මහා පරාක්‍රමබාහු රජතුමා ශ්‍රී ලංකාවේ කිරුල දැරූ කාලය (ක්‍රිස්තු වර්ෂ 1153 සිට 1186 දක්වා) මෙරට ස්වර්ණමය යුගයක් බව කාගේත් පිළිගැනීමයි. ශ්‍රී ලංකාව ආර්ථික, ආරක්ෂක, සංස්කෘතික හා සමාජමය ආදී සෑම අතකින්ම ඉහලම මට්ටමකට ගෙන ඒමට එතුමාට හැකිවිය. එවකට ශ්‍රී ලංකාවේ අග නගරය වූ පොළොන්නරුව අංග සම්පුර්ණ නගරයක් බවට එතුමා පත්කළේය. නගරය අලංකාර කිරීමට හා ජනයාගේ විනෝදාස්වාදය සඳහා උද්‍යාන ඉදිකිරීමටද එතුමා කටයුතු කළේය.
ජලය දෙකට බෙදී ගලායන තැනක පිහිටි දූවක උයනක් කරවා ඊට දීපොද්යාන යයි නම් තබන ලද බව මහා වංශ කතුවරයා කියයි. එහි කෛලාශය සේ සුදුවූ ධවල ගෘහයක්ද, විද්‍යා මණ්ඩපයක්ද, ඕවිල්ලෙන් යුක්තවූ දෝලා මණ්ඩපයක්ද, ක්‍රීඩා මණ්ඩපයක්ද, ශනි මණ්ඩපයක්ද, මයුර මණ්ඩපයක්ද, ආදර්ශ මණ්ඩපයක්ද, කරවූ බවත් කියන ඔහු තවදුරටත් කියන්නේ එහි අනන්ත පුෂ්කරණී, චිත්‍ර පුෂ්කරණී, යන පොකුණු හා සිව් මහල් විමනක් කරවා උයන විසිතුරු කරවූ බවයි.
මහා පරාක්‍රමබාහු රජතුමාට පසුව කාලිංග වංශයෙහි උපන් කිර්ති නිශ්ශංක ක්‍රිස්තු වර්ෂ 1198 සිට නිශ්ශංකමල්ල නමින් ශ්‍රී ලංකාවේ කිරුල දැරූවේය. ඔහු විසින් මේ උයන නැවත ප්‍රතිසංස්කරණය කර ඊට රාජ සභා මණ්ඩපයක්, රජ මාළිගයක් නැතහොත් මඟුල් මඩුවක් ආදී නව ඉදිකිරීම්ද එක් කොට ඇත. ඒ බව ඔහු විසින් පිහිටුවන ලද ශිලා ලේඛණවලද සටහන් කර ඇත. මේ නව ඉදිකිරීම් සඳහා පැරණි ඉදිකිරීම් වල කොටස්ද යොදා ගන්නට ඇති බවට විද්වත් මතයකි. මේ දීප උයන නිශ්ශංකමල්ල රජුන් විසින් කාලිංග උයන ලෙස නම් කර තිබු බව රාජ සභා මණ්ඩපය ආසන්නයේ ඇති ඔහුගේ ගල් ආසන ලිපියෙන් හෙළිවේ.
පොළොන්නරුවේ පැරණි තානායමට උතුරෙන් පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම හා (A11) මඩකලපු මාර්ගය අතර පෙදෙසේ දීප උයන පිහිටා ඇත.
නිශ්ශංක මල්ල රාජ සභා මණ්ඩපය
දීප උයනට උතුරු දෙසින් ඇතුළු වුවහොත් පළමුව දකින්නට් ලැබෙන්නේ නිශ්ශංක මල්ල රාජ සභා මණ්ඩපයයි.
- රාජ සභා මණ්ඩපය
- රාජ සභා මණ්ඩපය
- රාජ සභා මණ්ඩපය
- සිංහාසනය
- සෙසු ආසන
- පාදමේ සත්ව රුප කැටයම්
- පාදමේ සත්ව රුප කැටයම්
- පාදමේ සත්ව රුප කැටයම්
දීප උයන පිහිටුවන ලද්දේ පරාක්‍රමබාහු රජතුමා විසින් වුවද දැනට එහි කැපී පෙනෙන ස්මාරකය වී ඇත්තේ නිශ්ශංකමල්ල රජු විසින් ඉදිකළ රාජ සභා මණ්ඩපයයි. මේ මණ්ඩපයේ එක් පෙළකට දොළහක් බැගින් වන කුළුණු පේලි හතරක් ඇත. මේ කුළුණු මත දැවයෙන් කළ වහලක් තිබෙන්නට ඇත. මණ්ඩපය ශෛලමය වේදිකා දෙකක් මත ඉදිකර ඇති අතර පාදමෙහි කැටයම් කොට තිබුණු ඇත්, අස්, හා සිංහ රුපවල ශේෂයන් එහි දකින්නට ඇත. රාජ සභා මණ්ඩපයට ඇතුළු වීමට උතුරු දෙසින් ප්‍රධාන දොරටුව හා බටහිරින් කුඩා දොරටුවක් වේ.
මේ මණ්ඩපයේ වාස්තු විද්‍යාත්මක හා කලාත්මක අගයන්ටත් වඩා විශේෂවූ අගයක්වී ඇත්තේ රාජ සභාව රැස්වන අවස්ථාවේදී ඒ ඒ නිලයන් දරන්නවුන් අසුන්ගෙන සිටි ආකාරය හා ඔවුන්ගේ වගකීම් ඒ ඒ කුළුණුවල ශිලා ලේඛන ලෙසින් සඳහන් කර තිබීමයි. රජතුමා අසුන්ගෙන ඇත්තේ මණ්ඩපයේ දකුණු කෙලවර පිහිටුවා තිබෙන විශාල ශෛලමය සිංහ මුර්තිය මතවූ සිංහාසනයේය. ඒ සිංහ මුර්තිය පසෙක එය, රජු වැඩහිඳි සිංහාසනය බව සටහන් කොට ඇත. ඒ ඉදිරියේ දකුණු පසින්වන ආසනය යුව රජුගේය. ඔහුගේ පිටුපසින් කුමාරවරු (අගම්පඩි ඈපාවරු ) ඊළඟට හමුදා අණදෙන්නා (සෙනෙවි රදුන්) මීළඟට අගමැති හා ඇමති මණ්ඩලය, ඔවුන්ට පිටුපසින් ලේඛන තබන්නන් (පොත්වරුන් ඇතුළු කායස්ථයන්) අසුන් ගෙන ඇත. රජතුමාගේ වම් පසින් ඉදිරියෙන්ම ප්‍රාදේශීය ආණ්ඩු කාර වරුන් (භාරක මාණ්ඩලිකවරු) ඊළඟට දිස්ත්‍රික් ආණ්ඩුකාරවරු (චෞරාසිවරු) ඔවුන්ට පිටු පසින් වාණිජ මණ්ඩල නියෝජිතවරු (කඩඝෝෂ්ටියේ ඇත්තවුන්) අසුන් ගෙන ඇත. මේ ශිලා ලේඛණ වලින් එකල දේශපාලන සැකැස්ම පිළිබඳව තොරතුරු අනාවරණය වේ.
නිශ්ශංක මල්ල රජුගේ මඟුල් මඩුව
රාජ සභා මණ්ඩපය පසුකොට ඉදිරියට යනවිට ගොඩනැගිල්ලක නටබුන් හමුවේ.
- මඟුල් මඩුව
- මඟුල් මඩුව
- මඟුල් මඩුව
- මඟුල් මඩුව
මේ ගොඩනැගිල්ල නිශ්ශංක මල්ල රජුගේ මඟුල් මඩුව නැතහොත් සභා ශාලාව ලෙස හඳුන්වා ඇත. එමෙන්ම මෙය නිශ්ශංක මල්ල රජුගේ මාලිගය ලෙසද සමහරු හඳුන්වති. එය දිගින් අඩි 133 ක් හා පළලින් අඩි 63 ක් පමණ වන ගඩොලින් කළ කොටස් දෙකකින් සමන්විත එකකි. එක් කොටසක් විවෘත ශාලාවකින් හා අනෙක් කොටස කාමර සහිතව දෙමහල්ව තිබෙන්නට ඇත. විශාල දැව කුළුණු යෙදූ වහලක් මේ ගොඩනැගිල්ලට තිබුනා විය හැකිය. කාමර සහිත කොටසේ බිත්තිවල කොටස්, පියගැට පෙළක් හා කැසිකිලියක නෂ්ඨාවශේෂ දැන් දක්නට ඇත.
රාජ සභා මණ්ඩපය හා මඟුල් මඩුව අතර නිශ්ශංක මල්ල රජු පිහිටවූ සෙල් ලිපියක් ඇත.
- සෙල් ලිපිය
ධවලාඝරය
- ධවලාඝරය
- ධවලාඝරය
- ධවලාඝරය
- ධවලාඝරය
මඟුල් මඩුවට බටහිරින් තවත් නිශ්චිතව හඳුනා නොගත් ගොඩනැගිල්ලක නටබුන් පෙනේ. ගඩොලින් කළ ඝන බිත්ති සහිත චතුරශ්රාකාර ගොඩනැගිල්ලක් වන මෙයට ජනෙල් කවුළු කිසිවක් නොමැත. ඉහල මහලට නැගීම සඳහාවූ පියගැට පෙළක් දැකිය හැක. සුදු පැහැති බදාම කපරාරුවකින් යුත් මෙහි හංස පේළි කැටයමකින් හා රතු හා නිල් පැහැ රේඛා වලින් අලංකාර කොට තිබී ඇත. මෙය මහා පරාක්‍රමබාහු රජතුමා ඉදිකළා යයි කියවෙන ධවලාඝරය විය හැකිය. පරණවිතාන මහතාගේ මතය වී ඇත්තේ එය මහාමේරු පර්වතයේ අනුරුවක් බවයි බවයි. එමෙන්ම එය නිශ්ශංකමල්ල රජතුමා ආදාහනය කළ ස්ථානයේ ඉදිකළ සොහොන් ගෙයක් (mausoleum) බවටද සමහරු විශ්වාස කරති.
දීප මන්දිරය
- දීප මන්දිරය
මේ ආසන්නයේ සිට බටහිර දෙසට නෙත් යොමුකලවිට පරාක්‍රම සමුද්‍රය වෙරළේ දීප මන්දිරය නමින් හැඳින්වූ ගොඩනැගිල්ලක නෂ්ටාවශේෂ පෙනේ. මහා පරාක්‍රමබාහු රජතුමා ඉදිකරන ලද මෙය ඇතුළු නුවර ඇති මහා පරාක්‍රමබාහු රජතුමාගේ මාලිගයේම කුඩා ආකෘතියක් බව කියති. ගල් කුළුණු යොදා ගඩොලින් කල මෙහි කාමර වටා වූ ආලින්දයක් හා ශාලාවක් තිබී ඇත.
පොකුණු
- පොකුණු
- පොකුණු
- පොකුණු
- පොකුණු
- පොකුණු
- පොකුණු
දීප උයන අන්තයේ පොකුණු සංකීර්ණයක් දක්නට ඇත. මෙයට පරාක්‍රම සමුද්‍රයේ සිට පොලව යටින් යොදන ලද නල මාර්ගයකින් ජලය සපයා ඇත. මෙයට සපයන ජලය පාලනය කිරීම සඳහා වූ බිසෝකොටුවක්ද තනා ඇත. ඉහළින් ඇති පොකුණ අනන්ත පොක්ඛරණි යනුවෙන් හඳුන්වා ඇත. අනන්ත නම් නා රජුගේ හැඩය අනුකරණය කරමින් කවාකාර හැඩයකට ගලින් නිමවා ඇති මෙය මහා පරාක්‍රමබාහු රජතුමාගේ නිර්මාණයක් ලෙස සලකති. ඊට පහලින් ඇති චතුරශ්රාකාර පොකුණ නිශ්ශංකමල්ල රජතුමා කරවූ බව සඳහන්වේ.
- බිසෝකොටුව
ස්නානාගාරය
- ස්නානාගාරය
- ස්නානාගාරය
- ස්නානාගාරය
- ස්නානාගාරය
කවාකාර පොකුණට උතුරින් ගඩොලින් බැඳ කපරාරු කළ හා ගල් පුවරු යෙදූ කොටස් දෙකකින් යුත් ස්නානාගාරයක් ඇත. ඊට ඇතුළුවීමට පියගැට පේළි දෙකක් වේ. ඉහලින් වූ ජල ටැංකියක් ලෙස හඳුනා ගෙන ඇති නෂ්ඨවශේෂව ඇති වෘත්තාකාර ඉදිකිරිමේ සිට ස්නානාගාරයට නල මාර්ගයෙන් හා පීල්ලකින් ජලය සම්පාදනය කර තිබේ. මේ දෙපස ඇති ගල් කුළුණු වලින් පෙනී යන්නේ ස්නානාගාරයට දැවයෙන් කළ වහලක් තිබෙන්නට ඇති බවයි.
- ජල ටැංකිය
පොකුණු වලට ජලය සැපයීම සඳහා කළ බිසෝකොටුවට උතුරෙන් තවත් ගොඩනැගිල්ලක ගඩොලින් කළ පාදමක් ඇත.
මේ ගොඩනැගිල්ල අනුරාධපුර යුගයේ කරවන ලද්දක් බවට අනුමාන කෙරේ. ඒ එහි පියගැට ඉදිරියේ ඇති බෙහෙවින් ගෙවී ගොස් ඇති සඳකඩ පහණේ ඇත්, අස්, සිංහ රුප මෙන්ම ගවයාගේ රුපයද කැටයම් කොට තිබෙන නිසාය.
දීප උයන ආසන්නයෙන් දිවයන මඩකලපු මාර්ගය (A11) මෑතකදී (2018 මාර්තු) සංවර්ධණය කිරීම සඳහා කරන ලද කැනීම් වලදී තවත් ගල්කණු 22 ක් සොයාගෙන ඇත. ඒ අනුව දීප උයන පැරණි කොටු පවුර තෙක් පැතිර තිබෙන්නට ඇති බවටත් උයනේ තවත් උද්‍යාන අලංකරණ ඉදිකිරීම් හා ගොඩනැගිලි තිබු බවටත් විශ්වාස කල හැකිය.
1 Comment