මයිකල් ඇන්ජලෝගේ නොනිමි මෙහෙවර

ඉතාලියේ ෆ්ලොරන්ස්හිදී 1475 මාර්තු 6 දින උපත ලද මයිකල්ඇන්ජලෝ බූනරෝටි  ඉතාලි පුනරුදයේ සිටි මුර්ති ශිල්පියෙකු, චිත්‍ර ශිල්පියෙකු, ගෘහනිර්මාණ ශිල්පියෙකු හා කවියෙකු වෙයි. ඔහු බටහිර මූර්ති සම්ප්‍රදායේ විශිෂ්ටතම මූර්ති ශිල්පියාය. ඔහු කිරිගරුඩ පාෂාණ කුට්ටියක් දුටු විගස ඒ තුල සැඟවී ඇති මූර්තිය හඳුනා ගන්නා බව කියති.  

2
 

ඩේවිඩ් ප්‍රතිමාව (පින්තුරය අන්තර්ජාලයෙනි)

 

3
 

පියෙටා (පින්තුරය අන්තර්ජාලයෙනි)

 

ඔහුගේ වයස අවුරුදු විසි පහක් වෙද්දී අඩි 17 ක් පමණ උස ඩේවිඩ් ප්‍රතිමාව හා තිහක් වන්නට පෙර පියෙටා යන මූර්ති නිර්මාණය කළේය. වයස අවුරුදු තිස් හතක් වෙද්දී සිස්ටයින් දෙව් මැදුරේ සිතුවම් නිර්මාණය කළේය.

4
 

ආදම් මැවීම (පින්තුරය අන්තර්ජාලයෙනි)

 

5
අවසාන විනිශ්චය (පින්තුරය අන්තර්ජාලයෙනි)

එහි සිවිලිමේ ඇති දෙවියන් වහන්සේගේ ජීවයෙන් යුත් දකුණු හස්තය හා ආදම්ගේ අප්‍රාණික වම් අත සංකේතාත්මකව දක්වමින් සිතුවම් කළ ආදම් මැවීම හා පුජාසන බිත්තියේ ඇති යේසු තුමාගේ රුව මුල්කොටගෙන පරිවාර රූප තුන් සියයකින් පමණයුත් විශාල ෆ්රෙස්කෝ සිතුවමක් වන අවසාන විනිශ්චය බටහිර සිතුවම් කලාවේ වඩාත්ම සම්භාවනාවට භාජනයවූ සිතුවම් වෙයි. එමෙන්ම ඔහු රෝමයේ සාන්ත පීතර බැසිලිකාවේ ගෘහනිර්මාණ ශිල්පියාය. ඔහුට අවුරුදු 88 ක් වෙද්දී එනම් 1564 පෙබරවාරි මස 18 වන දින ඔහු අභාවයට පත්විය.

භාරගත් නිර්මානාත්මක කාර්යයක ඇනවුම අවලංගු වීම, ආරම්භ කළ කෘතිය ගැන සෑහීමකට පත් නොවීම, කැමති වර්ණ සපයා ගැනීමට නොහැකිවීම, අවිවේකය වැනි නොයෙක් හේතු නිසා ඇතැම් කලාකරුවන් තමා විසින් ආරම්භ කරන ලද ඇතැම් කෘතීන් නිම නොකොට අතරමගදී අත්හැර දමන්නට පෙළඹී ඇති බව පෙනීයයි.

එසේ යම් කලා කෘතියක නිම කරන්නට අදහස් කළ සැලැස්ම සම්පුර්ණයෙන්ම  නිම නොකළත් ඒ අසම්පුර්ණ කෘතිය තුලින්ද යම් රස වින්දනයක් ලැබිය හැකිය. අසම්පුර්ණ කෘතිය නරඹන්නාට ඔහුගේ නිර්මානාත්මක සිතුවිලි තුලින් කෘතිය මනෝමය සම්පුර්ණ කිරීමට ලක් කරමින් වින්දනයක් ලැබිය හැකිය.   

එමෙන්ම කලාවේ ඉතිහාසය හදාරන්නන්ට අසම්පුර්ණ කෘති වලින් බොහෝ කරුණු වටහා ගත හැකිය. අසම්පුර්ණ කෘතියකින් සිතුවමේ මතුපිට දකින චිත්‍රයට වඩා කරුණු හෙළි කරයි. චිත්‍රය නිමකිරීමට යොදාගත් උපක්‍රම, දල සටහන්, කළා කරුවාගේ නිර්මානාත්මක ක්‍රියාවලියේ සැඟවුණු තොරතුරු එයින් හෙළි කර ගත හැකිය. 

මයිකල්ඇන්ජලෝද ඔහු විසින් ආරම්භ කරන ලද ඇතැම් කෘතීන් අතරමග අත්හැර දමා තිබේ.  එසේ අත්හැර දමන ලද සිතුවම් දෙකක් ලන්ඩනයේ ජාතික කලාගාරයේ ප්‍රදර්ශණය කෙරෙනු දුටිමි.

6
 

මැන්චෙස්ටර් මැඩෝනා (National Gallery, London)

 

එක් සිතුවමක් වනුයේ “මැන්චෙස්ටර් මැඩෝනා “ නම් ආගමික සිතුවමයි. (1853 වසරේදී එංගලන්තයේ මැන්චෙස්ටර් නුවරට නාගරික තත්වය ලැබීම සැමරීම සඳහා පැවැත්වුණ ප්‍රදර්ශණයට ඉදිරිපත් කර තිබුණු මේ සිතුවම එහි ප්‍රධාන අංගයක් වීම නිසා ඒ නම ලැබී ඇත) 1497 දී පමණ පින්තාරු කරන්නට ආරම්භ කළායයි අනුමාන කරන මෙය “The Virgin and Child with St John and Angels” යනුවෙන්ද හඳුන්වා ඇත. එය සෙන්ටි මීටර් 105 X 77 ප්‍රමාණයේ පොප්ලර් මතුපිටක ටෙම්පරා ක්‍රමයට අඳින්නට ආරම්භ කරන ලද්දකි.

7
 

මැන්චෙස්ටර් මැඩෝනා (National Gallery, London)

 

එහි කන්‍යා මරිය තුමිය විසින් අල්ලාගෙන සිටින විවෘත කළ පොතක් ගැන දේව දුතයන් දෙදෙනෙකු සිතමින් සිටී. ඒ පොතෙහි කිසියම් නිශ්චිත ඡේදයක් ක්‍රිස්තුස් වහන්සේ පෙන්වනු ලබයි. ඒ පොත ඔහුගෙන් වසන් කිරීමට ඇය උත්සාහ ගනී. කන්‍යා මරිය තුමියගේ නිරාවරණය කළ පියොවුරක් දක්වා තිබීමෙන් ජෝන් පැමිණීමට පෙර ළදරු ක්‍රිස්තුස් වහන්සේ පෝෂණය කළ බවක් හඟවයි. මයිකල්ඇන්ජලෝ සිතුවම් කරණයේදී එක් එක් පුද්ගලයා වෙන වෙනම නිමා කරන්නට පෙළඹී ඇති බව පෙනේ. 

8
 

Entombment (National Gallery, London)

 

ලන්ඩනයේ ජාතික කලාගාරයේ ඇති අනෙක් සිතුවම Entombment යනුවෙන් නම් කොට ඇත. එය මයිකල්ඇන්ජලෝ  විසින්ම අඳින ලද්දක්ද යන්නද මතභේදාත්මකය. ක්‍රිස්තුස් වහන්සේ කුරුසිපත් කිරීමෙන් පසුව සුසානය කරා ගල් පඩි පෙළක් ඔස්සේ රැගෙනයාම එයින් නිරුපණය කරන්නට උත්සාහ ගෙන ඇත.

9
 

Entombment (National Gallery, London)

 

ඒ සිතුවමේ බොහෝ කොටස් හිස්ව ඇත. සිතුවමේ දක්නට ඇති පුද්ගලයින් කවුරුන්ද යන්නද අවිනිශ්චිතය. ඉදිරිපස දණගසාගෙන සිටින්නේ කන්‍යා මරිය තුමිය විය හැකිය. වම පසින් සිටින්නේ ශාන්ත ජෝන් විය හැකිය. පිටුපසින් සිටින්නේ ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් තමාගේ සොහොන්ගේය අත්හල අරිමාතියේ  ජෝසප් විය හැකිය.

සෙන්ටි මීටර් 162 X 150 ප්‍රමාණයේ සිතුවමක්වන මේ සිතුවම1501 දීපමණ රෝමයේ සාන්ත අගොස්තිනෝ දේවස්ථානයේ පුජාසනය වෙනුවෙන් සිතුවම් කරන්නට ආරම්භ කළායයි විශ්වාස කෙරේ. 

මයිකල් ආන්ජිලෝ චිත්‍ර ශිල්පියෙකුට වඩා මූර්ති ශිල්පියෙකු ලෙස හඳුන්වා ගත් කලාකරුවෙකි. මූර්ති කලාව දෘශ්‍ය කලාවේ වැදගත් අංගය ලෙස ඔහු සැලකුවේය. මිනිස් සිරුර ඔහුගේ බලවත්ම ප්‍රකාශන මාධ්‍යය විය. මිනිස් සිරුරේ කායව්‍යවච්ඡේදක ලක්ෂණ ඉස්මතුකොට දැක්වීම ඔහුගේ නිර්මාණ තුල කැපී පෙනේ. මේ අනුව බලන විට කෞතුකාගාරවල ප්‍රදර්ශණයට තබා ඇති සමහර මූර්තිද නිම නොකළ මූර්ති ලෙස පෙනී යයි.

10
 

Crouching boy (Hermitage Museum, Saint Petersburg)

 

11
 

Crouching boy (Hermitage Museum, Saint Petersburg)

 

රුසියාවේ සාන්ත පිටර්ස්බර්ග් නගරයේ හර්මිටෙජ් කෞතුකාගාරයේ ඇති මයිකල් ගේ Crouching boy නමැති මූර්තියද නිම නොකළ කෘතියක් බවට විශ්වාස කෙරේ. මූර්තියේ රළු මතුපිට,  පාද හා අත් එය නිම නොකළ බවක් ප්‍රකට කරවයි.

දෙවන ජුලියස් පාප් වහන්සේ වෙනුවෙන් ඉදිකෙරෙන සුසානයේ කොටසක් ලෙස  නිර්මාණය කරන ලද නමුත් එහි ස්ථාපනය නොකරන ලද මූර්ති දෙකක් පැරිස් ලූව කෞතුකාගාරයේද තිබෙනු දුටුවෙමි.

13
 

මියයන දාසයා Dying Slave (Louvre Museum)

 

ඒවා නම් 1513 හා 1516 අතර කාලයේ නිමවා ඇති Captive යනුවෙන් පොදුවේ හඳුන්වන  මියයන දාසයා Dying Slave හා  කැරලිකාර දාසයා Rebellious Slave  යන කඩවසම් තරුණයන් දෙදෙනෙකුගේ  මූර්ති දෙකයි. මේ මූර්තිද අපේක්ෂිත නිර්මාණය සඳහා යොදා නොගත් බැවින් නිම නොකළ කෘතියක කොටසක් ලෙස සැලකිය හැකි යයි සිතමි. එහෙත් ඒවා වෙන් වෙන් වශයෙන් සලකා බැලිය යුතු  ඉතා අගනා නිර්මාණයන්ය. 

12
 

කැරලිකාර දාසයා Rebellious Slave (Louvre Museum)

 

සෙන්ටිමීටර 209 ක් උස කැරලිකාර දාසයා ග්‍රහණයෙන් මිදීමට දැඩිව උත්සාහ ගන්නා ආකාරයෙනුත් සෙන්ටිමීටර 228 ක් උස මිය යන දාසයා දිගු නිද්‍රාවකට පත්ව ඇති ආකාරයෙනුත්  වශයෙන් එකිනෙකට වෙනස් හැඟීම් දෙකක් ඉස්මතුකර නිර්මාණය කර ඇත. මෙයින් මිය යාමෙන් පසු ආත්මය ශරීරය නම් සිරගෙයින් නිදහස් වන බව කියන ක්‍රිස්තියානි අදහස පිළිබිඹු කිරීමට උත්සාහ ගෙන ඇති බව කියති.

එන්.එච්. සමරසිංහ.  2019. 11. 27

Protected by Copyscape

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.