ප්රාග් ඓතිහාසික යුගයේ සිටම රුහුණ මානව ජනාවාස සහිත ප්රදේශයක්ව තිබී ඇති බව ගවේෂණ වලින් හෙළිවී ඇත. එමෙන්ම රුහුණු ප්‍රදේශය ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ පටන්ම ශ්‍රී ලංකාවේ වැදගත් ජනාවාසයක්ව තිබී ඇති බව වංශ කතාවල කියවේ. බුදු රජාණන් වහන්සේගේ තෙවැනි ලංකා ගමනේදී උන්වහන්සේ තිස්සමහාරාමයට වැඩමකොට එහි නිරෝධ සමාපත්තියෙන් වැඩ සිටි බව ධාතු වංශයේ සඳහන්ය. දෙවන පෑතිස් රජතුමා ශ්‍රී මහා බෝධි දෙතිස් ඵලරුහ බෝධි ශාඛාවක් තිස්සමහාරාමයේ රෝපණය කල බව බෝධිවංශයේ සඳහන්වේ.

සඳගිරියේ වර්තමාන බෝධිය
දෙවන පෑතිස් රජතුමාගේ දෙවන සොහොයුරාවූ මහානාග යුවරජු රුහුණට පැමිනීමෙන් පසුව රුහුණට දේශපාලනික නායකත්වයක්ද ලැබිණ. ඔහු නාග මහා විහාරය නමින් මාගම් වාසි භික්ෂුන්ට ආරාමයක් කරවූ බව කියවේ. ඒ අනුව ශ්‍රී ලංකාව තුල බුදු දහම ව්‍යාප්ත වීමේදී රජරටදී මෙන්ම රුහුණේද රාජ්‍ය අනුග්‍රහයෙන් බුදු දහම ව්‍යාප්තවූ බව පැහැදිළිය. එකල රුහුණේ අගනුවරවූ මාගම් පුරවරයේ බෞද්ධ මුලස්ථානය වර්තමාන තිස්සමහාරාමය බව පෙනේ. රුහුණේ පැරණි සෙල්ලිපි වල අකුජක වෙහෙර, මහගම රජමහ වෙහෙර, තිසරම් රද්මහ වෙහෙර ආදී නම් වලින් තිස්සමහාරාමය හඳුන්වා ඇත. අනුරාධපුර යුගයේදී මහවැලි ගඟට උතුරින් විසු මහා විහාර භික්ෂු පරපුරේ භික්ෂුන් වහන්සේලා ධර්ම සාකච්ඡා ආදිය සඳහා අනුරාධපුරයට එක් රැස්වූ බවත් මහවැලි ගඟට දකුණින් විසූ භික්ෂුන් වහන්සේලා රුහුණේ තිස්සමහාරාමයට රැස්වූ බවත් කියති.
තිස්සමහාරාමය දොළොස් දහසක් භික්ෂුන් වහන්සේලා වැඩසිටි විශාල ආරාම සංකීර්ණයක්වූ බව සම්මෝහවිනෝදනියේ සඳහන් වන බව පැවසේ. එම අනුරාධපුර යුගයේදී ඉදිකරණලද ආරාම සංකීර්ණයේ නටබුන් හා අදද ජීවමාන පුජ්‍යස්ථාන තිස්සමහාරාමයේ දැකිය හැකිය.
සඳගිරි සෑය

සඳගිරි සෑය
තිස්සමහාරාමයේ නැගෙනහිර සිට බටහිරට එක පෙළට පිහිටුවා ඇති දාගැබ් හතරෙන් නැගෙනහිර කෙලවරේ දාගැබ වන සඳගිරි සෑය තිස්සමරාම මහාසෑයට මීටර් 400 පමණ නැගෙනහිරට වන්නට පිහිටුවා ඇත. රුහුණේ පැරණිතම දාගැබ ලෙස අනුමාන කරන්නේ සඳගිරි සෑයයි. රෝහණික ගාමණී අභය රජුගේ හා වසභ රජුගේ සෙල්ලිපි වල මේ දාගැබ හඳුන්වා ඇත්තේ රජ විහාරය නමිනි. මේ දාගැබ ඉදිකොට ඇත්තේ මහානාග රජු බව ධාතුවංශයේ සඳහන් වන අතර පුජාවලියේ දැක්වෙන්නේ එය කාවන්තිස්ස රජ විසින් ඉදිකරන ලද බවකි. කෙසේවෙතත් මේ දාගැබ ක්‍රිස්තු පුර්ව 250 – 210 පමණ කාලයේ මහානාග යුවරජ විසින් කරවන ලද බව පොදු පිළිගනිම වී ඇති අතර මුල් හැඩය වෙනස් වනසේ වරින් වර ප්‍රතිසංස්කරණයට භාජනය වී ඇති බව හෙළිව ඇත. ප්රදක්ෂිණා පථයක්ද සහිතව වේදිකාවක් මත ඉදිකොට තිබු මුල් කුඩා දාගැබ අවසන් වරට ක්‍රි.ව. 1055 – 1110 කාලයේ පළමුවන විජයබාහු රජතුමා විශාලකොට ප්‍රතිසංස්කරණය කළ බව ප්රකාශිතය. මුල් ස්තුපයේ කොත් කැරැල්ලක් නොතිබූ අතර එහි යූපස්ථම්භයක් හා ඡත්රයක් තිබී ඇත. එම යූපස්ථම්භයේ හා ඡත්‍රයේ නටබුන් සහ පා ධෝවනය සඳහා ජලය රැස්කොට තිබු ශෛලමය භාජන, ශෛලමය මල් ආසන ආදිය අදද සෑ මළුවේ දක්නට ලැබේ. පුරාණ දාගැබේ අනුරුවක්ද සෑ මළුවේ දැකගත හැකිය.

දාගැබේ අනුරුව

යූපස්ථම්භය

චත්‍ර ගලක්

ඡත්රය
සිරිපතුල් ගල්

පා ධෝවන

මල් ආසන
මේ දාගැබ හුණු කපරාරුකොට තිබු බවත් සෑ මළුවේ ජලය බැහැර කිරීම සඳහා ශිලාමය පිහිලි සකස්කොට තිබු බවත් පෙනේ. දැන් ප්‍රතිසංස්කරණය කොට ඇති සඳගිරි සෑයේ පාදමේ වට ප්‍රමාණය අඩි 330 ක් වන අතර උස අඩි 60 කි.

හුණු කපරාරු

ශිලාමය පිහිලි
පාරම්පරිකව කාවන්තිස්ස රජතුමා අතට පත්වූ දඹදිව අශෝක රජතුමා දේවානම් පිය තිස්ස රජතුමාට තෑගි කළ සංඛයක එතුමා ධාතු නිධන්කොට සඳගිරි සෑය තැනූ බව ජනප්රවාදයේ එයි. 1894 එක දිනෙක මේ සෑ මළුවට වැඩමකළ කීඹියේ ශ්‍රී රතනජෝති ස්වාමින්වහන්සේට එහි නටබුන් අතර තිබී ධාතුන් වහන්සේලා හත් නමක් සහිත සංඛයක් හමුවීමෙන් ඒ ජනප්‍රවාදය සත්‍යයක් බවට තහවුරු වී ඇත. පැරණි ස්ථූප ඉදිකිරීමේදී පාදම සඳහා භූමිය කැණීමෙන් පසු එය පිලිස්සිමකට ලක් කෙරෙන බවත් කැණීම් කටයුතු වලදී එම අඟුරු හමුවී ඇති බවත් කියති. මේ භුමියෙන්ද අඟුරු කොටස් හමුවී ඇති බවත් ඒවා නිරීක්ෂණය කිරීමේදී ක්‍රි.පූ. 200 දී පමණ දාගැබ ඉදිකරන්නට ඇති බව තහවුරුව ඇති බවත් කියති.
සඳගිරි බෝධිඝරය

බෝධිඝරය
අනුරාධපුර ශ්‍රී මහාබෝධිය රෝපණය කිරීමේ පුණ්‍යෝත්සවයට චන්දන ග්‍රාමයෙන් සහභාගීවූ ක්ෂත්රියයන් හට ලැබුණු බෝධිය තිස්සමහාරාමයේ රෝපණය කර තිබෙන්නට ඇත. සඳගිරි සෑයට බටහිර දෙසින් මීටර් 85 ක් පමණ දුරින් දැකිය හැකි ගොඩනැගිලි ශේෂයන් සඳගිරි බෝධිඝරයේ නටබුන් ලෙස පිළිගැනේ. මෙය අටවන සියවසේදී පමණ ඉදිකරන්නට ඇතැයි සැලකෙන තිස්සමහාරාමයේ දක්නට ලැබෙන සුවිශේෂී වාස්තු විද්‍යාත්මක නිර්මාණයකි. මේ බෝධිඝරය පිහිටි භුමිය උඩ මළුව, දෙවන මළුව, හා වැලි මළුව, ලෙස මළු කීපයක් ලෙස පිළියෙළ කර තිබේ. දෙවන මළුවේ බැමි සරල රේඛීය ලෙස නොව ඇතුළු පැත්තට හා පිට පැත්තට පන්නා ඉදිකර තිබීම විශේෂ ලක්ෂණයකි. බැමි හුණු බදාමයෙන් කපරාරු කොට තිබු බව පෙනේ. උඩ මලුව මධ්‍යයේ ගඩොලින් නිමකළ කොටුව තුල බෝධිය රෝපණය කොට තිබෙන්නට ඇත. දෙවන මළුවේ මල් ආසනයක්ද වේ.

ගඩොලින් නිමකළ කොටුව
සඳගිරි ජන්තාඝරය
සඳගිරි සෑයට මීටර් සියයක් පමණ දකුණු දෙසට වන්නට පිහිටි ගොඩනැගිලි නෂ්ඨාවශේෂයන් සඳගිරි ආරාම සංකීර්ණයේ ජන්තාඝරය ලෙසට හඳුනාගෙන ඇත. ගොඩනැගිල්ල ඉදිකිරිම සඳහා යොදාගත් ගල් කුළුණු කීපයක්, ඒවායේ පාදම් හා ජලය උනුකිරීමට සැකසු උදුන්වල ශේෂයන් මෙහි දැකගත හැකිය. ගොඩනැගිල්ල මධ්‍යයේ ඇත්තේ උණු කල ජලය ස්නානය කළ ස්ථානය විය හැකිය.
සඳගිරි පිළිම ගෙය
-
-
පිළිම ගෙය
සඳගිරි ආරාම සංකීර්ණයේ ඇති වැදගත් සමාරකයක් වන්නේ එහි පිළිම ගෙයයි. සඳගිරි සෑයට මීටර් 300 ක් පමණ දකුණට වන්නට පිළිම ගෙය දැකගත හැකිය. ගඩොලින් කළ වේදිකාවක් මත පිළිමගෙය ඉදිකොට ඇත. ප්‍රවේශ මණ්ඩපය හා පිළිමගෙයි ප්‍රවේශ දොරටුව උතුරු දෙසිනි. පිළිමගෙයි ප්‍රවේශය දෙපස කොරවක් ගල් හා මුරගල් සහිත පිය ගැට අට කින් යුක්තය. මුරගල් අතරින් වම්පස කැටයම් සහිත මුරගල පමණක් දක්නට ලැබේ. දකුණු පස කොරවක් ගලේ ඇත් රුවක් කැටයම් කොට තිබෙනු පෙනේ. පිළිම ගෙය සඳහා යොදාගත් ගල් කුළුණු 17 ක ශේෂයන් හා පාදම් ගල් ඉතිරිව ඇත.

මුරගල

කොරවක් ගලේ ඇත් රුව

පද්ම පීඨයක් මත වන හිටි බුදු පිළිමය

පද්ම පීඨයක් මත වන හිටි බුදු පිළිමය
මේ පිළිම ගෙයි පද්ම පීඨයක් මත වන හිටි බුදු පිළිමය විශිෂ්ඨ නිර්මාණයකි. එහි දකුණු හස්තයේ කොටසක් හානියට පත්ව ඇත. ප්‍රතිමාව ප්‍රමාණයෙන් කුඩා වන නමුදු එය අවුකන, මාලිගාවිල ආදී විශාල හිටි පිළිමනෙලීම සඳහා ගුරුකොට ගන්නට ඇතැයි අනුමාන කරති.
සඳගිරි බුද්ධ ප්‍රතිමාව විශිෂ්ඨ කලාත්මක නිර්මාණයක් වුවද, ආරාම සංකීර්ණයේ අනෙකුත් නටබුන් පිළිබඳව සලකා බැලීමේදී පෙනී යන්නේ ඒවායේ ශිලාමය නටබුන් අනුරාධපුර, පොළොන්නරු ආදී රජරට නටබුන් වල තරම් කැටයම් වලින් අලංකාර කොට නොමැති රළු පෘෂ්ඨයන් සහිත ඒවා බවයි
සඳගිරි පොහොය ගෙය

පොහොය ගෙය
සඳගිරි පිළිම ගෙයට මීටර් 30 ක් පමණ බටහිර දෙසින් දක්නට ලැබෙන ගොඩනැගිලි නටබුන් සඳගිරි ආරාම සංකීර්ණයේ පොහොය ගෙය ලෙස හඳුනාගෙන ඇත. . එහි මීටර් 6 ක් පමණ උස සුවිසල් ගල් කණු තිබීමෙන් අනුමාන කළහැකි වන්නේ එය මහල් කීපයකින් යුක්ත ගොඩනැගිල්ලක් වන්නට ඇති බවයි.

පොහොය ගෙය
සිලාපස්ස පිරිවෙන

සිලාපස්ස පිරිවෙන
තිස්ස මහා විහාරයේ භික්ෂුන් වහන්සේලා දහස් ගණනක් වැඩ සිටි බව කියති. මේ භික්ෂුන් වනසේලාගේ අධ්‍යයන කටයුතු සිදු කෙරුනේ මහා සීව ස්වාමින්වහන්සේගේ අධිපතිත්වයෙන් යුත් සිලාපස්ස පිරිවෙනේය.
තිස්සමහාරාම – කිර්න්ද පාරේ තිස්ස මහා විද්‍යාලය අසල වම් පස ඇති නෂ්ඨාවශේෂ මේ සිලාපස්ස පිරිවෙනේ බව විශ්වාස කෙරේ. මේ පිරිවෙණේ කොටසක් වර්තමාන තිස්ස මහා විද්‍යාල භුමියේත් තිස්ස නගරයට යටවීත් තිබෙන බව කියති. තිස්ස නගරය තුලද පස් වලින් වැසීගිය විශාල ප්‍රතිමාද ඇති බවට ජනප්‍රවාද පවතී.
මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් තිස්සමහාරාම සඳගිරි සංකීර්ණයේ ගවේෂණ හා ප්‍රතිසංස්කරණ කටයුතු කරනු ලැබේ. සඳගිරි ස්ථූපය ආසන්න ගවේෂණ වලදී අනුරාධපුර යුගයට අයත් බුද්ධ ප්‍රතිමා, අවලෝකිතේශ්වර ප්‍රතිමා, මැටි භාජන කොටස් ආදිය හමුව ඇත. තිස්සමහාරාමයේ කැනීම් කටයුතු තවම නිමවී නොමැති බැවින් මෙතෙක් හෙලිනොවූ බොහෝ කරුණු ඉදිරියේදී හෙළිදරව් වනු ඇතැයි විශ්වාස කරමු.
අපූරුයි
කැමතියිLiked by 1 person
👍👍👍
කැමතියිLiked by 1 person