කැනෝවා ගේ කියුපිඩ් සහ සයිකි – CUPID & PSYCHE – ANTONIO CANOVA

නියෝ ක්ලැසිකල් යුගයේ විශිෂ්ඨතම නිර්මාණයක් සේ සැලකෙන ඇන්ටෝනියෝ  කැනෝවා  (Antonio Canova – 1757 – 1822) ගේ Psyche Revived by Cupid’s Kiss යන නිර්මාණය පැරිසියේ ලූව කෞතුකාගාරයේදී ඩෙනොන් ශාලාවේ  දකින්නට ලැබිණ. ඉතාලි මූර්ති අංශයේ ඇති කැපීපෙනෙන මුර්තියක් වන මෙය කෞතුකාගාරයට යන හැම දෙනාම පාහේ විශේෂ උනන්දුවකින් නරඹනු පෙනින. මීටර් 1.55 ක් උස, මීටර් 1.68 දිග, මීටර් 1.01 ක් පළල ඇති පිරමීඩාකාර මූර්තියක් වන මෙය මාබල් පාෂාණයෙන් ක්‍රි.ව. 1787 දී නෙලා ඇත. 

1-DSC00198-001

ගල මත දණහිස තබා ඉදිරියට නැමුණු කියුපිඩ්, සිහි විසඥව ගලක් මත වැතිර සිටින සයිකිගේ හිසෙන් හා පපුවෙන් අල්ලා මඳක් ඉහලට ඔසවාගෙන සිටි. සයිකිගේ හිස පහලට නැඹුරුවී ඇති අතර දෙඅත් වලින් කියුපිඩ්ගේ හිස අල්ලාගෙන සිටි. කෙස් වැටිය පහලට ගලායයි.  ඇඳි සළුව ලිහිල්වී ගත නිරාවරණය වී ඇත. නිරුවත් කියුපිඩ්ගේ පියාපත් ඉහලට එසවී ඇත. පිටේ ඊතල බහාලුමක් වෙයි. සයිකි පසෙක බඳුනක් ඇත. කියුපිඩ් සයිකි වෙත ළඟාවූ විගසම, ඔහු විසින් සයිකි සිප ගැනීමට ආසන්න වන ආකාරයක් මුළු මුර්තියෙන් ප්‍රකාශ වෙයි. මේ මුර්තිය කිසියම් එක්තරා කෝණයකින් පමණක් බලා රසවිඳීම සඳහා නොව මුර්තිය සෑම පැත්තකින්ම බලා රසවිඳීම සඳහා නිමකළ එකක් බව පෙනේ. මුර්තිය ඒ මේ අතට හැරවීම සඳහා යොදන ලදැයි සිතෙන හැඬලයක්ද සවිකොට ඇත. 

3-DSC00200

කැනෝවාගේ මේ  මූර්තියේ සංවේදී මුහුණු වලින් හා ශරීරාංග වලින් එකාබද්ධව පෙන්වන  භාව ප්‍රකාශණය ආදරයෙන් ප්‍රමෝදයට පත්වීම ප්‍රකාශ කෙරෙන කාව්‍යයක් බදුය. මුර්තියේ අරමුණ වඩාත් තීව්‍ර කිරීම සඳහා දෙදෙනාගේ ප්‍රකාශිත ඉරියව් පමණක් නොව ඊට යොදාගෙන ඇති පාෂාණයද ඉතා සැලකිල්ලෙන් තෝරාගෙන ඇත. පියාපත්වල  විනිවිද පෙනෙන සුළු බව,මස් පිඬුවල පිරිපුන් බව, කෙස් වැටියේ හා සළුවේ මෘදු බව, ගල්කුලේ රළු බව ආදිය දැක්වෙන පරිදි ඒ පාෂාණය යොදාගෙන තිබීම විශ්මය ජනකය. 

2-DSC00199

ප්‍රංශයේ ලූව කෞතුකාගාරයේ  මුර්තිය

මේ මුර්තිය නැපෝලියන් බොනපාට්, දෙවන කතරින් වැනි රාජකීයයන්ගේ පවා ප්‍රසාදයට ලක්විය. කැනෝවාගේ කෞශල්‍යය ගැන පැහැදුන රුසියානු කුමරෙකු වූ Yusupov හටද  මෙවන් මුර්තියක් තනවා ගැනීමට අවශ්‍යවී ඇත. එහෙයින් 1797 දී ඔහු තවත් මුර්තියක් කළේය. එහි ප්‍රංශයේ ඇති මුර්තියට වඩා සුළු වෙනස්කම් සිදුකර ඇත.

හර්මිටේජ් මුර්තිය හා ලූව මුර්තිය

Yusupov කුමරුගේ අදහස අනුව සයිකිගේ පාද මුළුමනින්ම ආවරණය වනසේ සළුව නිමවා ඇත. මේ මුර්තිය දැන් සාන්ත පිටර්ස්බර්ග් නගරයේ (Hermitage Museum) හර්මිටෙජ් කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරේ.

7-P1100055

රුසියාවේ හර්මිටේජ් කෞතුකාගාරයේ මුර්තිය

මේ මුර්තියට පාදක වී ඇත්තේ  Lucius Apuleius Madaurensis විසින් දෙවන සියවසේ පමණ ලියු  Metamorphoses නැතහොත් The Golden Ass නම් ලතින් පොත් කාණ්ඩයේ හතරවන පස්වන හා හයවන කොටස්වල සඳහන් කතාන්දරයකි. 

මේ කතාන්දරයේ දැක්වෙන අන්දමට සයිකි ඉතාමත් රූමත් කුමාරිකාවකි. මිනිස්සු ඇය දෙවඟනකැයි සිතුහ. එහෙයින් අයගේ අත ගැනීමට මිනිස්සු බිය වුහ. කුමරියගේ දෙමාපියෝ මේ පිළිබඳව මහත් කනස්සල්ලෙන් කුමරියට කුමරෙකු ලබාදෙන මෙන් ඇපලෝ ගෙන් ඉලා සිටියහ.  කුමරිය වනයේ ගිරි ශිකරයක් වෙත ගෙනයන ලෙසත්, එහිදී රාත්‍රී කාලයේදී ඇයට සුදුසු කුමරෙකු ලැබෙනු ඇති බවත් ඇපලෝ පැවසිය. එහෙත් ඒ කුමරා ඇයට නොපෙනෙන බව පවසා ඒ කුමරු කවුරුන්දැයි බැලීමට උත්සාහ නොගන්නා ලෙසද උපදෙස් දුනි.  

මේ අතර වීනස් ඇගේ රුව පිළිබඳව දැනගෙන ඇය කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් පෙලින. ඇය  කියුපිඩ් හට උපදෙස් දෙන්නේ හී සැරයක් යවා සයිකි කැත මිනිසෙකුගේ ප්‍රේමවන්තිය කරන ලෙසයි. එහෙත් කියුපිඩ් යවන්නට සැරසුණ හීයට වැරදීමකින් ඔහුගේ ගත සීරුණු බැවින් ඔහු සයිකි හා ප්‍රේමයෙන් බැඳින. 

වනයේ ගිරි ශිකරයකට රැගෙන ගිය සයිකි සේෆිරස් විසින් ඉතා අලංකාර මාළිගයකට ගෙන ගියේය. කියුපිඩ් රාත්‍රී කාලයේ ශිකරයේ වූ මාළිගය වෙත ගොස් සයිකි සමග කාලය ගත කළේය. කලක් යද්දී මේ කුමරා කවුරුන්දැයි බැලීමට සයිකිට සිත්වුයෙන් දිනක් නිදා සිටින ඔහු දෙස පහනක් අල්ලා බැලුවාය. ඒ සමගම  කියුපිඩ් ඇහැරී ඒ බව දුටුවෙන් ඔහු වහාම දෙව්ලොව බලා පලා ගියේය. මාළිගයද එකෙනෙහිම අතුරුදහන්ව සයිකි අසරණ විය. සයිකි දිවි නසා ගන්නටද උත්සාහ කළමුත් එය ව්‍යර්තවිය.

කියුපිඩ් නැවත ලබා ගැනීමට සයිකි වීනස්ගේ පිහිට පැතුවාය. කියුපිඩ් ලබා ගැනීමට සයිකිට වීනස් පවරන ලද අසීරු කාර්යයන් කිරීමට සිදුවිය. ඇයට මළවුන්ගේ ලෝකයට  ගොස් ප්‍රොසෙර්පිනාගේ රූමත් කරවන දිව්‍යමය විලවුන් බහාලූ බඳුන විවෘත නොකොට ගෙන එන ලෙසද දැන්විය. සයිකි ගොස් ඒ බඳුන රැගෙන එනවිට ඇයටද ඒ බෝතලයෙන් ස්වල්පයක් ගැනීමට සිති එය විවෘත කළාය. එහි තිබුනේ විලවුන් නොව බියකරු නිද්‍රාවකට පත්කරවන දුමාරයකි.  විවෘත කළ විගස එහිවූ අඳුරු දුමාරයෙන් ඇයව වෙලී ගොස් මියගියාක් මෙන් වූ බලවත් නිද්‍රාවකට පත්විය. ඇය නැවත පුබුදුවාලිය හැකි වනුයේ කියුපිඩ්ගේ චුම්භනයකින් පමණි. මේ අවස්ථාවේ ඇය කෙරෙහි අනුකම්පාවෙන් ඇයව බේරා ගැනීමට සියුස්ගේ අවසරයෙන් කියුපිඩ් පැමිණියේය. පැමිණ කියුපිඩ්ගේ චුම්භනයකින් සයිකිව පුබුදුවාලිය. සයිකිව විවාහ කරගැනීමට විනස්ගේද අවසරය ලදින් සයිකි කියුපිඩ් සමග විවාහවී දේවත්වයට පත්වී ඔලිම්පියාවට ගියාය.  

එන්.එච්. සමරසිංහ.  2019. 08. 21

Protected by Copyscape

1 Comment

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.