාකච්චා කලේ මේ ස්ථානයේය. අඩි 100 ක් පමණ දිග පළල ඇති ස්ථානයකි. කණු ආදිය ශේෂ වී නැත.
අභයගිරි ආවාස
දාගැබට බටහිර දෙසින් බොහෝ තැන්වල ආරාමවල නටබුන් දැකිය හැකිය. භික්ෂුන් දෙතුන් නමක සිට සියගණනක් දක්වා වැඩ සිටිය හැකි ආරාම හා ප්‍රාසාද තිබෙන්නට ඇත. පන්චායතන නම් ආරාමවල දොරටු මණ්ඩපයක් මැද බුදු කුටියක් හා සිව්කොන ආරාම ගොඩනැගිලි තිබී ඇත. මේවායේ පොකුණු වැසිකිලි ආදියද තිබී ඇත.
පොකුණු
ධාරණී ගෘහය
ආරක්‍ෂිත මන්ත්‍ර සේ සැළකෙන ධාරණී සුත්‍ර වලට වැඳුම් පිදුම් කිරීම මහායාන චාරිත්‍රයකි. මේ ගෘහයේ තිබී සංස්කෘත අක්ෂර වලින් ලියූ, ධාරණී ගල් පුවරු 12 ක් සොයාගෙන ඇත.
ජන්තාඝරය
භික්ෂුන් වහන්සේලා භික්ෂු විනයේ සඳහන් පරිදි, ශරීර සෞඛ්‍යය රැක ගැනීම සඳහා චුර්ණ වර්ග මැටි ආදිය ඇඟ ගල්වා ශරීරය උණුසුම් කොට උණු දිය ස්නානය කර ඇත. මේ ඒ ස්ථානයයි. මෙහි ලිප් හා ඇඹරුම් ගල් ආදිය දක්නට ඇත.
සමාධි පිළිමය
සමාධි පිළිමය
ගුප්ත ශෛලියට නෙලන ලද සමාධි පිළිමය ලෝකයේ ශ්‍රේෂ්ට කලාකෘතියක් ලෙස බොහෝ දෙනාගේ සම්භාවනාවට පාත්‍රවී තිබේ. මේ පිළිම වහන්සේ තෙවන හෝ සිව්වන සියවසේදී බුදුරජානන් වහන්සේගේ සමාධි ගුණය නිරුපනය වන ආකාරයට වීරාසන මුද්‍රාවෙන් හුණුගලින් නිර්මිත, සිංහල මුර්ති ශිල්පයේ අභිමානය ලොවට හඬගා කියන නිර්මාණයක්වේ . අඩි 7 කුත් අඟල් 3 ක් උස මේ පිළිම වහන්සේ මුහුණින් මහා කරුණාව පිළිබිඹු වන ලෙසත්, එම මුහුණ වම පසින් බැලුවිට ශෝකී ස්වරුපයකුත්, ඉදිරිපසින් බැලුවිට ගැඹුරු සමාධියක එළඹුන ලෙසකුත්, දකුණු පසින් බැලුවිට සියුම් මදහසකුත් පෙනෙන ආකාරයට නෙලීම මගින් ශිල්පියාගේ විශිෂ්ට කළා කුසලතාවය විදහා දක්වා ඇත. මේ පිළිමයේ වර්ණාලේපිත කොට තිබුණු බව විශ්වාස කෙරේ. මේ ප්‍රතිමාව බෝධිවෘක්ෂයක් වටා තැන්පත් කරතිබූ ප්‍රතිමා 4 කින් එකක් ලෙස සැලකේ. මෙම පිළිමය සොයා ගැනීමේදී එහි නාසය හානියට පත්ව තිබී ඇත. එය ප්‍රතිනිර්මාණය කිරීම හා කොන්ක්‍රීට් ආවරණය බොහෝ දෙනාගේ විවේචනයට ලක්වී තිබේ. මේ සමගම හානියට පත්වූ තවත් සමාධි පිළිමයක කොටසක් සොයාගෙන ඇත. එයද මේ සමගම ඇත.
බෝධිසත්ව ප්‍රතිමා ගෘහය
ධාතුසේන රජතුමා මෙහි බෝධිසත්ව පිළිම ගෙයක් කරවා රාජාභරණ පැළඳ වූ බවක් කියති. මෙහි තිබි 5 වන සියවසට අයත් හුණු ගලින් නිමවූ බෝසත් පිළිමයක කොටස් හමුවී ඇත.
ප්‍රතිමා ගෘහයක්
කුට්ටම් පොකුණ
කුට්ටම් පොකුණ
ක්‍රි.ව.575-608 කාලයේ රජව සිටි අග්ගබෝදී රජතුමා විසින් මෙය ඉදිකරන්නට ඇති බව සැලකේ. මෙය සිංහල ඉංජිනේරු ශිල්පයේ හා නිර්මානාත්මක කලා කුසලතාවයේ විශිෂ්ට සංකලනයකි.කැටයම් සහිතව පිළියෙළ කරන ලද ගල් කුට්ටි බදාම භාවිතයෙන් තොරව ඉතා සීරුවෙන් අතුරා මෙය තනා තිබේ. තෙවරක් පෙරණු ලබන ජලය පොකුණට පිරවීමටත්, අපිරිසිදු ජලය පොකුනින් ඉවත් කිරීමටත් හැකිවන අයුරින් එය නිර්මාණය කොට ඇත. පොකුණ තුලට පිවිසීමට පඩි පෙළවල් තනා ඇත. දෙවරකට තනනලද මෙම පොකුණු වලින් උතුරු පොකුණ අඩි 91 ක් හා දකුණු පොකුණ අඩි 132 ක් දිගින් යුතුවන අතර දෙකෙහිම පළල අඩි 132 කි.
කුට්ටම් පොකුණේ පඩි පෙළක්, නාග කැටයම හා ජලය ගලා එන මකර මුඛය
කපාරා මූලය
අභයගිරි මූල හතරෙන් එකක් වන කපාරා මූලය විශේෂයෙන් විදේශීය භික්ෂුන් වහන්සේලා වැඩසිටි ස්ථානය බව හෙළිව තිබේ. මෙහි තිබී හමුව ඇති සෙල් ලිපි එකළ ප්‍රධාන විදේශ භාෂාව වූ සංස්කෘත භාෂාවෙන් ලියු ඒවාය.
රත්න ප්‍රාසාදයේ මුරගල
රත්න ප්‍රාසාදයට පිවිසෙන පඩිපෙළ අසල ශ්‍රී ලංකාවේ මෙතෙක් සොයාගෙන ඇති අලංකාර හා විශිෂ්ටතම මුරගල පිහිටුවා තිබේ. නැගෙනහිර දිසාවට අධිපති හා ආරක්ෂක ධෘතරාෂ්ට්‍ර ගේ ත්‍රි භංග රුවක් මෙහි දැක්වේ.
රත්න ප්‍රාසාදය
කනිට්ඨ තිස්ස රජතුමා මෙය ඉදිකළ බව සඳහන්ය. දෙවන මිහිඳු රජතුමා මෙය මහල් ගණනාවකින් යුක්තව විශාල කොට ඇත. මෙය අභයගිරියේ උපෝසථාගාරයයි.
පංචාවාස
සිව් කොන කුඩා ගොඩනැගිලි හතරක් හා මැද විශාල ගොඩනැගිල්ලක නටබුන් අභයගිරි ස්තුපය සමීපයේ ප්‍රාකාරයකින් වටකළ භූමියක දැකිය හැකිය මෙය මහසෙන් මාලිගය යනුවෙන්ද හැඳින්වේ.මැද පිහිටි ගොඩනැගිල්ලේ පද්මාසනයක නටබුන් ඇති නිසා මෙය බුදුගෙයක් ලෙස හඳුනාගෙන ඇත.
සඳකඩ පහන
ලෝකයේ අග්‍රගන්‍ය කලා නිර්මාණයක් සේ සැලකෙන අභයගිරියේ සඳකඩපහණ පිහිටා ඇත්තේ මෙම පංචාවාස ගොඩනැගිල්ලට ඇතුළුවන ස්ථානයේය.
පියගැට පෙළ
මේ හා සමාන තවත් සඳකඩ පහනක් රත්න ප්‍රාසාදයට ඔබ්බෙන් බිසෝ මාලිගය යනුවෙන් හැඳින්වෙන ගොඩනැගිල්ල අසල ඇත. සෙනරත් පරණවිතාන මහතා පවසා ඇත්තේ වඩාත් පියකරු සඳකඩ පහන මෙය බවයි.
ආසන ඝරය
රත්න ප්‍රාසාදයට බටහිරින් ඇති පැරණි ගොඩනැගිලි ආසන ඝරයක් ලෙස හඳුනාගෙන තිබේ. පෙර බෞද්ධයන් වැඳුම් පිදුම් කොට ඇත්තේ බුදුරජානන් වහන්සේ බුද්ධත්වයට පැමිණි ස්ථානයේ වූ වජ්රාසනයටයි. ලංකාවේ එවන් ආසන ඝරයක් හමුවන්නේ මෙහිදීය. පිළිම වන්දනාව ආරම්භ කොට ඇත්තේ පසුකාලයේදීය. මෙම ස්ථානයේ පැරණි බෝධිඝරය නැතහොත් අභයගිරියේ ප්‍රධාන බෝධීන් වහන්සේද රෝපණය කොට තිබී ඇත. තවත් කුඩා ආසන හා සිරිපතුල් ගලක් මෙහි දක්නට තිබේ.
මෙහි අභයගිරියේ දෙවන සමාධි පිළිමයද පිහිටුවා තිබෙනු දැකිය හැකිය.
මෙම ස්ථානයේ හතරවන මිහිඳු රජුගේ හා පස්වන කාශ්‍යප රජුගේ අභයගිරි පුවරු ලිපි ස්ථානගත කොට ඇත මෙහි අභයගිරියේ පරිපාලන නීති සටහන්කොට ඇත.
බරෝස් මණ්ඩපය
බෝධිඝරයට පිවිසීමට ඇති මෙම දොරටුව එස්.එම.බරෝස් මහතා විසින් සංරක්ෂණය කිරීම නිසා මේ නමින් හැඳින්වේ. මෙය අලංකාර ශෛලමය ඉදිකිරීමකි.
දෙවන පිළිම ගෙය
තෙවැනි සමාධි පිළිමය
අභයගිරි සෑයට මඳක් ඔබ්බෙන් තවත් බෝධිඝරයක නටබුන් හමුවේ. මෙහිද සමාධි බුදු පිළිමයක් තිබේ. පිළිමයේ දෑතට හානි සිදුවී ඇතත් එය බෙහෙවින් ආකර්ශනීය එකකි.
උත්තර මුලය
දළදා වහන්සේ භාරව කටයුතුකළ අභයගිරි විහාරයේ පැරණිතම මූලය උත්තර මුලයයි.මේ එහි මූලස්ථානයි.
අභයගිරි දාන ශාලාව
අභයගිරියේ වැඩසිටි 5000 ක් පමණ වූ සංඝයා වහන්සේලාට දානය පිරිනැමීම සඳහා විශාල දාන ශාලාවක් තිබී ඇත. ක්‍රිස්තු පූර්ව පළමු සියවසේ සිට යුග හතරකට අයත්වන මේ දාන ශාලාවේ නටබුන් අදද දැකිය හැක. අඩි 50 ක්පමණ හා අඩි 12 ක් පමණවන බත් ඔරු දෙකක්, මුළුතැන්ගෙය, එහි භාවිත කල උපකරණ, වෙලාව බැලීම සඳහා වූ සුර්ය තැටියක් ජල සැපයුම සඳහා වූ උමං ආදිය ඒ අතර ප්‍රධාන වේ.
ඇත් පොකුණ
ශ්‍රී ලංකාවේ මෙතෙක් නිර්මාණය කොට ඇති විශාලතම පොකුණ ඇත් පොකුණයි. දල වශයෙන් අක්කර 2 ක් පමණවන එය දිගින් අඩි 487 ක්, පළලින් අඩි 162 ක් හා ගැඹුර අඩි 32 ක් පමණවේ. මෙහි රළපනාව තා ක්‍රමවත්ව නිර්මාණය කොට තිබේ. මෙහි බිසෝ කොටුව හා තවමත් ක්‍රියාත්මක වන බුලන් කුලම වැවෙන් ජලය සැපයු අභ්‍යන්තර ජාල මාර්ග දැනුදු දැකිය හැක.
ප්‍රාසාද ස්තුපය
කුඩා පර්වතයක් මැදිකොට ඉදිකර ඇති පොළොන්නරුවේ සත්මහල් ප්‍රාසාදය වැනි ඉදිකිරීමකි. අනුරාධපුර අවසාන කාලයට අයත්ය.
ලංකාරාමය – මණිසොමාරාමය
වළගම්බා රජුගේ ජීවිතය බේරාදුන් සෝමා දේවිය සිහිපත් කිරීම සඳහා වළගම්බා රජු විසින් ක්‍රිස්තු පූර්ව 89- 77 පමණ කාලයේදී ලංකාරාමය ඉදිකළ බව කියති. ලංකාරාමය තුල වටදා ගෙය, බෝධි ඝරය, පොහොය ගෙය, පිළිමගෙය හා සිමා ප්‍රාකාරය ආදිය තිබීම නිසා එය අභයගිරියේ ස්වාධින ආයතනයක් ලෙස තිබුණු බව විශ්වාස කෙරේ. මෙහි වටදා ගෙය වෘත්තාකාර ශෛලමය වේදිකාවක් මත ඉදිකර ඇත. ඒ සඳහා පේළියකට කුළුණු 20ක්, 28ක්, හා 40 ක් වශයෙන් කැටයමින් අලංකාර කොට ඇති ගල් කුළුණු පේලි තුනක් දක්නට ඇත. මේ චෛත්‍යය අඩි 50 ක් උස්වන අතර අඩි 150 ක වට ප්‍රමානයකින්ද යුක්තය. හැඩය ආමලකාකාර (නෙල්ලි ගෙඩියක ආකාර) වේ. මේ පරිශ්‍රයේ අනෙකුත් විහාරාරාම අංග වල නටබුන්ද දැකිය හැක. මෙය භික්‍ෂුණි ආරාමයක් වන්නට ඇතැයිද විශ්වාසයකි. අතීතයේදී මෙය මණි සෝමාරාමය, මණි ථුපාරාමය වැනි නම් වලින්ද හඳුන්වා ඇත.
ලංකාරාමයේ අලංකාර සිංහ කැටයම
ධාතු මන්දිරය
උත්තර මුලයේ නායක හිමියන්ගේ ආවාසය ලෙස හඳුන්වෙන ගොඩනැගිල්ල ආසන්නයේ ධාතු මන්දිරයක නටබුන් දැකිය හැකිය. අනුරාධපුර දළදා මාලිගාවේ සිට වාර්ෂිකව පෙරහරකින් දළදා වහන්සේ අභයගිරියට වැඩමවා ප්‍රදර්ශනය කිරීමේ චාරිත්‍රයක් කීර්ති ශ්‍රී මේඝවර්ණ රජ සමයේ සිට තිබී ඇත. දළදා වහන්සේ අභයගිරියට වැඩම වූ පසු මහජන ප්‍රදර්ශනයට හා වන්දනා කිරීම සඳහා තැන්පත් කොට තබන්නට ඇත්තේ මෙහි විය හැකිය.
සුදස්සන පධානඝරය
වළගම්බා යුගයටත් පෙර සිට පැවත ආ බවට විශ්වාස කෙරෙන භාවනානුයෝගී පාන්ශුකුලික භික්ෂුන් වහන්සේලා වැඩ සිටි කටාරම් කෙටු ගල් ලෙන් සහිත පධානඝරයක නටබුන් අභයගිරි සංකීර්ණයේ වයඹ දෙසට වන්නට පිහිට තිබේ. වසභ රජතුමා එහි භික්ෂුන් වහන්සේලාට දුන් දීමනා පිලිබඳ සෙල් ලිපියක් මෙහි ඇති බව කියති.
මේවා නරඹන්නට යන අප මේ ස්ථාන ජීවමාන බෞද්ධ සිද්ධස්ථාන බව අමතක කළ යුතු නොවේ. එහෙයින් ඒවාට අගෞරව වන අයුරින් හැසිරීම, ඡායාරුප ගැනීම ආදිය නොකළ යුතුය. මේ ස්ථාන මේ ආකාරයෙන් තහවුරු කර ඇත්තේ පුරාවිද්‍යා දෙපාරතමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල ආදී ආයතන මගිනි. එහෙත් ඒවා අනාගතය වෙනුවෙන් ආරක්ෂා කර ගැනීමට නරඹන අපගේ සහාය අවශ්‍යයි. ඒවාට හානි නොකිරීම, පරිසරය අපිරිසිදු නොකිරීම හා නරඹන වැඳුම් පිදුම් කරණ අන් අය අපහසු තාවයට පත් නොවන අන්දමින් කටයුතු කිරීම අපගේ වගකීමයි.
harima lassanai
කැමතියිකැමතියි